06/10/2025
“පඨවිරිව න ජාතු කම්පතෙ
න චලති මෙරු රිවාති වායුනා
වජිරමිච න භිජ්ජතෙ ඝනං
තමිදමිතො කඨිනන්ති වුච්චති”
‘මහ පොළොව මෙන් කිසිකලෙකත් කම්පා නොවන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟින් නො සෙල්වෙන ඒක ඝන වූ (එකට කැටි වූ) වජ්‍ර පර්වතය මෙන් නො බිඳෙන හෙයින් කඨින යැයි කියනු ලැබේ.’
ශාසන ප්‍රතිපත්තිවලට අනුව භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීම් දෙකකි. ඒ පෙරවස් විසීම හා පසුවස් විසීම යනුවෙනි. ඇසළ පුර පොහෝ දින පොහොය කර්ම කොට පසු දින (අවපෑළවිය) පෙරවස් එළඹිය යුතුය. පෙරවස් එළඹීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේ පසුවස් එළඹිය යුතුය. නිකිණි පුර පොහොය දා පොහොය කර්ම කොට පසු දින පසුවස් එළඹීම සිදු කරයි.
උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් නියමිත දින වස් නො එළඹිය හොත් දුක්කටාපත්ති ඇවැත සිදු වේ. එනිසා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් වස්විසීමට ආරාධනා කළත් නොකළත් වස් එළඹීම සිදු කළ යුතුය. වස් සමාදන් වූ උපසම්පදා භික්‍ෂූහු වස් ඡේදනය නොවී ආරක්‍ෂා කර ගනිමින් පිළිවෙත් පුරති.
පෙරවස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා වප් පුර පොහොය දිනයේත්, පසුවස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා ඉල් පුර පොහොය දිනයේත් මහා පවාරණ විනය කර්මය සිදු කරති.
වස්සාන සෘතුවේ මුල් මාස තුන භික්‍ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. අවසන් මාසය වස් විසූ භික්‍ෂූන් වහන්සේට කඨින චීවර පූජා කරන මාසයයි. “කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බොති වස්සානස්ස පච්ඡිමො, මාසො ජානිතබ්බො” යනුවෙන් විනය පිටකයෙහි පරිවාර පාළියෙහි සඳහන් වන අන්දමට වස්සාන සෘතුවේ අවසාන මාසය කඨිනත්ථාර (කඨිනය පිළිගැන්වීම)කාලය වේ. වප් මස පුර පොහොය දිනට පසු දින (අවපෑළවිය) සිට ඉල් මස පුර පොහොය තෙක් ඇති දින විසිනමය කඨිනත්ථාර කාලය වේ. එම මාසයට චීවර මාසය යැයි ද ව්‍යවහාර කරති. චීවර මාසය තුළ වස් විසූ සෑම විහාරයකම,ආරාමයකම කඨින පින්කම පවත්වනු ලැබේ.
කඨින චීවර පූජාව උදාර බලසම්පන්න කුසල කර්මයකි.
වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ.
සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව සඳහන් ය. සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වේ.
වප් පොහොය බුදු සිරිතේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ දිනයක් සේම ලංකාවේ බුදු සසුන පිහිටුවීමේදී ද අනුස්මරණීය දිනයකි. එසේම කඨින පිංකමේ අවසන් පොහොයට පෙර යෙදෙන්නේ වප් පොහෝ දිනයයි.