19/06/2021
ගැනීම්ඩ්
🔔 ගැනිමීඩ්ට සමීපව ගවේෂණයේ යෙදෙන ජූනෝ
2011 වර්ෂයේ දී පෘථිවියෙන් පිටත් ව 2016 වසරේ සිට මේවන තෙක් වසර පහක් බ්‍රහස්පති වටා කක්ෂගතව සිටින ජූනෝ (Juno probe) යානයෙහි මූලික අරමුණ බ්‍රහස්පතිගේ සම්භවය සහ පරිණාමය පිළිබඳ ගවේෂණයයි. සෞරග්‍රහමණ්ඩලයේ යෝධයා ලෙස සැලකෙන බ්‍රහස්පති ග්‍රහයා රහස් රැසක් සඟවාගෙන සිටින ග්‍රහලොවකි.
පසුගිය ජුනි 07 වන දා ජූනෝ යානය බ්‍රහස්පති උපග්‍රහයෙකු වන ගැනීමීඩ්ගේ පෘෂ්ඨයට කිලෝමීටර 1038ක් ආසන්නව පැයට කිලෝමීටර 58ක ප්‍රවේගයකින් ගමන්කරමින් ප්‍රබල සංධිස්ථානයක් සනිටුහන් කළේය. 21 වන ශතවර්ෂය ආරම්භ වන විට බ්‍රහස්පති ගවේෂක ගැලීලියෝ යානාව ද මේ හා සමාන සාර්ථකත්වයක් ලබාගෙන තිබුණද, ජූනෝ එයට වඩා දියුණු කළ බොහෝ සංකීර්ණ යානාවකි. ගැලීලියානු චන්ද්‍රයන් අතරින් ගැනිමීඩ් තරමක් සුවිශේෂ වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම උපග්‍රහයා ද වෙයි. එමෙන්ම එය බුධ ග්‍රහලොවටත් වඩා විශාල ග්‍රහ වස්තුවක් වේ. 2015 දී හබල් දුරේක්ෂය මගින් ගැනිමීඩ් තුළ භූගත ලවණ මිශ්‍ර සාගරයක් පැවතිය හැකි බවට සාක්ෂි සොයාගත් අතර බ්‍රහස්පති ගුරුත්වයද සැලකිල්ලට ගත් විට ගැනිමීඩ් මත ජීවයක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව විද්‍යාඥයන්ගේ මතය විය. වසර 20කට පෙර ගැලීලියෝ යානය ගැනිමීඩ් ආසන්නයෙන් ගමන් කළ පසුව ගැනිමීඩ්ට යානාවක් වඩාත්ම සමීප වූ අවස්ථාව මෙය යි. ජූනෝ සහ ගැලීලියෝ යානාවන්ට පෙර ගැනිමීඩ් පැහැදිලිව ඡායාරූපගත කර තිබුණේ 1979 වසරේදී බ්‍රහස්පති අසලින් ගමන් කළ වොයෙජර් යානයෙනි. ජූනෝ සතු තාක්ෂණය හා සැසඳීමේදී බ්‍රහස්පති ගවේෂණ ඉතිහාසයෙහි මේ දක්වා ගැනිමීඩ් තුළ සැඟව ඇති රහස් සෙවීමට ලැබුණු හොඳම අවස්ථාව මෙය යි.
ජූනෝ යානයෙහි කැමරා මගින් සූර්යයාට නිරාවරණය වූ ගැනිමීඩ්ගේ දිදුලන පෘෂ්ඨයේ එක් ඡායාරූපයක් මෙන්ම එහි මතුපිට තවත් විශාල කලාපයක් ආවරණය වන පරිදි ඡායාරූපයක් ද ලබාගැනීමට සමත් ව තිබුණි. මේ අතරින් ආවාට පිරි දිවා මුහුණතේ ලබාගත් ඡායාරූපය පික්සල් එකකට සැතපුම් 0.37 සිට 0.56 ක විභේදන පරාසයේ විහිදුණු ඡායාරූපයක් විය. දෙවන ඡායාරූපය පික්සල් එකකට සැතපුම් 0.6 ක පරාසයේ වූ අතර එය ගැනිමීඩ් චන්ද්‍රයාගේ අයිස් ස්ථරයක් පවතින මුහුණත හොඳින් පෙන්නුම් කරයි. එම තුනී අයිස් ස්ථරය ගැනිමීඩ්ගේ සහෝදර චන්ද්‍රයෙකු වන යුරෝපා චන්ද්‍රයා සහ සෙනසුරු චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් ට සාපේක්ෂව ඝනකම අඩු අතර එහි ජීවය පැවතීමේ සම්භාවිතාව ද අඩු බව විද්‍යාඥයින්ගේ මතයයි. හරිත වර්ණ පෙරහනයක් හරහා පමණක් ලබාගත් නිසා මෙය කළු සුදු ඡායාරූපයක් වූ අතර ඉදිරියේදී රතු සහ නිල් වර්ණ පෙරහන් යොදා තවත් ඡායාරූප කිහිපයක් ලබාගත් පසු ගැනිමීඩ් හි පැහැදිලි වර්ණ ඡායාරූපයක් සැකසීමට හැකි බව NASA ආයතනය පවසන ලදී.
ගැනිමීඩ්ට ආසන්න වීමෙන් අනතුරුව ජුනි 08 වන දින ජූනෝ සිය මෙහෙයුමේ බ්‍රහස්පති සමීපකයක් සම්පූර්ණ කිරීමට සමත් විය. පෙර සැලසුම් කර තිබූ සැලසුමට අනුව ජූනෝගේ අවසාන බ්‍රහස්පති සමීපකය වූ මෙය සමස්ත මෙහෙයුමේ 34 වෙනි බ්‍රහස්පති සමීපකය වූ අතර බ්‍රහස්පති මතට හෙළීමෙන් වායුගෝලීය අධික පීඩනය හමුවේ ජූනෝ යානය විනාශ කරවීමටත්, විනාශ වන මොහොතේදී එමගින් සංඥා ග්‍රහණය කරගැනීමටත් කටයුතු සැලසුම් කර තිබුණි. නමුත් මෙම වසරේ ජනවාරි මාසයේදී NASA විද්‍යාඥයන් විසින් යළිත් ජූනෝ මෙහෙයුම දීර්ඝ කිරීමට තීරණය කළ බැවින් තවත් බ්‍රහස්පති සමීපක 41ක් සිදුකරමින් 2025 වසරේ සැප්තැම්බර් වන තෙක් ජූනෝ යානය බ්‍රහස්පති අවට ගවේෂණ සිදුකිරීමට නියමිතය. දීර්ඝ කළ වැඩසටහන අනුව ජූනෝ හි දෙවන මෙහෙයුමේ පළමු බ්‍රහස්පති සමීපකය ලබන ජූලි මස 20 වන දින සිදුකිරීමට අපේක්ෂා කෙරේ. ජූනෝගේ මෙම සොයාගැනීම් බොහෝමයක් ලබන වසරේදී ගැනිමීඩ්, යුරෝපා සහ කැලිස්ටෝ යන ගැලීලියානු අයිස් උපග්‍රහයන් වෙත දියත් කිරීමට නියමිත අතර Jupiter Icy Moons Explorer (JUICE) යානයේ ගවේෂණ සඳහා මනා පිටුවහලක් වනු ඇත. කෙසේ වුවත් ජූනෝගේ මෙහෙයුම් කාලය අවසන් වීමට පෙර එමගින් බ්‍රහස්පතිගේ තවත් රහස් රැසක් හෙළි කරගනු නොඅනුමානය.
✍️ සිනෙර රිද්මික
Sinera Ridmika
🎨 Isuru Ranaweera
Image © NASA/JPL-Caltech/SwRI/MSSS
📌 https://solarsystem.nasa.gov/moons/jupiter-moons/ganymede/in-depth
📌 https://youtu.be/_imemZt2K2I