15/09/2026
නුවරඑළිය නගරයේ වීදිවල නිදැල්ලේ සැරිසරන පෝනින් සහ සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා පෝනින් සම්බන්ධයෙන් නිසි නියාමනයක් හා අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් රථවාහන අනතුරු සිදුවීමේ අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා, පසුගිය 13 වැනි දින නුවරඑළිය ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක ඩෑෂ්බෝඩ් කැමරාවේ සටහන් වූ දර්ශනවලින්ද මාර්ගයට පැමිණි පෝනියකු හේතුවෙන් මෝටර් රථය අනතුරකට ලක්වන ආකාරය දැකගත හැකි වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය හුදෙකලා සිදුවීමක් නොවන බවත්, මීට පෙරද නුවරඑළිය නගරය හා ඒ අවට මාර්ගවල පෝනින් මාර්ගයට පැමිණීම හේතුවෙන් අනතුරු ගණනාවක් සිදුව ඇති බවත්ය. එම අනතුරුවලදී වාහනවලට බරපතළ හානි සිදුවීම මෙන්ම පුද්ගලයන්ට බරපතළ තුවාල සිදුවූ අවස්ථාද ඇති බව ඔවුහු පෙන්වා දෙනවා.
නුවරඑළිය ප්‍රධාන සංචාරක නගරයක් වන බැවින් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා පෝනින් යොදා ගැනීම සිදුවුවද, එම කටයුතු මහජන ආරක්ෂාවට හා රථවාහන ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පැහැදිලි නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නෙ.