16/11/2023
සිංහල භාෂාවෙන් skill සහ talent කියන දෙක ම අදහස් දෙකක් විදියට වෙන් කරලා හඳුනා ගැනීමක් කරන්නේ නැහැ.
මේ දෙකට ම අප පොදුවේ දක්ෂතාව, හැකියාව වගේ වචන ලිහිල්ව පාවිච්චි කරනවා. නමුත් මේ දෙක ම ගැන අපට බොහෝ වෙලාවට තියෙන්නේ එක ම අදහසක්.
Talent කියලා කියන්නේ අප උපතින් ගේන දෙයක්. උපතින් ම ඇතැම් මිනිසුන් කිසියම් දෙයකට විශේෂ ප්‍රතිභාවක් සහිතව මේ ලෝකයට පැමිණෙනවා. ඒක සෞන්දර්‍යය, ක්‍රීඩාව, කලාව හෝ වෙනත් මොනයම් හෝ දෙයක් වෙන්න පුළුවන්. මේක එක්තරා විදියකට වාසනා ගුණයක් කියා කිව හැකියි.
ඒත් skill එක කියන්නේ හුදෙක් Talent එක ම නෙවෙයි, එයට වඩා විශාල දෙයක්. skill එක හෙවත් කුසලතාව කාලයක් තිස්සේ මුවහත් කරගත යුතුයි. නිතර ම අභ්‍යාස කළ යුතුයි. නොනවත්වා ම මහන්සි විය යුතුයි. තමන් විසින් තමන් ගේ ම සීමාවන් අභිබවා යා යුතුයි. වෙනත් විදියකට කිව්වොත් Talent එක උත්පත්තියෙන් ලබන දෙයක්. skill එක කාලයක් තිස්සේ මහන්සි වී අත්පත් කරගත යුතු දෙයක්. මේ නිසා ම skill එක උපතින් ගේන Talent එකට වඩා ශ්‍රේෂ්ඨයි.
විරාත් කෝලි කියලා කියලා කියන්නේ ලෝකයේ අනෙක් සියලු ක්‍රීඩකයන්ට වඩා මහන්සි වී අසමසම skill එකක් අත්පත් කරගත් ක්‍රීඩකයෙක්. ඒක ඔහු ගේ ජීවන පැවැත්ම තුළ ම තියෙනවා. එහි ප්‍රතිඵල අද ඔහු භුක්ති විඳිනවා. අප කැමති වුණත් නැතත් ලෝකයේ වැඩි ම ශතක ලාභී ක්‍රීඩකයා වන්නේ ඔහුයි.
ලංකාවේත් Talent එක තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. උදාහරණයක් විදියට කුසල් මෙන්ඩිස් කියන්නේ හොඳ Talent එකක් තියෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන් ම ඒ විදියේ Talent එකක් නොතිබුණා නම් කිසිම ක්‍රීඩකයෙකුට තමන් ගේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ තරග කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතැන Talent එක ගැන ප්‍රශ්නයක් තියෙනවා යැයි හිතන්න බැහැ.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වෙනකොට තියෙන්නේ skill එක ගැන ප්‍රශ්නයක්. ක්‍රීඩාවෙන් ඉදිරියට යන විට ලැබෙන ධනය, සමාජ ප්‍රාග්ධනය, ප්‍රසිද්ධිය, ජේත්තුකාර ජීවන රටාව වැනි බොහෝ සාධක නිසා ලංකාවේ ක්‍රීඩකයන් අතරමං වෙනවා. විරාත් කෝලි ලා, සංගක්කාර ලා වගේ මහන්සි වෙන්නේ නැතුව ඔවුන් ෂෝට්කට්වලින්, සමාජ මාධ්‍ය කැම්පේන්වලින්, කයිවාරුවලින්, ප්‍රෝඩාකාරී මැනේජර්ලාගේ උදව්වෙන් ගොඩයන්න හිතනවා. මේ නිසා ඒ හුඟ දෙනෙකුට උපතින් හිමිවන Talent එක, skill එකක් බවට පරිවර්තනය වන්නේ නැහැ. මේ නිසා ම ඔවුන් අවසානයේ ලෝකයේ කිසිවෙකුත් ඒ තරම් ගණන් ගන්නේ නැති, අඩු තරමේ තමන් ගේ උත්පත්තියෙන් ගෙනෙන ප්‍රතිභාවට හෝ සාධාරණයක් කරන්න බැරිවුණු underachievers ලා බවට පත්වෙනවා.
උත්පත්තියෙන් ගෙනෙන ප්‍රතිභාවට යා හැකි දුර සීමිතයි. ඉන් එහාට ගිහින් විශිෂ්ටත්වයට ළඟා වෙන්න නම් ඒ ප්‍රතිභාව 'කුසලතාවක්' බවට පත් කරගත යුතුයි.
මම හිතන්නේ මේ අවුල ලංකාවේ මේ වන විට තියෙන ක්‍රිකට් සංස්කෘතිය තුළ ම තියෙන දෙයක්. හොඳ ම උදාහරණයක් වෙන්නේ ලෝක කුසලානයෙන් ලජ්ජා සහගත විදියට පැරදී, අයි.සී.සී යෙන් තහනමකට ද ලක් වූ පසු ව අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවයි. මේක ඔවුන් ගේ ක්‍රීඩා ජීවිතයේ ඔවුන් මුහුණ දෙන බැරෑරුම් ම අර්බුදයක්. මේ තහනම ඉක්මනින් ඉවත් නොකරගත්තොත් මේ ක්‍රීඩකයන් බොහොමයක ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවාසනාවන්ත අවසානයකට ගොදුරු වෙනවා.
ඒ වගේ අතිශය බැරෑරුම් අවස්ථාවක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී පවා එක් ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයෙකු ගේ වෘෂණ කෝෂ අල්ලන්න හදන හැටි වීඩියෝ වල පෙනෙන්න තියෙනවා. ඔවුන් ගේ මානසිකත්වය කෙබඳු එකක්දැයි ඒ සුළු සිදුවීමෙන් පවා තේරුම් ගත හැකියි.
'කුසලතාව' කෙසේ වෙතත් ඔවුන් ගේ සාමාන්‍ය IQ එකේ පවා විශාල ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලියි.
එහෙම ක්‍රීඩකයන්ගෙන් ලංකාවේ මිනිසුන් විරාත් කෝලිලා, සචින් තෙන්ඩුල්කාර් ලා, සංගක්කාර ලා, මුරලිදරන් ලා බලාපොරොත්තු වෙනවා.
ඉතා ම හැඟීම්බර ලෙස ක්‍රීඩාවට ආසා කරන ලංකාවේ අහිංසක මිනිසුන් 'පව්' කියනවා ඇරෙන්න වෙනත් කියන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ.
-
රසික ජයකොඩි
16 - 11 - 2023