28/10/2025
මං මේක ලිව්වෙ ඊයෙ.. මේ දැන් දැකපු news එකක්.. දෙයියනේ.. 😭😭😭
https://www.facebook.com/share/p/1ASLZwkLmn/
අයියගෙයි නංගිගෙයි යාලුකම හදපු හැටි...
Sibling කෙනෙක් ඕන උනේ අයිය හා හා පුරා කියල ඉස්කෝලෙ යන්න පටන් ගත්ත කාලෙ.. ගෙදර ඇවිත් නාහෙන් අඬන්න ගත්තෙ ඒ කාලෙ යාලුවො එක්ක play කරල ඇවිත් ගෙදර ආවම පාලුයි කියල.. ඉතිං මොකද කරන්නෙ?
ඒත් පහුගිය අවුරුද්දටම අපිට තිබ්බ ලොකුම target එක PR දාගන්න එක. බබෙක් ආවොත් paid maternity leave ත් නෑ. Sponsored visa එකක හිටියෙත්. රස්සාවත් අමුතුම රස්සාවක්. Travelling වැඩියි. උදව්කාරයො ගෙන්නගන්න වත් තත්වයක් තිබ්බෙත් නෑ.. හැමදේම කරගන්නෙ අපි දෙන්නා තනියම ටිකක් අස්ථාවර තත්වයක්.. එතකොට මොකද කරන්නෙ..?
හැබැයි ඒ අස්සෙ අපි දෙන්න වයසටත් යනව. අපෙන් පස්සෙ පුතා මේ රටේ තනියම. තමන්ගෙ කියන්න කෙනෙක් නෑ. මං තනි ලමය විදියට කාපු කට්ටත් මතක් වෙනව. පුතත් ටිකක් තේරෙන වයසෙ.. එයාටත් පාලුව දැනෙනව..
ඉතිං ඒවත් එක්ක යම් මොහොතක් ආවට පස්සෙ අපි දෙන්නම තීරණය කරනවා කෙනෙක් එන්න ඉන්නවනම් එන්න ඉඩ දෙන්න.. 😉
ඉතින් කොහොමින් කොහොම හරි
PR එකට ඕන Skill assessment, English exam, Naati අරව මේව ඔක්කොම ගොඩ දාල ඒකෙ වැඩ ටික ඉවර කරගන්නකොටම මෙන්න හොරා වගේ එක්කෙනෙක් ඇවිත්.. ❤️😅
ඊලඟට තිබ්බ ලොකුම බය... කොච්චර කිව්වත් පුතාට මේ අත්දැකීම හොඳ යහපත් දෙයක් කරගන්නෙ කොහොමද? අවුරුදු ගාණක් රජා වගේ දෙන්නගෙම ආදරයට මදි නොකියන්න වග කියපු පුත්‍රයා, අපි දෙන්න ඇර වෙන අහල පහල තමන්ගෙ කාත් කවුරුත් නැති තවත් පොඩි දරුවෙක් උන එයාව මේකට හැඩගැහෙන්න හුරු කරගන්නෙ කොහොමද..
ඔන්න ඔතනදි මෙතුවක් කල් අහල දැකල කියවල තියෙන හැම ලොකු පොඩි technique එකම අපි පාවිච්චි කරා.. ලේසි වැඩක් නෙවේනෙ ලමෙක් ගෙ මනස එක්ක ගණුදෙනු කරල එයාගෙ ජීවිත කාලෙටම එකට ඉන්න එයාගෙ හොඳම යාලුවව හදන එක. මං කොහොමත් බුකියෙ අතට අහුවෙන හැම ලිපියම වගේ කියවන නිසා පොඩි කාලෙම දෙමව්පියෝ වෙනස්කම් කරපු ලමයි, තමන්ට වඩා තමන්ගේ සහෝදරයන්ට දෙමව්පියෝ සලකපු විදිහත් එක්ක හිත රිදවගෙන ඉන්න කතා ඕන තරම් කියවලා තියෙනවා. ඉතිං බැරෑරුම් වැඩක්... විශේෂයෙන්ම පුතා ඒ වෙනකොටත් තේරෙන වයසක ඉන්න නිසා.
අපි ඉතිං ඒ වෙනුවෙන් කරපු දේවල් පහළින් බෙදා හදා ගන්නවා ළමයි කියන විෂයේදී අපිත් අතිශය සංවේදී අය නිසා. කොතැනක හරි ළමයෙක් මේ ලියන දේවල් නිසා යහපත් තත්වෙකට වැටුනොත් ඒ ඇති..
අපි මේක මුලින්ම පටන් ගත්තේ බබා කුසේ ඉන්න කාලෙමයි. අයියට අපි හැම වෙලේම කිව්වේ "මේ එන්නෙ ඔයාගෙ නංගියා... ඔයාගෙ best friend.. දවසක ඔයාල දෙන්නා තමයි එකට ඉන්නෙ...ඔන්න ඔය වගේ කතා... පුළුවන් හැම වෙලාවකම scan එකට යනකොට අපි එයාවත් එක්ක ගෙන යන්න පුරුදු වෙලා හිටියේ.. එයත් එතකොට තිරයෙන් පේන පුංචි ජීවියා දිහා බලාගෙන උන්නා.. බබා kick කරනකොට අතගාල බලන්න දුන්නා.. ඉතිං එයා එයාට තේරෙන හැටියට ඒකට මානසිකව සූදානම් උනා..
තව Baby center app එකේ due date set කරාම අපිට බබා grow වෙන හැටි track කරන්න පුලුවන්නෙ. ඒකෙ බබාගෙ size එක පෙන්නන්නෙත් එක එක එළවලු, පලතුරු වල size පාවිච්චි කරල. එයා හරිම ආසාවෙන් ඔය වැඩේ track කලා මුල ඉඳන්ම. "Let's see the size of the baby" කියාගෙන ඇවිත් දවස ගාණෙ ඕක check කරන එක බබා හම්බෙනකල්ම එයාගෙ දින චරියාවෙ කොටසක් උනා..මං හිතන්නෙ ඒකත් එයාට මේ වැඩේට මනසින් සූදානම් වෙන්න හේතු උනා..
අනික් කාරණේ, මට තිබ්බ සංකූලතා කීපයක් නිසා කොයිකටත් කියලා ඕන වෙලාවක ඉස්පිරිතාලේ යන්න ලෑස්ති වෙලා තමයි මම හිටියේ.. ඒ වෙනකල් පුතා නිදාගන්න පුරුදු වෙලා හිටියේ අපි දෙන්නා එක්කමයි.. ඉතින් මට ඉස්පිරිතාලෙ දවස් කීපයක් ඉන්න වුනොත් ඒක මෙයාට බලපාලා බබත් එක්ක තරහක් හදාගන්න ඉඩ තියෙන නිසා මම පුළුවන් හැම වෙලාවෙම එයාට මේ අවස්ථාවට මුහුණ දෙන්න වෙයි කියලා එයාව පෙර සූදානම් කලා. ඒවා ගැන කතා කරන වෙලාවට තාත්තත් ලඟ ඉඳගෙන එයාට තේරුම් කෙරෙව්වා, අම්ම ඉස්පිරිතාලේ හිටියත් තාත්තා එයා එක්කම තමයි ඉන්නේ කියල සහ පුලුවන් හැම වෙලේකම අම්මා වයි නංගිවයි බලන්න එයාව එක්ක යන බවත් කියලමයි තිබ්බේ. අම්මට ඉස්පිරිතාලෙට වෙලා දවස් ගාණක් ඉන්න වෙයි කියලා කියනකොට මුල් දවස් ටිකේ පුතා අඬාවැටුනා මට තාම මතකයි. එයා කොහොමත් අතිශය සංවේදී දරුවෙක්. හැබැයි ටික ටික දවස් ළං වෙනකොට ඒ දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක් කියන එක එයා තේරුම් අරගෙන තිබ්බේ. මං ඉස්පිරිතාලේ ඉන්න දවස් ටිකේ පුතා එක පාරක් වත් අඬන්නැතුව තාත්තා එක්ක නිදාගෙන තිබ්බ. ඉතින් ඒ පෙර සූදානම කරේ නැත්නම් ඒ අවස්ථාවට ළමය මුහුණ දෙන්න අමාරු වෙන්න ඉඩ තිබ්බා.. එතකොට නංගි එනකොටම එයා හිත නරක් කරගෙන ඉන්ඩ ඉඩ තිබ්බා...
ඊළඟට බබා හම්බුන දවසේ නංගි එනකොට එයාට ගෙනාව කියල chocolate වලින් හදපු මල් පොකුරක් අපි එයාට දුන්නා. චොක්ලට් ටික කාලා ඉවර කරාට ඒකෙ තිබ්බ මල් වගේ plastic කෑලි මිනිහ තාම ළඟ තියාගෙන ඉන්නව.. ඒ තරම් ආදරෙන්...
එයා මං hospital ඉන්නකොට බලන්න ආව වෙලාවටත් එයාව හොඳට වාඩිකරවලා දවසක් දෙකක් වයස දරුපැටියව උනත් එයාගෙ අතට දෙන්න අපි හැමවෙලේම කටයුතු කරා. ඒ පුරුද්ද දිගටම බබා ගෙදර ගෙනාවට පස්සෙත් අපි කරගෙන ගියා.. අනිවාර්යෙන් වැඩිහිටියෙක් ළඟ තියාගෙන මේක කරන්න ඕනෙ ඔන්න. එයාව අතගාන්න, ඉඹින්න, සුවඳ බලන්න, wash දානකොට, nappies දානකොට ඔය හැම වෙලේකම එයාට ළඟට වෙලා ඉන්න ඕනෙ නම් කිසිම තහංචියක් දැම්මේ නෑ..
පුතයි තාත්තයි මාව බලන්න hospital එන වෙලාවට මං කොහොම හරි බබාව නිදිකරවලා තියලා පුතාව තුරුලු කරගෙන visiting time ඉවර වෙනකල් වගේ ළඟට කරන් තියාගෙන හිටියා. ඒ වෙලාවට මට hospital එකෙන් හම්බෙන කෑම, dessert රස බලන්නත් එයා අමතක කරේ නෑ.
අනෙක් විශේෂම කාරණය තමයි අපි එයාට අවස්ථාව දුන්න නංගිට දාන නම තොරන්න. බොහොම ලොකු රාජකාරියක්! අපි නම් කීපයක් හිතාගෙන එයා එක්ක කතා කරල එයා කැමති නම තෝරගන්න කිව්ව. ඉතිං දවසක නංගි දැනගත්තම එයාගෙ නම දැම්මෙ අයිය කියල එයා කොහොම react කරයිද කියල බලන්නත් අපි ආසාවෙන් ඉන්නෙ..
බබා ගෙනාව මුල් දවස්වල අපි අයියට කියන්න පුරුදු වෙලා හිටියේ එයාට තමයි අපි වැඩියෙන්ම ආදරේ කියලා... බබාල කීදෙනෙක් ආවත් එයා තමයි අංක එක කියලා... හැබැයි අපි ඒක දිගටම කිව්වේ නෑ. එයා බබාට ටිකක් හුරු වෙන්න පටන් ගත්තට පස්සේ අපි එයාට කියන්නෙ ඒ දෙන්නම අපි දෙන්නට එක සමානයි ඇස් දෙක වගේ කියල. මොකද දිගටම අර විදිහට කිව්වොත් ඒකත් අයහපත් විදිහට ඉස්සරහට බලපායි කියලා අපිට හිතුනා එයාට අනවශ්‍ය ලොකුවක් ඔලුවට ඇවිත්.
නංගිට කිරි දීල අයියව තුරුලු කරන් එයාට නින්ද යනකල් අම්ම තාම ඉන්නව. එයාව වෙනදටත් වඩා සුරතල් කරනව අපි දෙන්නම. හැම වෙලේම පුළුවන් තරම් එයාට ආදරෙයි කියනව.
අනික එයාට වෙනම නිදාගන්න ඕන වෙනකල්ම බබා නිසා එයාව වෙනම නිදිකරන්න යැව්වෙත් නෑ. පුතා deep sleeper කෙනෙක් නිසා නගා රෑ අවදි වෙලා ඇඬුවත් එයාගෙ නින්දට බාධා උනේ නෑ. Co-sleeping ගැන විවිධ මත තියෙන නිසා මේක එක එක අයගෙ කැමැත්ත ඉතිං. මේ අපිට හරි ගිය විදිය. පුතාම ලඟදි තනියම කල්පනා කරල වෙනම නිදාගන්න ගිය නිසා අපිට ගැටලුවක් උනේ නෑ..
තව එයාට අපි නිතරම තේරුම් කලා නංගි කියන්නෙ හරිම fragile, මල් පෙත්තක් වගේ ජීවියෙක් කියල. අල්ලනකොට, අතගානකොට පරිස්සමෙන් එහෙම කරන්න ඕනෙ බව. ඇත්තටම මේ වයසෙ ලමයින්ට ඒ ගැන ලොකු තේරුමක් නෑ. එයාල මුලින් හිතන්නේ hospital එකෙන් ගෙනාපු ගමන් බබාට එයාලත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්න පුළුවන් කියලා..😅 ඉතිං ඉවසීමෙන් කියල දෙන්න ඕනෙ මේ ගැනත්.
තව මං ඉස්කෝලේ එයාගේ පන්තිභාර ගුරුතුමීව දැනුවත් කරලා තිබ්බා එයාගෙ මොකුත් වෙනස්කමක් තිබ්බොත්, අපිට නොකියන දෙයක් එයාට කියලා තිබ්බොත් (බබා එක්ක තරහයි වගේ දේවල්) අනිවාර්යෙන් අපිට කියන්න කියලා. මොකද සමහරක් වෙලාවට දෙමාපියො වැරදියට හිතයි කියලා බයට දරුවෝ තමන්ට හිතවත්, වෙන අයට තමන්ගේ ප්‍රශ්න කියනවනේ. පුතා සාමාන්‍යයෙන් අපිත් එක්ක කියන්නෙ නැති දෙයක් නැහැ. ඒත් මේක එයාටත් අලුත් අත්දැකීමක් නිසාත්, අපිත් මේ රාජකාරියට අලුත් නිසාත් අපි වැඩි හොඳට ඒ වැඩෙත් කරල තිබ්බා..
අනික වැදගත්ම දේ තමයි communication. ඉස්කෝලෙ ඇරිල ආවම දවස ගැන අහන්න, එයා මොකක් හරි ගැන කියවන්න පටන්ගත්‍තම actively අහන් ඉන්න එක වගේ එයාගෙ ඔලුවෙ තියෙන ඒව එලියට දාන්න අවස්ථාවක් දෙන එක හරි වටිනව. අනික බබා නිසා අපි එයාගෙ කිසිම දෙයක් පාඩු කරල නෑ. එයාගෙ homework, extra curricular classes, playcenter visits, weekend ගමන්, ඉස්කෝලෙ යවන එක පවා කොහොම හරි අපි දෙන්න තනියම කරගත්ත කාගෙවත් සහය නැතුව. මෙහෙ ඉස්කෝල වල පැමිණීමට තෑගි දෙනව. ලංකාවෙත් දෙනව නේද.. අසනීපෙන් උන්න දවස් 3-4 ක් ඇර එයා කොහොමහරි ඉස්කෝලෙ යැව්ව අපි. බබාව ඔතාගෙන car seat එකේ දාගෙන ගිනි හීතලේ winter එකෙත් පුතාව ඉස්කෝලෙ එක්ක ගියා අපි දෙන්නගෙන් එක්කෙනෙක් පාන්දර වැඩට යනකොට. හිතුවොත් බැරි නෑ ඉතිං. සාධාරන හේතුවක් නැතුව එයාව ඉස්කෝලෙ නොයව උන්නොත් දැනෙන ඒ පුංචි වරදකාරී හැඟීමට අපි දෙන්නම කැමති නෑ. 😅
තව බබාට toys, ඇඳුම් එහෙම ගන්නකොට අනිවාර්යෙන් අයියටත් මොනවහරි පොඩි දෙයක් හරි ගෙනත් දෙනව.. එහෙම එයාට ගෙනත් දුන්නත් එයා harmful නැති toys නංගි එක්ක share කරගන්න හැටි බලන්න ආසයි. දැන්ම ඉඳන්ම එයා responsible විදියට හැදෙන්න පටන් අරන් බව පේනව ඉස්සරට වඩා.
තව මීට අමතරව බබාව බලන්න එන අය ලොකු බබාට මොනවා හරි ගෙනාවේ නැතිනම් එයාල අතින් දෙන්න මොනවහරි gift ටිකක් ලඟ තියාගන්න එකත් කරන්න පුලුවන්. අපි වැඩිය නොහිතුවට එයාලට ඒවා ලෝකයක් වටිනවා..
අනික් කාරණේ, බබා බලන්න එන අය ලොකු බබාට කියන්න පුළුවන් කට කැඩිච්ච කතා වලින් එයාව බේරගන්න එක අම්මටයි තාත්තටයි බාරයි. "බබා සුදුයි ඔයා කළුයි, දැන් ඉතින් අම්මයි තාත්තයි ඔයාට වඩා වැඩියෙන් ආදරේ බබාට තමයි, අපි නංගිව ගෙදර අරන් යනවා.." blah blah ඔය වගේ කතන්දර ළමයෙක්ගෙ මූණ දිහා බලාගෙන කොහොම කියනවද කියලා මට නම් හිතාගන්න බෑ. දෙයියනේ කියල අපට නං එහෙම ප්‍රශ්න මෙහෙ නෑ 😊
අද මේ වෙනකොට තත්වය..
මේ වෙනකොට නංගිගේ හොඳම ආරක්ෂකයා මේ චූටි අයිය වෙලා ඉන්නෙ. නංගිව මුලින්ම අල්ලන් ඇවිද්දෙව්වෙත් අයිය තමයි. පැහැදිලිවම කියනව එයා ගොඩක්ම ආදරේ නංගිට කියල.. නංගි තාම ගොඩක් චූටි උනාට එයාට පුළුවන් විදිහට සෙල්ලම් හදාගෙන දෙන්නා සෙල්ලම් කරන හැටි බලන්න ආසයි. එයාට චුට්ටක් නගා බලාගන්න කියල පුංචි පුංචි වැඩ ටිකක් කරගන්න පුලුවන් මට්ටමටම ඒ බැඳීම හැදිලා තියෙන එක අපේ ජීවිතේ ගොඩක් පහසු කරලා තියෙනවා.
ඉතිං දැනට නම් අපේ අහිංසක, පුංචි උපක්‍රම 100% ක් හොඳට වැඩ කරගෙන යනව. අපේ උපක්‍රම වැඩ කරනවා කියලා කියන්න හොඳම සාධකය කියල මංං හිතන්නේ, එයා කොයි වෙලේකවත් අපෙන් අහන්නේ නෑ අපි වැඩියෙන්ම ආදරේ එයාටද නංගිටද කියල.. එයාට තාමත් අපේ ආදරේ ගැන කිසිම සැකයක් නැති බව ඒකෙන් තහවුරු වෙනවා..
තව බබෙක් එනකොට සමහර දෙමව්පියන්ට පළවෙනි දරුවා වැඩිහිටියෙක් වෙනව. කොයි වෙලේකවත් අමතක කරන්න එපා ඒ දරුව එක රැයින් වැඩිහිටියෙක් වෙන්නෙ නැති බව. ඒ දරුව වැඩිමල් උනත් තාම දරුවෙක්...
ලොකු බබාගෙ වයස අනුව මේ හැම දේම හැමෝටම කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාලත් ඒ වගේ කරපු දේවල් තියෙනව නම් comment එකක් දාගෙන යන්න.. කොහෙ හරි ඉන්න දරුවෙකුට ප්‍රයෝජනවත් වේවි...
Sachindrā Miniwan
Aus Stories with Sachi N Jana