21/06/2024
සුපින්වත් පොසොන් මංගල්‍යයකට සුභ පැතුම්!
පළමුව, මෙවර පොසොන් උත්සවය , ප්‍රතිපත්ති සහ ආමිස පූජාවෙන් සැමරීමට උත්සුක වන ලක්වාසී සහ අන් සියලු බොදුනුවන්ට අපගේ සුබ පැතුම් එක්කරනු කැමැත්තෙමි.
අවුරුදු දෙදහස් පන්සියයකටත් පෙර එකිනෙකා පරයා යමින් විප්ලවයකින් හෝ යුද්ධයකින් හෝ නොව, අවිහිංසාවෙන්,කරුණා මෙත් සිසිලෙන් යුත් අගනා දර්ශනයකින් සමෘද්ධිමත් සමාජ පරිවර්තනයකට මග පෑදූ ධර්ම ශාස්තෘවරයකු වේ නම් , ඒ් අපේ බුදුරජාණන් වහන්සේ විය යුතුය. එම ධර්ම මාර්ගයේ ගමන් ගැනීමට අපට මග පාදා දුන්නේ ලක්වාසීන් දෙවන බුදුන් ලෙස සලකන මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිසගේ ලංකා ආගමනයෙනි.
මහින්දාගමනය , මෙරටට අනන්‍ය වූ ආගමික, සංස්කෘතික, සාමාජයීය, දේශපාලනික සහ කලාත්මක ආදී සකලවිධ අංශයකින්ම ශිෂ්ටාචාරමය පරිවර්තනයකට හේතු වූ බව රහසක් නොවේ . බෞද්ධාගම සහ ලක්වැසියන් අතර එවක ඇති වූ අවිච්ඡින්න බැඳීම අදටත් අපේ ගම්- නගරවල විවිධ ආකාරයේ දන්සැල්, උත්සව, පූජා ආදියෙන් මනාව දෘශ්‍යමාන වෙයි. එදා දෙවනපෑතිස් රජු ඇරඹූ ධර්මදානමය පින්කම් පසුකාලීනව ක්‍රමානුකූලව පොහෝ දිනයන්හි පන්සලක් පාසා ධර්මදේශනා ලෙස ආරම්භ කළෙන් ලක්වැසි ජනතාව ඒ ධර්මෝපදේශයන් අනුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වූහ. ලොව අන්‍ය ජාතීන් අතර ලක්දිව ධර්මද්වීපයකැයි රැව් පිළිරැව් දුන්නේ අපේ පූර්වජයන් එම සදෝපදේශයන් අනුව කටයුතු කළ පුරවැසියන් පිරිසක් වූ නිසා බව මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුත්තෙමු.
අද ඔවුන්ගේ ඇවෑමෙන් අප අපේ දූ දරුවන් සමඟ කාර්යබහුල නව ලෝකයකට පිවිස සිටිමු. ඒ නව ලෝකයෙහි අපගේ ජීවන රටාවේ කාර්යබහුල බව නිසා මොහොතක් නැවතී පන්සලක් වැඳ පුදාගන්නට, ශීල සමාදානයට පවා කාලය මඳ වෙන බෞද්ධයන් පිරිසක් අප අතර සිටින බව මම දනිමි. බෞද්ධ දර්ශනය අසීමිතව විශ්වාස කරන අයෙකු ලෙස මට පැවසිය හැක්කේ මේ දර්ශනය සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, ඕපනයික බවය, එනමුත් එකී ධර්මය තමන් විසින් ස්වසන්තානයෙහි වෙන- වෙනම උපදවා දත යුත්තකි. එහෙයින්, කාර්යබහුල ජීවන රටාවෙන් මිදී හැකි සෑම විටම පාහේ, බෞද්ධ දර්ශනයෙහි ඇති මේ සාරාර්ථ සත්‍යය නැතහොත් සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය ගති ස්වභාවය අපි සිහිපත් කළ යුත්තෝ වෙමු . පෘථග්ජන අප සියලු දෙනා ඇතුළු මෙලෝ සියල්ල ඉපිද- නැසී යන ස්වභාවයෙන් යුක්තය. ඒකායන සැපත වන්නේ, සංස්කාරයන්ගේ සංසිඳීමයි.
ඔබ සැමට අනිත්‍ය - දුක්ඛ-අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත හැකි ප්‍රඥා සිත් පහළ වන සුපින්වත් පොසොන් මංගල්‍යයකට ආසිරි වේවා !
මහින්ද යාපා අබේවර්ධන,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.