07/09/2026
වීසා රහිතව තායිලන්තයට පැමිණීමේ හැකියාව අහිමිවූ රටවල් 21 අතරට ලංකාවත්
ශ්‍රී ලාංකිකයන්ට වීසා නැතිව තායිලන්තයට ඇතුළුවීමට දී තිබූ අවසරය ලබන 15 වැනිදායින් අහෝසි කෙරෙණු ඇත.
මේ අවස්ථාව අහිමි වන්නේ තායිලන්ත වීසා ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට එරට රජය ගත් තීරණය හේතුවෙනි.
එහෙයින් එළැඹෙන 15 වැනිදා සිට තායිලන්තයට ගමන් කරන සියලුම ශ්‍රී ලාංකිකයන් තායිලන්තයට පිටත්වීමට පෙර වලංගු වීසා බලපත්‍රයක් ගැනීම අනිවාර්ය බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
තායිලන්ත නව වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21 කට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට තිබූ හැකියාව අහිමි වන්නේය.
තායිලන්ත රජය 2024 වසරේ ජූලි මාසයේදී හඳුන්වා දුන් වීසා ප්‍රතිපත්තියෙන් රටවල් 93 ක වැසියන්ට දින 60 ක කාලයක් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර දී තිබිණි. නව වීසා ප්‍රතිපත්ති සංශෝධනය මගින් වීසා රහිතව තායිලන්තය ඇතුළු වියහැකි රටවල් ගණන 60 කට සීමා කර ඇත.
වීසා රහිතව තායිලන්තයට පැමිණීමේ හැකියාව අහිමිවූ රටවල් 21 අතරට කොලොම්බියාව, කියුබාව, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝරය, ග්වාතමාලාව, ජැමෙයිකාව, කොසෝවෝ, මෙක්සිකෝව, මොනාකෝ, මොරොක්කෝ, පැනමා, පැපුවා නිව්ගිනියා, සැන් මරිනෝ, ටොංගා, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, උරුගුවේ සහ උස්බෙකිස්තානය ඇතුළු රටවල්ද ඇතුළත්වේ.