04/09/2026
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්නගත එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණි.
පැය කිහිපයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
2013 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් A330 ගුවන් යානා 06ක් සහ A350 ගුවන් යානා 08ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා පිළිබඳව මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම විමර්ශනයට අදාළව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් පුද්ගලයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබිණ.