නොපෙනෙන මානය

නොපෙනෙන මානය "නොපෙනෙන මානය "
නොදකින නොදන්න පැතිකඩක ?

ධම්මික හා කිංග්ස්බරිය.....කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම අක්කර 5.5 යි. කාර් පාර්ක් එක අක්කරයයි. හෝටලය අක්කර හතර හමාරයි.හරිය...
02/23/2026

ධම්මික හා කිංග්ස්බරිය.....

කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම අක්කර 5.5 යි. කාර් පාර්ක් එක අක්කරයයි. හෝටලය අක්කර හතර හමාරයි.
හරියටම කොළඹ හදවතේ තියෙන, වටිනාම වාණිජ ඉඩමක්.
කිංග්ස්බරි වත්මන් හිමිකරුවා ධම්මික පෙරේරා. ධම්මික ඔහු වෙනුවෙන් හෝටලයේ පාලනාධිකාරියට පත් කර තිබෙන්නේ මොහාන් පණ්ඩිතගේ.
නමුත් මේ ඉඩම අයිති රජයට. හෝටලය පවත්වාගෙන යන්න හෝටල් කළමණාකාරීත්වය ආණ්ඩුවට වාර්ෂික බදු මුදලක් ගෙවිය යුතුයි.
මෙතෙක් ගෙවූ මුදල අක්කර පහ හමාරටම, අවුරුද්දටම රුපියල් මිලියන දෙකයි. (ලක්ෂ විස්සයි)
විශ්වාස කිරීමට අපහසු වූවත් ඒ තමයි සැබැවින්ම ඔවුන් කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම වෙනුවෙන් ගෙවූ වාර්ෂික කුළී මුදල.
අක්කරයක් වෙනුවෙන් මාසිකව, රුපියල් තිස්තුන්දාහයි.
මේ මුදලට කොළඹ 1, හොඳම තැනක අක්කරයක් තබා ග්‍රාමීය ප්‍රදේශයකවත් ඉඩමක් කුළියට ගන්න පුලුවන්ද ?
ධම්මික පෙරේරා ලා කියන්නේ සැබෑ ව්‍යාපාරිකයො නෙවෙයි ක්‍රොනි කැපිටලිස්ට්ලා කියලා කියන්නේ ඒකයි.
හරීන් සංචාරක ඇමති වෙලා ඉන්න කාලේ ගහපු ගිවිසුම අනුව මේ මුදල, 2026 වසරේ සිට බලපැවැත්වෙන පරිදි වසරකට රුපියල් මිලියන පහක් දක්වා වැඩි කළා.
ඒ රුපියල් මිලියන 2 ක විහිලු සහගත මුදලට එරෙහිව සමාජ විරෝධයක් පහසුවෙන්ම ගොඩනැගිය හැකි නිසා.
ඒ මිලියන පහ වුනත් ධම්මික සහ හරීන් දෙදෙනාම එකඟ වූ මුදල මිසෙක, ඉඩමේ සැබෑ වාණිජ වටිනාකම නෙවෙයි.
පහුගිය දවසක රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මේ ඉඩමේ වාර්ශික කුළී මුදල ගණනය කළා.
මුදල රුපියල් මිලියන 325 යි. එනම් වාර්ශිකව රුපියල් කෝටි 32.5 ක් මේ ඉඩම සඳහා සැබෑ ලෙසින් බදු ගෙවිය යුතුයි.
නමුත් ධම්මික ලා මේ මුදල ගෙවීමට කැමති නැහැ.
දැන් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා.
ආණ්ඩුව වෙනුවෙන් රජයේ නිළධාරීන් සහ තවත් අය මේ සාකච්ඡා වලට සහභාගී වෙනවා.
කිංග්ස්බරි හෝටලය වෙනුවෙන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ කවුද දන්නවද ?
මොහාන් පණ්ඩිතගේ සහ සරත් ගණේගොඩ.
ඔව්! ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගණේගොඩ.
මහජන බදු මුදල් වැඩිපුරම වෙන් කරන, වැඩිපුරම පාඩු ලබන, මහජන බදු මුදල් කෝටි ගණනින් ගිලින රජයේ ව්‍යාපාරයේ, රජය පත් කළ සභාපතිවරයා, ධම්මික පෙරේරා වෙනුවෙන් ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්නත් එනවා.
මොන ලැජ්ජ නැති වැඩද ?
මේ සරත් ගණේගොඩගේ පක්ෂපාතීත්වය පවතින්නේ ධම්මිකට මිසෙක රජයට නොවන බව හොඳින්ම පෙනෙනා තැනක්.
ඒ වගේම දැන් දිනපතාම කිංග්ස්බරි හෝටලයේ රාජ්‍ය නිළධාරීන්ට, සහ තවත් අයට පාර්ටි තියෙනවා.
විශේෂයෙන්ම හෝටලයේ VIP Suite එකක් තියෙනවා. ඒක වෙන් කරලා තියෙන්නේ මොහාන් පණ්ඩිතගේට.
මොහාන් විවිධ අය (කව්ද කියලා තේරුම් ගන්න) ගෙන්නන්නේ මේ ස්විට් එකට.
ඒ ස්විට් එකට කෙළින්ම කිංග්ස්බරි බැක් ඩෝ එකකින් ඇක්සස් තියෙනවා.
මොහාන් මේ කට්ටියට කියුබන් සිගාර් , කොංඥැක් බොන්න දෙනවා. බ්‍රැන්ඩි වීදුරුවට, සිගාර් එකට මේ අය මොහාන් ඉස්සරහා දිය වෙනවා.
දැනටම රජයේ තක්සේරුකරුගේ රුපියල් මිලියන 325 වෙනුවට රුපියල් මිලියන පහකට, කිංග්ස්බරි ඉඩම ධම්මිකට දෙන්න මේ අය සෑහෙන්න මහන්සි වෙනවා.
ඒ අනුව ඉදිරියේ දී මේ ගණුදෙනුව තීරණය වීමට නියමිතයි.
මේ ගණුදෙනුව ධම්මික මිලියන පහකට කළොත් අවුරුද්දකට රටට පාඩුව රුපියල් මිලියන 320 යි. කෝටි 32 යි.
කොහොමද ගැහිල්ල ?

රජුයි - රදළයොයි අතර තිබ්බ "තරහේ" ඇතුල් පැත්ත​ඇත්තටම මේක එක දවසකින් වුණු දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ හිතේ හිරකරගෙන...
02/10/2026

රජුයි - රදළයොයි අතර තිබ්බ "තරහේ" ඇතුල් පැත්ත

​ඇත්තටම මේක එක දවසකින් වුණු දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ හිතේ හිරකරගෙන හිටපු කේන්තියක්. ප්‍රධානම හේතු ටික මෙන්න,

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අයත් වුණේ "නායක්කාර්" වංශයට. ඒ කියන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු පිරිසක්. මුලදී මේක ප්‍රශ්නයක් වුණේ නැති වුණත්, පස්සේ කාලෙක රජ්ජුරුවෝ තමන්ගේ නෑදෑයොන්ට (ඉන්දියාවෙන් ආපු අයට) වැඩියෙන් සැලකුවා කියලා රදළයෝ කේන්තියෙන් හිටියේ. "අපේ රටේ රජ වෙලා ඉන්නේ පරදේශක්කාරයෙක්" කියන හැඟීම රදළයන්ට තිබුණා.

රජ්ජුරුවෝ හරිම දරදඬු පාලකයෙක් වුණා. එයා රදළයන්ගේ බලය අඩු කරන්න නීති දැම්මා. රදළයෝ තමන්ගේ ප්‍රදේශවල රජවරු වගේ ඉන්න උත්සාහ කළාට, රජ්ජුරුවෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. මේ නිසා තමන්ගේ පාරම්පරික බලය නැතිවෙයි කියන බය රදළයන්ට තිබුණා.

නුවර ලස්සන කරන්න රජ්ජුරුවෝ හදපු වැව (කිරි මූද) සහ පත්තිරිප්පුව වගේ වැඩවලට මිනිස්සුන්ට ලොකු මහන්සියක් වෙන්න වුණා. මේ වැඩවලට මූලික වුණේ රදළයෝ. රජ්ජුරුවෝ වැරදි කරන අයට දුන්න දඬුවම් හරිම දරුණුයි. මේකෙන් රදළයෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් හිටියේ කලකිරිලා.

​මේ කුමන්ත්‍රණයේ හිටපු "Main Characters" ප්‍රධානම චරිත දෙක තමයි පිළිමතලාව සහ ඇහැළේපොළ.

​පිළිමතලාවේ නිලමේ, මෙයා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහව රජ කරවන්න මුල් වුණේ. හැබැයි එයා හිතුවේ රජ්ජුරුවෝ තමන් කියන විදියට නටවන්න පුළුවන් "බෝනික්කෙක්" වෙයි කියලා. ඒත් රජ්ජුරුවෝ එයාට වඩා හපනෙක් වුණාම, පිළිමතලාවේ රජ්ජුරුවෝ මරන්න කුමන්ත්‍රණය කළා. අන්තිමේදී රජ්ජුරුවෝ පිළිමතලාවේව මරලා දැම්මා.

​ඇහැළේපොළ නිලමේ, පිළිමතලාවේගේ බෑණා. රජු සහ මෙයා අතර තිබ්බ තරහ පියවන්න බැරි එකක් වුණේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු පවුලේ අයට රජු දුන්න අමානුෂික දඬුවම නිසයි (දරුවෝ වංගෙඩියේ දාලා කෙටවීම වගේ දේවල්). මේකෙන් පස්සේ ඇහැළේපොළ කෙළින්ම ඉංග්‍රීසින්ට උදව් කළා රජ්ජුරුවෝ පන්නන්න.

​ජෝන් ඩොයිලි (John D'Oyly), මෙයා තමයි ඉංග්‍රීසි ඔත්තුකාරයා. සිංහල භාෂාව හොඳට ඉගෙනගෙන, නුවර රදළයන්ගේ හිත් දිනාගෙන, රජ්ජුරුවෝ සහ රදළයෝ කොටවන්න මෙයා තමයි ලොකුම වැඩේ කළේ.

​නුවර වැටුණු විදිය සරලව..
​රජු රදළයන්ට දඬුවම් කරනවා.
​රදළයෝ රහසින් ඉංග්‍රීසින්ට පණිවිඩ යවනවා "දැන් එන්න, නුවර අල්ලන්න ලේසියි" කියලා.
​ඉංග්‍රීසින්ට නුවරට එන්න පාරවල් පෙන්නන්නේ අපේම රදළයෝ.
​රජ්ජුරුවෝ තනි වෙනවා. කවුරුත් එයා වෙනුවෙන් සටන් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.

​වෙඩි උණ්ඩයක්වත් පත්තු නොවී ඉංග්‍රීසි හමුදාව 1815 පෙබරවාරි 10 නුවරට ඇතුළු වෙනවා.
​මොකද හිතෙන්නේ? මේ වගේ දේවල් අද කාලෙත් වෙනවා නේද ?

අපේ එකමුතුකම නැති වුණාම සතුරන්ට ඕනෑම කොටකොටුවක් අල්ලන්න ලේසියි කියන එකට මේක හොඳම උදාහරණයක්.

ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන වෙල්ලස්සේ ගොඉවින්ද හෙළ ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන වෙල්ලස්සේ නැඟෙනහිර මායිමේ පිහිටි ගොවිඳු හ...
01/12/2026

ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන වෙල්ලස්සේ ගොඉවින්ද හෙළ

ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන වෙල්ලස්සේ නැඟෙනහිර මායිමේ පිහිටි ගොවිඳු හෙළ කන්ද (ගෝවින්ද හෙළ) තැනිතලාවකින් මතු වූ යෝධයකු බඳු හුදෙකලා කඳු ගැටයකි. ස්වභාව සෞන්දර්යය අතින් රමණීය භූමියකි. රාජකීය ආරක්ෂක බලකොටුවකි. කඳු තරණය කරන්නන් විසින් ගවේෂණය කළ යුතු අසිරිමත් වන පෙදෙසකි. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගොවිඳු හෙළ මීටර් 500 ක් පමණ උසැති ඓතිහාසික නටබුන් සහිත කඳු මුදුනකි. මොනරාගල නගරයේ සිට සියඹලාණ්ඩුවට කි.මි. 34 කි. එතැන් සිට අම්පාර පාරේ තවත් කි.මි.15 ක් ගිය විට නවයේ කණුව අසල ඇති ශ්‍රී බුවනෙකබා විහාර භූමියෙන් ගොවිඳු හෙළට යන ප්‍රවේශ මාර්ගය හමු වේ. මේ ගමන් මඟ ඉතා සුව පහසු මාර්ගයක් නොවේ. රූස්ස ගස් මැදින් කඳු ශිඛර තරණය කර පර්වතය මුදුනට නැඟීමට පැය 02 ක් පමණ ගත වේ.

ගොවිඳු හෙළ ඓතිහාසික රාජධානියකි. එනිසා පුරාණයේ සිට මෙය හඳුන්වා ඇත්තේ "ගෝවින්ද හෙළ" නමිනි. පසුව එය ව්‍යවහාරයේ පහසුව සඳහා "ගොවිඳු හෙළ" නමින් භාවිතා වේ. පර්වතය පිහිටීමේ හැඩය සලකා බලා ගෝවින්ද හෙළ නාමය දී ඇති බව පෙනේ. මේ පර්වතය දෙස ඈත සිට බලන විට විශාල පර්වතයක තලගොයෙක් එල්ලී සිටින ආකාරයේ ගල් කුට්ටියක් දක්නට ඇත. එනිසා "ගොයා ඉන්දු හෙළ " ගෝවින්ද හෙළ වූ බවට මතයක් ජනතාව අතර පවතී.

ශ්‍රී ලංකාවේ විසු ඉංග්‍රීසි ජාතිකයකු වූ ආර්.එල්. ස්පිට්ල් ද 1924 දී ගොවිඳු හෙළ තරණය කර ඇත. ඔහුගේ Wild Ceylon (ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය - "වනගත ලංකා") ග්‍රන්ථයේ ද ගොවිඳු හෙළ පිළිබඳ ව සටහන් කර ඇත. කන්ද දිගේ බඩගාන තලගොයකුගේ හැඩය ගත් ගල් කුට්ටියක් නිසා මේ නම ලැබී ඇති බව ජනශ්‍රැති පර්යේෂකයෝ පවසන බව ස්පිට්ල් ද සඳහන් කර ඇත. ශ්‍රී ලාංකිකයන් අනාදිමත් කාලයක සිට ගොවිඳු හෙළ නමින් ව්‍යවහාර කළ ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටි යුගයේ මෙය "වෙස්ට්මින්ස්ටර් ඇබේ" (westminster Abbey) බවට පත් විය.

එංගලන්තයේ ප්‍රධාන කතෝලික පල්ලියක් වූ වෙස්ට්මින්ස්ටර් ඇබේ පල්ලියේ හැඩය මේ ගල් පර්වතයේ පෙනුමට සමාන නිසා ඉංග්‍රීසින් විසින් ගොවිඳු හෙළට මේ නම භාවිත කර ඇති බව සඳහන් වේ. අපේ පැරැණි ආරක්ෂක බළකොටු වූ සීගිරිය, දඹදෙණිය ට සමානකම් ඇති ගොවිඳු හෙළ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ "පුංචි සිගිරිය" නමිනි.
පොළොන්නරු යුගයේ විදේශීය ආක්‍රමණිකයකු වූ කාලිංග මාඝ විසින් රජරට බලය අල්ලා ගෙන මුළු ශ්‍රී ලංකාවම යටත් කර ගැනීමට සටන් කරන ලදී. එහි දී ඔහුට එරෙහිව සටන් සංවිධානය කළ ප්‍රාදේශීය රජවරු තිදෙනාගෙන් එක් අයකු වන්නේ රුහුණේ නායකයා වූ බුවනෙකබාහු ආදිපාදවරයා ය. ඔහුගේ ආරක්ෂක බළකොටුව වූයේ ගොවිඳු හෙළ පර්වතයයි. මේ බව එහි නටබුන් ගවේෂණය කිරීමෙන් මනාව සනාථ වේ. මෙම නටබුන් භුවනෙකබා රජ සමයට අයත් බවට කාල නිර්ණය කර ඇත. මේ පර්වතය සතුරාට ඉතා පහසුවෙන් ළඟා විය නොහැකි ස්වාභාවික ආරක්‍ෂිත ස්ථානයකි. පර්වතය මුදුනේ සිට සියලු දිසාවන් නිරීක්ෂණය කළ හැකි නිසා ඈත සිටම සතුරු ආක්‍රමණයක් හඳුනා ගැනීමට පහසු වේ. රජ මැඳුරක යැයි අනුමාන කළ හැකි නටබුන් රාශියක් පර්වතය මුදුනෙන් හමු වී ඇත.

බොහෝ පුරා වස්තුවලට නිදන් කොල්ලකරුවන් විසින් හානි සිදු කර ඇති බවක් ද දක්නට ලැබේ. ගොවිඳු හෙළ පර්වතය මුදුනේ තිබී හමු වූ සෙල් ලිපි දෙකකින් එකක් අක්ෂර 21 කින් යුක්ත වන අතර අනෙක් ලිපිය අක්ෂර 12 කින් සමන්විත ය. තවත් විශේෂ නිර්මාණයක් වන්නේ ගල් පර්වතය හාරා සකස් කරන ලද පොකුණු දෙකයි. මෙම පොකුණක් අඩි 05 ක් පමණ ගැඹුරු වන අතර නියං සමයක වුව ද ජලය නොසිඳී පවතින බව ප්‍රදේශවාසීහු පවසති. පොකුණ ආසන්නයේ මාලිගාවක යැයි අනුමාන කළ හැකි නටබුන් රාශියකි. රාජකීය අසුනක යැයි සිතිය හැකි ශෛලමය පුටුවක නෂ්ටාවශේෂ දක්නට ඇත. නටබුන් බවට පත් වූ පුන් කළස් සහිත මුර ගල් කිහිපයකි.

දාගැබක පාදමක් යැයි අනුමාන කළ හැකි ස්ථානයක් ද දක්නට ඇති අතර පොළොන්නරු යුගයට අයත් ලක්ෂණ ඇති සඳකඩ පහණ ද හමු වී ඇත. කඳු මුදුනේ පැතලි ගල් කැබලි තැනින් තැන විසිරී ඇත. මෙය ආරක්ෂක ස්ථානයක් යැයි සිතිය හැක්කේ පර්වතයට නැඟීමට ඇති දුෂ්කර මාර්ගය දෙස බැලීමෙනි. පර්වතය මුදුනට නැඟීමට ඉතා අසීරු ගමන් මඟක් සකස් කර ඇත. මහා වනය මැදින් එන විට ඇත්තේ ගල්වලින් සකස් කළ පඩි පෙළකි.

පර්වතයේ ඇතැම් ස්ථානවල ගල මතම කට්ට කපා සකස් කරන ලද පිය ගැට පෙළ ඉතා සුව පහසු ගමන් මාර්ගයක් නොවේ. ගලින් ගලට පැන ගිරි ශිඛර සහ රූස්ස ගස් අතරින් කන්ද තරණය කළ පසු ගෝවින්ද හෙළේ අවසාන කොටස ඍජු ගල් හෙළකි. වර්තමානයේ එය නැඟීමට යකඩ ඉනි මං සකස් කර ඇතත් ඒවා ද තැනින් තැන දිරාපත් වී ඇත. දැනට වසර 30 කට පමණ පෙර කන්ද තරණය කර ඇත්තේ වැල් සහ කඹ ආධාරයෙන් බව ප්‍රදේශවාසීහු පවසති.

කඳු මුදුනට ගිය පසු හතර වටින්ම දැකිය හැක්කේ අලංකාර දර්ශනයකි. විශාල තැනිතලාවක මතු වී ඇති යෝධයකු බඳු ගල් පර්වතයක් නිසා ඈතින් ඈත පෙනෙන කඳු වැටිවල සුන්දරත්වය මනාව විඳ ගත හැකිය. මරගල කන්ද, කෝඳුරු හෙළ, ඉඟිනියාගල, මියාගල සහ දෙගල් හෙළ ඈතින් දිස්වෙන හුදෙකලා කඳු ගැට අතර ප්‍රධාන වේ. එක් පසෙකින් තැනින් තැන මතු වූ හුදෙකලා කඳු ය. අනෙක් පසින් නැඟෙනහිර මුහුදු තීරය ආරුගම්බේ දක්වා දර්ශනය වේ. මෙම දර්ශනය විදේශීය සංචාරකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයින් වුව ද අමන්දානන්දයට පත් කරවන්නකි. මේ හැර මෑතක දී ඉදි කළ මුතුකණ්ඩිය ජලාශය මෙන්ම නිදහසින් පසු ඉදි කළ විශාලම ජලාශය වූ සේනානායක සමුද්‍රය ද මවන්නේ අති සුන්දර දර්ශනයකි. පාන්දර පර්වතය මුදුනේ සිටින්නේ නම් මනස්කාන්ත දර්ශනයක් වූ හිරු උදාව නැරඹිය හැකිය. ශුෂ්ක දේශගුණයක කලාපයක් වුවත් වර්ෂයේ ඇතැම් කාලවල ගොවිදු හෙළ මීදුමින් වැසී යන අවස්ථා ද නැත්තේ නොවේ.

පර්වතය මුදුනට ළඟා වන මාර්ගය අති දුෂ්කරය.කිසිවකුට එක වර පර්වත මුදුනට ළඟා විය නොහැකිය. මෙම ස්ථානය ආරක්ෂක බලකොටුවක් ලෙස තෝරා ගෙන ඇත්තේ එනිසා විය යුතුය. අතරමගදී හමු වන රූස්ස ගස් අතර කළුවර, බුරුත, මිල්ල, වීර, පලු, අරළු, බුළු ප්‍රධාන වේ. පර්වතය ආසන්නයේ බමර ගලක් ද ඇත. එහි සෑමදාම බමර බැඳ තිබේ. දෙබර කුඩු ද අතරින් පතර දැකිය හැකිය. සවස් වන විට රැහැයියන්ගේ නාදය කන් බිහිරි කරවන සුළුය. වඳුරන් මෙන්ම රිළවුන් ද අමුත්තන් එන පෙරමඟට ඇවිත් ඉන්නේ උන්ටත් කෑමට යමක් ඉල්ලීමට මෙනි. නයා, පොළඟා ඇතුළු විෂ ඝෝර සර්පයන් ද බහුලව දක්නට ඇත.

ගොවිඳු හෙළ ඉතිහාසඥයන් මෙන්ම පුරාවිද්‍යාඥයන් ගවේෂණය කළ යුතු ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයකි. මෙම ස්වාභාවික සෞන්දර්යාත්මක වන පෙත නැරඹීම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අමන්දානන්දයට පත් වනු නොඅනුමානය. ශ්‍රී ලංකාවේ කඳු නඟින්නන්ට මෙන්ම වනාන්තර පිළිබඳ ව ගවේෂණය කරන්නන්ට වටිනා පර්යේෂණාගාරයකි. කෙසේ නමුත් කිසිවකුත් මෙතෙක් නිසි ලෙස ගවේෂණය නොකළ ගොවිඳු හෙළ වන පෙත අපේ වෙල්ලස්ස ඉතිහාසයේ මෙන්ම සංස්කෘතියේ වටිනා රාජකීය රහස් රාශියක් තැන්පත් වී ඇති හුදෙකලා පර්වතයක් ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි සිතේ.

යාල මහ වන මැද සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් හා විස්තර...යාල ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන රුහුනු ජාතික වනෝද...
11/28/2025

යාල මහ වන මැද සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් හා විස්තර...

යාල ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන රුහුනු ජාතික වනෝද්‍යානය තුල ඇති බොහොමයක් ගල්කුළු හා කඳු මත පුරාණ රුහුනු රාජධානියේ බෞද්ධ ආරාමයන් රාශියක් කාලයේ වැලිතලාවෙන් සැඟවී තිබේ. මෙම නටබුන් උද්‍යානය තුළ ඇති සෑම කඳු මුදුනකම පාහේ දක්නට ලැබෙන නමුත් නොයෙක් නීති හා මාර්ග නොමැති වීම හේතුවෙන් මෙම ප්‍රදේශ වෙත පුද්ගලයින් ගමන් කරන්නේ කලාතුරකිනි.

13 වන සියවසෙන් පසු, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඊසානදිග ප්‍රදේශයේ ශිෂ්ටාචාරය කෙමෙන් බිඳ වැටෙන්නට විය. යුද්ධ, වසංගත හා වාරිමාර්ග පද්ධති විනාශය හේතුවෙන් ජනතාවගේ ජීවනෝපායන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රදේශයෙන් ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මේ සමඟම මෙම ප්‍රදේශයේ මහා බෞද්ධ ආරාම ද ක්‍රමයෙන් හුදකලා වී මෙම උදාර ශිෂ්ඨාචාරය ක්‍රමක්‍රමයෙන් අවසානයේ රුහුණු වනාන්තර විසින් ගිල ගැනිණි.

19 වන සියවසෙන් පසු මෙම ප්‍රදේශයේ ජනාවාස නැවත ක්‍රමයෙන් වර්ධනය විය. නමුත් මේ වනවිට, බ්‍රිතාන්‍ය යටත් විජිත රජය යාල ප්‍රදේශය දඩයම් සඳහා රක්ෂිතයක් ලෙස වෙන් කර තිබු අතර නිදහසින් පසු එය ජාතික වනෝද්‍යානයක් බවට පත් විය. මේ මගින් එහි මායිම් තුළ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පෙරපරදීම වන ආවරණය තුල සැඟවී ගියේය. මෙමගින් මෙම පුරාවිද්‍යා ස්ථාන පසුකාලීන මානව ක්‍රියාකාරකම් මගින් ආරක්ෂා වුවද ඒවා නිධන් හොරුන්ගේ පහසු දඩයම් භූමි බවට පත්විය.

යාල වන අඩවිය තුල මෙසේ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සමහරක් නම් කුඩුම්බිගල, කිරිපොකුනහෙල, බඹරගස්තලාව, බෝවත්තේගල, කෝන්ගල සහ නෙලුම්පත් පොකුන, විහාරගල, දිවුලනගොඩ, දෙමටගල, අතුරුමිතුරුගල, කනබිසෝවුන්ගේ ගල්ගේ සහ තලගුරුහෙල ය.

තලගුරුහෙල පිහිටා ඇත්තේ යාල කොටස III තුළ වන අතර එය තුලට සාමාන්‍ය ජනතාව පැමිණෙන්නේ කලාතුරකිනි. එම හේතුව නිසාම මෙහි වන සතුන් වාහන හා මිනිස් ක්‍රියාකාරකම් වලට හුරු වී නොමැත. මේ නිසා අලින්, දිවියන් හා වලසුන් දැකීම මෙම ප්‍රදේශයේ දුර්ලභ වේ. කොටස III වෙත පිවිසීම ඇත්තේ කතරගම – බුත්තල මාර්ගයේ පිහිටි ගල්ගේ පිවිසුම හරහාය. තලගුරුහෙල ශිඛරය මෙම පිවිසුමට කිලෝමීටර 22ක් දුරින්ද. ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන කුඹුක්කන් ඔයට කිලෝමීටර 4.75ක් දකුණින්ද, දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 25 ක් උතුරින්ද පිහිටා ඇත.

මීට වසර 100 කට පමණ පෙර 1920 දී බ්‍රිතාන්‍ය ලංකාවේ බ්‍රිතාන්‍ය මිනින්දෝරු ඒකකයක් විසින් “තලගුරුහෙල නටබුන්” මුලින්ම වාර්තා කොට ඇති අතර එය “අඟල් 1: සැතපුම් 1” සිතියමෙහි සලකුණු කොට තිබේ. වර්තමාන “1 : 50,000 සිතියම” හි දක්වා ඇති විස්තරයට අනුව, උතුරු දකුණු දෙසට කිලෝමීටර 1..5ක හා නැගෙනහිර – බටහිර දෙසට කිලෝමීටර 1ක් බිම් ප්‍රදේශයක මෙම නටබුන් පැතිරී ඇත.

1974 දී ප්‍රකාශිත “ලංකා සංචාරකයා සඳහා වූ අත්පොත” (Handbook for the Ceylon Traveller) වාර්තා කරන්නේ තලගුරුහෙල මෙම කඳුපන්තියේ උසම කඳු මුදුන බවයි. ගලේ කැපූ ගල්පඩි හැත්තෑ හයක් කඳු මුදුනට විහිදී යන අතර මුදුනේ ස්තුපයක නටබුන් හා ක්‍රිස්තු පූර්ව යුගයට යත් සෙල්ලිපියක් පවතී. මුදුණ අසල ලෙන් පහක් සහ තවමත් සිරස්ව ඇති ගල් කණු 16 ක් පවතී. මෙම කඳු පාමුල සෙල්ලිපි සහිත තවත් ලෙන් දක්නට ලැබේ. අර්ධ වශයෙන් හානියට පත් අඩි 18 ක් දිගැති ඔත් පිළිමයක් එක් ගුහාවක දක්නට ඇත. ගල් කුළුණු සහ ගලින් කල මල් ආසනයක් ඒ අවට දක්නට ලැබේ.

කෙසේ වෙතත්, 1917දී රූපවාහිණි සංස්ථාව විසින් විකාශනය කරන ලද වැඩසටහනකින් පෙනී යන්නේ තලගුරුහෙල මුදුනේ තිබූ ස්ථූපය මුළුමනින්ම පාහේ අතුරුදහන් වී ඇති බවයි. ස්තූපයක් පවතින බව පෙන්නුම් කරන්නේ විසිරුණු ගඩොල් පමණි. ඉහත සඳහන් සෙල්ලිපිය පියගැට පෙළ අසල ගල් තලාවේ පිහිටුවා ඇත. එය ලියා ඇත්තේ මුල් බ්‍රාහ්මී අක්ෂරයෙනි (ක්‍රි.පූ 3 සිට 1 වන සියවස දක්වා). මෙහි කියවිය හැක්කේ “අරිහා” යන අක්ෂර 3 පමණක් බැවින් ශිලා ලිපිය පිළිබඳව නිසි අර්ථ කථනයක් කළ නොහැකිය. ගල් පඩිපෙළ ඔස්සේ අත්වැළක් සවිකොට තිබු හතරැස් සිදුරු ගලේ කොටා තිබෙනු දක්නට ලැබේ. මෙම සිරස් කණු වල නටබුන් කිසිවක් සොයාගත නොහැකි බැවින්, අත්වැලේ කණු දැව වලින් සාදා ඇති බවට අනුමාන කළ හැකිය. සැතපෙන ප්‍රතිමාව සොයාගත් ගුහාව විශාල හතු හැඩැති ගුහාවකි. එහි සම්පුර්ණ දිග ඔස්සේ කටාරමක් කොටා ඇත. ගුහාවේ සෙල්ලිපි නොමැත. මෙම ප්‍රතිමාව නිධන් හොරුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර අතුරුදහන් වී ඇත. එසේ නමුත් මෙම ලෙන තුළ ගඩොල් වේදිකාවේ සහ බිත්තිවල කොටස් තැනින් තැන දැකිය හැක.

යාල වනයේ සැඟවී ඇති බෞද්ධ නටබුන් පිළිබඳව විවිධ පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කර ඇති ජපාන පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් 2016 හා 2018 වසර වලදී තලගුරුහෙල නටබුන් පිළිබඳ වඩාත් පුළුල් ගවේෂණයක් සිදු කර ඇති අතර තලගුරුහෙල මුදුනට උතුරින් වනාන්තරයේ පිහිටා ඇති විවිධ ගුහා සංකීර්ණ, ස්ථූප 2 ක නටබුන්, පොකුණක්, පිළිම ගෙයක් සහ හඳුනා නොගත් ගලින් කල ගෘහයන් කිහිපයක් සිතියම් ගත කර ඇත. . අනෙක් පැති ගවේෂණය කරනොමැත. 1985 දී යාල තුළ ගුප්ත බුදුපුටුන නටබුන් සොයාගෙන නිධන් හොරුන් විසින් මෙම ප්‍රතිමා ක්‍රමයෙන් විනාශ කිරීම ද පෙන්වා දුන්නේද මෙම කණ්ඩායමයි.

තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් ගමන් මාර්ග
කොළඹ සිට තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් (ගල්ගේ පිවිසුම දක්වා)
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – කතරගම – බුත්තල මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 275
ගතවන කාලය : පැය 4
ගත කිරිය යුතු කාලය :පැය 1-2
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහ...
11/26/2025

යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම

යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම
ගෝනගල යාල අභයභූමියේ සිතුල්පව්ව රජමහා විහාරයට යන මාර්ගයෙන් හරවා ගමන් කලයුතු ගල්කුළු සහිත භූමි ප්‍රදේශයකි. මෙහි මෙම නමින්ම පුරාණ වාරි ජලාශයක නටබුන්ද, ක්‍රි.පූ 2 වන සියවසට අයත් පුරාණ ආරාමයක නටබුන් පෙන්නුම් කරන්නේ පුරාණ රුහුනු රාජධානියේ දියුණු නගරයක් ගෝනගල පැවති බවයි. ගෝනගල පමණක් නොව, සිතුල්පව්ව අවට ඇති පිඹුරාගල, සීලවකන්ද සහ පලටුපාන (වර්තමානයේ මඟුල් මහා වෙහෙර ලෙස හැඳින්වේ) වැනි ගල්කුළු ආශ්‍රිත නටබුන්වූ ආරාම මතයෙන් ගිලිහුණ රුහුණු රාජධානියේ නටබුන් ලෙස ඉතිරිව පවතී.

1974 දී යාල අභයභූමිය තුළ නටබුන් සහිත ස්ථාන කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කොට වාර්තා කර ඇත. ඒවා නම් ආකාශ චෛත්‍ය, වරහමන්කඩ, ගෝනගල, පිලිමලෙන කන්ද, සිතුල්පව්ව බටහිර පෙදෙස, පිළිමයාය, මුනිඅම්මගම , බෙරලිහෙල කන්ද, අළුගල්ගේ කන්ද, අල්ලගල, සීනක්කුව හා අන්ජලී විහාරයයි.

ගෝනගල පර්වත මුදුනේ නිධන් හොරුන් විසින් කැණීම් කරන ලද ස්ථූප දෙකක් වාර්තා විය. ඉන් එකක ගර්භය හොඳින් සංරක්‍ෂිත තත්වයේ පවතී අතර එහි මධ්‍යයේ චතුරස්රාකාර ශෛලමය කුළුණක් ඇති බව වාර්තා විය. අනෙක් දාගැබ බොහෝ ලෙස විනාශ වී තිබිණි. පර්වතයේ ඇති ස්ථූපයන්ට අමතරව, ගොඩනැගිල්ලක නටබුන් ද හමු වී තිබුණි.

ගෝනගල ලෙන්ලිපි
මෙම ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති ලෙන්ලිපි 11 ක් සොයාගෙන විකේතනය කර ඇත. මහාචාර්ය පරණවිතාන විසින් 1970 දී ප්‍රකාශයට පත් කරන ලද “ලංකාවේ සෙල්ලිපි” ග්‍රන්ථයේ පළමු වෙළුමේ මේවා ලේඛනගත කර ඇත. ගෝනගල, මෝදරගල සහ මගුල් මහා විහාරය යන ස්ථානවල සොයාගෙන ඇති මෙම සෙල්ලිපි ක්‍රි.පූ 250 පමණ කාලයකට අයත් අතර ලංකාවේ සොයාගත් පැරණිතම සෙල්ලිපි ඝනයට වැටේ. මෙහි සියළු ලෙන් ලිපිවල ලෙනෙහි පරිත්‍යාගය පිළිබඳව සඳහන් වේ. මේ අතර විශේෂිත සෙල්ලිපි කිහිපයක්ද ඇත. ඉන් එකක් “මධුකසාලිය සංස්ථාවේ සාමාජිකයින්ගේ ලෙන සංඝයාට [පූජා කොට ඇත]” ලෙස සඳහන් වේ. මධුකසාලිය යන නම බොහෝ විට එම සාමාජකයින් වාසය කොට ඇති නගරයේ නම විය හැක.

ගෝනගල ලෙන් සෙල්ලිපි තුනක පුස්සදේව යන නම සඳහන් වේ. එක් ලෙන් ලිපියක මෙසේ සඳහන් වේ: “සේනාධිපති අභයගේ පුත් පුස්සදේව ප්‍රධානියාගේ පුත් අභය ප්‍රධානියාගේ ලෙන,පැමිණි නොපැමිණි සිවුදෙස සංඝයාට පූජාවයි” ක්‍රි.පූ 2 වන සියවසට අයත් ගෝනගල ආසන්නයේ පිහිටි සිතුල්පව්වහි සොයාගත් ලෙන් ලිපි 61 අතුරින්, සෙල්ලිපි දෙකක දුටුගැමුණු රජුගේ යෝධයන් වන නන්දිමිත්‍ර සහ වේළුසුමන දෙදෙනාගේ නම් සඳහන් වේ. (නිකොලස්, 1963). මහාවංසයට අනුව දුටුගැමුණු රජුගේ හමුදාවේ තවත් යෝධයෙකු වන පුස්සදේව ගේ උපන්ගම සිත්තලපබ්බ (සිතුල්පව්ව) ආසන්න ප්‍රදේශයක පිහිටි අතර, සිතුල්පව්ව සෙල්ලිපිවල පුස්සදේව නම සඳහන් ලෙන් ලිපි තුනෙන් එකක් දුටුගැමුණු හමුදාවේ යෝධයෙකු වූ පුස්සදේව බව තහවරු වේ . පරණවිතානට අනුව ඉහත ගෝනගල සෙල්ලිපියේ සේනාධිපති අභය ලෙස සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ තවත් යෝධයකු වන ‘ථේරපුත්ත අභය’ (ථේරපුත්තාභය) බවයි. අභයගේ උපතෙන් පසු, ඔහුගේ පියා සසුන් ගත වූ අතර අභය, ‘තෙරගේ පුත් අභය’ ලෙස ථේරපුත්ත අභය පත් විය. තෙරපුත්ත අභය ද දුටුගුමුනුගේ ජයග්‍රහණයෙන් පසුව කලකට පසු සසුන් ගතවිය. නමුත් සසුන්ගත වීමට පෙර ඔහුට පුතෙකු සිටි අතර ඔහු පුස්සදේව ලෙසත් ඔහුගේ පුතා සීයා ගේ නමින් අභය ලෙසත් නම් විය. ඔවුන් සියල්ලෝම පරමක යන පදවි නාමය දරා ඇත. (පරණවිතාන, 1970)

වර්තමානයේ ගෝනගල ස්තුප හෝ එහි හමුවූ ගොඩනැගිල්ල පිලිබඳ තොරතුරු නොපවතී.

යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
ආකාස චේතිය
අතුරුමිතුරුගල (පහත සිතියම බලන්න)
අතුරුමිතුරුවැව
බඹරගස්තලාව
බෙම්බාව
බෝවත්තේගල
බ්‍රාහ්මණතොට
දෙමටගල
දික්කන්දනේගල
දිවුලානගොඩ (වෙහෙරදිවුලාන)
ගෝනගල
ගොයන්කොළ මායාගල
හඳුනේරුව
ඊරියපොල
කනබිසෝ ගල්ගේ
කටුපිල (පහත සිතියම බලන්න)
කටුපිල මංකඩ (පහත සිතියම බලන්න)
කිරිපොකුණ හෙළ
මහකිරිවැඩුමගල
කෝන්ගල
කොටාදැමූහෙළ
ලුණුඅටුගල්ගේ (ලුණුඅටු ගල්ගේ)
සිතුල්පව්ව මගුල් මහා විහාරය
මල්වාරියකෙම
මණ්ඩාගල
මණ්ඩාගල වැව
මායාගල (වඩම්ඹුව)
මිනිහාගල්කන්ද
මෝදරගල
නෙළුම්පත් පොකුණ
පඩිකෙම පතනන්ගල
පිළිමගල
පිල්ලනෑව ගල් කණු
පිඹිරාමකන්ද
සීලවකන්ද
සිතුල්පව්ව රජමහා විහාරය
තලගුරුහෙල
උඩ පොතාන
වීරගල

ලගා වීමට හැකි මාර්ග..
යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් රියදුරු දිශාවන්
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා යාල ජාතික වන උද්‍යානය වෙත ළඟා විය හැකිය. එය කොළඹ සිට කිලෝමීටර් 275 ක් දුරින් පිහිටා ඇත. අධිවේගී මාර්ගය මඟ හැර රත්නපුර හරහා මාර්ගය කෙටි සහ දැකුම්කළු නමුත් වැඩි කාලයක් ගතවේ.

කොළඹ සිට යාල ජාතික වනෝද්‍යානය පිවිසුම දක්වා මාර්ගය කතරගම සිට යාල ජාතික වනෝද්‍යානයට පිවිසුම් මාර්ගය
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – මත්තල – තිස්සමහාරාම – කිරින්ද
දුර : කිලෝමීටර් 275
ගමන් කාලය : පැය 4.30

තිස්සමහාරාම – කිරින්ද හරහා
දුර : කිලෝමීටර 40
ගමන් කාලය : විනාඩි 45.

තිස්සමහාරාම සිට යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන්
මුළු දුර : කිලෝමීටර් 28
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 45 පමණ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ ගොඩපවත සෙල්ලිපියශ්‍රී ලංකාවේ පැරැණි පාලකයෝ එකල මෙරට පැවැති සිරිතකට හෝ සාම්ප්‍රදායකට...
11/26/2025

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ ගොඩපවත සෙල්ලිපිය
ශ්‍රී ලංකාවේ පැරැණි පාලකයෝ එකල මෙරට පැවැති සිරිතකට හෝ සාම්ප්‍රදායකට හෝ අනුව යමින්, තමන් විසින් කරනු ලැබූ ආගමික, සාමාජීය, සංස්කෘතික සහ ආර්ථික මෙහෙවර මතු අනාගත පරපුරේ දැන ගැනීම සඳහා ශෛලමය ස්ථරවල සටහන් කර තැබූහ. ඒ සටහන් නොහොත් අභිලේඛන වර්තමානයේ දී ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි සහ පුවරු ලිපි ආදී වශයෙන් හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මාගම්පත්තුවේ, ගෝඨපබ්බත රජමහා විහාරයේ දක්නට ඇති ‘ගොඩ පවත සෙල්ලිපිය’ ද එවැනි ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත් කමකින් යුක්ත අභිලේඛනයකි.

ශ්‍රී ලංකාවේ දෙවන පුරා විද්‍යා කොමසාරිස්වරයා වූ ඊ.ආර්. අයර්ටන් මහතා (1912 – 1914) දකුණු පළාතේ, කරන ලද නිල සංචාරයකදී මේ ගොඩවාය වරාය ආශ්‍රිත ප්‍රදේශයේ නටබුන් පරී්කෂා කරන ලදී. එහිදී ඔහු විසින් මේ ප්‍රදේශයේ තිබී සෙල්ලිපි කිහිපයක් සොයාගනු ලැබුව ද, ඔහු මියයන තෙක් ම මේ සෙල්ලිපි ප්‍රසිද්ධියට පත් නො කෙරිණි. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1930 දී මේ සෙල්ලිපි ප්‍රකාශයට පත් කර ලේඛනගත කරන ලදී.

පැරැණි වරායක ස්වරූපය

මේ ගොඩවාය වරාය (ගොඩපවත පටන) පිහිටා ඇත්තේ, ගෝඨපබ්බත විහාරයට ආසන්නව ය. ස්වභාවික ව ගල්වලින් වට වූ දියකඩනයක් සහිත මුහුදේ පිහිටි මේ ස්ථානය පැරැණි වරායක ස්වභාවය උසුලයි. මෑතදී මෙහි තිබී සොයාගත් ගල්කණු, පැරැණි නාවික වරායක ජැටියක් බවට අනුමාන කළ හැකි ය. වලවේ නිම්නයේ දී හමුවුණු රතුරබහ, යකඩ සහ වානේ යනාදී වෙළෙඳ භාණ්ඩ නැව් ගත කරන ලද්දේ මේ නැව් තොටින් බව ද, මේ වරාය ආශ්‍රිත ප්‍රදේශයේ තිබී පැරැණි රෝම කාසි වර්ග හමුවී ඇති බව ද පැවැසේ. මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත මේ ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී අයර්ටන් මහතා විසින් ගෝඨපබ්බත රජමහා විහාරයේ දක්නට ඇති ගොඩවාය සෙල්ලිපිය සහ තවත් සෙල්ලිපි කිහිපයක් මෙසේ සොයාගනු ලැබී ය.

“සිද්ධම්! ගොඩපවත පටනවා සුබ සුරියි රජ ගාමිණි අගය විරහට දිනි” යනුවෙන් සඳහන් ව ඇති මේ ගොඩපවත සෙල්ලිපිය පළමුවන ගජබාහු රජතුමා (ක්‍රි.ව. 114 – 136) විසින් පිහිටුවනු ලැබූවකි. එයින් හෙළිවන පුවත නම්, මේ ගොඩවාය වරායෙන් අයකරනු ලබන තීරුබදු ආදායමෙන් ;කාටසක් ගොඩවාය විචාරයේ නඩත්තුව සඳහා වැය කළ යුතු බවයි.

මේ සෙල්ලිපියෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වේ. එය පහත දැක්වෙන අංශ යටතේ වර්ග කළ හැකි ය.

1. දේශපාලන – පැරැණි ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධීනත්වය පිළිබිඹු කිරීම. (තීරුබදු අයකර ගත හැක්කේ ස්වාධීන රාජ්‍යයකට පමණි)

2. ආගමික – තීරුබදු ආදායමින් කොටසක් ආගමික ආයතනවල නඩත්තු සඳහා වැය කළ යුතු බව.

3. ආර්ථික – භාණ්ඩ හා සේවා අපනයන කිරීමෙන් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම

4. වාණිජමය – මුහුදු සේද මාර්ගයේ පිහිටි, වැදගත් නාවුක මධ්‍යස්ථානයක් වීම. (ආනයන, අපනයන සහ අන්තරාල වෙළෙඳාම මෙහිදී සිදුවීම)

5. සංස්කෘතික – සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය කරනු ලබන පන්තියක් මාගම්පුරය අවට ප්‍රදේශයේ බිහිවීම (චීන, පර්සියන් පිඟන් භාණ්ඩ, රෙදි පිළි භාවිතා කෙරෙනු සුපිරි නිවාස හිමි පැලැන්තියක් බිහිවීම

මුහුදු සේද මාර්ගයේ සැරිසරමින්, චීනයේ සිට රතු මුහුද දක්වාත්, එතැනින් මධ්‍යධරණී පෙදෙස්වලට සංක්‍රමණය කරනු ලබන නෞකාවල ගමන් කළ විදේශිකයන් සිය ගමන් විඩාව සඳහා නවාතැන් ගත්තේ මේ රුහුණේ ගොඩවාය නගරයේ ය. ඒ අනුව ගොඩවාය අන්තර්ජාතික වාණිජ වරායේ වැදගත්කම මැනවින් පැහැදිලි ය.

මාගම්පුර ජගත් වරාය

මේ ගොඩවාය සෙල්ලිපිය 12 වන සියවසේ දී පිහිටුවනු ලැබුව ද, එය ප්‍රකාශයට පත් කෙරුණේ 1930 දී ය. එනම් මෙරට බ්‍රිතාන්‍ය පාලනයට යටත් අවධියේ ය. 1948 දී අපි අර්ධ වශයෙන් ද, 1972 දී පූර්ණ වශයෙන් ද නිදහස ලබාගත්තෙමු. 1948 සිට මෙරට විවිධ ආණ්ඩු ඇතිවි ය. විවිධ රාජ්‍ය නායකයෝ මෙරට පාලනය කළහ. එසේ වුව ද මේ ඓතිහාසික ගොඩපවත සෙල්ලිපියෙහි අගයත්, එයින් දෙනු ලැබූ පණිවුඩයත්, මැනවින් අවබෝධ කරගත් එකම රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණි. එහි අර්ථ පූර්ණ ප්‍රතිඵලය වූයේ 2010 දී ඉදි කෙරෙනු, මාගම්පුර අන්තර්ජාතික නෞකා වරායයි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මඟ සංවර්ධන මාවතකට යොමු කෙළේ ය. මෙය සියලු ලක්වැසියන් විසින් අගය කළයුත්තකි.

පැරැණි ශ්‍රී ලංකාවේ පැවැති ස්වයංපෝෂිත අර්ථක්‍රමය, යුරෝපීය ජාතීන් තුන් වර්ගයක පාලනසමයෙන් අහෝසි වී ගොස් ඇත. වර්තමානයේදී අපරට හුදෙක් සංවර්ධන රටවලට අමුද්‍රව්‍ය සපයන්නකු බවට පත්ව ඇත. මේ සංකල්පයෙන් මිදී පුරාණයේ මෙන් අප ද නිමි භාණ්ඩ අපනයනකරුවකු බවට පත් විය යුතුව ඇත.

අන්තර්ජාතික වෙළෙඳාම

ශ්‍රී ලංකාව 1977 සිට මේ දක්වා අඛණ්ඩ ව ගෙවුම් ශේෂ හිඟයකට මුහුණපා ඇත. යම් රටක විදේශ සංචිතය මාස 3 ක ආනයන සඳහා ප්‍රමාණවත් නොවේ නම්, ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති බව පොදු පිළිගැනීමයි. මෙය ඉතා සරල ව පවසන්නේ නම්, අප රට අන්තර්ජාතික වෙළෙඳාමෙන් 1977 වර්ෂයේ සිට නොකඩවා පාඩු ලබන බව ය. ගෙවුම් ශේෂයේ හිඟය පියවා එය වාසිදායක බවට හරවා ගත හැකි වන්නේ අපගේ අපනයන ආදායම වැඩිකර ගැනීමෙන් සහ ආනයන වියදම අඩුකර ගැනීම මත ය. අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා විවිධ උපායමාර්ග අප විසින් අනුගමනය කළ යුතු ව ඇත. අලුතින් බිහි කෙරුණු මාගම්පුර අන්තර්ජාතික වරායෙන් අපගේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට සැලසුම් කළ යුතුව ඇත. එසේ ම එය අප විසින් ම නිර්මාණය කරනු ලබන සංවර්ධන සැලැස්මක් විය යුතු ය.

අතීතයේදී මේ ගොඩවාය වරායෙන් අමුද්‍රව්‍ය පමණක් නොව මෙරට වානේ වලින් නිෂ්පාදිත භාණ්ඩ පවා අපනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ නිපදවූ අනර්ඝතම වානේ ලොවට හඳුන්වා දුන්නේ ද ඓතිහාසික ගොඩවාය වරායෙනි. එය (10) දහවන සියවසටත් පෙර සිට ය. බටහිර යුරෝපීය රටවල කාර්මික විප්ලවය ඒ වනවිට සිදුවී නොමැත. වර්තමානයේ අප, මේ වරායට පැමිණෙන නැව්වලට සේවා සැපැයීම, අමුද්‍රව්‍ය අපනයන කිරීම ආදිය සිදු කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී, පැරැණි පාලකවරුන් මෙන් නිමි භාණ්ඩ අපනයන කරුවකු බවට පත්විය යුතු ය. වර්තමාන ගෝලීයකරණයේ දී අනෙකුත් අසල්වාසී රටවල් මෙන් ම අප ද නිමි භාණ්ඩ අපනයනයට ප්‍රවේශ විය යුතු ය. සැබෑ සංවර්ධන ඉලක්කයක් වෙත ළඟාවිය හැක්කේ ද ඒ ආශ්‍රයෙනි.

පළමුවන ගජබාහු රජතුමා සිය මෙහෙවර ශිලා පුවරුවේ සටහන් කර තැබීමෙන් සිය යුතුකම ඉටු කොට ඇත.

බ්‍රිතාන්‍ය ජාතික ඊ.ආර්. අයර්ටත් පුරා විද්‍යාඥයකුගේ කාර්යය මැනවින් ඉටු කෙළේ ය.

වර්තමානයේ දී අප, අපගේ කාර්යය ඉටුකළ යුතුව ඇත.

ගොඩපවත සෙල්ලිපියෙන් අපට උගත හැකි පාඩම එයයි.

බදගිරිය රජ මහා විහාරයඉතිහාසයමහා වංශයෙහි දැක්වෙන රුහුණේ රාජ්‍යය කළ කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද බධගල් දොර විහාරය යනු ...
11/25/2025

බදගිරිය රජ මහා විහාරය

ඉතිහාසය

මහා වංශයෙහි දැක්වෙන රුහුණේ රාජ්‍යය කළ කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද බධගල් දොර විහාරය යනු බදගිරිය යැයි විවිධ මතවාද පවතී. එහෙත් මහානාග යුවරජු දවස ලියන ලද ශිලා ලේඛන සාක්ෂ්‍ය සපයන්නේ මෙම පුද බිම එකී රාජ්‍යය කාලයට අයත් බවටය. ශ්‍රී ලංකාවේ ‍පෞරාණික ග්‍රාම නාම පිළිබඳ විස්තර වන "නම් පොත" නමැති ග්‍රන්ථයේ 'බුජස් ලෙන' ලෙස දැක්වෙන්නේ බදගිරිය පුරාණ රජමහා විහාරය යැයි අනුමාන කළ හැකිය. එමෙන්ම එහි 'යාන් ලෙන' පිළිබඳව සඳහන් වී තිබීමෙන් මේ මතය ස්ඵුට වේ. (යහංගල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ බදගිරිය පුරාණ රජමහා විහාරයට ආසන්නයේ බැවිනි.) සීගිරි කාශ්‍යප රජතුමා විසින් ඉදි කරවන ලද සීගිරි බලකොටුවෙහි පිහිටි සීගිරි කැටපත් පවුරෙහි 'බඳගිරි හා බඩගිරි' යන නම්වලින් හඳුන්වා ඇත්තේ බදගිරිය යැයි සිතිය හැකිය. සීගිරිය හැරුණු වි‍ට ගල් පර්වතයක් මත සියලු ඉදිකිරීම් කරන ලද එකම ස්ථානය ද බදගිරිය වෙයි.

වසර දෙදහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බදගිරිය, ශතක ගණනාවක් පුරා මහ ගන වනයේ අණසකට නතුව තිබී යළි නිරාවරණය වන්නේ 1950 දශකයේදී බදගිරිය ජනපදය පිහිටුවීමත් සමඟය.

විහාරය

අක්කර 102ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති බදගිරිය පූජා භූමියෙහි අක්කර 20ක් පමණ වසා පැතිරී පවත්නේ කාල වර්ණ ශෛලමය පර්වතයයි. එය අඩි 300 ගණනකින් යුතු වූවකි. එකිනෙක බද්ධ වූ විහාර ගල සහ වෙහෙර ගල හැරුණු විට 'පිරිත් ගල' නම් වූ ගල් තලාවක් ද ඒ අසල වෙයි. විහාරස්ථානයට අයත් වූ අක්කර 10-15ක පමණ කෙත් යායක් යල මහ දෙකන්නයේ අස්වැද්දෙයි. ලෙන්, පොකුණු, සෙල් ලිපි, සඳකඩ පහණ, පියගැට පෙළ, පුරාණ විහාර මන්දිරය, දාගැබ් සහ වැව යන පුරාවිද්‍යාත්මක අගයෙන් අනූන ස්ථාන කිහිපයක් ගල් පර්වතය ආශ්‍රයෙන් හමු වේ.

බඳගිරිය විහාර භූමියෙහි පිහිටි විශාල ගල් පර්වතය නිර්මාණය වී ඇත්තේ පර්වත යුගලයක බද්ධ වීමෙනි. එකී ගල් පර්වත ද්වය විහාර ගල සහ වෙහෙර ගල යනුවෙන් ‍හැඳින්වේ. මෙම පර්වතයන්ගේ බද්ධ වීම හේතුවෙන් බද්ධ වූ ගිරි බදගිරි ලෙස පරිණාමය වී එයම ග්‍රාම නාමය ලෙස ද ව්‍යවහාරයට පැමිණ ඇතැයි මුඛ පරම්පරාවෙන් කියැවේ. ඓතිහාසික රුහුණු පුද බිම් අතුරෙන් අද්විතීය ස්ථානයක් ගන්නා බදගිරිය පිළිබඳ ලියැවුණු, 13 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලයට අයත් ශිලා ලේඛන, බදගිරි ගල් පර්වතයෙහි වෙයි.

ලෙන්

ප්‍රාග් බෞද්ධ යුගයේ දී මානව වාසස්ථාන ලෙස යොදා ගන්නා ලද ස්වාභාවික ගල් ලෙන්, මහින්දාගමනයෙන් පසු භික්ෂු වාසස්ථාන සඳහා පූජා කරන ලදී. මෙවැනි ගල් ලෙන් 4ක් හා කුඩා ලෙන් 6ක් ද බදගිරිය ගල් පව්වෙන් හමුවේ. මෙම ලෙන් අතුරෙන් දැනට හඳුනාගෙන ඇත්තේ දීඝ නිකායේ අටුවාවේ එන රුහුණේ මිත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන 'කස්සක ලෙන'යි. ගල් පව්වේ සෙල් ලිපියක එන 'මිත්‍ය ලෙන' , මෙම කස්සක ලෙන යැයි පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුවේ මතයයි.

පොකුණු

භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස සෑම ආරාමයකම පොකුණු ඉදි කොට ඇති අතර එම පොකුණු සඳහා යොදා ගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනා‍ගෙන ඇති අතර එම පොකුණු වර්ග පහම එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ බදගිරිය ගල් පර්වතයෙහි පමණි. එම පොකුණු ‍වර්ග පහ නම්, මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ හා කුට්‍ටම් පොකුණ යි.

මල් පොකුණ

මල්වලින් ගැවසීගත් හෙයින් මෙය මල් පොකුණ ලෙස හඳුන්වා ඇත. පරිධියෙන් ඉතා විශාල වූ මෙහි දිග අඩි 33ක්ද පළල අඩි 14ක්ද ගැඹුර අඩි 4ක්ද වේ. වර්තමානයේදී ද මෙම පොකුණ ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී.

පා පොකුණ

පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍යය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබා ගෙන ඇත්තේ මෙම පොකුණෙනි. මෙහි දිග අඩි 11ක්ද පළල අඩි 7ක්ද ගැඹුර අඩි 4ක්ද වේ.

පියන් පොකුණ

භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස නිර්මාණය කර ඇති මෙය විශාල ගල් පියනකින් වැසී ඇති අතර ජලය ලබා ගැනීමට පහසු ආකාරයෙන් එක් පසෙකින් විවෘත වී ඇත. ගල් පියනකින් ආවරණය වී ඇති නිසා මෙය පියන් පොකුණ ලෙස ව්‍යවහාරයට පැමිණ ඇත. වර්තමානයේදී ද පිරිසිදු ජලය ඇති මෙය අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට භාවිත කළේ යැයි සිතිය හැකිය. දිගින් අඩි 10ක් හා පළලින් අඩි 5ක් වන මෙහි ජලය නියඟ කාලවලදී පවා නොසිඳෙයි.

ඇස් පොතුණ

මිනිස් ඇසක ස්වභාවය ගන්නා බැවින් ඇස් පොකුණ ලෙස හඳුන්වා ඇත. පැන් කෙණ්ඩියක් දැමීම‍ට තරම් කුඩා ප්‍රමාණයට අතීතයේදී පැවති මෙහි විවරය දැන් විශාලවී ඇත. මෙහි ගැඹුර අඩි 6කට වඩා වැඩි නොවුවද ගල් සහ මඩ රැඳී ඇති හෙයින් ගැඹුරක් නිශ්චය කළ නො හැකිය. ගල් සහ මඩ තෙක් ඇති ගැඹුර අඩි 5ක් පමණ වන අතර දිග අඩි 2ක්ද පළල අඩි 1/2ද වේ.

කුට්ටම් පොකුණ
එකම බැම්මෙන් වෙන් වී එකම ස්ථානයක පිහිටා ඇති පොකුණු යුගලක් කුට්ටම් පොකුණ ලෙස හැඳින්වේ. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කුට්ටම් පොකුණ හමු වන්නේ අනුරාධ පුරයෙනි. නමුත් එය කෘතීම කුට්ටම් පොකුණකි. නමුත් විශ්මයාවහ ලෙස නිර්මාණය වී ඇති බදගිරිය කුට්ටම් පොකුණ ලංකාවේ ඇති එකම ස්වාභාවික කුට්ටම් පොකුණ වීම සුවිශේෂත්වයකි. ගැඹුරින් අඩි 15ක් ද දිගින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ක වන මෙහි ජලය වර්තමාන‍යේ ද භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගනු ලැබේ.

සෙල් ලිපි

ප්‍රධාන වශයෙන් සෙල් ලිපි 3ක් හා තවත් සෙල් ලිපිවල කොටස්ද මෙම පර්වතයෙහි දක්නට ලැබේ. බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද සෙල් ලිපි හා මධ්‍යතන යුගයට අයත් අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන ද ඒ අතර වෙයි. ඒවායෙන් 3ක් ක්‍රි:ව: 3-4 සියවස්වලට ද 2ක් ක්‍රි:ව: 6-7 සියවස්වලට ද අයත් යැයි සැලකේ. ඒවා අතුරෙන් සෙල් ලිපි දෙකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂිත වැටවල් යොදා සුරක්ෂිත කොට ඇත. ක්‍රි: ව: 3-4 සියවස්වලට අයත් ශිලා ලේඛනයක මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'මහගමිය වෙහෙර' ලෙසය. (මෙය මහා ගාම හෙවත් මාගම ‍යැයි විශ්වාස කෙරේ.) එකල ලංකාවේ පැවති 'අරියවංස ධර්ම දේශනය ' පිළිබඳව ද, ධර්ම කථික භික්ෂූන්ට පූජා කරන ලද ඉඩ කඩම් පිළිබඳවද එහි සඳහන් වන අතර බදගි‍රිය ද එසේ පූජා කරන ලද ස්ථානයක් බව එහි එන 'අරියවස කොටු' යන පාඨයෙන් ‍පැහැදිලි වේ.

සඳකඩ පහණ

සිංහල කැටයම් කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන සඳකඩ පහණ, බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වන පියගැට පෙළ පාමුල ඇති අර්ධ කවාකාර ගල් පඩියකි. මෙවන් සඳකඩ පහණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි සිදු කරන ලද කැණීම්වලින් අනාවරණය කරගෙන ඇත. කැටයම් කිසිවක් නොමැති මෙය සමාන්තරව සකසන ලද ගලින් නිමවා ඇත. අනුරාධපුර පසු යුගයේ හා ‍පොළොන්නරුව යුගයේ සඳකඩ පහණ සත්ත්ව රූප හා ලියවැල් ආදී කැටයමින් අලංකාර වුවද අනුරාධපුර මුල් යුගයෙහි සඳකඩ පහණෙහි කැටයම් නොවූ බව විචාරක මතයයි. එහෙයින් මෙම සඳකඩ පහණ අනුරාධපුර මුල් භාගයට අයත් යැයි සිතිය හැකිය. පියගැට පාමුල ඇති සඳකඩ පහණ හැර පර්වතය මත විහාර මළුවේ ද සඳකඩ පහණක සලකුණු හමුවේ.

පියගැට පෙළ

ගල් පව්ව මතට නැඟීමට හැකි වන පරිදි සකස් කොට ඇති මෙහි දර්ශනීය ලෙස ගල් පඩි මට්‍ටම් කොට ඇති ආකාරය හා ඒවා සමාන්තරව පිහිටුවා ඇති ආකාරය වැදගත්ය. පඩි 93කින් යුත් එහි දිග අඩි 100ක් පමණ වේ. මෙහි මුල් කොටසෙහි කරන ලද කැණීම්වලින් එකල තිබූ ආකාරයෙන්ම ‍ග‍ඩොල් හා පඩි මතු වී ඇත.

පුරාණ විහාර මන්දිරය

බදගිරි විහාරයෙහි පිහිටි පර්වත යුගලයෙන් එකක් වන විහාර ගල මත විහාර මන්දිරයක් පිහිටා තිබූ බවට ශේෂ වී ඇති එකම සාධකය විහාර මන්දිර දොරටුව අසළ ඇති සඳකඩ පහණ හා විහාර මන්දිරයේ මායිම් ලෙස සැලකිය හැකි ඒ අවට තිබූ ගල් කණු කිහිපයක් ද පමණි.

ඓතිහාසික දාගැබ

එකම මලුව මත චෛත්‍ය දෙකක් ඉදි කර තිබීම මෙහි විශේෂත්වයයි. මෙයින් එක් වෙහෙරක් ඝටාකාර වර්ගයට අයත් වන අතර අනෙක් වෙහෙර කුමන වර්ගයේදැයි අවිනිශ්චිතය. දකුණු ආසියාවේ ඇති දුර්ලභම ඝටාකාර වෙහෙර මෙය වෙයි. මෙහි නටබුන් අතරින් ඡත්‍ර දෙකක් ද ගල් පුවරු හා ගල් කුළුණු දැනට සොයා ගෙන ඇත. පර්වතය මත ගඩොලින් තැනූ ආසනයක කළයක් මුනින් අත‍ට නැවූ පරිද්දෙන් නිර්මාණය කොට ඇති ඝටාකාර වෙහෙරෙහි පරිධිය අඩි 78ක් ද අනෙක් වෙහෙරෙහි පරිධිය අඩි 96ක් ද වේ. ආසනය අඩි100ක් දිගින් ද, අඩි 65ක් පළලින් ද, අඩි 3 1/2ක් උසින් ද යුතුවේ.

Address

Brampton South, ON
L6R1M3

Telephone

+94712019866

Website

Alerts

Be the first to know and let us send you an email when නොපෙනෙන මානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category