13/10/2025
තිලකරත්න ඩිල්ශාන් කියන දේවල් ඔහුට ඇත්තටම ලැබුණේ නැද්ද?
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් පහුගිය දවසක යූ ටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කරනවා. ඔහු මේ ප්‍රකාශ වලින් කියන්නේ තමන්ගේ නායකත්වය අසාර්ථක වීමට නිදහසට කාරණා.
ඩිල්ශාන් කියන විදිහට ඔහුට නායකත්වය ලැබුණට පස්සේ පරිණත ක්‍රීඩකයෝ සහයෝගය ලබා දීලා නෑ. ඒ විතරක් නෙමෙයි ඔවුන් කලින් වගේ හරි විදිහට ක්‍රීඩා කරලත් නෑ. ඩිල්ශාන් පිටිය මැද්දේ තනි වුණා වගේ කතාවක් තමයි ඔතනදී කියන්නේ.
තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර නායකයා බවට පත් වෙන්නෙ 2011 ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව. 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඩිල්ශාන් උපරිම දක්ෂතා දැක්වූවා. අනික ඒ කාලයේ ඔහු පිතිකරුවෙක් විදිහට හිටියේ සුපිරි පීක් එකක. නමුත් නායකත්වය ලැබුණට පස්සේ මේ හැමදේම වෙනස් වුණා.
ඉන්න එතනට මම සාක්ෂි එක්කම එන්නම්. 2011 ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකාව මුළින්ම සංචාරය කළේ එංගලන්තයේ. ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ එක් පන්දුවාර 20 තරගයක් එතන ක්‍රීඩා කළා. ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේදීම ඩිල්ශාන් ලකුණු 50 ක් එක්ක තමන්ගේ නායකත්වයේ වගකීම ලබාගන්න කටයුතු කරනවා.
නමුත් ඒ තරගයේ දෙවනි ඉනිමේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අතිශය දියාරු ස්භාවය (ඩිල්ශානුත් ඇතුලුව) නිසා තරගය ඉනිමකින් පරාජය වුණා. දෙවන තරගයේ දී ඩිල්ශාන් ලෝඩ්ස් පිටියේ දී ලකුණු 193 ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ටෙස්ට් තරගාවලිය ඔහු අවසන් කළේ ලකුණු 253 ක් එක්ක. 84.33 ක ඉනිමක සාමාන්‍යයක් සහ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වෙන්නත් ඔහුට පුළුවන් වුණා. තුන්වෙනි ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කළේ නෑ.
පරිණත ක්‍රීඩකයන් විදිහට මහේල සහ සංගා ඉතාම හොඳ තරගාවලියක් ක්‍රීඩා කළේ නෑ. නමුත් දෙදෙනාම ශතක දෙකක් වාර්තා කරන්න සමත්කම් දැක්වූවා. නමුත් එක්දින තරගාවලියේදී මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
මේ තරගාවලියේ ඩිල්ශාන් තරග 5 තුළ ලබාගත්ත ලකුණු මෙන්න මේ විදිහයි, 1, 9, 3, 0, 4. තරගාවලිය ශ්‍රී ලංකාව 3-2 ක් විදිහට පරාජය වුණා. එතනින් එක් තරගයක හෝ ප්‍රතිඵලය වෙනස් කරන්න තිබුණා ඩිල්ශාන්ගේ පිත්ත කතා කළා නම්!
මේ එක්දින තරගාවලියේ කණ්ඩායම් දෙකේම වැඩිම ලකුණු ලාභියා වුණේ මහේල ජයවර්ධන. සංගා 3 වෙනි වැඩිම ලකුණු ලාභියා. මහේල දෙවනි එක්දින තරගයේ වීරයාත් වුණා. ඒ වගේම කණ්ඩායම් දෙකෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග. දෙවනියා සුරාජ් රන්දිව්.
පන්දුවාර 20 තරගයත් ඩිල්ශාන් ක්‍රීඩා කළේ නෑ. ඊළඟට අවධානය යොමු වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය දිහාවට. මෙතනදී පන්දුවාර 20 තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ක් විදිහට ජය ගත්තත් එක්දින තරගාවලිය 3-2 ක් සහ ටෙස්ට් තරගාවලිය 1-0 ක් විදිහට පරාජය වුණා.
තිලකරත්න ඩිල්ශාන් ශතකයක් ලබා ගත්තේ මේ තරගාවලියේ. ඔහු පළමු තරගය ගැන සෑහෙන උනන්දුවෙන් කියනවා. තරගාවලිය දිනුවා කියලත් කියනවා. හැබැයි දෙවනි තරගය? මේ තරගයේ මහේල පිත්තෙන් ලකුණු 86 ක් ලබාගෙන කණ්ඩායම ලකුණු 157 කට රැගෙන යනවා.
අජන්ත මෙන්ඩිස් 16/6 ක මැජිකල් ස්පෙල් එකක් දාලා තරගය වෙනස් කරනවා. එක්දින තරගාවලියේ ඩිල්ශාන් ගේ ඉනිම් වල ලකුණු සටහන් වෙන්නේ 29, 24, 55, 12, 17 ක් විදිහට. තවත් පිත්තෙන් අසාර්ථක තරගාවලියක්. ශ්‍රී ලංකාව ජයගත්ත තරග ද්විත්වයේ වීරයන් වුණේ උපුල් තරංග සහ ලසිත් මාලිංග.
ටෙස්ට් තරග 3 ඉනිම් 5 කදී ඩිල්ශාන් ලබාගත්තේ සාමාන්‍යය 27.8 ක අගයක තියාගෙන ලකුණු 139 යි. සංගා මහේල දෙන්නම ඊට උඩින් ඉන්නවා. පන්දු යැවීමේ දී රංගන හේරත් කණ්ඩායම් දෙකෙන්ම වැඩිම කඩුලු ලාභියා.
ඊළඟට ශ්‍රී ලංකාව යන්නේ පාකිස්තානයට. එක්දින තරග 5 යි ටෙස්ට් තරග 1 යි පන්දුවාර 20 තරග 1 යි. ප්‍රතිඵලය ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 4-1 ක්, ටෙස්ට් තරගාවලිය 1-0 ක් සහ 20/20 තරගයත් පරාජය වීම.
ටෙස්ට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සංගා. සාමාන්‍යය 86 ක් එක්ක ලකුණු 516 යි. ඩිල්ශාන් තරගාවලියේම 22.33 ක සාමාන්‍යයක් එක්ක ලබා ගත්තේ ලකුණු 134 යි. මහේල ක්‍රීඩා කළේ එක තරගයයි. නින්දා සහගත පරාජයක් ලබපු එක්දින තරගාවලියේත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබුවේ සංගා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියත් ඔහු. නායක ඩිල්ශාන් ඉනිම 5 ක් තුළ සාමාන්‍යය 23.8 ක තියාගෙන ලබාගෙන තිබුණේ ලකුණු 119 යි.
එකම පන්දුවාර 20 තරගයේ ඩිල්ශාන් ලකුණු 28 ක් රැස් කළා. එපමණයි. අන්තිමට නායකත්වය ගැලවෙන්න කලින් ඩිල්ශාන්ගේ අවසන් තරගාවලිය. දකුණු අප්‍රිකානු සංචාරය. ටෙස්ට් තරග 3 යි, එක්දින තරග 5 යි. ටෙස්ට් තරගාවලිය 2-1 ක් විදිහට පරාදයි. එක්දින තරගාවලිය 3-2 ක් විදිහට පරාදයි.
ඩිල්ශාන් ම කියනවා මම දකුණු අප්‍රිකාවේ ටෙස්ට් මැච් එකක් දිනලා එක්දින තරග 2 ක් එක ළඟ දිනලා ඉද්දී තමයි කැප්ටන්සි එක ගැලෙව්වේ කියලා. උඩ තරගාවලි පරාජයන් ඒ ඇයි කියන එකට උත්තර දෙනවා. එහෙමම දිනුවා කියන ඩිල්ශාන් අනිත් පැත්තට කියනවා පරිණත ක්‍රීඩකයෝ සපෝට් කළේ නෑ කියලා. ඩිල්ශාන් ඔය කියන දකුණු අප්‍රිකාවේ දිනාගත්ත තරග 3 දිනන්නත් පරිණත අයගේ උපරිම සපෝට් එක ලැබුණා.
ටෙස්ට් තරගාවලියේ නැවත ඩිල්ශාන් අසාර්ථකයි. සාමාන්‍යය 24.33 ක් එක්ක ලකුණු 146 යි. එක්දින තරගාවලියේ ඔහු සාමාන්‍යය 32.20 ක් එක්ක ලකුණු 161 යි. මදියි. කලින්ට වඩා හොඳයි. හැබැයි ලකුණු අතින් චන්දිමාල්, සංගා, තරංග තුන් දෙනාම ඩිල්ශාන් ට උඩින්.
ඩිල්ශාන් කියන ඔය ඓතිහාසික දකුණු අප්‍රිකා ටෙස්ට් ජයග්‍රහණයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ ශතකයක් ලැබුවේ තිලාන් සමරවීර. දෙවනි ඉනිමේ සංගා ශතකයක් ලබා ගත්තා. පන්දුවෙන් ඉනිම දෙකේම කඩුලු 9 ක් සහ පිත්තෙන් ලකුණු 30 ක් ලබා දීලා රංගන හේරත් තරගයේ වීරයා වුණා.
ඩිල්ශාන් ගේ දායකත්වය පළමු ඉනිමේ ලකුණු 47 ක් සහ දෙවන ඉනිමේ ලකුණු 4 ක්. ඒ තරග තමන් නිසා දිනන්නත් පරිණත සපෝට් එක තමන්ට ලැබුණේ නෑ කියන්නත් මේ සාක්ෂි එක්ක ඩිල්ශාන් කියන්නේ කොහොමද?
දකුණු අප්‍රිකාව එක්ක තරග 2 ක් දිනුවා කියද්දී සිව්වෙනි එක්දින තරගයේ ඩිල්ශාන් ලකුණු 87 ක් රැස් කළා. තරගයේ වීරයා වුණේ තිසර පෙරේරා. ඩිල්ශාන් ගේ නිත්‍ය නායකත්වයෙන් ක්‍රීඩා කරපු අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 313 ක් හඹා යනවා. ඉනිමේ සම්පූර්ණ නැංගුරම වුණ කුමාර් සංගක්කාර ලකුණු 102 ක් රැස් කරලා තරගයේ වීරයා වෙනවා.
මේ තරගාවලි 4 ම දත්ත අරන් මම කතා කළේ ඔය විදිහට පරිණත ක්‍රීඩකයන් තරග වලදී තමන්ගේ වගකීම පැහැර හැරලා නෑ. ලෝඩ්ස් වල ලකුණු 193 සහ පල්ලෙකැලේ ලකුණු 104 හැරුණම ඩිල්ශාන් බොහෝ අවස්ථා වල අතිශය අසාර්ථකයි. පිත්තෙන් අතිශයම අසාර්ථකයි.
තිලකරත්න ඩිල්ශාන් කියන්නේ අතිශය හොඳ පිතිකරුවෙක් සහ ක්‍රීඩකයෙක්. නමුත් ඔහු අති විශිෂ්ට ක්‍රීඩක කලමණාකරුවෙකු හෝ නායකයෙක් වෙන්නේ නෑ. මීට කලින් වැඩ බලන නායකයා විදිහට ඉන්දීය තරගයක කඩුල්ල පිටුපස ඉඳගෙන කියපු දේවල් වලට ඔහු දඩ කාපු විදිහත් මතකයි.
නායකයා නොවුණත් ශෙවාග් 99 ඉන්නකොට රන්දිව් ට නෝ බෝලයක් දාන්න කිව්වේ කවුද? අන්තිමට නවකයෙක්ගේ ක්‍රීඩා ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඩිල්ශාන් ට පරිණත ක්‍රීඩකයෝ සහයෝගය දුන්නේ නෑ කියලා මාධ්‍යයේ කියන්න පුළුවන් වුණාට ඒ කතා ඔහුට අමතක වෙලාද?
ජීවිතයේදී හෝ ක්‍රීඩා පිටියේදී කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ. සචින් තෙන්දුල්කාර් කියන විශිෂ්ට පිතිකරුවා විශිෂ්ට නායකයෙක් වුණේ නෑ. සමහර විශිෂ්ට නායකයෝ ඉන්නවා එහෙම ලොකු දස්කම් දක්වන්නේ නෑ. මයික් බෙයාර්ලි ලියන ආර්ට් ඔෆ් කැප්ටන්සි පොත කියවන්න පුළුවන් උදාහරණයක් විදිහට.
ඩිල්ශාන් ට ඔය කියන විදිහට නායකත්වය දරපු සමයේ පරිණත හෝ නවක ක්‍රීඩකයන්ගේ සහයෝගය ලැබුණේ නෑ කියලා කියන්න නම් බෑ. හැබැයි ඒ කාලයේදී ඩිල්ශාන් ගෙන් නම් කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලැබිලා නෑ. උඩ දත්ත සියල්ල ඒකට සාක්ෂි දරනවා.
නායකත්වයෙන් ඉවත් කලාට පස්සේ නැවත ඔහු සාර්ථක වුණා. සමහර ක්‍රීඩකයන් නායකයා වුණාම අසාර්ථක වෙනවා. ඒ වගකීම ගැලෙව්වම නැවත රිද්මයට එනවා. එහෙම වෙන්නේ නායකත්වයේ වගකීම කියන අමාරු දේ කරන්න බැරි වෙන නිසා. කලිනුත් ඒකයි කිව්වේ හැම සාර්ථක ක්‍රීඩකයෙක්ම සාර්ථක නායකයෙක් වෙන්නේ නෑ.
ඩිල්ශාන් නායකයෙක් විදිහට ක්‍රිකට් පිටියේ අසාර්ථකයි. ඒ ගැන මොන කතා කියලා පැලැස්තර අලවන්න හැදුවත්, මාධ්‍ය වලට ඇවිල්ලා වෙන අයට වැරැද්ද පටවන්න හැදුවත් වෙනස් වෙන්නේ නෑ.
හැබැයි තිලකරත්න ඩිල්ශාන් කියන ක්‍රිකට් ක්‍රීඩකයා නම් කණ්ඩායමකට ලැබෙන මැණිකක්. ඔහු වගේ දක්ෂයෙක් ලේසියෙන් කණ්ඩායමට හෝ ජාත්‍යන්තර තලයටම ලැබෙන්නේ නෑ.
මේ විදිහට මාධ්‍ය වලට ඇවිල්ලා ආන්දෝලනාත්මක කතා තමන්ටම අවාසි විදිහට කියන එකෙන් වෙන්නේ තිලකරත්න ඩිල්ශාන් කියන විශිෂ්ට ක්‍රීඩකයා දිහා පවා මිනිස්සු වපර ඇහින් බලන්න පටන් ගන්න එක. තමන්ගේ අතේ ලොකු වැරැද්දක් තියාගෙන ඒකට අනිත් පාර්ශව වලට චෝදනා කරන්න බෑ.
ඩිල්ශාන් තේරුම් ගන්නත් ඕනි ඒක.