04/11/2026
තිස් පහයි, තනිකඩයි
Episode 01 | “ආදරේ වයින් වගේ, කාලෙත් එක්ක රස වෙනවා”
"කෙල්ලගේ මූණේ පෙම් පාට"
නදීගේ හනිමුන් ඩිනර් photo එකට හාර්ට් එකක් දාද්දි මට එහෙම මිමිනුනා. ඒ පිංතූරේ උඩ ගිහින් ඊලගට නැවතුනේ, හරියටම මීට අවුරුදු දෙකකට කලින් මමයි නදියි , මගේ උපන්දිනේ දවසේ ගත්ත පරණ මතකයක් ලඟ.
FB එකේන් අවුස්සලා උඩට ගන්න සමහර මතක අපේ හිත් කොනිත්තනවා.
එදා හරි fun දවසක්, නදී තමයි මට surprise party එකක් ලෑස්ති කරලා තිබුනේ.මමයි නදියි එකම ඉස්කෝලේ, අපේ සෙට් එකේ ඔක්කොම කෙල්ලෝ හතරයි, නදියි, සදුයි, දිනුයි, මමයි.මොකක්දෝ හේතුවකට මමයි නදියි හොඳම යාලුවෝ වෙද්දී, සදුයි දිනුයි හොඳ යාලුවෝ උනා.හැබැයි හතර දෙනාම ගමන් ගියේ, කෑවේ බිව්වේ එකට. O/L, A/L වලින් පස්සෙ කාලේ ගෙව්නේ හරියට අපි උදේ එලාර්ම් එක ඕෆ් කරල පොඩ්ඩකට ඇස් පියා ගන්නවා වගේ, ඇස් පිල්ලමට පැයක වේගෙන්.
මුලින්ම සෙට් එකෙන් කැඩුනේ දිනූ, එයාගේ සිහින කුමාරය හම්බ වුනාම, බබාලත් එක්ක එයා බිසී උනා.ඉතින්.., කඩෙන් කඩේට ගිහින් ඇදුම් අතගාල බලන්න, හවසට එකතුවෙලා පොඩි කයියක් දාන්න, වගේ තේරුමක් නැති වැඩවලට දිනූට වෙලාවක් නැති වෙද්දී සදූ අපිත් එක්ක එකතු උනා.සදූ බැඳල කැනඩාවේ පදිංචියට ගියාම තනිකඩ සංගමේ ඉතිරි උනේ මමයි නදියි විතරයි.
හිංදි සිංදුවක visual වගේ හිතට ආව මතකත් එක්ක, මට photo එක දිහා ආයෙත් බැලුනා. photo එකේ මගේ මූණත් නදීගේ හනිමුන් photo එක වගේමයි, පෙම් පාට ඉතිරෙනවා.
නෑ නෑ, office එකේ උන් විහිලුවට අපිව ලෙස්බියන් කලාට මගේ පෙම් පාට තිබුනේ නදීට නෙමෙයි, photo එක ගත්ත හසිතට. හසිත මගේ..
"ඕයි අක්කේ ඉක්මනට එනවකෝ, මටත් යන්න ඕනේ!"
"පොඩ්ඩක් ඉන්නවා, මම මූණ හෝදනවා!"
ඒ ආදරණීය ආමන්ත්‍රණය ,මගේ වන් ඇන්ඩ් ඔන්ලි මල්ලගෙන්. නම සත්සර උනාට, උගේ කටේ නම් සප්ත ස්වරයක් ගෑවිලාවත් නෑ. මල්ලිගෙන් පස්සෙ අම්මගේ කට ඇරෙනවා කියල දන්න හින්දම, phone එක පැත්තකින් තියලා ඉක්මනට මූණ හෝදගත්තා.
"හැපී බර්ත්ඩේ සහෝදරී"
බාත්රුම් එකෙන් එලියට එද්දිම, මල්ලා පැන්න ඇඟට.
"අයියෝ, කුණු කෙල පිටින් මූණ ඉඹින්න එපා මෝඩයෝ, දැන් මේ හෝද ගත්තා විතරයි"
"මේ තමුසෙගේ තිස්පස් වෙනි උපන්දිනය සමරන්න ඕනෙ සුපිරියටම. හවසට පීසා පාටියක් දාමු, මට සල්ලි දෙනවා මම ඔක්කෝම ලෑස්ති කරන්නම්. ආයේ දන්නවනේ ඉතින්.., ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වෙන්න. සහෝදරීට තියෙන්නෙ හවසට ප්‍රින්සස් සිතුකි විදිහට ඇවිල්ලා, කේක් කියලා හිතාගෙන, පීසා එක කපල ආදරෙන් හැමෝටම කට කට කවන්න. ඕනේ නම් මං අපේ උන් ටිකට කියන්නම් අවිල්ලා හැපිබර්ත්ඩේ කියන්න කියලා"
"අම්මෙ, මේ බලන්නකෝ, මගේයි උපන්දිනේ, පීසා කවන්න ඕනේ මුගේ යාලුවොන්ට"
"පුතා කටවහගෙන ඉන්නවා, ඔය පීසා මගුල් කෑවට බඩ පිරෙන්නෙත් නෑ, කාපු වෙලාවේ ඉඳන් බඩේ දැවිල්ලයි උගුරට එනවයි. කුකුල් මස් ටිකක් ගෙනල්ලා බත් ටිකක් හැදුවා නම් රසට කන්න තිබුනා"
"අයියෝ අම්මේ, මූල්‍ය ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේණියේ රැකියවක් කරන දූගේ ,හැපී බර්ත්ඩේ එක හැපනින් වෙන්න ඕනෙනෙ, කුකුල් මසුයි බතුයි හරියනවද?"
පුරුදු විදිහට අම්මගෙයි මල්ලිගෙයි තර්ක විතර්ක අස්සෙ,"රෑ කෑමට මුකුත් හදන්න එපා! මම මොනවා හරි ගේන්නම්" කියලා, මම කාමරේට පැන ගත්තේ ඉක්මනට ලෑස්ති වෙන්න. අද කලු පෑන්ට් එකට සුදු ටොප් එකක් ඇන්ද නම් හරි, බාත් රෝබ් එක ගලවල ඇඳට දාන ගමන් මට එහෙම හිතුනා. මොකද, ගිය සති දෙක තුනේම ඇන්දේ කැශුවල්, නිශාගේ වෙඩින් එකේ වැඩ වලට අපි දෙන්නා එළියට ගියා.
"ඇස් දෙකේ කැත" මට ඉබේටම එහෙම කියවුනේ කන්නාඩියෙන් මූණ දකිද්දී. "තව ඔබපන් පෝන් එක! එලදෙන වගේ මහ පාන්දර වෙනකම්" මගේ හිත ඇතුලෙ ඉන්න වගකීම් සහගත ගැහැණිය එහෙම කියද්දි, හැමදාම වගේම අද රෑට නම් කලින් නිදාගෙන හෙට උදෙන්ම නැගිටින්න ඕනෙ කියලා, මම මටම, හිතින් තරවටු කර ගත්තේ කොන්ඩේ පීරන්න කන්නාඩියට එබෙන ගමන්.
ඒත් එක්කම, හූන චික් චික් ගානවා වගේ, පෝන් එක කෑගැහුවේ, "ඔව් ඔව්, තෝ නිදා ගනියි කියලා තමයි බය!" කියන්න වගේ. Uber එක වෙන්න ඇති, පෝන් එක දිහා බලන්නෙ නැතුවම, මම දුවන්න ලෑස්ති උනා.
"කුසුම් අක්කේ, අන්න නංගිගේ uber එක ඇවිල්ලෝ.."
ඒ අපේ උඩ තට්ටටුවේ බෝඩිං කට්ටිය. ඒක තමයි අම්මගේ ව්යාපාරය, අපේ ගෙදර ඉදන් හයිලෙවල් පාරට ඇවිදන් යන දුර. ඒක නිසා මේ පැත්තේ හැමෝගෙම වගේ අපේ ගෙදරත් උඩ තට්ටු දෙකේ බොඩිං, ඒක වෙනමම ලෝකයක්.
"දුව අන්න වාහනේ ඇවිල්ලලු, ඉක්මන් කරන්න ළමයෝ "
"හරි හරි මේ එනවෝ!!"
පනාවයි, මේකප් පර්ස් එකයි අතට අරගෙනම uber එකට දිව්වේ, යන ගමන් කොන්ඩේ පීරගන්නවා කියලා හිතාගෙන.
"මිස්ට අද පරක්කු වෙලා වගේ"
ට්රැෆික් එකේ බ්රේක් පාරවල් වලට එහෙට මෙහෙට විසි වෙවි, ලිප්ස්ටික් ගාන මං දිහා, බැක් මිරර් එකෙන් බලන ගමන්, uber අංකල් ඇහුවේ මුණේ පොඩි හිනාවක් එක්ක.
"අනේ ඔව් අංකල් අද පොඩ්ඩක් පරක්කු උනා."
නැතුව ඉතින්.. හැමදාම මෙහෙමයි අංකල් කියන්නද! මම දැන් ඉන්නෙ අංකල් කියන වචනේ පාවිච්චි කරන්න කලින් දහස්පාරක් හිතන්න ඕනෙ වයසක. ඇන්ටි කියන වචනෙ නම් ශබ්දකෝෂයෙන් අයින් වෙලා ගොඩක් කල්. අම්මට අක්කේ කියලා මට නංගි කියලා කතා කරන එක නම් අවුලක් නෑ. ජීවත්වෙලා හිටියා නම්, අපේ තාත්තටත් වඩා වයස කට්ටිය, අම්මටයි මටයි දෙන්නටම නංගි කියද්දි නම්, පපුව හෝස් ගාල යනවා. මොකද "තිස්පහක් උනත් බැඳලා නෑනේ ඒක නිසා තාම කෙල්..."
සමහර මතක වලට අපේ වචන වගේම සිතුවිලිත් ගොලු කරන්න පුලුවන්. ජීවිතේ ඒ වගේ රිදෙන මතක, අපි හංගනවා, ආයේ කවදාවත්ම හොයාගන්න බැරි වෙන්න. කාලයත් එක්ක හංගපු තැනවත් මතක නැති, එහෙම මතක, එකපාරට මතු වෙද්දී අපි ගොලු වෙනවා. මොහොතකට හිත නවතිනවා. කෙල්ලෙක් ගැහැණියක් වෙන්න කසාද බඳින්නම ඔනේ නැනේ.
"ඔය කිව්වට හෝමූස් අරින එකක් නෑ, නේද මිස්?"
Uber අංකල් එහෙම අහපු ගමන්, ලිප්ස්ටික් එකයි කන්නාඩියයි එක්ක වෙනම ලෝකෙක හිටපු මගේ කටත් හෑයි ගාල ඇරුණා. හරියට මයික් එකකින් සිංදු කියනවා වගේ.
"ඒක තමයි අංකල් "
කතාව ගැන කිසිම අදහසක් නැති උනත්, කටට ආපු පතෝල උත්තරයක් දුන්නා.
"ලේසි වෙන්නේ නෑ, එහෙන් නැග්ග ගමන් මෙහේ වදිනවලු!"
අංකල් ඊලඟට කියපු කතාවට මගේ ඔලුවට සමනල ගැටේ වැටුනා.
"මොකක්ද අංකල් නැග්ගේ ?"
"මිසයිල මිස්, බැලස්ටික් ඒවා කියලනේ කියන්නේ. එහෙන් නගිනකොටම මෙහෙන් සයිරන් වදිනවලු. ලොකු කොල්ල ඉන්නේ මැද පෙරදිගනේ. මට වීඩියෝ කරලා එව්වා. අප්පා මල් වෙඩි වගේ!"
"අංකල්ගේ පුතාට ප්‍රශ්නයක් නෑ නේද?"
"දෙයියන්ගේ පිහිටෙන් එහෙම කරදරයක් නෑ, wife හවසට දූ එක්ක පන්සල් යනවා. අපි කාටවත් වැරදි කරපු මිනිස්සු නෙමෙයි නේ මිස්. මගේ කොල්ලට වරදින එකක් නෑ."
අංකල් එහෙම කියද්දී මගේ පපුවට ලොකු බරක් දැනුනා. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මැද පෙරදිග යුද්දේ කියන්නේ පැට්‍රොල් වැඩි වෙන එකම නෙමෙයි. තමන්ගේ අම්මා තාත්තා නැත්නම් දරු මල්ලන්ගේ අනාගතේ වෙනුවෙන්, තමන්ගේ වර්තමානය කැපකරපු මිනිස්සුන්ගේ ඉරණමත් ඒ යුද්දේ ලියවිලා තියනවා.
Office එක ඇතුලට එද්දී හැමෝම හැපි බර්ත්ඩේ කියලා විෂ් කලත්, අද ඉතින්.. හොට් ටොපික් එක නදීගේ වෙඩින් එක නිසා, පෙරේරා ඇන්ඩ් සන්ස් කේක් එකකින් ශේප් වෙන්න පුලුවන් උනා. නදී නැති නිසා ඉස්සරහ මේසේ පාලුයි. කෙල්ල සති දෙකක් නිවාඩු. දෙන්න දැන් මොනවා කරනවද දන්නෑ. එහෙම හිතලා පුටුවට හේත්තු වෙලා, හොඳ හුස්මක් ගත්තමයි ,හරියට උදේට ඇහැරුනා කියල දැනුණේ. ඒත් වැඩිවෙලා පැද්දෙන්න උනේ නෑ බොස්ගේ රෑම් එකේ දොර ඇරුනා.
"සිතුකි, ගුඩ් මොර්නින්ග්, ඇන්ඩ් විෂ් යූ හැපි බර්ත්ඩේ!"
"තෑන්ක්ස් චරිත්, ගුඩ් මොර්නින්ග්!"
අපේ බ්‍රන්ච් මැනේජර් චරිත්ට ගුඩ් මොර්නින්ග් කිව්වට, මගේ ඇස් තිබුනේ චරිත් එක්ක හිටපු අලුත් මූණට. ඩීසන් එකට ඇඳලා හිටියත් ඒ ඇඳුමට එයාගේ සෙල්ලක්කාරකම වහන්න බැරි උනා. කරාබු දාන කොල්ලන්ට මම කැමති නැති උනත් එයාගේ හෙයාර් ස්ටයිල් එකට කරාබුව හොදට මැච් උනා.
"සිතුකි, මේ චතුර"
"හායි නයිස්ටු මීට් යූ!"
"නයිස් ටු මීට් යූ! මිස් සිතුකි ඇන්ඩ් විෂ් යු හැපි බර්ත්ඩේ"
"තෑන්ක්ස් චතුර"
චතුර අතට අත දෙද්දි, කොලර් එක අස්සෙන් ලාවට බෙල්ලේ ඉදන් පහලට ගහල තිබ්බ ටැටූ එක පෙනුණා.
"චතුර තමයි ඔයාලගේ team එකේ අලුත් මෙම්බර්, හොද Marketing Background එකක් තියනවා, නදී හනිමුන් එකෙන් පස්සෙ , දරු නැලවිලි බලන්න හිතුවොත්! ඒක නිසා අපි දැන්ම චතුරව train කරලා ගමු"
"හරි චරිත්, මම චතුරට අපේ client base එකයි, system එකයි ගැන කියලා දෙන්නම්"
"තැන්ක්‍යු මිස් සිතුකි"
"චතුර, අපේ ඔෆිස් එකේ මිස්ලා සර්ලා නෑ, හැමෝටම නම කියලා කතා කරන්න"
එහෙම කියපු චරිත්, චතුරගේ පිටට තට්ටුවක් දාන ගමන් එයාගේ රූම් එක පැත්තට ඇවිදගෙන ගියා,
"ම්ම්, අද සිකුරාදානේ, අදට නදීගේ desk එකේ ඉන්න, මම සමීරට කියන්නම් ඔයාට මේසයක් ඇරෙන්ජ් කරන්න කියලා."
චතුරත් එක්ක, නදීගේ මේසේ දිහාට ඇවිදන් යන ගමන් මම හිතුවේ, නදී බැන්දේ මේ සතියේ. මුන් දැනටමත් ප්‍රසූත නිවාඩුවලට එකෙක් අරගෙන. මට සදූව මතක් උනා. සදූ බැදල අවුරුදු තුනක් විතර යනකම් බබාල හිටියෙ නෑ. එයාල හරිම මානසික ආතතියකින් හිටියේ, මොකද උන් දෙන්න බැඳපු දවසේ ඉඳලා, අහල පහල නෑදෑයෝ , අසල්වැසියෝ , ඒ මදිවට, මේ වගේ office වල උනුත් බලන් ඉන්නෙ උන් දෙන්නගේ බබා නලවන්න. "තාම මුකුත් වෙනසක් නැද්ද?" "සුබ ආරංචියක් ද?" "දෙන්න තුන්දෙනා වෙන්නෙ කවදද?" වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙ, හරියට උන් කන්න බොන්න දීල උස් මහත් කරනවා වගේ.
දිනූ බැද්දේ මුලින්මනේ, ඒතකොට ඒකේ අනිත් පැත්ත. අල්ලපු ගෙදර ඇන්ටි දවස් ගනන් කරලත් කියලා තිබුනලු පළවෙනි ළමයා නම්, මඟුලට කලින් හිටපු එකක් කියලා.
"සිතුකි, මේකේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා"
"ඉන්න, මම ඔයාට වෙනම login එකක් හදලා දෙන්නම්"
මම කොම්පියුටර් එක ලඟට ආවම, චතුර මට පුටුව දීලා නැගිට්ටා. චතුරට අලුත් ලොගින් එකක් හදලා, මම පුටුවත් එක්කම කැරකිලා "චතුර" කියල කතා කරද්දී, චතුර මගේ එහා පැත්තේන් නැවිලා බලාගෙන හිටපු විදිහට, අපි දෙන්නගේ මූණවල් ලං උනේ, එයාගේ හුස්ම මගේ මූණේ වදින ගානට. ඇත්තටම මම තිගැස්සුනා. ඒ චතුර නිසා නෙමෙයි, චතුර ගාවින් ආව පිරිමි සුවඳ, මාව අවුරුදු දහයක් විතර ආපස්සට ගෙනියපු නිසා. කාලයෙන් වහපු හැගීම් ගොඩක්, හුස්ම වැදුනු බෙල්ල දිගේ පහලට විදුලියක් කෙටුවා වගේ ගලාගෙන ගියා. හැමදේටම වඩා මාව තිගැස්සුවේ එයාගේ මූණේ තිබ්බ බැල්ම. ඒක මාව අවුරුදු දහයකට කලින් පිස්සු වට්ටපු, අදටත් මහ රෑට මාව ඇහැරවන, ඒ සෙල්ලක්කාර දඩබ්බර බැල්ම.
සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන කොල්ලෙක්ට උනා නම්, මම එයාගේ පැත්තට පුටුව එක්කම හැරෙයි කියල බලාපොරොත්තු නැතුව හිටිය නම්, මම වගේම එයත් ගැස්සිලා ඉක්මනට ඈත් වෙනවා. ඒත් චතුර, එයා හරියට ඒක බලාපොරොත්තු උනා වගේ, මගේ තිස් පහේ ගැහැණු මුහුණ රතුවෙලා, අවුරුදු දහ අටක කෙල්ලෙක්ගේ මුහුණක් වගේ ලැජ්ජාවෙන් බරවෙනකම්, බොහොම සැහැල්ලුවෙන් බලාගෙන ඉඳලා, තවත් පොඩ්ඩක් මගේ දිහාවට ලංවෙලා හුස්මක් අරගෙනම තමයි, ඇත්වෙලා ආපහු මොනිටරය දිහා බැලුවේ. හරියට මුකුත්ම නොවුණු ගානට.
"හරි දැන් ඔයාට පුලුවන්, ඔයාගේ පාස්වර්ඩ් එකක් දාගන්න"
මම එහෙම කිව්වම, එක පාරට චතුරගේ මූණ අදුරු උනා. අත් දෙක බැදගෙන හිට ගත්ත එයාගේ බෙල්ල පහත් උනා. ඊට පස්සෙ මහා දාර්ශනික මූණක් හදාගෙන,
"ඒක නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්"
මුකුත් හිතා ගන්න බැරි උන මම,
"ඇයි? චතුර "
කියලා අහද්දි, චතුරගේ මූණ ක්ෂනිකව වෙනස් උනේ ලොකු හිනාවක් එක්ක.
"නෑ, මගේ කලින් පාස්වර්ඩ් එක මාව බ්ලොක් කරලා, අලුත් එකක් හොයාගන්න වෙනවා."
"අහා, මේ system එකේ පාස්වර්ඩ් එක මාසෙන් මාසේ අලුත් කරන්න ඕනේ, එක පාරක් පාවිච්චි කරපු එකක් ආයෙත් පාවිච්චි කරන්නත් බෑ"
"කොච්චර දෙයක්ද, අන්න සිස්ටම් , අපිට කොහෙන්ද එච්චර වාසනාවක්"
"ආස ඇති"
එහෙම කියලා මම, මගේ මේසේ දිහාවට ඇවිදගෙන ආවත්, දවස පුරාම, මගේ ඇස් සැරෙන් සැරේ චතුරගේ ඇස් එක්ක ගැටුනා. එයා කතා කරන විදිහ, බලන විදිහ, මාව ආයේ යන්නෑ කියලා වහල අගුල දාපු මතක ඇතුලට ගෙනිච්චා. මට අද වගේ මතකයි, නදියි මමයි සිමා ක්ලාස් ඉවර වෙලා එනවා. බස් එකේ ලොකුවට තෙරපෙන්න සෙනග හිටියෙ නෑ. ඒත් නදීට විතරයි සීට් එකක් හම්බ උනේ. මම නදී ගාවම හිටගෙන අත් දෙකෙන් දෙපැත්තේ තිබුන සීට් පොලු දෙක අල්ලගෙන හිටියේ. මහන්සියි, ඒ වගේම දාඩියට කොන්ඩේ ඇලිල නලලට වැටෙනවා. මම දකුනු අතින් කොන්ඩේ හදාගෙන ආයෙත් සීට් පොල්ල ඇල්ලුවේ බස් එකේ වීදුරුවෙන් එලිය බලාගෙනමයි. මාව එක පාරට ගැස්සුනා, මම සීට් පොල්ල කියල තද කරල අල්ල ගත්තේ, මගේ එහා පැත්තේ හිටපු කොල්ලගේ අත. මම කොන්ඩේ හදන්න අත ගත්තම එයා එතනින් අල්ලගෙන. මම ඉතින්.. බලන්නෙ නැතුව අල්ලගෙන තියෙන්නෙ එයාගේ අත. එදා එයාගේ මූණේ තිබ්බේත් අද චතුරගේ මූණේ තිබ්බ සැහැල්ලු පෙනුමමයි.
"සොරි!"
"අනේ ඕක මොකක්ද?"
කියල අහම්බෙන් හම්බ උන එයා, ඇත්තටම එහෙම අහම්බයක් නෙමෙයි. කාලයක් මගේ පස්සෙන් ඇවිත්, හරි වෙලාව වෙනකම් ලඟට වෙලා ඉඳලා හරියටම එතනින් අත තියලා මාව එයාගේ කරගත්තේ කියලා කිව්වේ, මම එයාට මුලින්ම කැමතියි කියපු දවසේ.
"අහම්බෙන් හම්බ උන,
බස් එකේ හිනා උන,
ඇස් වලින් කතා උන,
ටෙම්පරිව මගේ උන,
උබ ලිව්ව ආදරේ,
මොහොතකට දැනුන නම්,
ලියවෙන්නෙ පිහිතුඩෙන් බව,
නගින් නෑ බස් එකට,
ජීවිතේ මිස් වෙච්ච්.."
ගෙදර එන ගමන් uber එකේදී කියවපු ,සදූ share කරපු කවියක්. හරියට බලාගෙන ඉඳලා ලිව්වා වගේ. දහස් ගානක් මිනිස්සු යන එන බස් එකේ, මට වගේම මතක තියන තවත් මිනිස්සු ඇති. එක්කෙනෙක් ලියන කවියක් තව කෙනෙක්ගෙ ජීවිතයක් වෙන්නෙ ඒක නිසා වෙන්න ඇති. මම එන ගමන්, ජුබිලි කණුවේ ජේඩ් එකෙන් නාසි ඔඩර් කලා ගෙදරට. ඒක අපේ ගෙදර හැමෝම කැමති රයිස් එකක්. දැවිල්ලට සූ සූ ගගා කන්න පුලුවන්. හැබැයි ඉතින්.. කන බත් කටක් ගානේ, හැම අවුරුද්දෙම ජනවාරි වල එලියට අරගෙන අවුරුදු කෑම සුවඳ එද්දි ආයේ හිත ඇතුලේ අගුලුදාල කූඩු කරන, ලස්සනට ඇඟ හදාගන්න, යෝග කරන්න , ජිම් යන්න කැමති හෙල්දී කෙල්ල, බෙරිහන් දෙනවා. "තෝ කාපිය, කාල පිම්බිලා පිපිරිලාම පල!" කියලා. එතකොටම ඊට එහා පැත්තේ නිදහසේ ඉන්න, මම ආදරේ මට අදරේ කරන, බඩජහරි කෙල්ල කියනවා, මේ අවුරුද්දෙ දැන් බාගයක් ඉවරයි. හොඳට කාල ලබන අවුරුද්දෙම හැදෙමු කියල.
ගෙදරට ඇතුල් වෙද්දීම අම්මගේ කේක් එකේ සුවඳ මාව පොඩි කාලේට අරගෙන ගියා. අම්ම කුකින් ක්ලාස් ගිහින් මුලින්ම ඉගෙන ගත්තේ කේක් හදන්න. මුලින්ම හැදුව කේක් එකෙන් අපි ඉස්සරහ ගෙදර අඹ ගහෙන් අඹ කැඩුවා. ඒ තරම් හයියයි. කාලෙත් එක්ක කොච්චර හොද කේක් කඩ වලින් කෑවත්, අම්මගේ බටර් කේක් තරම් රස වෙන බටර් කේක් එකක් අපිට තාම හම්බ උනේ නෑ. එයාගේ පදමට එයාගේ ආදරේ එකතු උනාම, දැනෙන රස අම්මටම ආවේනිකයි.
"මගේ ටයිමින් හරියටම හරි, දුව එන වෙලාවටම එලියට ගත්තේ"
"කෝ බලන්න රස"
කියාගෙන, මල්ලා මාවත් පෙරලගෙන කුස්සියට පැන්නා. පොඩි කාලේ ඉඳන් අම්මා කේක් හැදුවම, අපි දෙන්න වාටි කන්න පොරකනවා. මට නම් කේක් එකේ රසම කෑල්ල වාටිය. අම්මා වාටි කපනකම් බලාගෙන ඉන්නෙ බිස්කට් වගේ උණු උණුවෙන්ම කරස් ගාල කටට දාගන්න. අපේ ෆැමිලි බර්ත්ඩේ පාටි වල ඉටිපන්දන් ගීත ගායනා නෑ, අපි තුන්දෙනාගෙන් කාගේ උපන්දිනය උනත්, උදේ අම්මගේ කිරිබත් වලින් පටන් අරගෙන හවසට අම්මගේ කේක් එක වෙනකම් එකමයි. රෑ කෑම තමයි වෙනස් වෙන්නෙ.
"මේ අක්කේ, කවුද හලෝ අර නදී අක්කගේ වෙඩිමට බැහල හිටිය ප්‍රින්සස් ඩයනා?"
"ප්‍රින්සස් ඩයනා? කවුද ?"
"අර නිල් ගවුමක් ඇඳන් වෙඩින් එකේ ටික් ටොක් කලේ, phone එක අල්ලන්නයි ඒකි නටද්දි පැත්තකින් ඉන්නයි, තව කෙල්ලො දෙන්නෙක් පිරිවරාගෙන සීලිමට අඩියක් විතර පහලින් ඇවිද්දේ "
"අහ, ටිශාන, නදීගේ කසින් සිස්ටර්, ඇයි මොකද හොයන්නේ ?"
"නෑ ඉතින්... හුරතල් නිසා ඇහුවේ, ඒකිට රිදෙන්නෙත් ඌයි කියල නෙමෙයි ,ඉංග්‍රීසියෙන් අවුච්.. ගාලා"
"පව්, දැන් නලවන්නද හොයන්නේ?"
"නෑ සහෝදරී, හූදී ජන පහන් සංවේගය පිනිස දැන ගන්නයි ඇහුවේ"
"උබ දැන් ඔය ආයේත් දිග කලිසමක් ඇඳ ගත්තේ, හුදී ජනයා බැහැ දකින්නද?"
මල්ලි එලියට යන්න ලෑස්ති වෙනවා දැක්ක අම්මා මූණ නරක් කරගෙන එහෙම ඇහුවත්, මල්ලගේ මූණේ තිබුනේ ,හැමදාම අම්මව ශේප් කරන පෙනුමයි.
"අම්මේ, මම කිව්වෙ අද රෑට ඉබ්බලගේ ගෙදර බඩු අදිනවා"
"මොන ඉබ්බෙක් ද?"
"අයියෝ, ගයිය අනේ අපේ ගල් ඉබ්බා, උන්ගෙ "
"චූටි පුතා, මම කියලා තියනවා රෑ ගමන් තියාගන්න එපා කියලා"
"උන්ගේ අයියලා, වැඩ ඉවරවෙලා එන්නේ රෑටනේ ඉතින්... , ඒකනේ මම ඉක්මනට එන්නම්"
මල්ලි ආඳා වගේ අම්මගෙන් බේරිලා මගේ පැත්තට එද්දීම විශාල කරදරයක් වෙන්න යන්නෙ කියලා මට ඉවෙන් වගේ දැනුනා,
"අක්කේ, ආධාරයක් කරනවා ඉතින්... මම අද අපේ උන්ට කිව්වා තමුසෙගේ හැපි හෙලුකුට්ටම් ඩේ එක කියලා"
"ආ මේක ගන්නවා"
"මේ මොකක්ද මේ? ඔයා ඉස්කෝලේ යන කලේ තමයි අනේ, මොණරුන්ගෙන් පාටි දැම්මෙ. මේ අරගලයට පස්සෙ සිරි ලංකාව, කහ කුරුල්ලෙක් නැතුව පාටි බෑ"
"පන්දාහක් දෙන්න! තමුසෙට පිස්සුද , ආ මේතන තව දෙදහක් තියනවා, මෙච්චරයි!"
කොච්චර ඇඩුවත් එරෙන්නේ කිරි ඔච්චරයි කියල දැනගත්ත මල්ලා, සල්ලි කොල එක්ක ක්ෂනිකව අතුරුදහන් උනා. කටට රසට රයිස් කෑවට, කෑවම තිබහයි. වතුර කලයක් විතර බිව්වම බඩ උස්සන් ඉන්න බෑ. කලින් ඇඳට ආවත් නින්ද නම් ලඟ පාතකවත් නෑ. මගේ කාමරේ, මගේ ඇඳ උඩ, මගේ phone එක ඔබනවා තරම්, සංතෝසයක් තවත් කොහෙද? කියලා හිතන ගමන් නිල්පාට කොටුවේ සුදුපාට f එකට තට්ටුවක් දැම්මා. බස් කවිය ආයේ උඩ ඇවිත්, නදී මාව ටැග් කරල කමෙන්ට් එකක් දාලා. නදීගේ නම උඩින් තට්ටුවක් දාපු මම, නදීගේ වෝල් එක දිගේ පහලට ගියා. එයාල දෙන්න අද බීච් ගිහින්. ලස්සන පොටෝ ගොඩක් දාල තිබුනා. හැම එකටම හාර්ට්ස් දාගෙන පහලට ආව මම ආයෙත් නැවතුනේ උදේ බලපු ඩිනර් පොටෝ එක ලඟ.
ඒත් එක්කම, නිල් පාට උන බෙල් එක නොටිෆිකේශන් එකක් ගෙනාවා. “Hasitha Samarasekara wish you Happy Birthday" හසිත වෝල් එකේ හැපි බර්ත්ඩේ කියල විෂ් කරලා. මම ආයෙත් නදීගේ පොටෝ එක බැලුවා. "ආදරේ වයින් වගේ, කාලෙත් එක්ක රස වෙනවා" ජීවිතේ රසත් කාලෙත් එක්ක වෙනස් වෙනවා. ජීවිතේ එක කාලෙක, රෑ වෙනකම් මදුරුවෝ තල තල ජනේලේන් එලියෙ ඉඳලා, හරියටම දොළහට ජනේලේන් කාමරේට ඇවිත්, නලලට හාදු දීල විෂ් කරපු මිනිස්සු, fb එකෙන්ම ලියලා දෙන මැසේජ් එකට, ඇගිල්ලෙන් තට්ටුවක් දාල විෂ් කරන ගානට වෙනස් වෙනවා. කදුලු ආවේ මොකටද කියලා හිතා ගන්න බැරි තරමට හැගීම් ගොඩක් පපුවේ හිරවෙද්දි, කදුලු වලට නිදහසේ වැටෙන්න දීපු මම, කිසිම ගානක් නැතුව, ඔහේ කරකැවෙන සිවිලිම් ෆෑන් එක දිහා බලන් හිටියා.
මිනිස්සු තනි වෙන්නේ, මිනිස්සුන්ට තනිකම දැනෙන්නෙ, තනියම කාමරයක ඉද්දි නෙමෙයි. මිනිස්සු ගොඩක් මැද තනියම ඉද්දි , මාව අඳුරන මිනිස්සු ගොඩක් මැද මගේම කියන්න කවුරුත් නැති වෙද්දී. ඒත් අපි ඒ වෙලාවට අඩන්නෙ නෑ හිනා වෙනවා. මොකද, අපිට හැමෝම ඉස්සරහ හිනා වෙන්න පුලුවන් උනත්, අඩන්න පුලුවන් තමන්ගෙම කෙනෙක් ලඟ විතරයි. ගිය සතිය වෙනකම් නදී මගේ තනි රැක්කා. පොඩ්ඩක් හිත රිදුනත් දුවගෙන ආවා, සමහර ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති උනත්, හයියට ලගින් හිටියා.
ඒත් හෙට ඉදන් මම තනියම. කාලෙන් කාලෙට මිනිස්සු අපිට ලංවෙනවා අපෙන් ඈත් වෙනවා, අපි අපේ ජීවිතේ එයාල එක්ක බෙදා ගන්නවා. හැම රහසක්ම නැති උනත් අපේ ජීවිතේ අපි හැරුනම වැඩිපුරම අපි ගැන දන්න හොඳ යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා. මම ජීවිතේ දුක සතුට බෙදා ගත්ත මගේ හොදම යාලුවා. එයාගේ ජීවිතේ ලස්සනම සතිදෙක ගෙවනවා. දැනෙන්නේ දුකක්ද සතුටක්ද කියලා විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. ඉස්සර නම් මෙහෙම හැගීමක් ආවම නදීට තමයි කතා කරන්නෙ. ඒත් දැන් කාටද කියන්නෙ? නදීගේන් පස්සෙ, මං ගැන වැඩිපුරම දන්නේ, සමහරවිට නදීටත් වඩා මං ගැන ගොඩක් දේවල් දන්නේ මගේ පෝන් එක. හිතුනොත්, හිතේ තියන හැම දෙයක්ම ලියනවා කතාවක් විදිහට, සදූ ශෙයර් කරල තිබ්බ පේජ් එකට. " තිස් පහයි, තනිකඩයි" කියලා නමක් දැම්මොත් , මම වගේ තවත් කට්ටිය ඒකට කමෙන්ට් කරයි. අත්දැකීම් , දුක සතුට බෙදාගන්න අලුත් යාලුවොත් හම්බ වෙයි.
phone එකෙන් ආපු එලිය, මාව මනෝ ලෝකෙන් එලියට අරගෙන ආවා. අලුත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්. ආයෙත්, අර හිත තිගස්සන බැල්මයි, ඒ හිනාවයි. චතුරගෙන්, යාලුවෙක් වෙන්න ඇරයුමක්. චතුරව දැකලා එක දවසක් උනත්, ඒ බැල්ම මට නුපුරුදු නෑ, මුහුණ වෙනස් උනත්, මම චතුර ඇතුලෙන් මගේ පළවෙනි ආදරය දැක්කා. චතුර කතා බහ කරන විදිහ, ඇවිදින විදිහ, විතරක් නෙමෙයි, එයා ලඟින් එන සුවඳත්, අවුරුදු ගානකට කලින් අමතක කරපු මතක වැස්සක්, මහා කුනාටුවක් කරලා අරන් ආවා.
ජීවිතේ අතින් අල්ල ගත්ත පලවෙනි කොල්ලා, ඊට පස්සෙ ජීවිතේට පිරිමි කොච්චර ආවත් ඒ කාමරේ හැමදාම තිබ්බේ අගුලු දාලා, ඒ අද චතුරව දකින කම්. නදී නැති අඩුව තදටම දැනෙන්නේ මේ වෙලාවට, ඒකි ලග හිටිය නම්... සමහර විට මට බනියි, තෝ වගේ එළ හරකියක්, අච්චර අහිංසක කොල්ලෝ ඉද්දි, එල්ල ගන්නෙම ඔය වගේ රස්තියාදුකාරයන්ව. ජීවිතේ අවුරුදු ගානක් අපතේ යවලා, රිද්ද ගන්න පුලුවන් ලොකුම එකෙන් රිද්දගෙන, ඊට පස්සෙ වැලහින්න වගේ අඩපන් කියලා.
"ම්ම්, මොකද කරන්නෙ ?"
මතු සම්බන්ධයි | no ගැලපෙන love
-------- සිතුකි --------
නදීත් නැති නිසා, හාර්ට් එකක් දාලා share කරනවා වගේම, මං මොකක්ද කරන්න ඕනේ කියලා ඔයාලට හිතෙන දේත් comment කරන්න අමතක කරන්න එපා.