16/07/2025
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය"
වැලිකඩ බන්ධනාගාරය වටකොට සිටින මහා ප්‍රාකාරයේ මුහුණතේ වූ කරන ලද මියුරල් සැරසිල්ල, අපරාධයේ කලු වළාවකින් වැසී ගිය මිනිසෙකුගේ ජීවිතය, බන්ධනාගාරය තුළ පුනරුත්ථාපනය කර බිඳෙන් බිඳ ආලෝකමත් කරන ආකාරය පිටත ලෝකයට පෙන්වා ඇත. "එය ඇතුළත සැබෑ වශයෙන් ම ඇත්තේ ද එවන් ලෝකයක් ද?", "මේ මහා ප්‍රාකාරය ලොවට හඬ ගාන්නේ ඇතුළත ඇති සැබෑ තත්ත්වය ම ද?" වැලිකඩ සිපිරිගෙය ඉදිරියෙන් අනේක වාරයක් එහේ මෙහේ සක්මන් කළ ඕනෑම කෙනෙකුට මෙවන් ගැටලු අනේක තරමක් තිබෙන්නට ඇත.
අධිකරණ ශාලාවේ එක් කෙළවරක වූ විත්ති කූඩුව මතට නැඟ නීතිය ඉදිරියේ වරදකරු වූ අපේම සහෝදරයෙකු හෝ සහෝදරියකගේ අනාගත ඉරණම මේ ප්‍රාකාරය ඇතුළත විසඳෙන්නේ කෙසේ ද? යන පැනයට පිළිතුරු සිය පංච ඉන්ද්‍රියයන් ට ම දැනෙන සේ රිසි ලෙස විඳ ගන්නට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය ශිෂ්‍යයන් ලෙස අප වෙත පසුගිය දිනක අවස්ථාව උදා විය. ඒ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය මානව හිමිකම් සංගමය (Law Students' Human Rights Movement of Sri Lanka Law College) විසින් සංවිධානය විසින් සංවිධානය කරන ලද, බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාව (Prison Visit) සමඟ එක්වීමෙනි.
මුලින් කී මහා ප්‍රාකාරය කොනක වූ කාල වර්ණ මහා ද්වාරය ඇතුළත ලෝකය කෙසේ වේ දැ යි, දකිනු රිසියෙන් අපි ඒ ඉදිරියේ පෙළ ගැසුණෙමු. ඒ පසෙක වූ කුඩා ද්වාරයකින් ඇතුළු වූ අපට දක්නට ලැබුණේ අප සිටින පිටත ලෝකයත් බන්ධනාගාරයත් වෙන් කරන යකඩ කූරු ගේට්ටුවකි. තව මොහොතකින් අප ද, මඳ වේලාවකට ඒ ලෝකයේ සිරවෙනු ඇත. එක පෙළට බන්ධනාගාර භූමියට ඇතුළු වූ අපට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
ඇතුළු වූ තැනම නෙත ගැටෙන්නේ නෙත් සිත් පහන් කරවන චෛත්‍යය සහ බෝධිය යි. මල්, පහන්, පැන් කළ අතින් ගත් සිරකරුවන් ඒ වටා පැදකුණු කරමින් නිවැරදි කරගන්නේ, පෙර දිනක ඔවුනට වැරදුණු තැන වන්නට ඇත. "පන්සල, පල්ලිය, කෝවිල" ආදී ලෙස මඟ සලකුණු දැක්වූ පුවරුව දක්වන දෙසට අප පියමන් කළෙමු. "දුප්පතා ද කෝටිපතියා ද කන්නේ එක ම හැළියෙ එකට හැදෙන කෑම. එළියේ වගේ භේද මෙහෙ නෑ." යයි බන්ධනාගාර නිලධාරියා කී කතාව තවත් තහවුරු කළේ, පන්සලේ, පල්ලියේ, කෝවිලේ ජාති ආගම් භේද වලින් තොරව එකට වැඳුම් පිඳුම් කරන රැඳවියන් ය.
දෙදෙනා බැගින් පෙළට ඇඳෙන අප දෙස ඔවුහූ දල්වා ගත් දෑසින් බලා සිටිය හ. අතීතයේ දිනක ඔවුන් ද අප මෙන් නිදහසේ මේ මහපොළොව මත ඇවිද යන්නට ඇත. නමුත් ඔවුන් අතින් ම වූ වරද, ඔවුනට මෙම සීමා පවුරු බැඳ ඇත. කාරුණික වදනින් විස්තර කියමින් අපත් සමඟ ම ඉදිරියට ඇඳෙන බන්ධනාගාර නිල දරුවන්, ඔවුනට ද කාරුණිකත්වය පාමින් ගෞරවණීය හා ප්‍රශංසනීය සේවයක් ඉටු කරමින් සිටියි. ඔවුන් අප ව ගෙන ගියේ රැඳවියන්ගේ කටයුතු නරඹන්නට ය. බන්ධනාගාරය තුළ කර්මාන්තපුරයක් වැනි ප්‍රදේශයකි. රැඳවියන් තම දෛනික දිවි පෙවෙත එහි ගත කරන්නේ, ඔවුනට පැවරෙන කර්මාන්තයන් හී රාජකාරි ඉටු කරමිනි. සම් ආශ්‍රිත බෑග් නිශ්පාදන, කොහු ආශ්‍රිත නිශ්පාදන, ලෝහ කර්මාන්තය, මැහුම් කර්මාන්තය, මුද්‍රණ ශිල්පය ආදී නොයෙකුත් කර්මාන්ත මෙහි දී රැඳවියන්‍ට හුරු කෙරෙයි.
"එතකොට මෙයාලව section වලට බෙදන්නේ කොහොම ද?" යැයි අපේ කෙනෙකු ඇසූ පැනයකට පිළිතුරු ලෙස "අපි එයාලා එළියේ කරපු වැඩ මොනවද කියලා බලනවා. ඒකට ගැළපෙන වැඩක් ඇතුළේ තියෙනවා නම්, ඒකට දානවා. නැත්නම් එයා කැමති දේ බලලා එහෙම තැනකට දානවා." පිටත ලෝකයේදී පුද්ගලයා උගත් යමක් ඇත්නම් එය ගිලිහී යන්නට නොදී එවන් අවස්ථාවක් දීම කෙතරම් අගනේ ද, රැඳවියාගේ කැමැත්ත විමසීම කෙතරම් මානුෂීය ද. තව දුරටත් අදහස් දක්වමින්, "දිගු කාලින ව සිරගත වෙලා ඉන්න අයට, නිදහස් වෙලා ගියාට පස්සේ, තනියෙන් ව්‍යාපාරයක් පටන් ගන්න තරමට ම අපි වෘත්තීය පුහුණුව ලබලා දෙනවා." යැයි මේ නිලධාරීන්ගේ ප්‍රකාශනයෙන් විද්‍යමාන වන්නේ, බන්ධනාගාරගත ව සිටින කාලය පිළිබඳ සේ ම ඉන් පසුව ඔවුන්ගේ සුඛ විහරණය පිළිබඳ ව නිලධාරීන් තුළ වූ සැලකිල්ල යි. ඒ සැලකිල්ලට සිරකරුවන් පවා ගරුත්වය දක්වයි.
සැබැවින් ම රැඳවියන්ගේ දක්ෂතාව ඉතා ඉහළ ය. ඔවුන්ගේ නිර්මාණ හා නිපැයුම් අපනයන තත්වයේ පවතියි. ඒවා රටට මුදල් උපයයි. රටට ණය නැති මිනිසුන් වන්නට, පවුලට ආදායමක් උපයා දෙන්නට මෙය ඔවුනට මහත් අස්වැසුම කි.
කර්මාන්ත ප්‍රදේශයෙන් නික්මුණු අප අනතුරුව බන්ධනාගාරයේ පසුපස ගේට්ටුව (back door) පසු කර බන්ධනාගාර ලොන්ඩරිය නැරඹීමට ගියෙමු. එහි වූ ඉතිහාසගත උපකරණ බන්ධනාගාර ඉතිහාසය කෙතරම් දුරකට ඇඳී යන්නක් දැ යි පවසන නිහඬ සාක්ෂිකරුවන් වැනි ය.
ලොන්ඩරිය ඉදිරිපස වූ නොයෙක් විසිතුරු ශාකයන්ගෙන් සමලංකෘත වූ කුඩා බිම් කොටස මෙන් ම ගමන් කරන මාවත දෙපස තණකොළ විවිධ රූ රටා අනුව කපා ඇති අයුරු මෙහි සිටින රැඳවියන්ගේ උද්‍යාන අලංකරණයෙ හි ලා ඔවුන් සතු වන නිර්මාණශීලී ඇස සහ විනය මැනවින් කියා පායි. "වැස්සත් පෑයුවත් මේ ලස්සන හැමදාම මෙයාලා මේ විදියට තියාගන්නවා. දකින අයටත් ඒක පුදුමයක්." යනුවෙන් බන්ධනාගාර නිලධාරීන් මේ අගනා හැකියාව වර්ණනා කරන්නේ සිත යට රුවා ගත් ආඩම්බරයකිනි. නමුත් ඒ පස යට සැඟව ගත් කඳුලු කතාවක් ද වේ. එම කඳුලු කතාව පසෙක වූ දැනට ගස් වලින් වැසීගත් කුඩා කාමරය තුළ අදටත් අඟුළු ලා ඇත. ඒ කුටිය අන් කවරක් වත් නොව ගෙල සිරකර මරණීය දණ්ඩනය ලත් සිරකරුවන් අවසාන වරට රඳවා තැබුණු කුටිය යි. අවමංගල උත්සව ආදියෙන් තොර වූ ඔවුන්ගේ අවසන් මළගමට තම සොහොයුරන්ගේ අවසන් ගෞරවය සෑම දා මෙසේ පුද කරන්නේ දැ යි සිතන තරමට ම එය සිතට දැනේ.
මෙහි දිවි ගෙවූවන්ගෙන් සමහරුන් තම ජීවිතය සිරකුටියකට ම කැප කළ නොවූවන් බව පෙන්වන සාධක රැසක් ම අප වෙත දැනගන්නට ලැබුණි. සිර කුටිය තුළ දී පවා පාඩම් කර උපාධියක් ලැබීමට තරම් සමහර සිරකරුවන් දක්ෂ ව ඇත. මෙයින් නිදහස් වූ සමහරුන් අද තමන්ගේ ම ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් විශාල ධනයක් ඉපැයීමට සමත්කම් දක්වයි.
බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාව අවසන් කොට කාල වර්ණ දොරකඩින් පිටතට පැමිණ ඉහත කී ප්‍රාකාරය දෙස බලන විට එය හුදෙක් ම මියුරල් සැරසිල්ලක් නොවන බවත්, එය එම ප්‍රාකාරයෙන් පිටත සිට එය තුළ යතාර්ථය දක්වන කැඩපතක් බවත් පෙනී යයි. එහි තවද මෙසේ ද සඳහන් වේ.
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය."
ඩිනුක ගංගානාත්
පළමු වසර නීති ශිෂ්‍ය