30/08/2023
"මචං බන්දු මම සේපාල.
උඹ අසනීප උනා කියා මට ආනන්ද කියුවා. ලොකූ ගානක් යනවලු නේද උඹේ ඔපරේෂන් එකට, තව සල්ලි ටිකක් මදිලු නේද. උඹ දන්නවනේ මචං මට සල්ලි නැතී බව ඒත් උඹ වෙනුවෙන් මට නිකන් ඉන්න බෑ. මචං මෙතන 7500 ක් තියෙනවා. උඹේ වැඩේට තියාගනින්. මම පස්සේ එන්නම් උඹව බලන්න. දෙවියන්ගේ පිහිටෙන් උඹට හොඳ වෙනවා. මීට සේපාල "
මා ජිවිතයේ ලද ලිපි අතරින් හදවතට කථා කල වටිනාම ලිපිය මෙයයි. එනම් මට සිටී මිතුරන් අතරින් දුප්පත්ම මිතුරා වන සේපාල උඹ විසින් ලියා මගේ නිවසේ ජනේලයෙන් ගෙතුලට දමා ගිය මේ ලිපිය හා මුදල මට ගොඩක් පාඩම් කියා දුන්නා. මුදලට ගත නොහැකි ගුණාංග දෙකක් වන මනුස්ස කම හා හිතවත් කම උතුරා ගිය නුඹ ගැන ලියන්න මට වචන නැතී තරම්. පැහැදිලිව ලියන්න බැරි 7 පන්තිය දක්වා ගිය නුඹ ලියු මේ ලිපියේ තිබු මනුස්සකම මට මිල කරන්න බෑ.
මෙහිදී නුඹ දුප්පත් කියා මා හැඳින්වුයේ ආර්ථික වශයෙන් පමණි. මනුස්ස කම් වලින් නුඹ තරම් පොහොසත් වෙනත් මිතුරෙකු මට හමුවී නැත.
නුඹට මතකයිනේ අපේ පන්තියේ සිටී යහළුවන්, උන්ගෙන් ගොඩක් දෙනා මේ වනවිට ලොකූ රැකියා කරන පොහොසත් අය. මුදල් හදල් යහමින් තියෙන සමහර උන් එක රැයකදී මත්පැන් වලට වියදම් කරන මුදල උඹ මට දුන් මුදලටත් වැඩියි. මට දැනෙනවා උඹ මට මේ මුදල දී විඳින දුක් කරදර. සමහර විට උඹේ ගෙදර කෑම වෙල් කිහිපයක් අඩුවෙන්න ඇති මේ නිසා. උඹේ දරුවන්ට යම් යම් අඩු පාඩු සිදුවන්න ඇති.
අනුන්ගේ මාළු ලෑල්ලක වැඩකරන උඹේ දිනක වැටුප මම දන්නවා. නමුත් උඹ මගේ ජීවිතය වෙනුවෙන් උඹේ උපරිමය කලා. ඒ වෙනුවෙන් මම මෙහෙම සටහනක් තැබුවාට, ෆෝන් තිබෙන මගේ මිතුරන් මෙය දකී, නමුත් නොදැක්කා සේ සිටියි. පෝන් එකක් නැතී උඹ මේක දකින්නේ නැතී බව මම දන්නවා. ඒත් උඹ නොදැක්කට සමාජයට උඹ වැනි මිතුරන් ගැන මම කිව යුතුමයි සේපාල.
මේ වනවිට වසර 05 කට පෙර ඉහත ලිපිය හා කථාව ලියන්නට සිදුවූ සිදුවීම 2014/12/08 දින හදිසියේ සිදුවූ මාගේ අසනීපයි. එක් වරම ඇතිවූ පපුවේ හිරවීම (Hart attack) මට ඉතා බිහිසුණු අද්දැකීමක් විය. කඩිනමින් නවලෝක රෝහල වෙත ඇතුලත් වූ මාගේ, එදිනම පරීක්ෂණ රැසක් සිදුකිරීමෙන් අනතුරුව ක්‍රීටක ධමනියේ අවහිරතා 06 ක් ඇති බව හඳුනා ගැනින. ඉන් 03 ක් 99% ක් වූ අතර, අනෙක් ඒවා 80%, 80%, 70% ක් විය. කඩිනමින් ශල්‍යකර්මයක් සිදුකලයුතු බව වයිද්ය උපදෙස විය.
ඒ සඳහා වැයවන මුදල අවමය ලක්ෂ 08 ක් බව දැන්වීය. මරණයේ දොරකඩ සිටී මාගේ ඊළඟ අභියෝගය එතරම් මුදලක් ඉක්මනින් සෙවීමය.
මාගේ එකම අදායම වුයේ දුබලතා විශ්‍රාම වැටුපයි. ඒ මුදල මා මෙහි සඳහන් නොකරමි. එයින් මා ඇතුළු 05 දෙනෙක් එදා ජිවත් විය. බැංකු වල හා වෙනත් ඉතිරි කරගත් මුදල් හා නිවසේ තිබු රන් ආභරණ සියල්ල වෙනුවෙන් රුපියල් ලක්ෂ 07 ක මුදලක් සොයා ගැනුණු අතර, හිතවත් කිහිප දෙනෙකුද යම් මුදලක් ලබා දුනි. තවත් 50000 ක පමණ මුදලක් අඩු පාඩුව තිබු අතර, ඉහත මා මිතුරු සේපාල ගේ මුදල එම අවස්ථාවේදී කෝටියක් පමණ වටිනා මුදලක් විය. ඉතිරිය මාගේ බිරිඳ විසින් මහත් වෙහෙසක් දරා සොයාගෙන තිබිණ. දින 20 ක් වැනි කාලයක් තුල අවශ්‍ය මුදල් සොයා ගැනීමෙන් පසු ශල්‍යකර්මයට භාජනය විය.
ක්‍රමයෙන් සුවවූ මා මේ අවස්ථාවත් සමගින් විශාල සමාජ අද්දැකීමක් ලැබිය. එනම් මිතුරන් කවුද යන්නය. සාමාන්‍යයෙන් හැමෝටම මෙන් මටත් පාසලේ, ගමේ, රැකියාවේ මෙන්ම වෙනත් විවිධ හිතවතුන් මිතුරන් බොහෝ සිටියද, එවන් අවස්ථාවේ ඒ සියළු හිතවතුන් කොහේ සිටියේද යන්න තවමත් ගැටළුවක් විය. පාසලේදීත් ගමේදීත් එකම බත් පත බෙදා ගෙන කෑ මිතුරන් මෙන්ම, රැකියාවේදී එකම කල්දේරම් බත් කෑ මිතුරන් ද දහස් ගණනකි.
මුදල් බෙහෙවින් ඇති එක් හිතවතෙකුගෙන් රු: 20000 ක ණය මුදලක් ඉල්ලු මට ඔහුගේ පිළිතුර වුයේ මේ දිනවල මුදල් නොමැත යන්නය. මුදල් බොහෝ ඇති ඔහු එසේ පවසා ඇත්තේ මා මියගිය හොත් නැවත එම මුදල අයකර ගැනීම ඔහුට ගැටළුවක් බැවිනි.
කිසිඳු අපහසුවකින් තොරව සාධාරණ මුදලක් මා වෙනුවෙන් වැය කල හැකි එවන් පුද්ගලයින් සමග ඉහත මගේ මිතුරා සේපාල සංසන්දනය කල විට ඔවුන් අහස පොලව සේ දුරස් ක්ෂිතිජය ටවත් ලඟා නොවන අය විය.
දිනක වැටුප ලෙසින් රුපියල් 800 ක් ලැබූ සේපාල උඹ කල කැප කිරීම මා හට කදිම සමාජ පාඩමක් කියා දුනි.
සේපාල මට උඹ ගැන අතීත සිදුවීමක්ද සිහිවුනි. එනම් දිනක් මා පුහුණුවක් නිමවී තණමල්විල පුහුණු පාසලේ සිට ගනේමුල්ල කඳවුර දක්වා ට්‍රක් රථයකින් එන අතරතුරදී උඹේ මාළු ලෑල්ල අසලින් ආව උඹට මතක ඇති. මා වාහනයේ සිට උඹට අත වැනුවා මතකද. එදා එම වාහනයේ මගේ හමුදා සාමාජික පිරිසක් සිටී බැවින් උඹ මා ආමන්ත්‍රණය කලේ "සර්" යනුවෙනි. උඹ එදා මට ගරුත්වය දුන්නේ උඹේ රැකියාව තුලින් මට අවනම්බුවක් වනු ඇතැයි යන හැඟීමෙන් බව මා දනී සේපාල. උඹ වැනි කල්‍යාණ මිතුරන් ඉතා විරලයි. එනිසයි උඹට උපහාරයක් ලෙසින් මා මෙය ලියන්නේ.
තවත් කිවයුතු විශේෂ දෙයක් ඇත. මට ඒ අවස්ථාවට ලේ පයින්ට් 05 ක් අවශ්‍ය වී තිබුණි. ඒ වෙනුවෙන් මා එවකට කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති තුමන් දැනුවත් කෙරින. එතුමා වහා ක්‍රියාත්මකවී ඒ වෙනුවෙන් නියමිත දිනයේ හමුදා සාමාජිකයින් අවශ්‍ය පමණටත් වඩා වාහනයක් සමගින් නවලෝක රෝහල වෙත එවීමට බොහෝ කාරුණික විය. ඒ එවකට බලසේනාධිපති කර්නල් සේනාරත්න මැතිතුමායි (වර්තමාන මේජර් ජෙනරාල් නිලයේ සිටින) මේ මොහොතේ එතුමාද හෘදයාංගව සිහිපත් කරමි. ස්තුතිය පුදමි. තවද ලේ ලබාදීම වෙනුවෙන් පැමිණි නම් නොදන්නා එම සියලු රණවිරුවන්ද කාරුණිකව සිහිපත් කරමි.
මාගේ සැබෑ කලන මිතුර, සේපාල නුඹට ස්තුතී කිරීම මේ ලිපියේ අරමුණ වූ අතර, එතුලින් තවත් දිග කතාවකට මා ගියේ ජිවිත අද්දැකිමක්ද හෙළි කරමින්, මිතුරෙකුගේ ගුණ කතනයක් මිස හුදෙක් මෙය කිසිවෙකුට හෝ අවනම්බුවක්, අපහසු තාවයක් ගෙන ඒමට ලියු ගෙතූ කතාවක් නම් නොවන බව කාරුණිකව දන්වමි.
රණවිරු බන්දුල දසනායක ✍️
උපුටාගැනීමකි =>>