07/07/2025
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් රාජ්‍ය සම්පත් අවභාවිතා කරන බවට චෝදනා කරමින්, කිසියම් පාර්ශ්වයක් පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්වය චෝදනා කර සිටියේ කතානායකවරයා නිල නිවාස දෙකක්, රථ වාහන කිහිපයක් සහ සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් සිටින බවයි.
මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.
එම නිවේදනයට අනුව, වත්මන් කතානායකවරයා, මීට පෙර කතානායකවරු ලබාගෙන තිබූ අසීමිත ඉන්ධන දීමනාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, කැබිනට් අමාත්‍යවරයෙකුට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පමණක් ලබා ගැනීමට තීරණය කර තිබෙන බවයි
කතානායකවරයාට නිල මෝටර් රථ දෙකක් හිමිවන අතර, කතානායක මාධ්‍ය ඒකකයේ භාවිතය සදහා වෑන් රථයක් භාවිතා කරයි. කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය අට දෙනෙකුගෙන් සැදුම් ලබන අතර කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් සහ මහජන සම්බන්ධතා නිළධාරී යන තනතුරු සදහා නිල රථ සහ ඉන්ධන දීමනා හිමි වනවා.
කතානායකවරයා ඔහුගේ නිල නිවස භාවිතා නොකරන අතර ඒ වෙනුවට, සියළු රාජකාරී කටයුතු සිදු වන්නේ පාර්ලිමේන්තුවේ ඇති කතානායක කාර්යාලයේ දී.කතානායකවරයා තාවකාලිකව පදිංචි වී සිටින ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සදහා මාසික කුළිය ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවීම සිදු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.