16/10/2025
‘අපිට කොයින්ද පූසෝ මාළු - අපි යනවායැ මූදු’ කියලා ඕන එකටයි එපා එකටයි හැම එකටම කියපු කාලයක් තිබුණා නේද?
හෝව්... හෝව්... පොඩ්ඩක් ඉන්න... තාමත් එහෙම කියනවද? එහෙනම් හොඳ ටොක්කක් ඇනගෙන මෙන්න මෙහෙ එන්න, කතාවක් තියෙනවා කියන්න.
නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවා වගේ, තමන්ගේ අරමුණුවලට යන්න කිසි උනන්දුවක් නැති, කොටින්ම කියනවනම් අරමුණක් නැති කම්මැලියන්ගේ සංගමය විසින් හදාගත්තු කියමනක් තමයි ඔන්න ඕකත්. මන්තර වගේ උදේ හවස ඔය වගේ කතා කියන අය ඒකෙන් තමන්ට වෙන හානිය ගැන ඇත්තටම දන්නේ නෑ.
ලොකුම ප්‍රශ්නෙ තමයි එහෙම අය, රටේ ලෝකෙ ඉන්න අනිත් හැමෝම මාර ලොකු මිනිස්සු, දක්ෂ මිනිස්සු විදියට දැක්කට තමන් ගැන එහෙම දකින්න කැමැති නෑ. ඒ නිසා ‘අපි ඔය ලොකු අතු අල්ලන්න යන්නේ නෑනේ’, ‘ඇඟිල්ලේ තරම දැනගෙනයි ඉදිමෙන්න ඕන’, ‘අපි කන හැටි ලිපා දනී’ වගේ මෝඩ කතා ටිකක් අල්ලාගෙන ඒවම කිය කියා ඉන්නවා.
ඒ නිසා දැන්වත්, ඔයා ඔය ලොකුයි කියලා මෙච්චර කල් ඔලුව උඩ තියාගෙන ඉඳපු හැමදේම පැත්තක තියලා තමන්ව ලොකුවට දකින්න පුරුදු වෙන්න. හැබැයි එහෙම හිතලා වැඩ කරද්දී සමහරු අහයි “ඔයා මාර පොරක් කියලාද හිතාගෙන ඉන්නේ?” කියලා. නැත්නම් ඒ අය කියයි “ඔයා රඟනවා වැඩියි” කියලා. එහෙමත් නැත්නම් කියයි “එයා දැන් අහසේ ඉන්නේ” කියලා. ඉතින් කියපුදෙන්. එයාලා කියන ඒවට බයෙන්, ඔයා අතිශය සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වුණත් ඒ මිනිස්සු ඔයාට නිර්වචන දෙන එක නතර කරන්නේ නෑ. සමහරවිට එතකොට ඔයාට නිර්වචන දෙන්නවත් ඒ අය ඔයා දිහා හැරිලාවත් බලන එකකුත් නෑ. හොඳට මතක තියාගන්න... ඔය ගොඩක් අය කතා කියන්නේ සහ කතා හදන්නේ ඔයා එයාලට අභියෝගයක් වෙන්න යනවා කියලා දැනෙන මොහොතේ. එහෙම නැත්නම් ඔයා උන්නද මළාද කියලාවත් කවුරුවත් බලන්නේ නෑ.
සමහරු හරි කැමතියි “මං හරි දුප්පත් කෙනෙක්” කියලා කියන්න. එතකොට එයාලා හිතනවා එයාගේ අව්‍යාජ බව දැකලා මිනිස්සු එයාට ගෞරවණීය විදියට සලකයි කියලා. මොන පිස්සුද? එහෙම වෙන්නේ නෑ. අපේ නැතිබැරිකම් කියන්න කියන්න බහුතරයක් මිනිස්සු අපේ ඔලුවට අත හෝදනවා. අපිව පාගලාම දානවා. එතැනින් නවතින්නේත් නෑ. ඔයා ඉස්සරහට තියන අඩියක් අඩියක් පාසා ඔයාට කතා හදනවා. කොහොමද දන්නවද?
“දැන් ඔහොම උන්නාට, එයා හිටපු විදිය අපිනේ දන්නේ” වගේ කතා කියලා කිසියම් මොහොතක එයාලා ඔයාගෙ අතීතය වමාරන්න පටන්ගන්නවා.
හැබැයි මම මේ කියන්නේ ඇතුවාට වැඩිය පෙන්නගෙන මට අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා බොරු කියන්න නෙවෙයි. ඒත් ඔයාට මොකුත්ම නැති වුණත් ඒ නැතිබැරිකම් ගැන නොකියා ඉන්න. සමහර වෙලාවට ෆෝන් එකට කාඩ් එකක් දාගන්නවත් මේ වෙලාවේ අතේ පිච්චියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය සද්ගුණවත් කියලා පෙන්වන සමාජයත් එක්ක ඒ නැතිබැරිකම් බෙදාගන්න යන්න එපා. සමහරවිට දවල්ට කෑම එකක් කන්න අතේ සල්ලි නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒ වේල වතුර ටිකක් බීලා බඩගින්නෙ ඉන්න. කාගෙහරි අනුකම්පාව වළඳනවාට වඩා ඇත්තටම ඒක ඇඟට ගුණයි.
ජීවිතේ අමාරුයි තමයි. වගකීම් වගවීම් වැඩියි. අතට එන මුදල හැරෙන්නවත් මදි කියලා හිතෙන වෙලාවල් වැඩියි. ඒත් එහෙම අමාරුකම් තියාගෙනත් රුපියල් සීය, දෙසීය, පන්සීය, දාහ හරි කමක් නෑ ඉතිරි කරන්න. ඒකත් අත්‍යවශ්‍ය වියදමක් කියලා හිතලා ඒ මුදල අයින් කරලා තියන්න. අද ලක්ෂෙට කොඩි දාන ගොඩක් මිනිස්සු පටන්ගත්තේ ඒ වගේ පොඩි තැන්වලින්.
ඒ නිසා මම හරි පුංචි මනුස්සයෙක්, මම හරි දුප්පත්, මට කවුරුත් නෑ කිය කියා යන එක නවත්වන්න. ෆේස්බුක් එකේ වුණත් කවි, නිසඳැස් ලියන්න අවශ්‍යනම් හඳ තරු, මල් ගැන කවි ලියන්න. ලස්සන දේවල් ගැන ලියන්න. සතුටු හිතෙන දේවල් ලියන්න. සතුටින් ඉඳපු වෙලාවල් ගැන ලියන්න. එහෙම නැතුව නැතිබැරිකම් ගැන ප්‍රසිද්ධියේ ලෝකයාට කියන එක දැන් නතර කරන්න.
නැතිබැරිකම් නිසා ඔයා කොච්චර දුක් වින්දාද, පීඩාවට පත්වුණාද කියලා කියන්න දවසක් එයි. හැබැයි එහෙම කියන්න ඕන, අනිත් අය ඔයා දිහා බලලා ‘මටත් එයා වගේ වෙන්න ඕන’ කියලා හිතන දවසක විතරයි. එහෙම දවසක අනිවාර්යෙන්ම ඒ කතාව කියන්න. එදාට ලැජ්ජා වෙන්න හෝ බය වෙන්න දෙයක් නෑ.
හැබැයි එතකන් මීයට පිම්බා වගේ ඉන්න. සද්ද නැතුව ඔයාගෙ දිනුම් කණුව හොයාගෙන යන්න. ඒකට මුලින්ම කරන්න තියෙන්නේ හරි පුංචි දෙයක්. ඔයා ලොකු මනුස්සයෙක් කියලා හිතලා වැඩ කරන්න.
හිතවන්ති