19/09/2025
පියා අහිමිවුණු ආරංචිය.
අවශේෂ කරුණු පසෙක ලූ විට, පෙර දින රාත්රියේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ජයග්‍රාහී මතකයක් සමග සංවේදී මතකයක්ද එක්විය. දුනිත් වෙල්ලාලගේ නම් පුත්‍ර රත්නය බිහිකළ පිය රත්නය මෙලොව හැර ගියේය.
එක්තරා දිනෙක අප හමුවූ මොහොතකදී ඔහුගේ පියාණන් පිළිබඳ අපි කතාබහ කළෙමු. දුනිත් සිය පියාණන්ව සිහිකළේ, "විටෙක දරදඬු, එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඕනෑම ඉඩකඩක් වෙන්කළ පියෙකු" ලෙසය. ඊට ඔහු එක් මතකයක් එක්කළේය.
'ලෙදර් පන්දුවෙන් නිවෙස් මායිමේ ක්‍රීඩා කරමින් සිටින විට නිවසේ මෝටර් රථයේ පැති වීදුරු බිඳ දැමීම වෙනුවෙන් දඬුවම් නොකිරීම' නම් එයයි. ඒ පියවරුන්ගේ හැටිය. ඔවුන් ළඟ නොව, දුර දකින අයවළුන්ය. ඒ ඉවසීම මත ඇවිදගොස්, දුනිත් වෙල්ලාලගේ නම් වූ යෞවනයා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තෙක් ගමන් කළා පමණක් නොව, 19න් පහළ නායකයා ලෙස ප්‍රකට කෙරූ දස්කම් තුළින් ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් නායකත්වය පිළිබඳ ඉඟි ද පළකරමින් සිටියි.
ක්‍රීඩකයෙකු ක්‍රීඩාංගණයක් මැද සිය අවධානය උපරිම වශයෙන් තරගයක් වෙත යොමුකරමින් සිටියදී තම සමීපතමයෙකුගේ අභාවය පිළිබඳ පණිවුඩය ලැබීම එතරම් සුළුපහදු අත්දැකීමක් වන්නේ නැත. විරාත් කෝලි ද එවැනි අවාසනාවන්ත පුවතක් ලද පුත් රුවනකි. එහෙත් පියාණන් අහිමි වූ පුවතින් කඩානොවැටුණු ඔහු පියාණන් වෙනුවෙන් නොකඩවා ක්‍රීඩා කොට, ලකුණු 90ක් ලබාගෙන දැවීගොස්, අහස දෙස බලාගෙන හඬා වැටුණු බව අප අසා තිබේ. එය ඔහුව නැවැත්වූවේ නැත. ඔහු ඔහුගේ නම ඉතිහාස පොතෙහි ලියා තැබුවේ "ලොව විශිෂ්ටම නූතන පිතිකරුවෙකු ලෙස"ය.
අනවශ්‍ය දේශපාලනික බලපෑම් සහ අවස්ථාවාදී රැඟුම් ගැයුම් අප වටා හොල්මන් කරද්දී, අප විසින් දුනිත් වෙල්ලාලගේ නම් වූ අනාගත බලාපොරොත්තුවට කිව යුත්තේද එයයි. "අහිමිවීම් යනු ලෝක ධර්මතාවයක් වුවත්, ලෝකය නොනවතියි. අතීතය මත නොපිහිටයි".
ඔහු එක්තරා අතකින් වාසනාවන්ත යැයි මම කියමි. පියාණන් අහිමි වූ පුවත, පුවතක් හැටියට නොඅසා, පියාණන්ගේ වියෝව දෑස් මත්තෙහි මැවෙනයුරු වෙනතක් නොබලා බලාසිටින්නට සිදුවූ 15 හැවිරිදි පුත්‍රයෙකු ලෙස මම දුනිත්ව වාසනාවන්ත අසුනේ තබමි. ඔහු නොසැලේවා!
පියවරු මව්වරු යම් දිනයක අප හැර යන්නෝය. එය සොබාදහමේ නීතියයි. එහෙත් ඔවුන් විසින් කළ කී යහපත් දෑ සදානුස්මරණීය වෙයි. දුනිත් වෙල්ලාලගේගේ පියාණන් බලාපොරොත්තු වූ භව ගමන ඔහුට ලැබේවා! මේ අපහසු මොහොතේ, අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා වෙත, පළපුරුදු වෘත්තිකයන්ගේ සවිය ධෛර්යය ගලා යේවා!
- අසංක හදිරම්පෑල.