13/03/2025
පළිගැනීම
05. කොටස
වාසු තමන්ටත් වඩා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරේ අනන්‍යාට. ගැහැනු ළමයෙක්ව පිරිමි ළමයෙක්ගේ හදවතින් වෙන් කලත්, තාත්තා කෙනෙක්ගෙ ජීවිතෙන් තම දියණිය කාටවත්ම වෙන් කරන්න බැහැ. ඒ නිසාම අනන්‍යා එයි කියලා වාසුගෙ හිතේ තිබුණෙ ලොකු විශ්වාසයක්. අනන්‍යා ගිය තැනක් ගැන කාටවත් ලොකු අදහසක් නොතිබුණත්, හෙට අනන්‍යාගෙ මූණ බලන්න ආසාවෙන් හිටියේ වාසු විතරක්ම නෙමෙයි. හසිතුත් අනන්‍යා ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ඉපදුනු දා ඉඳලා දෙන්නට දෙන්නගෙ කටහඬක්වත් නැතිව මෙච්චර කාලයක් හසිත් ඉඳලම නැහැ. ඒ ගැන හසිත් හිටියෙ හිතේ අමනාපෙන්. ඇත්තටම අපිව වටින මිනිස්සු මොනදේ උනත් කොහොමහරි අපිත් එක්කම ඉන්නවා. හසිත් කියන්නෙත් ඒ වගේ කෙනෙක්.
‘’පොඩි කාලෙ නම් කොහේ ගියත් අනන්‍යා මට කියලයි යන්නේ අම්මේ... මට දුක වෙන මොකුත් නෙමෙයි මෙදාපාර මට වචනයක්වත් නොකියා ගිය එක..”
“ඈ බන් හසිත් උඹ දුක් වෙන්නේ ඇයි... ඇරත් දැන් ඒකි ලොකුයිනෙ... උඹ දැන් ඕනවට වැඩි ඈ... මෙයත් එනවා හොඳ පොටකට... ඕවනම් තියාගන්න එපා පුතෝ මේ අම්මා එක්ක හරිද... ඔන්න මං නොකිව්වා කියන්න එපා... වාසු අයියා අපිට හිතවත් බව ඇත්ත. අනන්‍යා අපේ පවුලේ එකියක් වගේ හැදුනු බවත් ඇත්ත. එහෙමයි කියලා ඒකිව මේ ගෙදරට කැන්දන් එන්ඩ උඹ හීන මවන්න එපා.. අනික කවුද දන්නේ ඒකි කා එක්ක මොනවා කරනවද කියලා ගෙයින් පිට ඉදන්...”
“අනේ අම්මේ මේ නොදන්න දේවල් කතා කරන්න එපා... බලන් ගියාම අම්මත් ගමේ අනිත් ගෑනු වගේනෙ..”
ඉවසිය නොහැකි කේන්තිය නිසාම වැරදි යමක් කියවෙයි කියා බිය වුණු හසිත් එතැනින් නික්ම ගියේ තව දුරටත් දිලේකා සමඟ කතා කිරීම ඵලක් නැති බව වටහාගත් නිසාමය. මේ අතර ඩයස් මාන බලමින් සිටියේ වාසුව තම ඇමට හසු කර ගැනීමටයි. මේ ගැන කුමාරටත් තිබුණෙ කුතුහලයක්.
“ආ... ඩයස් අයියේ ඇයි අයියට වාසුවම ඕනි..?”
“යකෝ කුමාර, ඌ හින්දා මට කොච්චර නම් වාසි උනාද ? ඌ කොහොමහරි ගේමක් ගහනවා. මට ඌව කොහොම හරි මේ වැඩේට ඕනෙ..”
“ඌ දැන් ඉස්සර එකා නෙමෙයි ඩයස් අයියේ.. ඌට ඉතිං මම කී පාරක් ගිහින් කතා කරාද.. ඌ පයිසෙකටවත් අයියව ගණන් ගන්නෑ.. මොනා නැතත් ඉස්සර වගේම උගේ අලි ඔලුව නම් තියෙනවා.”
“ඒවායින් මේවයින් මට වැඩක් නෑ... මට වෙන්න ඕන දේ මම කිව්වේ.. කැත්තෙන් හරි උදැල්ලෙන් හරි මට කොහොමහරි ඒක කරලා දීපන්...”
“ඉතින් මං ඕක කරන්ම්කෝ ඩයස් අයියෙ..”
“උඹලට පුළුවන්ද බං වැඩක් කරන්න..? උඹලට බැ ඒක එක්ක හැරෙන්නවත්.. කියවිල්ල නවත්තලා ආයෙ වාසුලෑ ගිහින් බලපන්.. මට ඒ වැඩේ කරල පෙන්නපන්කො ඉස්සෙල්ලා...”
ඩයස්ගෙ මේ නීති විරෝධී වෙළඳාමෙන් වාසු අයින් වුණාට පස්සේ ඩයස් ළඟින්ම හිටියෙ කුමාර. කුමාර කොච්චර උත්සහ කරත් වාසුගේ තැන ගන්න නම් කුමාරට පුළුවන් වුණේ නෑ. ඩයස් වාසු එක්ක කරපු දේවල්වලින් බාගයක්වත් කුමාරට කරගන්න පුලුවන් වුනේ නැහැ. කාලෙකට පස්සෙ ඩයස්ට හම්බුන ලොකුම කොන්ත්‍රාත් එක වාසු නැතුව කරගන්න බැරි බව ඩයස් හොදටම දැනගෙන හිටියා. ඒ නිසාමයි බොහොම ඉවසීමෙන් ආපහු වාසුව මේ වැඩේට සම්බන්ධ කරගන්න ඩයස් උත්සාහ කරන්නෙ. ඒ ගැන කුමාර වාසු එක්ක හිටියෙ ඊර්ෂ්‍යාවෙන් වගේම තරහෙන්. ඩයස්ගේ වචනෙ අහක දාන්න බැරි නිසාම කුමාර වාසුව හොයන් ගියේ දිලේකගෙ ගෙදරට.
“දිලේකෝ... දිලේකෝ...”
“ආහ්... මේ කුමාරනෙ.. උඹ මොකද මේ පැත්තෙ..?”
“වාසුවව හොයාගෙන ආවෙ බං..”
“ඉතින් බන් වාසු අයියා ඉන්නේ අපේ දිහායැ.. ගෙදර බැලුවෙ නැද්ද ?”
“ගෙදර දොර වහල තිබුණේ... කොහොමත් ඉතින් ඌ ගෙදරට වඩා ඉන්නේ මෙහේ නේ... ”
“මොකද්ද මොකක්ද උඹ දැන් කියන්නේ ? ”
“කිව්වේ ඉතින් ගමේ හැමෝම කියන එක තමයි..”
“අනේ මේ කුමාරයො... උබ ඔය කියන අවලං කතාවලට තොට හෙන ගහන්න ඕනෙ.. උඹ හිතන්නෙපා ඔයා අවලං කතා අපි හැමදාම අහගෙන ඉඳීවි කියලා...”
“හරි හරි ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ දිලේකෝ.. මං වාසුව හොයා ගන්නම්කො.. එහෙනම් මං ගියා ඈ..”
කුමාර නොපෙනී යනකන්ම දිලේකා නොයෙක් දෙස්දෙවොල් තියන්නට විය. ඇගේ කෑ ගැසීම නැවතුනේ “කෑනුගහ ඉන්න අම්මෙ... ඌ දැන් ගියානෙ.. අනික උන් සත්තු වගේ මිනිස්සු..” යන්නෙන් හසිත් පැවසා මිනිත්තු කිහිපයකට පසුය. මිනිස්සු හැමදාම කෙරේ තවත් මිනිහෙක්ට කතාවක් හදපු එක. හසිත්ගෙත් අනන්‍යාගෙත් සම්බන්ධයට කටකතා හැදෙනවා වගේම වාසු සහ දිලේකා අතරත් මොකක් හෝ සම්බන්ධයක් ඇති බවට කටකතා හැදෙන්න ගත්තේ අනන්‍යාගේ අම්මා නැතිවුන දා ඉඳලමයි. ශ්‍රියානිට තිබුණු හිතවත්කම නිසාම දිලේකා ඔවුන්ට උදව් කළා මිස වෙන කිසිම අරමුණක් වාසුගේ හිතේවත්, දිලේකාගේ හිතේවත් තිබුණේ නැ. හොඳ මූණ පෙන්නගෙන වාසු ඉස්සරහ හිටපු කුමාරට ඕන වුණේ මේ කතාව උලුප්පලා පෙන්වමින් වාසුගෙන් පලිගන්න. එහෙම කලේ කුමාරට වාසු ගැන තිබිච්ච ඉරිසියාව නිසාමයි.
“අම්මට තිබ්බ උන් එක්ක ඕනාවට වඩා කතා නොකර ඉන්න.. ඔව්වා ගණන් ගන්න ඕන නෑනේ... අපි දන්නවනේ අපි කවුද කියලා..”
“ගණන් නොගෙන ඉන්න...?? එහෙම ඉන්න පුළුවන් විදියේ කතාද ඌ මට කියලා ගියේ..? එහෙම ඉන්න තිබ්බා අපිටත් ඇස් කන් පේන්නැත්නම්...”
“දැන් අම්ම ඕව වාසු මාම එක්ක කියන්න යන්න එපා... දන්නවනේ එයාගෙත් හැටි ඇවිස්සුනොත් ඉවරයි...”
“උඹ කට කටවහන් ඉඳපන්කො.. උබ මට දැනමුතුකම් දෙන්න එන්න එපා... පලයන් යන්න මගේ යකා තවත් අවුන්සන්නැතුව.. උඹත් වගකියන්න ඕන ඔය හැදෙන කතාවලට.. උඹත් අරකිගෙ ඇඟේ ඔව් ඕනාවට වඩා එල්ලෙන්නෙ නැතුව ඉදියා නම් මෙ මුකුත් නෑනෙ..”
“මේක හරි කතාවක්නෙ... හැම මගුලම ඉවර වෙන්නෙ මගෙ පිටින්නෙ.. ඕවට අර අහිංසක කෙල්ලව ගාවගන්න එපා..”
“හරි අමාරු ඇති ඒකිට මොනවහරි කියද්දි...”
තවත් කිසිවක් නොකියා හසිත් එතැනින් පිටව ගියේ දිලේකාගේ කෝපයට තමාගේ කෝපය මුසු කිරීමට තිබූ අකමැත්ත නිසිය..
i
මලීෂා වීරසූරිය නිර්මාණය
පවුර ප්‍රකාශනය