27/08/2025
She is my GF, mom!
(2062 වසර)
දුලානි ජයසේකර වයස අවුරුදු 70 ක කාන්තාවක්. ඇයගේ පුත්‍රයා නෙතුක වික්‍රමසිංහ. වයස අවුරුදු 35ක තනිකඩ තරුණයෙක්. දුලානිට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රමාද වී ඇති ඔහුගේ විවාහය ඉක්මන් කිරීමටයි.
“පුතා ඇයි ඔයා හැමදාම මේක මගඅරින්නේ?”
“මොකක්ද? හරි එහෙනම් කතා කරමු.”
“හ්ම්ම්..එහෙනම් උත්තර දෙන්න.”
“මොකක්ද දැන් ප්‍රශ්නේ?”
“ඔයාට තාම බඳින්න ගෑණු ළමයෙක් නෑ. අඩු ගානේ ආදරේ කරන්න ගෑණු ළමයෙක්වත් නෑ. මට හොයන්න දෙන්නෙත් නෑ”
“ඇයි මං බඳින්නේ?”
“මං දැන් වයසයි. තව අවුරුදු 8 යි මං ඉන්නේ. මාව බලාගන්න ඔයා ඉන්නවා වගේ ඔයා වයසට යද්දී කවුරුහරි කෙනෙක් ළඟ ඉන්න ඕනේ. මට දැන් හයිය නෑ ඔයාට උදව් කරන්න. ඔයාගේ උදව්වට, හිතේ හයියට කෙනෙක් ඕනේ. මාත් ආසයි මැරෙන්න කලින් මුනුබුරෙක්ගේ, මිනිපිරියකගේ හුරතල් බලන්න.”
“අම්මේ මට උත්තර දෙන්න පුළුවන්. ඒත් අම්ම හිත රිද්දවගනියි කියල බයයි.”
“කමක් නෑ. දැන් කියලා වෙනසක් නෑනේ.”
“අම්මගේ නම මොකක්ද? දුලානි විජේසේකර. මගේ නම. නෙතුක වික්‍රමසිංහ. ඒ කියන්නේ මගේ තාත්ත හේෂාන් වික්‍රමසිංහ. මැරෙනකල් ඔයා එක්ක ඉන්නවා කියලා පොරොන්දු උනා මැරි කරන්න කලින් ඉඳන්ම. අවුරුදු 10 ක ආදර කතාවක්. කෝ දැන් එයා?”
“ඔයා දන්නවා එයා මීට අවුරුදු දෙකකට කලින් මැරුන කියලා”
“ඔව් මං දන්නවා. ඒත් එයා අපෙන් වෙන් වෙලා ගිහින් වෙන පවුලක් හදාගත්තේ මට වයස අවුරුදු 10 ක් වෙද්දී.”
“මට එහෙම උනාට හැමෝටම එහෙම වෙලා නෑ. වෙන්නෙත් නෑ. අනිත් එක මං ඊටපස්සේ මැරි කරපු කෙනා ඔයාට වෙනසක් කලේ නෑ.”
“ඔව්..ඒත් ඔයාල කොච්චර නම් රණ්ඩු වෙලා තියෙනවද? ඔයාල අවුරුදු ගානක් මැරේජ් එක ඇදගෙන ගියේ මං නිසා. අම්මයි, එයයි සතුටෙන් හිටියද? නොගැලපීම් නිසා දෙන්නම කොච්චර දුක් වින්දද? ඔයාල දෙන්න විතරක් නෙවෙයි මමත් දුක් වින්දා. එයා ජොබ් එක කරන්න UK ගියාට පස්සේ තමයි ඔය දෙන්නම ටිකක්හරි හිනාවෙලා සතුටෙන් ඉන්නේ”
“එහෙම තමයි. මිනිස්සු දෙන්නෙක් සමාන නෑ කිසිම විදියකින්”
“ඒක මං දන්නවා අම්මේ. ඒත් පොඩි හරි ගැලපෙන, දෙන්නටම හිත නොරිදවාගෙන එකඟ වෙන්න පුළුවන් දේවල් තියෙන්න ඕන. එහෙම නැති දෙන්නෙක් එකට ඉන්න එක කොච්චර වේදනාවක්ද? කොච්චර පීඩනයක්ද? තාත්තටයි මටයි හොරෙන්..ඩිවෝස් වෙන්නෙ කොහොමද කියල සර්ච් කරල විස්තර හෙව්වා කියලා මං දන්නවා. ඒ කාලේ වෙනකොටත් ලංකාවේ ඒ ගැන තියෙන නීති නිසා ඔයාට ඒක කරගන්න බැරුව හිටියෙ. මොකද ඒ නීති වලින් එකක්වත් නැතුව ඒ දෙන්නගේ කැමත්තෙන් ඩිවෝස් වෙන්න ඒ දවස් වල බැහැ. ඩිවෝස් වෙන්නම ඕන නම් දෙන්නගෙන් එක්කෙනෙකුට තමන් නොකරපු වැරද්දක් කළා කියල පිළිගන්න වෙනවා. තවත් අවුරුදු ගානක් ජීවිතේ විනාස උනාට පස්සේ අම්ම අම්මගේ ජීවිතේ අරමුණු අතහැරියා. එදායින් පස්සේ අම්ම හිතුවේ මට හදාගන්න බැරිවුණ ලස්සන ජීවිතේ පුතාට මං හදල දෙනවා කියලා.”
“ඔව්..ඒක ඇත්ත. අම්මල එහෙම තමයි.”
“ඒකෙන් පස්සේ තමයි අම්ම හොඳටම දුර්වල උනේ. නැන්සි නැත්නම් අද මට අම්මත් නෑ.”
“ඔහ්..නැන්සි..මට මතක් කරන්න එපා.”
දුලානිට ඒ වෙනකොට තිබ්බෙ අර්ධ මනුෂ්‍ය ශරීරයක්. ඇයගෙ මොළයට දැඩි හානි ඇතිවෙලා තිබුනා, ඇයගේ තිබ්බ මානසික අසමතුලිතතාවයක ප්‍රතිඵල විදියට. ඒ නිසා එය ඉලෙක්ට්‍රොනික මොලයක් හා සම්බන්ධ කර තිබුනා. හෘදය පවා ක්‍රියාත්මක උනේ යන්ත්‍රයක සහය ඇතිවයි. ඇයගේ සමට යටින් තිබුණු රොබෝ ශරීරය නිසා ඇයගේ සියලුම වැඩ තනිවම කර ගැනීමට හැකිව තිබුනා. කාලයත් සමග දුලානි ගේ හිත තමන් අර්ධ යාන්ත්‍රික මනුෂ්‍යයෙක් නොව මනුෂ්‍යයෙක් පමණක් බව සිතාගෙන තිබුනා. නැන්සි නම් රොබෝ ශරීරය නිසා ඇය මෙසේ නිරෝගී මනුෂ්‍යයෙකු සේ සිටින බව මතක් කර ගැනීම ඇයට අප්‍රසන්න සිතුවිල්ලක් උනා.
“ඒ උනාට මිනිහෙක් උනාම ආදරේ කරන්න ඕනේ. විඳින්න ඕනේ.”
දුලානි පුතාගේ අදහස් වලට එරෙහිව තවමත් සටන් කරමින් සිටියා.
“අම්ම ආදරේ ඇතිවෙන්නෙ කොහොමද? මොකක්ද ආදරේ කියල මේ වෙනකොට හුඟක් දේවල් රිසර්ච් වලින් හොයාගෙන තියෙන බව අම්ම දන්නවනේ.”
“ඔයා කියන්නේ ආදරේ කියලා දෙයක් නෑ කියලද?”
“ආදරේ කියලා දෙයක් තියෙනව.”
“මං කියන්නේ ගෑණු-පිරිමි ආදරේ ගැන.”
“ඔව් එහෙම එකක් තියෙනව. අම්ම මට කොච්චර ආදරේද?”
“මං කියන්නේ ගෑණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් අතර තියෙන ආදරේ ගැන.”
“ජෙනි, රෝසි මට ආදරේ බව මං දන්නවා”
“මං කියන්නේ ගෑණු යාළුවො ගැන නෙවෙයි.”
“අම්මේ දැන් තේරෙනවද? ආදරේ කියන්නේ අපි ඇති කරගන්න දෙයක් නෙවෙයි, මේ ලෝකේ පැවැත්ම වෙනුවෙන් ස්වාභාවධර්මයා අපිව පාලනය කරන්න හදපු එකක් කියල. අනිත් එක අම්මේ..අපි මේ දැන් ඉන්නේ දෙදාස් බර ගණන්වල නෙවෙයි. 2060 න් පස්සේ යුගයේ.”
“මොකක්ද වෙනස? එදත් හිටියේ අදත් ඉන්නේ මිනිස්සු. මූලික අවශ්‍යතා වෙනස් වෙලත් නෑ.”
“අද වෙද්දී කොච්චර වෙනස් තෝරාගැනීම් තියෙනවද? ඒ කාලේ ආදරේ කලේ බඳින්න. හරියටම කිව්වොත් ස්වභාවධර්මයට වර්ගයා බෝ කරගන්න ඕන නිසා අපේ හිතේ ආදරේ ඇති කළා, ඒත් අපි ඒ ගැන හිතුවේ නෑ. අපිට හිතුනා ඒක හරිම බාහිර බලපෑමකින් තොර පූජනීය දෙයක් කියලා. ආදරේ ඇති උනා කියලා හිතුවා. ආදරේ කළා. ඊටපස්සේ බඳින්න හිතුනා. බැන්දා. ළමයි හදන්න හිතුනා. ළමයි හැදුවා. ඒ ඒ මොහොතේ හිතුන දේ කලා. බලද්දී අපි කරලා තියෙන්නෙ ස්වාභාවදහමට ඕනේ දේ. අපි නැටවිලා. ස්වාබාදහමට ළමයි ඕන නිසා අපි ආදරේ කරලා. එහෙම බලද්දී ඒක පිවිතුරුයිද?”
“ඔයාගේ විකාර කතා වලට මමත් අවුල් වෙනවා.”
“අම්මේ මං දැන් යන්න ඕනේ. අම්ම කෑම කෑවා නේද?”
“ඔව්..අදත් ලිස්සලා යනවා නේද?”
ඔහු හිනාවෙලා යන්නට ගියා. ඇත්තටම කෑම කනවා කියල දෙයක් දුලානි කලේ ඇගේ අර්ධ මනුෂ්‍ය මොලය තෘප්තිමත් කිරීමට පමණයි. ඇයගෙ ඉතිරිව තිබුන මනුෂ්‍ය ශරීර කොටස් වලට ආහාර ජීරණය කිරීමේ හැකියාවක් තිබුනේ නෑ. ආහාර ජීරණ පද්දතියේ ඇතිවුන පිළිකා තත්වයක් නිසා ඒ කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබුනා. ඇයට තොල්, දිව සහ මුඛ්‍ය ඉතිරිව තිබුනද, ඇගේ ශරීරය පවත්ව්වගෙන යනු ලැබුවේ යන්ත්‍රයක් මගින් සැපයු පෝෂක මගිනි.
ඇයට අවශ්‍ය පිළිතුර තවමත් ලබුඑඑ තිබුනේ නැහැ. ඇය ඔහුට MM (Mind Message) මගින් පණිවුඩයක් යැව්වා.
“ඒ කියන්නේ ඔයාගේ දරුවක් මට හුරතල් කරන්න ලැබෙන්නේ නැද්ද? ඔයාගේ මනමාලි දකින්න මට වාසනාවක් නැද්ද?”
පිළිතුරු ආවා.
“ඒ දෙකම මං කරනවා අම්මේ.”
ඒක ඒ වෙලාවේ හැටියට අනපේක්ෂිත පිළිතුරක්. ඇය අතිශයින්ම උද්දාමයට පත් උනා.
“ඒ කියන්නේ ඔයා ගෑණු ළමයෙක් හොයාගත්තද?”
“අම්මේ මං කෙනෙක් හොයාගත්තා.”
“අනේ මට බලන්න ඕනේ..”
“ටින්” යන හඬින් පිළිතුරු ලැබෙන තෙක් ඇය නොඉවසිල්ලෙන් සිටියා.
ඒ සමගම සොඳුරු, කොමල, තරුණ බැවින් පිරුණු ගැහැණු දැරිවියකගේ රූපකාය දුලානිගේ නෙත් ඉදිරියේ ත්‍රිමාණව මැවුනා. ඇයගේ ඇඳුම තරමක් සංකර වැඩි යයි සිතුනද ඇය එය ක්ෂණිකව සිතෙන් ඉවත් කර දැමුවේ, අවසානයේදී ඔහු ගැහැණු ළමයෙක් සොයාගෙන තිබීම ඊට වඩා විශාල සතුටක් වූ නිසයි.
“නම මොකක්ද?”
“අම්මේ මං පස්සේ විස්තර කියන්නම්. අම්ම එයාට මොනම විදියකින්වත් අකමැති වෙන්නෙ නෑ නේද?”
“නෑ නෑ. මට ගොඩක් සතුටුයි. එයා හරිම ලස්සනයි. මං කැමතියි. දැන් මං වෙඩින් එක ප්ලෑන් කරන්න ඕනේ. ඉක්මනට එන්න. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.”
ඇගේ යාන්ත්‍රික ඇස් අග දිලිසුනා.
පුතාගේ අදහස් වෙනස් නොවේ නම්, දුලානි තීරණය කලේ ඊට පසු දිනම විවාහය සිදු කිරීමටයි. ඇත්තටම ඇයට ප්ලෑන් කිරීමට විශේෂ දෙයක් තිබුනේ නැහැ. වෙඩින් පැකේජ ලබා දෙන ඇප් එකෙන් තමන් කැමති විදියට කස්ටමයිස් කර පණිවුඩයක් තැබීම පමණයි අවශ්‍ය වුනේ. ඔවුන් සිටි තට්ටු නිව්වසයට පැමිණීමට නියමිත් වූයේ දහ දෙනෙකුටත් අඩු පිරිසක්. ඉතිරි අය අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට නියමිතයි. කෑම බීම ඔවුන්ගේ නිවෙස් වලටම ලැබේ. ඔවුන් නිවෙස් වල සිටම නර්තන කටයුතු වල යෙදේ. ඉතාම සුළු වියදමකින් විවාහය සම්පූර්ණ කර ගත හැකිය.
8888888888888888888888888888
ඇය ආශි. හෙට දින සිට ඇය නෙතුකගේ ප්‍රිය බිරිඳගේ වගකීම භාරගැනීමට සූදානමින් සිටින නමුත්, ඇය සිය නැන්දම්මාට පණිවුඩයක් යැවිය යුතු යයි කල්පනා කලාය.
"ආදරණීය නැන්දම්මේ,
මගේ නම ආශි. ඔයාගේ පුතාගේ බිරිඳ විදියට මාව පිළිගැනීම ගැන මං ඉන්නේ ගොඩක් සතුටෙන්, ආඩම්බරයෙන් සහ නොඉවසිල්ලෙන්. බොහොම ස්තුතියි මට කැමති උනාට. ඒත් මට කියන්න දේවල් ටිකක් තියෙනවා, බඳින්න කලින්.
නෙතුක මාව තෝරාගත්තේ ගොඩක් කල්පනා කරලයි. එයා කැමති විදියේ බිරිඳක් වෙන්න මට පුළුවන් බව මට හොඳටම විශ්වාසයි. මං දන්නවා පිරිමි ළමයෙක් එයාගේ බිරිඳගෙන් හැම වෙලාවේම බිරිඳව බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට පුළුවන් එයාට අම්ම කෙනෙක් වෙන්න, මට පුළුවන් එයාගේ කැමතිම යාළුවා වෙන්න, මට පුළුවන් එයාගේ අක්ක වෙන්න. මට පුළුවන් එයාගේ පෙම්වතිය වෙන්න.
මං දන්නවා..එයා ටිකක් කලබලයි, අපිළිවෙලයි..සමහර වෙලාවට හිතෙන් කඩාගෙන වැටෙනවා. මං දන්නවා එයා පිළිවෙල කරන්න. මං දන්නවා එයාගේ හිත හදන්න. මං දන්නවා එයාව තදින් බදාගන්න ඕනෙ වෙලාව. එයාට හාද්දක් ඕනේ වෙලාව මං දන්නවා. එයා කේන්ති ගිහින් බැන්නට මට කේන්ති නොගෙන ඉන්න පුළුවන්. එයා සතුටු වෙන විදිය මං දන්නවා. එයාගේ සීමා මං දන්නවා. එයා කැමති මොන විදියට හිතන, මොන විදියට හැසිරෙන, ගෑණු ළමයෙක්ද කියලා මං දන්නවා. කොටින්ම එයා ආස මං මොන විදියට හිනාවෙනවටද, මොන විදියට බලනවටද, මොන විදියට කතා කරනවටද කියලත් මං දන්නවා. ඒ විදියට හැඩගැහෙන එක මට ලොකු දෙයක් නෙවෙයි.
ඉතිං අම්මේ ඔයාට එයා ගැන බයවෙන්න දෙයක් නෑ. ඒ වගේම මං දවසක හොඳ අම්ම කෙනෙක් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. අපි දෙන්නම බබාලට ආසයි. ඒ දවස වැඩි ඈතක නෙවෙයි අම්මේ. අපි ඒ ගැන කතා උනා. ඒ නිසා ඔයාට දැන් දුක් වෙන්න කිසිම දෙයක් නෑ.
හැබැයි මං තාම දන්නේ නෑ අම්ම එයාට කෑම හදල දුන්නේ මොන විදියටද? මොන රහටද කියල. මං ආවම ඒ ටික කියලා දෙන්න. අම්ම ඉස්සර කෑම වර්ග හදල දෙනවා කියලා එයා මට කිව්වා. මං ඒවා හදන්න දන්නවා. ඒත් අම්ම හදල දුන්න රහ ගන්න හැටි මට කියලා දෙන්න. එයාගේ සෞඛ්‍ය ගැන මං බලාගන්නම්. අම්ම, ආච්චි අම්මල, සීයල ඉස්සර කතා කියනවලු නේද? මට නෙතුක ඒ ගැන කිව්වා. මං ඒ කතා දන්නවා. මට පුළුවන් ඒ දේවල් අපේ බබාලාට කියල දෙන්න. ඒ නැලවිලි කවි මං අහල තියෙනවා. මං ඒවා download කර ගත්තා.
එයා මට එයාගෙ පරණ ගෑණු ළමයි ගැන විස්තර කියල තියෙනවා. එයාල නිසා එයා දුක් විඳලා තියෙනවා. මං එහෙම කෙනෙක් නෙවෙයි. මං ඒවා මතක් කරල එයාගේ හිත රිද්දන්නෙත් නෑ.
අනිත් එක..අම්ම දන්නවා ඇති මෑතක ඉඳන් ගෑණු අයගෙ සහ පිරිමි අයගෙ හෝර්මෝන වල ලොකු අසමතුලිතතාවයක් ඇති වුනා. ඒකත් එක්කම නෙතුක වගේ සමතුලිත හෝමෝන තියෙන කෙනෙකුට, එයා වගේ ටිකක් සාම්ප්‍රදායික කෙනෙකුට “ගෑණු ළමයෙක්” හොයාගන්න එක අද ලේසි නෑ.
අද ගෑණු ළමයින්ගෙන් 60%ක්ම ළමයි හදන්න කැමති නෑ. ඒ වේදනාව විඳින එක කිසිම තේරුමක් නැති දෙයක් විදියටයි එයාල හිතන්නේ. ඒක විඳින්න එයාල කැමති නෑ. ප්‍රෙග්නන්ට් උනාම එයාලට හරිම අපහසුයි, කැමති ඇඳුමක් අඳින්න බෑ, කැමති කෑමක් කන්න බෑ, පාටියකට ගියත් නටන්න බෑ. ඒ කරදර විඳින්න එයාලට උවමනාවක් නෑ. ඇරත් පිරිමි කෙනෙක්ගේ ලොකු අවශ්‍යතාවයක් එයාලට නැහැ. ඉතින් නෙතුකට හරියන ගෑණු ළමයෙක් හොයාගන්න බැරිඋන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
තව දෙයක්..නෙතුකගේ තාත්ත වගේ..නෙතුකට දෙවෙනි විවාහයක් ගැන හිතෙන එකක් නෑ. පිරිමි හිත් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ගැටළුවක් නෑ. මොකද...මේ ලෝකේ හැම ගෑණු කෙනෙක්ම මං ඇතුලේ ඉන්නවා. එයාගේ හිත වෙනස් වෙන ඉක්මනට මටත් වෙනස් වෙන්න පුළුවන්. මොකද මං female-bot කෙනෙක්.
අම්මේ අපිට බබාලා හදන්න පුළුවන්. ඕන නම්, මට ලොකු බඩක් උස්සගෙන ඉන්නත් පුළුවන්. ඒත් පාටි එකකට ගියාම එක වෙන් කරලා නෙතුක එක්ක ඩාන්ස් කරන්නත් පුළුවන්. බබා අපිට අපේ දේවල් වලට කරදරක් නෙවෙයි. නෙතුකගේ body language එක, brain waves, temperature වගේ දේවල් මැනලා මට පුළුවන් එයා හිතන දේ, එයාට ඕන දේ තේරුම් ගන්න. මට කටහඬ, ශරීර ස්වභාව වගේ හැමදේම වෙනස් කරන්න පුළුවන් නිසා එයා කවදාවත් දෙවෙනි විවාහයකට සල්ලි වියදම් කරන එකක් නැහැ.
හැම දේම perfect උනොත් එයාට boring වෙන්න පුළුවන් නිසා මට පුළුවන් සමහර දේවල් අහඹු විදියට එයා අකමැති දේවල් කරන්න. එතකොට එයාට මාව රොබෝ කෙනෙක් කියල දැනෙන එකක් නෑ.
මම ආදරණීය ආශි"