Sri Lankans at International Film Festivals

  • Home
  • Sri Lankans at International Film Festivals

Sri Lankans at International Film Festivals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankans at International Film Festivals, News & Media Website, .

ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලකදී පළමු වරට ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි...1995 වර්ෂයේ සිට ෆිඇප...
26/06/2025

ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලකදී පළමු වරට ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි...

1995 වර්ෂයේ සිට ෆිඇප්ෆ් අනුමැතිය හිමි (FIAPF ACCREDITED) ලොව "ඒ" ශ්‍රේණියේ තරගකාරි සිනමා උළෙලක් ලෙසින් වර්ගීකරණයට නතුවන චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ 27 වෙනි අදියරේ සම්මාන ප්‍රදානෝත්සත්වය පසුගිය 21 වෙනි දින රාත්‍රියේදී ලොව සුපතල ෂැංහයි ග්‍රෑන්ඩ් තියටර්හිදී පැවැත්වුණි. මෙහිදී උළෙලේ ආසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා නිර්මාණ උදෙසා වූ වෙන්වූ තරගකාරි අංශය ("ඒෂින් නිව් ටැලන්ට් තරගය"/ ASIAN NEW TALENT
OMPETITION) නියෝජනය කළ ලලිත් රත්නායකගේ "රිවර්ස්ටන්" (RIVERSTONE) චිත්‍රපටය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත්විය. විශිෂ්ටතම තිර රචනය වෙනුවෙන් ලලිත් රත්නායක සහ නිලන්ත පෙරේරා සම්මානනීය වූ අතර , විශිෂ්ටතම කැමරාකරණය වෙනුවෙන් හිමි සම්මානය ප්‍රභාත් රෝෂනට හිමිවිය.

ශ්‍රී ලංකාව පළමු වරට ෆිඇප්ෆ් අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලකදී සම්මානනීය වූයේ 1975 වසරේ රුසියාවේ පැවැති 09 වෙනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදීය. ඒ ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ රංගනය උදෙසා මාලනී ෆොන්සේකා ලද විශේෂ ඇගයීමත් සමගය. එකී සම්මානයත් ඇතුළුව 1975 සිට 2023 වසර දක්වා ශ්‍රී ලාංකේය චිත්‍රපට 6 ක් (එයා දැන් ලොකු ළමයෙක්/ සිරිපාල හා රන් මැණිකා/ මල්දෙණියේ සිමියොං/ සංකාරා/ ඔබ නැතුව ඔබ එක්ක/ විහඟ ප්‍රේමය) උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කරමින්ද, චිත්‍රපට 02 ක් ( සුළඟ එනු පිණිස/ නෙලුම් කුලුන) කුළුදුල් නිර්මාණ උදෙසා වූ තරග අංශයක් හෝ තරගකාරි සම්මානයක් නියෝජනය කරමින්ද, එක් චිත්‍රපටයක් (තනි තටුවෙන් පියාඹන්න) විශේෂිත තේමාවක් උදෙසා වූ තරගකාරී සම්මාන අංශයක් නියෝජනය කරමින්ද, චිත්‍රපට 03 ක් (මේ මගේ සඳයි/ තනි තටුවෙන් පියාඹන්න/ ඉනි අවන්) යම් නිශ්චිත භූගෝලීය කලාපයකට අයත් රටවල සිනමා නිර්මාණ උදෙසා වූ තරග අංශයක් නියෝජනය කරමින්ද, ෆිඇප්ෆ් අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ උළෙලවලදී ජයග්‍රහණය කොට ඇති සම්මාන සංඛ්‍යාව 12 කි. ඒ අනුව ෂැංහයිහිදී 'රිවර්ස්ටන්' ලද සම්මාන ද්විත්වය "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලක කුමන හෝ තරගකාරී අංශයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ලද 13 වෙනි සහ 14 වෙනි සම්මාන වේ. එසේම මෙකී සම්මාන ජයග්‍රහණය, ලොව "ඒ" ශ්‍රේණියේ උළෙලකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සම්මාන ද්විත්වයකින් පුදලද පළමු අවස්ථාව වේ. එයට අමතරව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලකදී කුමන හෝ තරගකාරී අංශයක් තුළදී "තිර රචනය" සහ "කැමරාකරණය" යන සිනමා අංශ උදෙසා ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් සම්මානනීය වූ පළමු අවස්ථාවද මෙය වේ.

ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ ආරම්භය 1993 වර්ෂයේදී සටහන් වේ. එකී සමාරම්භක වර්ෂයේදීම උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබීම විශේෂත්වයකි. ඒ අමරනාත් ජයතිලකගේ "යුවතිපති" චිත්‍රපටය තුළිනි. එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලාංකේය චිත්‍රපට 10 කට ෂැංහයි උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇත. එහෙත් ඒ අතුරින් උළෙලේ කුමන හෝ තරගකාරී අංශයක් නියෝජනය කරමින් සම්මාන උදෙසා තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවූයේ අවස්ථා 03 කදී පමණි. ඒ අනුව මේ වසරේ උළෙල නියෝජනය කළ ලලිත් රත්නායකගේ 'රිවර්ස්ටන්' චිත්‍රපටයට පෙර, ප්‍රසන්න විතානගේ 'අනන්ත රාත්‍රිය' 1997 වර්ෂයේදී උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශයත්, ලලිත් රත්නායකගේ "විෂම භාග" 2019 වර්ෂයේදී ආසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන් උදෙසා වූ තරගකාරී අංශයත් නියෝජනය කිරීමට සමත් විය. එහෙත් ෂැංහයි උළෙලේ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සම්මානනීය වූ පළමු අවස්ථාව "රිවර්ස්ටන්" හරහා සනිටුහන් වේ. එසේම සිය කුළුදුල් නිර්මාණය (විෂම භාග) හරහා ෂැංහයි උළෙලේ ආසියානු කලාපීය නවක අධ්‍යක්ෂකවරුන්ගේ තරග අංශය නියෝජනය කළ ලලිත් රත්නායක, සිය දෙවෙනි නිර්මාණය (රිවර්ස්ටන්) හරහාද එකී අංශයම නියෝජනය කරමින් සම්මානනීය වීම කැපී පෙනේ.

නිමන්ති පෝරගේ හා ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ රිවර්ස්ටන්හී ප්‍රධාන චරිතවලට ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා හා ප්‍රියන්ත සිරිකුමාර පනපොවති. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන්, චාලක යසස්
පෙරේරාගේ සංගීතයෙන්, සමන්ත වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයෙන්, සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයෙන් හැඩවෙන රිවර්ස්ටන්හී වේෂ නිරූපනය ප්‍රියන්‍ත දිසානායකගෙනි.

යූල්කේ ෆිල්ම්ස් වෙනුවෙන් "රිවර්ස්ටන්" ෂැංහයි උළෙලට ඉදිරිපත් හා සම්බන්ධීකරණය උදිත කහඳවආරච්චිගෙනි.

සටහන උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

මහදිවුල්වැව: ජාත්‍යන්තර සිනමා ජූරියක හිඳගත් ශ්‍රී ලාංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ පළමු සභාපතිවරයා බවට පත්වේ...පසුගිය පෙබරව...
24/02/2025

මහදිවුල්වැව: ජාත්‍යන්තර සිනමා ජූරියක හිඳගත් ශ්‍රී ලාංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ පළමු සභාපතිවරයා බවට පත්වේ...

පසුගිය පෙබරවාරි 20 වෙනිදා ඉන්දියාවේ පූනේහී නිමාව දුටු 23 වෙනි පූනේ අන්තර්ජාතික සිනමා උළෙලේ (PUNE INTERNATIONAL FILM FESTIVAL) ප්‍රධානතම ජූරිය නියෝජනය කිරීමේ අවස්ථාව චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැවට හිමිවිය. මෙහිදී චිත්‍රපට උළෙලේ ප්‍රධානතම ජූරිය වූ "ජගත් තරග ජූරිය" (WORLD COMPETITION JURY) සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඒ අතරට ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක අනිරුද්ධ රෝයි චවුද්‍රි, පෘතුගාල චිත්‍රපට අධ්‍යක්ෂිකා මාගරීදා ගිල්, ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂිකා ටමීනා මිලානි, පින්ලන්ත චිත්‍රපට අධ්‍යක්ෂක පෙත්‍රි කොට්විස්තා සහ ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව ඇතුළත් වූහ.

2002 වසරේ ආරම්භ වූ පූනේ අන්තර්ජාතික සිනමා උළෙල ඉතිහාසයේ ජූරියක කටයුතු කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවූ 06 වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර විමුක්ති ජයසුන්දර (2018 දී), ප්‍රසන්න විතානගේ (2019 දී) හා විසාකේස චන්ද්‍රසේකරම් (2024) දී "ජගත් තරග ජූරිය"ත්, බෙනට් රත්නායක (2017 දී) හා මාලනී ෆොන්සේකා (2020 දී) "මරාති චිත්‍රපට තරග ජූරිය'ත් නියෝජනය කළහ.

සුදු කළු සහ අළු (SHADES OF ASH) සහ මයි රෙඩ් කොම්රේඩ් (MY RED COMRADE) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජාතික අවධානයට පාත්‍ර වූ සුදත් මහදිවුල්වැව, විදෙස් රටක පැවති අන්තර්ජාතික සිනමා උළෙල ජූරියක කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ. එසේම 62 වසරකට ආසන්න ශ්‍රී ලාංකේය ජූරි නියෝජන ඉතිහාසයේ අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කළ 51 වෙනි ශ්‍රී ලාංකිකයා ලෙසත්, 19 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙසත් මෙරට සිනමා ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙරට ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතිධූරය හොබවන සුදත් මහදිවුල්වැව, පූනේ ජූරි නියෝජනය හේතුකොටගෙන, චිත්‍රපට සංස්ථා සභාපති ධූරය දරමින් විදෙස් රටක පැවති අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක හිඳගත් සංස්ථාවේ පළමු සභාපතිවරයාද වේ.

සටහන උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

ප්‍රසන්න විතානගේ ජූරි සභාපති ලෙසත්, මොහාන් රාජ් මඩවල "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටයේ නියෝජිතයා ලෙසත්, ඇසෑම්හි පැවති පළමු...
10/02/2025

ප්‍රසන්න විතානගේ ජූරි සභාපති ලෙසත්, මොහාන් රාජ් මඩවල "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටයේ නියෝජිතයා ලෙසත්, ඇසෑම්හි පැවති පළමු ගුවහාටි ආසියානු සිනමා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වූ මොහොත.....

"නෙළුම් කුළුණ" මනිපූර් යද්දී, "මගේ පන්තියේ ළමයෙක්" සහ ප්‍රසන්න විතානගේ ඇසෑම් යයි......ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරුන් දෙපලකග...
08/02/2025

"නෙළුම් කුළුණ" මනිපූර් යද්දී, "මගේ පන්තියේ ළමයෙක්" සහ ප්‍රසන්න විතානගේ ඇසෑම් යයි......

ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරුන් දෙපලකගේ කුලුඳුල් සිනමා නිර්මාණ ද්විත්වයක් මේ දිනවල ඉන්දියාවේ මනිපූර් සහ ඇසෑම් ප්‍රාන්තවල පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙල ද්විත්වයක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. ඒ අනුව ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ "නෙළුම් කුළුණ" (TENTIGO) චිත්‍රපටය පෙබරවාරි මස 06 සිට 09 දක්වා මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් අගනුවර පැවැත්වෙන දෙවෙනි අයිකොයිගි ඉම්පාල් අන්තර්ජාතික සිනමා උළෙලේත් (EIKHOIGI IMPHAL INTERNATIONAL FILM FESTIVAL), ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) පෙබරවාරි මස 07 සිට 09 දක්වා ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නුවර පැවැත්වෙන පළමු ගුවහාටි ආසියානු සිනමා උළෙලේත් (GUWAHATI ASIAN FILM FESTIVAL) තිරගත වේ.

මනිපූර් ප්‍රාන්ත රජයේ අනුග්‍රාහකත්වයෙන් දෙවෙනි වරට සංවිධානය වන ඉම්පාල් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය (INTERNATIONAL COMPETITION - FICTION) යටතේ "නෙළුම් කුළුණ" චිත්‍රපටිය පෙබරවාරි 08 වෙනිදා උළෙලේදී තිරගත වේ. ශ්‍රී ලංකාවේ "නෙළුම් කුළුණ" ඇතුළුව ඉන්දියාව, මියන්මාරය, වියට්නාමය, භූතානය, නේපාලය, කසකස්ථානය හා උස්බෙකිස්තානය යන රටවලට අයත් දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට 11ක් උළෙලේ පිරිනමන ඉහළම සම්මානය වෙනුවෙන් තරග වදී. 2023 වසරේදී ලොව "ඒ" ශ්‍රේණියේ එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට් සිනමා උළෙලෙන් ජාත්‍යන්තර ගමන් ඇරඹූ "නෙළුම් කුළුණ" චිත්‍රපටය තිරගත කෙරෙන හත්වෙනි අන්තර්ජාතික සිනමා උළෙල මෙය වේ.
www.eiiff.org

පළමු වරට සංවිධානය වන ගුවහාටි ආසියානු සිනමා උළෙලේ "ආසියානු සිනමා" (ASIAN CINEMA) අංශය යටතේ "මගේ පන්තියේ ළමයෙක්" උළෙල නියෝජනය කරයි. ශ්‍රී ලංකාව සමග ඉරානය, ඉන්දියාව, පිලිපීනය, නේපාලය, බංග්ලාදේශය, තුර්කිය, හොංකොං, උස්බෙකිස්තානය, කසකස්ථානය සහ අසර්බයිජාන් යන රටවලට අයත් චිත්‍රපට 13ක් එකී අංශය යටතේ තිරගත වේ. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවකට පණපෙවූ මොහාන් රාජ් මඩවලගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 09 වෙනිදා "මගේ පන්තියේ ළමයෙක්" උළෙලේදී තිරගත වේ. ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්වන ඉන්දියාවේ කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලෙන් ජාත්‍යන්තර ගමන් ඇරඹූ "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටය තිරගත කෙරෙන සිව්වෙනි අන්තර්ජාතික සිනමා උළෙල මෙය වේ.
www.gaff.co.in

මොහාන් රාජ් මඩවලට අමතරව ශ්‍රී ලාංකේය නියෝජිතයකු ලෙසින් චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේද මෙවර ගුවහාටි ආසියානු සිනමා උළෙලට එක්ව ඇත. ඒ මෙවර උළෙලේ ක්‍රියාත්මක එකම තරගකාරී අංශය වූ "ඉන්දියානු ඊසානදිග චිත්‍රපට තරගය" (IN COMPETITION NORTH-EAST INDIAN FILMS) විනිශ්චය උදෙසා ඇරයුම් ලද ජූරි සභිකයෙකු ලෙසිනි. ප්‍රසන්න විතානගේ 2025 වසර වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරියක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වේ. එසේම ජූරි සභිකයෙකු ලෙසින් ශ්‍රී ලංකාවෙන් එපිට ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කරන 22 වෙනි අවස්ථාව මෙය වේ.

උළෙලේ සංවිධායක මඩුල්ලේ ඇරයුමෙන් ඉම්පාල් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන "නෙළුම් කුළුණ"හි උළෙල සම්බන්ධීකරණය හිරන්‍යා පෙරේරාගෙනි. "මගේ පන්තියේ ළමයෙක්" ගුවහාටි ආසියානු සිනමා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි.

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

 #ඩකා ගිය ශ්‍රී ලාංකේය සිනමා ධූත පිරිස....ජනවාරි 19 වෙනි දින බංගලදේශයේ ඩකා නුවරදී  නිමාව දුටු 23 වෙනි ඩකා අන්තර්ජාතික සි...
20/01/2025

#ඩකා ගිය ශ්‍රී ලාංකේය සිනමා ධූත පිරිස....

ජනවාරි 19 වෙනි දින බංගලදේශයේ ඩකා නුවරදී නිමාව දුටු 23 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව මෙවර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට හිමිව තිබුණි. ඒ අනුව "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂක ශ්‍යාම් ප්‍රනාන්දු, එහි වර්ණ සංයෝජක අසංක වික්‍රමසිරි සහ ඉන්ටර්ෆෙයිත් ජූරියේ (INTERFAITH) සමාජිකයකු ලෙසින් ලක්ෂාන් අබේනායක උළෙලට සහභාගිවී තිබූහ.

Photo Credits- Asanka Wickramasiri

ශ්‍යාම් ප්‍රනාන්දු "මගේ පන්තියේ ළමයෙක්" සමඟ ඩකා යයි....ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංගලාදේශයේ ඩකා නුවර පැවැති 2...
19/01/2025

ශ්‍යාම් ප්‍රනාන්දු "මගේ පන්තියේ ළමයෙක්" සමඟ ඩකා යයි....

ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංගලාදේශයේ ඩකා නුවර පැවැති 23 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙල (DHAKA INTERNATIONAL FILM FESTIVAL) නියෝජනය කිරීමට රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය සමත් විය. ඒ අනුව පසුගිය 18 වෙනිදා ශ්‍යාම් ප්‍රනාන්දු සහ චිත්‍රපටයේ වර්ණ සංයෝජක අසංක වික්‍රමසිරිගේ සහභාගීත්වයෙන් "මගේ පන්තියේ ළමයෙක්" උළෙලේදී මහජනතාවට ප්‍රදර්ශනය කෙරුණි.

දකුණු ආසියානු කලාපය තුළ සක්‍රීයව පවතින සිනමා උළෙල අතුරින් සිව්වෙනි පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකෙන ඩකා සිනමා උළෙලේ ආරම්භය 1992 වර්ෂයේ සටහන්ව ඇත. එහි පළමු ශ්‍රී ලාංකේය නියෝජනය 2000 වසරේදී සටහන්ව ඇත. එතැන් පටන් "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටය දක්වා ඩකා උළෙලේ තිරගතව ඇති සමස්ත ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 32කි.

2024 වසරේ දෙසැම්බර් මස පැවති කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කරමින් ජාත්‍යන්තර සිනමා උළෙල ගමන් ඇරඹූ "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටය, නියෝජනය කළ තෙවෙනි අන්තර්ජාතික සිනමා උළෙල, ඩකා සිනමා උළෙල වේ.

මගේ පන්තියේ ළමයෙක්" ඩකා සිනමා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

 #ප්‍රසන්න "පැරඩයිස්" සමඟ කේරලයේ ඔට්ටපාලම් යයි...ජනවාරි 09 සිට 12 වෙනිදා දක්වා ඉන්දියාවේ කේරලයේ ඔට්ටපාලම්හි පැවැති 08 වෙ...
18/01/2025

#ප්‍රසන්න "පැරඩයිස්" සමඟ කේරලයේ ඔට්ටපාලම් යයි...

ජනවාරි 09 සිට 12 වෙනිදා දක්වා ඉන්දියාවේ කේරලයේ ඔට්ටපාලම්හි පැවැති 08 වෙනි ඩයලොග් අන්තර්ජාතික සිනමා උළෙල (DIALOGUE INTERNATIONAL FILM FESTIVAL) නියෝජනය කිරීමට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "පැරඩයිස්" (PARADISE) සිනමාපටය සමත් විය. ඒ අනුව ප්‍රසන්න විතානගෙගේ සහභාගිත්වයෙන් පසුගිය ජනවාරි මස 12 වෙනි දින "පැරඩයිස්" චිත්‍රපටය මහජනතාව උදෙසා උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණි.

ඉන්දියානු-ශ්‍රී ලංකා නිෂ්පාදනයක් ලෙසින් විවිධ ජාත්‍යන්තර සිනමා උළෙළ නියෝජනය කළ "පැරඩයිස්" චිත්‍රපටය , දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල- 2023, ප්‍රංශයේ විසූල් ආසියානු අන්තර්ජාතික සිනමා උළෙල- 2024, ස්පාඤ්ඤයේ ලස් ප්ල්මාස් ද ග්‍රෑන් කැනේරියා අන්තර්ජාතික සිනමා උළෙල - 2024 සහ රුසියාවේ කාසාන් අන්තර්ජාතික සිනමා උළෙල- 2024 යන උළෙලවදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

 #2025 වසරේ ජාත්‍යන්තර සිනමා උළෙලක පළමු ශ්‍රී ලාංකේය නියෝජනය "මගේ පන්තියේ ළමයෙක්" නමින් සටහන් වේ... #"මගේ පන්තියේ ළමයෙක්...
16/01/2025

#2025 වසරේ ජාත්‍යන්තර සිනමා උළෙලක පළමු ශ්‍රී ලාංකේය නියෝජනය "මගේ පන්තියේ ළමයෙක්" නමින් සටහන් වේ...

#"මගේ පන්තියේ ළමයෙක්" සහ "අවාළු පැහැ වලාකුළක්" මුම්බායි ආසියානු සිනමා උළෙලට....

ජනවාරි 10 සිට 16 දක්වා ඉන්දියාවේ මුම්බායි නගරය ආශ්‍රිතව පැවැත්වෙන 21 වෙනි තර්ඩ් අයි ආසියානු සිනමා උළෙල (THIRD EYE ASIAN FILM FESTIVAL) නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය රංගන ශිල්පීන් දෙදෙනෙකු කුළුදුලේ අධ්‍යක්ෂණය කළ දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට ද්විත්වයක් සුදුසුකම් ලැබ ඇත. ඒ අනුව ශ්‍යාම් ප්‍රනන්දු අධ්‍යක්ෂණය කළ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය ජනවාරි 10 සහ 13 යන දෙදින තුළ උළෙලේ තිරගත කෙරුණු අතර, රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කළ "අවාළු පැහැ වලාකුළක්" (THE ASHEN CLOUD) චිත්‍රපටය අද දින (ජනවාරි 16) උළෙලේදී තිරගත කෙරුණි. මෙහිදි ජනවාරි 10 වෙනි උළෙලේදී මහජන ප්‍රදර්ශනයට මුදාහළ "මගේ පන්තියේ ළමයෙක්" චිත්‍රපටය, 2025 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලක තිරගතවුණු පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය බවට පත්විය.

තර්ඩ් අයි ආසියානු සිනමා උළෙලේ ආරම්භය 2002 වසරේදී සටහන්ව ඇත. එකී වසරේදී උළෙල නියෝජනය කළ බෙනට් රත්නායකගේ "අස්වැසුම" චිත්‍රපටයේ සිට මේ වසර දක්වා උළෙලේ තිරගතව ඇති සමස්ත ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 25කි.
https://www.thirdeyeasianfilmfestival.com/

"මගේ පන්තියේ ළමයෙක්" තර්ඩ් අයි ආසියානු සිනමා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි. "අවාළු පැහැ වලාකුළක්" උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය අනෝමා රාජකරුණාගෙනි.

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

 #30 වසරක කොල්කටා  සිනමා උළෙල ඉතිහාසයේ  ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය: ශ්‍යාම...
11/12/2024

#30 වසරක කොල්කටා සිනමා උළෙල ඉතිහාසයේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය: ශ්‍යාම් ප්‍රනාන්දුගේ " මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME)...

#චමින්ද ඉලුක්වෙලගේ "මාගම් සෝලි" (STIGMA) ආසියානු තරග අංශයෙන් කොල්කටා උළෙලට...

ලොව පුරා විසිර ඇති සිනමා උළෙල වර්ගීකරණයේ නියුතු ආයතන අතුරින් ලොව ප්‍රමුඛතම ආයතනය 'ෆිඇප්ෆ්' (FIAPF) වේ. එහි 2024 වසරේ සිනමා උළෙල වර්ගීකරණයට අනුව ෆිඇප්ෆ් අනුමැතිය හිමි "තරගකාරී විශේෂිත වෘත්තාන්ත සිනමා උළෙල" (COMPETITIVE SPECIALIZED FEATURE FILM FESTIVAL) සංඛ්‍යාව 23 කි. එකී උළෙල 23 තුළ වූ ප්‍රමුඛතම අන්තර්ජාතික සිනමා උළෙල දහයෙන් එකක් ලෙසටද, එයට අමතරව දකුණු ආසියානු කලාපය තුළ ස්ථානගත ප්‍රමුඛතම සහ දැවැන්තම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසටද සැලකෙන ඉන්දියාවේ කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ (KOLKATA INTERNATIONAL FILM FESTIVAL) 30 වෙනි අදියර පසුගිය 04 වෙනිදා ආරම්භ වූ අතර, එහි සමාප්තිය අද දින (11 වෙනිදා) රාත්‍රියේදී සටහන් වීමට නියමිතය.

කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ ආරම්භය 1995 වසර තෙක් දිව යයි. එකී පළමු අදියරේ පටන්, 2024 පැවැත්වෙන 30 වෙනි අදියර දක්වා උළෙලේ තිරගත වූ සමස්ත ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සංඛ්‍යාව 30 කි. ඒ අතුරින්, නිල නියෝජනයක් (OFFICIAL SELECTION) ලෙසින් කොල්කටා උළෙලේ තිරගත වූ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය ප්‍රියන්ත කොළඹගේගේ "විමුක්ති" වේ (1995 දී). එලෙස විමුක්ති, සරෝජා, අස්වැසුම, සුළං කිරිල්ලි, ඉරමැදියම, අහසින් වැටෙයි, ආකාස කුසුම්, ඇගේ ඇස අග, ඔබ නැතුව ඔබ එක්ක, මාරියා ආදි චිත්‍රපට 18 ක් නිල නියෝජනයන් (OFFICIAL SELECTIONS) ලෙසද, සෙයිලම, සුරබිදෙන, ගම්පෙරළිය, නිධානය, ගැහැණු ළමයි, විසි අට ආදි චිත්‍රපට 12 ක් ආරාධිත චිත්‍රපට (INVITED FILMS) ලෙසද කොල්කටා උළෙල නියෝජනය කොට ඇත.

1995 වසරේ සිට 2010 වසර තෙක් තරගකාරී නොවන සිනමා උළෙලක් (NON- COMPETITIVE FILM FESTIVAL) ලෙසින් ක්‍රියාත්මක වූ කොල්කටා සිනමා උළෙල, 2011 වසරේ සිට විශේෂිත තරගකාරී සිනමා උළෙලක් (SPECIALIZED COMPETITIVE FILM FESTIVAL) බවට පරිවර්තනය විය. එලෙස 2011 වසරේ සිට 2023 වසර තෙක් ශ්‍රී ලාංකේය චිත්‍රපට 08 ක් උළෙල නියෝජනයට සමත්ව තිබුණද, ඒ එකදු චිත්‍රපටයකට හෝ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි නොවුණි. ඒ අනුව 2024 වසරේ උළෙලේ තිරගත වූ , ශ්‍යාම් ප්‍රනාන්දුගේ " මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) නම් වූ කුලුඳුල් නිර්මාණය, කොල්කටා සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය (INTERNATIONAL COMPETITION) නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්වේ.

අන්තර්ජාතික සිනමා උළෙල තුළ නිරන්තරයෙන් සිය ආධිපත්‍යය පතුරන චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ජපානය, ජර්මනිය, දකුණු කොරියාව ආදි ප්‍රබල රටවලට අයත් චිත්‍රපට 13 ක් ශ්‍රී ලංකාවේ " මගේ පන්තියේ ළමයෙක්" සමග මෙවර උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනට සුදුසුකම් ලබා ඇත. එකී චිත්‍රපට 14 උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනමන "හොඳම චිත්‍රපටය" සහ "හොඳම අධ්‍යක්ෂක" යන සම්මාන ද්විත්වය වෙනුවෙන් තරග වදී.

2024 වසරේ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශ නියෝජනයට අමතරව , ආසියානු කාලාපීය රටවල සිනමාපට වෙනුවෙන් වෙන් වූ "ආසියානු තෝරාගැනීම්" (ASIAN SELECT) නම් වූ තරගකාරී අංශය උදෙසා සුදුසුකම් ලැබීමේ අවස්ථාවද මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබීම විශේෂත්වයකි. ඒ අනුව චමින්ද ඉලුක්වෙලගේ කුලුඳුල් නිර්මාණය වූ "මාගම් සෝලි" (STIGMA) මෙවර ආසියානු තරගකාරී අංශය යටතේ තිරගත වේ. හොදම ආසියානු සිනමාපටය උදෙසා පිරිනමන "නෙට්පැක් සම්මානය" (NETPAC AWARD) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ "මාගම් සෝලි" ඇතුළුව ඉන්දියාව, චීනය , ඉරානය, ජපානය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, හොංකොං ආදී රාජ්‍යයන් නියෝජනය කරන චිත්‍රපට 09 ක් තරග වදී. ශ්‍රී ලංකේය චිත්‍රපටයක් මෙකී අංශය නියෝජනය කිරීමට සමත්වූ සිව්වෙනි අවස්ථාව මෙය වන අතර , මීට පෙර 2015 දී ශමීර නාඔටුන්නගේ " මෝටර් බයිසිකල්", 2016 දී රොහාන් පෙරේරාගේ "හීන හොයන සමනල්ලු" සහ 2018 දී සුබා සිවකුමාරන්ගේ "හවුස් ඔෆ් මයි ෆාදර්" යන කුලුඳුල් නිර්මාණ හට එකී අවස්ථාව හිමිවිය.

"මගේ පන්තියේ ළමයෙක්" කොල්කටා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි. "මාගම් සෝලි" කොල්කටා උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය ආසියානු සිනමා ක්‍රේන්ද්‍රය වෙනුවෙන් ඇෂ්ලි රත්නවිභූෂණගෙනි.

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

වසර 17 කට පසුව ශ්‍රි ලාංකේය කුළුදුල් සිනමා නිර්මාණයක් ලොව "A" ශ්‍රේණියේ සිනමා උළෙලකදී සම්මානයට පාත්‍රවේ....ෆිඇප්ෆ් (FIAP...
21/11/2023

වසර 17 කට පසුව ශ්‍රි ලාංකේය කුළුදුල් සිනමා නිර්මාණයක් ලොව "A" ශ්‍රේණියේ සිනමා උළෙලකදී සම්මානයට පාත්‍රවේ....

ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උළෙල 15 න් එකක් ලෙසට වර්ගීකරණය වන එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට් සිනමා උළෙලේ (TALLINN BLACK NIGHT FILM FESTIVAL) 27 වෙනි අදියර පසුගිය 19 වෙනිදා නිමාව දුටු අතර, එහි සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් 18 දින ටාලින්හී ඇලෙක්ස්ඒලා රඟහලේදී අති උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. එහිදී උළෙලේ "කුළුදුල් වෘත්තාන්ත තරගය" (FIRST FEATURE COMPETITION) නියෝජනය කළ ඉලංගෝ රාමනාතන්ගේ "නෙළුම් කුළුණ" (TENTIGO) චිත්‍රපටය විශේෂ ජූරි සම්මානයකින් (SPECIAL JURY AWARD) පිදුම් ලැබූයේ, එදා මෙදා තුර ශ්‍රී ලාංකේය කුළුදුල් සිනමා නිර්මාණයක් ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උළෙලකදී සම්මානයට පාත්‍ර වූ තෙවෙනි අවස්ථාව සනිටුහන් කරමිනි.

ඉලංගෝ රාමානාතන්ගේ ටාලින් උළෙල නියෝජනයත් සමග 1957 සිට 2023 දක්වා වූ වසර 67 කදී, ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණකරුවන් 09 දෙනෙකු සිය කුළුදුල් නිර්මාණය හරහා ෆිඇප්ෆ් අනුමත 'ඒ" ශ්‍රේණියේ සිනමා උළෙල 07 ක් තුළ වූ විවිධ වූ තරගකාරී අංශ නියෝජනය කිරීමට සමත්ව ඇත. එහිදී
*ලෙස්ටර් ජේම්ස් පීරීස් (රේඛාව- කාන්ස්- 1957),
*චන්ද්‍රන් රත්නම් (ආදර කතාව- ඉන්දියානු උළෙල- 1985),
*ඉනෝකා සත්‍යාංගනී (සුළං කිරිල්ලි- ටෝකියෝ- 2002) සහ
*ප්‍රසන්න ජයකොඩි (සංකාරා- කයිරෝ- 2006) අදාළ "ඒ" ශ්‍රේණියේ උළෙලවල ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට සමත්විය.
එසේම
*විමුක්ති ජයසුන්දර (සුළඟ එනු පිණිස- කාන්ස්- 2005),
*මලිත් හෑගොඩ (දැකලා පුරුදු කෙනෙක්- මොන්ට්‍රියල්- 2014),
*ලලිත් රත්නායක (විෂමභාග- ෂැංහයි- 2019) සහ
*ඉලංගෝ රාමනාතන් (නෙළුම් කුළුණ - ටාලින් බ්ලැක් නයිට්ස්- 2023) අදාළ "ඒ" ශ්‍රේණියේ උළෙලවල හොඳම කුළුදුල් සිනමා නිර්මාණය වෙනුවෙන් වූ සම්මානය හෝ හොඳම කුළුදුල් නිර්මාණ වෙනුවෙන් වෙන්වූ තරගකාරී අංශය නියෝජනය කිරීමට සමත්විය. එයට අමතරව සුජීව ප්‍රියලාල් (සුපර්ණා- ටාලින් බ්ලැක් නයිට්ස්- 2019) අදාළ "ඒ" ශ්‍රේණියේ උළෙල තුළ වූ සෙසු නිළ තරගකාරී අංශයක් නියෝජනය කිරීමට සමත්ව ඇත. ඒ අතුරින් විමුක්ති ජයසුන්දර සිය කුළුදුල් සිනමා නිර්මාණය හරහා මේ දක්වා ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ජාත්‍යන්තරය තුළ ලද විශිෂ්ටතම සම්මානය (කැමරාදෝ- කාන්ස්- 2005) දිනා දීමට සමත් වූ අතර, ඉන් අනතුරුව 2006 වර්ෂයේදී ප්‍රසන්න ජයකොඩි සිය කුළුදුල් නිර්මාණය හරහා ඊජිප්තුවේ කයිරෝ සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂක වෙත පිරිනැමූ රජත පිරමීඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ අනුව ඉලංගෝ 2023 ටාලින් උළෙලේදී ලද සම්මානය, ශ්‍රී ලාංකේය කුළුදුල් දීර්ඝ වෘත්තාන්ත නිර්මාණයක් ෆිඇප්ෆ් අනුමත 'ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලකදී ලද තෙවෙනි සම්මානය වේ. එසේම ශ්‍රී ලාංකේය කුළුදුල් නිර්මාණයක් එවන් ශ්‍රේණියේ උළෙලකදී සම්මානයක් දිනාගැනීමට සමත්ව ඇත්තේ වසර 17 කට පසුවවීම මෙහිදී කැපී පෙනේ.

2021 වසරෙන් ඇරඹෙන වත්මන් දශකයේ ශ්‍රී ලාංකේය කුළුදුල් හෝ වෙනත් ඕනෑම චිත්‍රපටයක්, ෆිඇප්ෆ් අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උළෙලක සම්මානයක් දිනූ දෙවෙනි අවස්ථාවද "නෙළුම් කුළුණ" හරහා සටහන් වේ. වත්මන් දශකයේ එවන් ජයග්‍රහණයක් ලද පළමු සිනමා නිර්මාණය වන්නේ 2022 වසරේ ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සංජීව පුෂ්පකුමාරගේ සිව්වෙනි සිනමා නිර්මාණය වූ "විහඟ ප්‍රේමය"යි.

1997 දී සමාරම්භය සනිටුහන් කළ එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට්ස් උළෙල වෙත 2014 වර්ෂයේදී ෆිඇප්ෆ් "ඒ" ශ්‍රේණියේ පිළිගැනීම හිමිව ඇත. 2014 ට පෙර චිත්‍රපටය 06 කුත්, 2014 දී සිට මේ දක්වා චිත්‍රපට 06 කුත් ලෙසින් ශ්‍රී ලාංකේය දීර්ඝ චිත්‍රපට 12ක් ටාලින් උළෙල නියෝජනය කිරීමට සමත්ව ඇත. ඒ අතුරින් ඉලංගෝගේ "නෙළුම් කුළුණට" පෙර, "අහසින් වැටෙයි", "ඇගේ ඇස අග", "අසන්ධිමිත්තා" සහ "සුපර්ණා" ටාලින් උළෙලේ තරගකාරී අංශ නියෝජනය කිරීමට සමත්ව තිබුණද, ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ටාලින් උළෙලේ සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව "නෙළුම් කුළුණ" හරහා සටහන් වේ.

2023 ටාලින් උළෙලේ "කුළුදුල් චිත්‍රපට තරගය" නියෝජනය කිරීමට "නෙළුම් කුළුණ" ඇතුළුව චිත්‍රපට 16 ක් සුදුසුකම් ලබා තිබූ අතර, ඒ අතුරින් නවසීලන්තය නියෝජනය කළ "ද මූන් ඊස් අප්සයිඩ් ඩවුන්" චිත්‍රපටය "හොඳම කුළුදුල් සිනමාපටය" ලෙසින් සම්මානයට පාත්‍ර විය. එහිදී එකී අංශය වෙත නිළ වශයෙන් පිරිනමන විශේෂ ජූරි සම්මාන ද්විත්වය දිනා ගැනීමට එස්තෝනියාව නියෝජනය කළ "මෝ මම්මා" සහ ශ්‍රී ලාංකාව නියෝජනය කළ "නෙළුම් කුළුණ" චිත්‍රපට යුගලය සමත්විය.

"බ්ලැක් කොමඩි" ශානරයට අයත් "නෙළුම් කුළුණ" චිත්‍රපටය කෞෂල්‍යයා ප්‍රනාන්දු , ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, චාන්දනී සෙනෙවිරත්න, තුසිත ලක්නාත්, චමිලා පීරිස්, සුලෝචනා වීරසිංහ, ආලෝකා ගයාත්‍රී සහ රංජිත් පනාගොඩ යන අයගේ රංගනයෙන් හැඩවේ. ඉලංගෝ රාමනාතන්ගේ තිර රචනයෙන්, අධ්‍යෂණයෙන් හා කැමරාකරණයෙන් හැඩවුණු "නෙළුම් කුළුණ" හිරන්‍යා පෙරේරාගේ කුළුදුල් සිනමා නිෂ්පාදනය වේ.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

නෙළුම් කුළුණ පූර්ව ප්‍රචාරකපටය:- https://youtu.be/Kl811jtBM0I?si=uyOne231SW9O8_ib

 #වසර 46 කට පසුව ලෝ ප්‍රකට සිඩ්නි සිනමා උළෙලේ සිනමා ජූරියක හිඳගත් ශ්‍රී ලාංකිකයා.. #ලෙස්ටර්ට පසු සිඩ්නි ගිය විසාකේස....ල...
18/06/2023

#වසර 46 කට පසුව ලෝ ප්‍රකට සිඩ්නි සිනමා උළෙලේ සිනමා ජූරියක හිඳගත් ශ්‍රී ලාංකිකයා..
#ලෙස්ටර්ට පසු සිඩ්නි ගිය විසාකේස....

ලොව පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙසටද, ලොව ප්‍රමුඛ පෙළ අන්තර්ජාතික සිනමා උළෙලක් ලෙසටද, ඕෂේනියානු කලාපයේ ෆිඇප්ෆ් (FIAPF) අනුමැතිය හිමි එකම සිනමා උළෙල ලෙසටද ආදි ලෙසින්, ජගත් සිනමා උළෙල වර්ගීකරණයන්ට ඇතුළත්ව තිබෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිනමා උළෙලේ (SYDNEY FILM FESTIVAL) 70 වෙනි අදියර පසුගිය ජූනි 07 වෙනිදා ආරම්භ වූ අතර, එහි සමාප්තිය අද (18) සිඩ්නිහි පිහිටි ලෝ ප්‍රකට ස්ටේට් රඟහලේදී සටහන් විය.

වාර්ෂිකව සිනමා විෂයෙහි ප්‍රවීනයන්ගෙන් සැදුම් ලබන සිඩ්නි සිනමා උළෙලේ ප්‍රධානතම නිළ ජූරිය (OFFICIAL COMPETITION JURY) මෙවර සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ශ්‍රී ලාංකේය සිනමාපට අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් ඒ අතරට එක්ව තිබීම කැපී පෙනුණි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව යන රටවලට අයත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මෙවර ප්‍රධාන ජූරියේ සභාපතිත්වය ප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂක අනුරාග් කාශ්‍යප් විසින් ඉසිලීය.

1954 වසරේ ආරම්භ වූ සිඩ්නි සිනමා උළෙල ඉතිහාසයේ ජූරියක කටයුතු කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවූ දෙවෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර 1977 වර්ෂයේ පැවැති 24 වෙනි සිඩ්නි සිනමා උළෙලේදී ඕස්ට්‍රේලියානු කෙටි චිත්‍රපට විනිශ්චය සඳහා වෙන්වූ "රූබන් මාමුලියන් සම්මාන ජූරිය" (එවක සිනමා උළෙලේ ප්‍රධාන ජූරිය මෙය විය) නියෝජනය කිරීමේ අවස්ථාව ලෙස්ටර් ජේම්ස් පීරිස් හට හිමිවිය. ඒ අනුව වසර 46 ක් වැනි දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලාංකිකයෙකුට සිඩ්නි සිනමා උළෙලේ ජූරියක කටයුතු කිරීමට ඇරයුම් හිමිවීම විශේෂත්වයකි.

සයපෙති කුසුම, පාංශු සහ මනල් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජාතික හා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ විසාකේස චන්ද්‍රසේකරම්, විදෙස් රටක ක්‍රියාත්මක අන්තර්ජාතික සිනමා උළෙල ජූරියක කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ. එසේම 60 වසරකට ආසන්න ශ්‍රී ලාංකේය ජූරි නියෝජන ඉතිහාසයේ අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කළ
45 වෙනි ශ්‍රී ලාංකිකයා ලෙසත් 15 වෙනි ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයා ලෙසත් විසාකේස චන්ද්‍රසේකරම් මෙරට සිනමා ඉතිහාසයට එක්වේ.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

"ද නිවුස්පේපර්" ලොව "A" ශ්‍රේණියේ ෂැංහයි සිනමා උළෙලේ තරගකාරී-නොවූ හොඳම කුලුඳුල් සිනමාපට 12 අතරට තේරීපත් වේ....සිනමාපට නි...
08/06/2023

"ද නිවුස්පේපර්" ලොව "A" ශ්‍රේණියේ ෂැංහයි සිනමා උළෙලේ තරගකාරී-නොවූ හොඳම කුලුඳුල් සිනමාපට 12 අතරට තේරීපත් වේ....

සිනමාපට නිෂ්පාදකයින්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික ජාතික සම්මේලනය" (International Federation of Film Producers Association) හෙවත් "ෆිඇප්ෆ්" (FIAPF) ආයතනය විසින් 2023 වසර වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ලොව ''A" ශ්‍රේණියේ සිනමා උළෙල සංඛ්‍යාව 14 කි. ඒකී උළෙල 14 අතර රැදෙන චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SHANGHAI INTERNATIONAL FILM FESTIVAL) 25 වෙනි අදියර ජූනි 09 වෙනිදා (හෙට) සිට 18 වෙනිදා දක්වා චීනයේ ෂැංහයි නගරය ආශිත්‍රව පැවැත්වෙන අතර, මෙවර එම උළෙල නියෝජනය කිරීමට වරම් ලද එකම ශ්‍රී ලාංකේය චිත්‍රපටය බවට "ද නිවුස්පේපර්" පත්ව ඇත.

1993 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කළ ෂැංහයි උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට වරම් හිමිවූ 09 වෙනි අවස්ථාව "ද නිවුස්පේපර්" හරහා මෙවර සටහන් වේ. එසේම වසර හතරකට පසුව ෂැංහයි උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් තේරීපත්ව තිබීමද විශේෂත්වයකි. මීට පෙර 1993 දී 'යුවතිපති', 1997 දී 'අනන්ත රාත්‍රිය', 2009 දී 'මචං', 2014 දී 'තණ්හා රතී රඟා' හා 'හෝ ගානා පොකුණ', 2015 දී 'ප්‍රේමය නම්', 2017 දී 'ආලෝකෝ උදපාදි' සහ 2019 'විෂම භාග' ෂැංහයි උළෙල නියෝජනය කිරීමට වරම් ලැබීය.

තරගකාරී සහ තරගකාරී- නොවන යන ප්‍රධාන කාණ්ඩ ද්විත්වය යටතේ චිත්‍රපට 450 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර උළෙල නියෝජනයට සුදුසුකම් ලබා ඇති අතර, "ද නිවුස්පේපර්" චිත්‍රපටය තරගකාරී නොවූ 'ඉන්ටර්නැෂනල් පැනොරාමා' (INTERNATIONAL PANORAMA) කාණ්ඩය යටතේ උළෙල නියෝජනය කෙරේ. එහිදී එකී කාණ්ඩය යටතට ඇතුළත් වූ උළෙලේ හොඳම කුළුදුල් සිනමා නිර්මාණ 12 වෙනුවෙන් වෙන්වූ 'වර්ල්ඩ් ඩිබියු' (WORLD DEBUT) නම් වූ අනු කාණ්ඩය යටතේ උළෙල නියෝජනය කිරීමට "ද නිවුස්පේපර්" චිත්‍රපටය උළෙලේ තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබීම, 'ද නිවුස්පේපර්" චිත්‍රපටය ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

2022 වසරේ පටන් "ෆිඇප්ෆ්" අනුමත ලොව "B" ශ්‍රේණියේ සිනමා උළෙල ඇතුළුව සිනමා උළෙල 09 ක් නියෝජනය කරමින් අන්තර්ජාතික සම්මාන 08 කින් පිදුම් ලබා ඇති "ද නිවුස්පේපර්", ලොව "A" ශ්‍රේණියේ සිනමා උළෙලක තිරගත වන පළමු අවස්ථාව මෙය වේ. එසේම 2023 වසරේදී "ෆිඇප්ෆ්" අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලක තිරගත වන පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටයද "ද නිවුස්පේපර්" වේ. "ද නිවුස්පේපර්" අවස්ථා තුනකදී (ජූනි 09, 12 සහ 18) ෂැංහයි උළෙලේ තිරගත වීමට නියමිතය.

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ "ද නිවුස්පේපර්", බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන අතර, සම නිෂ්පාදනය එච්.ඩී ප්‍රේමසිරි හා රවින්ද්‍ර ගුරුගේගෙනි.

"ද නිවුස්පේපර්" ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලට ඉදිරිපත් කිරීම හා උළෙල සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි.

සටහන - උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankans at International Film Festivals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share