26/08/2026
යෝධ ඇල මවුන්ටන් පාපැදි සවාරිය 2026 සැප්තැම්බර් 27 වන දින දෙවනවරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
යෝධ ඇල මව්න්ටන් පාපැදි සවාරිය සම්බන්ධව සකස් කළ වෙබ්පිටුව විවෘත කිරීම උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ අතින් පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. මෙම පාපැදි සවාරිය ආරම්භ කෙරෙන තිසාවැව, එය අවසන් කෙරෙන කලාවැව මෙන්ම, පාපැදි සවාරිය හා එහි ගමන් මාර්ගය පිළිබදව ද පූර්ණ තොරතුරු මෙම වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකි වේ. එහි ලිපිනය www.yodaela-mtb.lk ය.
මෙම මව්න්ටන් පාපැදි සවාරිය කිලෝ මීටඒ 80 කින් සමන්විතවේ. උතුරු මැද පළාත් සභාව, පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තුව,අනුරාධපුර මහනගර සභාව මෙන්ම දිස්ත්‍රික් පාපැදි සංගමය එක්ව මෙය සංවිධානය කරනු ලැබේ.මෙම මව්න්ටන් පාපැදි සවාරිය ලෝක සංචාරක දිනයට සමගාමීව පැවත්වෙන අතර, ඒ හරහා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, අපගේ ඓතිහාසික උරුමය, ක්‍රිඩාව ආදී කරුණු පිළිබදව දේශීය මෙන් ම විදේශීය ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ද සිදුකිරීම අපේක්ෂා කෙරේ.
මෙම වෙබ්පිටුව විවෘත කිරීමේ අවස්ථාවට අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, සම්බන්ධිකරණ ලේකම් ආනන්ද රත්නායක,ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්, නාගරික කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත, පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ගයාන් ඉන්දික ,මුලස්ථාන දිස්ත්‍රික් ක්‍රිඩා නිළධාරි උපාලි සුමනතිලක, අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් චන්දන ප්‍රියනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවිය.