Dawasa Online

Dawasa Online DAWASA ONLINE වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු ! Dawasa Online

⭕️ හෙළයේ මහා ගීත කෝකිලාවිය නන්දා මාලිනී නික්ම යයි!ඔබට සුබ ගමන්!
20/08/2026

⭕️ හෙළයේ මහා ගීත කෝකිලාවිය නන්දා මාලිනී නික්ම යයි!

ඔබට සුබ ගමන්!

🛑 මනම්පිටිය දේවාලයේ පෙරහැරට යන්න ගිය අලියාට අත්වූ අවාසනාවන්ත ඉරණම!ආගමික පෙරහැරක තේජස වැඩි කරන්න යන්න ගිය අපේ රටේ තවත් අල...
07/08/2026

🛑 මනම්පිටිය දේවාලයේ පෙරහැරට යන්න ගිය අලියාට අත්වූ අවාසනාවන්ත ඉරණම!

ආගමික පෙරහැරක තේජස වැඩි කරන්න යන්න ගිය අපේ රටේ තවත් අලි සම්පතකට මහ මඟදිම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා.

කෑගල්ල රන්දෙණිය පැත්තේ ඉඳන් මනම්පිටිය දේවාලයේ පෙරහැරට යන්න ලොරියකින් පිටත් වුණු රන්දෙණියේ බණ්ඩාර තමයි මේ විදියට බිහිසුණු අනතුරකට මුහුණ දීලා තියෙන්නේ.

සිද්ධිය වෙලා තියෙන්නේ කුරුණෑගල මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේදී. ආරංචි වෙන විදියට අලියාව අරගෙන ගිය ලොරි රථයේ හදිසියේම කාර්මික දෝෂයක් ඇවිල්ලා. ඊට පස්සේ අලියාව ලොරියෙන් බස්සලා පාරෙන් ඉවත් කරන්න හදනකොටම, දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වුණු වැලි ටිපර් රථයක් වේගය පාලනය කරගන්න බැරුව අලියාගේ ඇඟේ ගැටිලා තියෙනවා.

මේක කොච්චර දරුණු අනතුරක්ද කිව්වොත්, හැප්පුණු පාරට දැවැන්ත අලියාව මීටර් 50ක් විතර ඉස්සරහට ඇදිලා ගිහින්. මේ අනතුරින් බරපතළ තුවාල ලබපු "රන්දෙණියේ බණ්ඩාර" අලියා මේ වෙද්දීත් ඒ අනතුර වුණු ස්ථානයේදීම පශු වෛද්‍යවරුන් කණ්ඩායමකගේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

අනතුර සිදුකරපු ටිපර් රථයේ රියදුරුව නම් මේ වෙද්දී පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. කොහොම වුණත්, මේ වගේ දැවැන්ත සතෙක් පාර අයිනේ ඉද්දිවත් ඒක නොපෙනෙන තරමටම මේ ටිපර් කාරයෝ යන්නේ කොහේ යන්නද කියන එක තමයි මේ සිද්ධිය දැකපු හැමෝටම තියෙන ප්‍රශ්නේ. රියදුරාගේ නොසැලකිලිමත්කම නිසා අද අහිංසක සතෙක් පාර අයිනේ ජීවිතේත් මරණෙත් අතර සටනක.

රන්දෙණියේ බණ්ඩාරට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්ම, පාරේ යන මේ වගේ නොසැලකිලිමත් රියදුරන්ට නම් නීතියෙන් උපරිම දඬුවම් දෙන්න ඕනේ කියලයි බොහෝ දෙනෙක් කියන්නේ...

🛑 ලෝකෙම හොල්ලපු  අපේ වීර දියණිය! ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයටම අරගෙන ගිය අපේ රටේ දක්ෂ වෛද්‍යවරියක් ගැන තමයි මේ කතාව. ඇය ...
06/08/2026

🛑 ලෝකෙම හොල්ලපු අපේ වීර දියණිය!

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයටම අරගෙන ගිය අපේ රටේ දක්ෂ වෛද්‍යවරියක් ගැන තමයි මේ කතාව.

ඇය නමින් විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත්!

ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (CGHE) විසින් ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව, 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් නම් කරලා තියෙනවා. ලොව පුරාම ඉන්න වෛද්‍යවරුන්ගෙන් සහ විශේෂඥයන්ගෙන් මේ සඳහා තෝරාගෙන තියෙන්නේ පුද්ගලයන් සිව්දෙනෙක් (04) පමණයි. ඒ සිව්දෙනා අතරට අපේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සත්‍යා හේරත් තේරී පත්වීම මුළු රටටම මහත් අභිමානයක්!

විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් (MBBS, MSc, MD) කියන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) ප්‍රධාන අවදානම් ජනගහන වැඩසටහන සඳහා ජාතික වැඩසටහන් විශේෂඥ වෛද්‍යවරිය විදිහට කටයුතු කරන කෙනෙක්. ඇය මෙරට HIV, හෙපටයිටිස් B සහ C මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වැළැක්වීමේ පුරෝගාමී මෙහෙවරක් කරන නිහඬ වීරවරියක් කිව්වොත් නිවැරදියි.

අවදානම් ජනකොටස් හොයාගෙන ගිහින් ඒ අයට සෞඛ්‍ය සේවා ලබාදෙන්න ඇය කරපු කැපවීම තමයි මේ ජාත්‍යන්තර සම්මානයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ඇය ලංකාවට කරපු සුවිශේෂී දේවල් කිහිපයක් මෙන්න.

"One Stop Shop" සංකල්පය: 2018 අවුරුද්දේ ඉඳන් ඇය මේ සංකල්පය ගෙනාවා. ඒ කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය, හානි අවම කිරීමේ සේවා, ස්ථානීය ඉක්මන් පරීක්ෂණ, හෙපටයිටිස් ප්‍රතිකාර සහ මානසික සහාය යන මේ හැමදේම එකම තැනකින් ලබාගන්න පුළුවන් ක්‍රමයක්.

කටු හා සිරින්ජ හුවමාරු වැඩසටහන: 2021 වසරේදී ලංකාවේ ප්‍රථම වතාවට (Needle Syringe Program) හඳුන්වා දෙන්න ඇය පුරෝගාමී වුණා.

හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව: 2022 දී ප්‍රජාව මූලික කරගත් ප්‍රතිකාර සේවා හඳුන්වා දුන්නා. මේ නිසා රෝගීන් ඉක්මනින් හඳුනාගෙන, ප්‍රතිකාර කරලා ඔවුන්ව සුවපත් කිරීමේ ප්‍රතිශතය ගොඩක් ඉහළ ගියා.

ගර්භණී මව්වරුන් දැනුවත් කිරීම: "මා පිය සුමිතුරෝ" සංවිධානයේ Parentcraft වැඩසටහන හරහා ගර්භණී මව්වරුන්ට සහ ඔවුන්ගේ සහකරුවන්ට මේ රෝග ගැන දැනුවත් කිරීමේ විශාල කාර්යභාරයක් ඇය සිදු කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට, මේ සම්මානය ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු ලොකුම ජාත්‍යන්තර පිළිගැනීමක්. ඒ වගේම 2030 අවුරුද්ද වෙද්දී "වෛරස් හෙපටයිටිස්" ලෝකයෙන්ම තුරන් කිරීමේ ගෝලීය ඉලක්කයට යන්න ලංකාවට මේක ලොකු හයියක්.

නිහඬවම වැඩ කරලා, මුළු ලෝකයක් ඉස්සරහා ලංකාවේ නම බැබළවූ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මියට අපෙන් උණුසුම් සුබපැතුම්!

🛑 McDonalds ගිය පසු ලංකාවට Wendy’s එයි!ලංකාවේ ෆාස්ට් ෆුඩ් (Fast food) ලෝලීන්ට මේක නම් ඇත්තටම මාරම සතුටු හිතෙන ආරංචියක් !...
05/08/2026

🛑 McDonalds ගිය පසු ලංකාවට Wendy’s එයි!

ලංකාවේ ෆාස්ට් ෆුඩ් (Fast food) ලෝලීන්ට මේක නම් ඇත්තටම මාරම සතුටු හිතෙන ආරංචියක් !

ලෝකයේම දැවැන්ත නමක් දිනාගෙන ඉන්න, සුපිරිම රසකට කෑම දෙන 'Wendy’s' අවන්හල් ජාලය ලංකාවට අරගෙන එන්න දැන් ඔන්න ලොකු සූදානමක් තියෙනවා. මේ සුපිරි වැඩේට අතගහලා තියෙන්නේ ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික දැවැන්තයෙක් වෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සමාගමයි.

දැනටමත් ලංකාවේ ෆාස්ට් ෆුඩ් මාකට් එකේ ලොකු තරගයක් තියෙනවනේ. ඉතින් ජෝන් කීල්ස් සමාගම මේ සූදානම් වෙන්නේ තමන්ගේ ආහාර නිෂ්පාදන කළඹ තවත් පුළුල් කරලා, පාරිභෝගිකයින්ට වෙනස්ම විදියේ සහ උසස් තත්ත්වයේ අලුත් කෑම අත්දැකීමක් දෙන්නයි.

ඔන්න ගොඩක් අය මඟබලාගෙන ඉන්න මේ ශ්‍රී ලංකාවේ පළමු Wendy’s අවන්හල මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2026 වසරේ දෙසැම්බර් මාසය වෙනකොට විවෘත කරන්න තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්ද අවසානයේ අලුත්ම අලුත් බර්ගර් එකක රස බලන්න ලංකාවේ අපිටත් අවස්ථාව ලැබෙනවා.

ලංකාවේ වේගයෙන් වර්ධනය වෙන ක්ෂණික ආහාර වෙළඳපොළ ඇතුළේ තමන්ගේ ස්ථාවරය තවත් ශක්තිමත් කරන්න ජෝන් කීල්ස් සමාගම මේ ගහන අලුත්ම ගේම, ලංකාවේ කෑම පෙරේතයන්ට නම් සුපිරිම චාන්ස් එකක් වෙයි. දෙසැම්බර් මාසෙදි අපිත් බලමුකො මේකෙ රස කොහොම වෙයිද කියලා!

⭕️ හම්බන්තොට වරායේ වාහන හිරවෙලා!මෙරටට ආනයනය කර මාස තුනකට වැඩි කාලයක් ගතවුවද නිදහස් කරගෙන නොමැති වාහන 1,025 ක් හම්බන්තොට ...
04/08/2026

⭕️ හම්බන්තොට වරායේ වාහන හිරවෙලා!

මෙරටට ආනයනය කර මාස තුනකට වැඩි කාලයක් ගතවුවද නිදහස් කරගෙන නොමැති වාහන 1,025 ක් හම්බන්තොට වරාය පරිශ්‍රයේ දැනට ගාල් කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම වාහන අතුරින් වාහන 625 ක්ම මෙරටට ගෙනැවිත් මාස හයකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

හම්බන්තොට වරායේ වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම කිසිදු වාහනයක් රේගුවේ ප්‍රමාදයක් හෝ වරදක් හේතුවෙන් නතර වී නොමැති බවයි. පවතින ආර්ථික ගැටලු මෙන්ම වෙළඳපොළ තුළ වාහන සඳහා වන ඉල්ලුම අඩුවීම වැනි විවිධ හේතූන් මත ආනයනකරුවන් විසින්ම මෙම වාහන මුදාගෙන නොමැති බව හෙතෙම සඳහන් කළේය.

රේගු ආඥා පනතේ 109 වැනි වගන්තියට අනුව යම් වාහනයක් සම්බන්ධයෙන් කිසිදු රේගු වරදක් සිදුව නොමැති වුවද, අදාළ ආනයනකරුවන් නියමිත තීරු බදු සහ සෙසු බදු ගෙවා මාසයක් ඇතුළත වාහන වරායෙන් නිදහස් කර නොගන්නේ නම්, එම වාහන ටෙන්ඩර් කැඳවීමක් හෝ ප්‍රසිද්ධ වෙන්දේසියක් මගින් අලෙවි කිරීමට රේගු දෙපාර්තමේන්තුවට බලතල හිමිව තිබේ.

එලෙස වෙන්දේසි කිරීමෙන් ලබන ආදායමෙන් රජයට අයවිය යුතු බදු මුදල්, වරාය ගාස්තු සහ ගුදම් ගාස්තු අය කරගන්නා අතර, යම් මුදලක් ඉතිරි වන්නේ නම් එය අදාළ ආනයනකරු වෙත ලබා දීමේ හැකියාව ද පවතී. මාස තුන ඉක්මවූ වාහන පිළිබඳව හම්බන්තොට වරාය මගින් දැනුම් දී ඇති මෙම අවස්ථාවේදී, යම් සාධාරණ හේතුවක් දක්වමින් කිසියම් ආනයනකරුවකු ඉල්ලීමක් කළහොත් එම වාහන නිදහස් කරගැනීමට තවදුරටත් අවස්ථාව සැලසෙන බව ද පැවසෙයි.

විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක, විදේශ විනිමය වැයකර වාහන මෙරටට ගෙනැවිත් මෙලෙස වරායෙන් නිදහස් කර නොගැනීම මගින් සමස්ත ආර්ථිකයටම ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

🛑 පරිස්සමෙන්! අතිශය භයානක ජෙලිෆිෂ් රාශියක් මුහුදු වෙරළට ඇවිත්!පානදුර වෙරළ තීරයට හදිසියේම ජෙලිෆිෂ් මත්ස්‍යයින් විශාල සංඛ්...
03/08/2026

🛑 පරිස්සමෙන්! අතිශය භයානක ජෙලිෆිෂ් රාශියක් මුහුදු වෙරළට ඇවිත්!

පානදුර වෙරළ තීරයට හදිසියේම ජෙලිෆිෂ් මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් ගොඩගසා තිබීම හේතුවෙන්, එම මුහුදු තීරයේ දිය නෑමෙන් වළකින ලෙස මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කෙරේ. ඉකුත් නිවාඩු දිනයේදී මුහුදේ දිය නාමින් සිටි පිරිසක් මෙම මත්ස්‍යයින්ගේ ස්පර්ශයට ලක්ව තුවාල ලැබීමත් සමඟ මෙම තත්ත්වය මතු වී ඇත.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දසදෙනෙකු පමණ වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස අසාත්මිකතාවන්ට සහ තුවාලවලට ලක්වූ පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකු ද සිටි බව වාර්තා වන අතර, රෝහල් ගත කළ සියලු දෙනාටම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් සුවය ලබා පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන අන්දමට කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගසා තිබී ඇත. වෙරළ තීරය පුරා විනෝද වීම සඳහා පැමිණ දිය නාමින් සිටි පිරිස නොදැනුවත්වම මෙම මත්ස්‍යයින් ස්පර්ශ වීම හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට මුහුණ දී තිබේ.

⭕️ යුපුන් ගැන සුසන්තිකාගේ අදහස් !කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහයන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුපුන් අබේකෝන් ක්...
02/08/2026

⭕️ යුපුන් ගැන සුසන්තිකාගේ අදහස් !

කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහයන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමට ගෙන ඇති තීරණය ගැන අදහස් දක්වා තිබේ.

මේ කතාවත් එක්ක මට ඇත්තටම ලොකු වේදනාවක්, දුකක්, කේන්තියක් වගේම ක්‍රීඩාවේ ඇත්ත-නැත්ත දැන් මට බයක් නැතුවම ප්‍රකාශ කරන්න ඕන කියන හැඟීම ආවා. ඒකට හේතුව, මම දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන ඉන්නේ. මම මලල ක්‍රීඩාවේ කිසිම දේකට සම්බන්ධ නැහැ. මම කටයුතු කරන්නේ අපේ ජාතික ක්‍රිකට් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒ නිසා මට හිතුණා මෙහි ඇත්ත-නැත්ත මොකක්ද, හරි-වැරැද්ද මොකක්ද කියලා පැහැදිලි කරන්න. පාලකයන්ගේ අතීත ක්‍රියාකලාපය සහ යථාර්ථය

ඉතින් සුනිල් ගුණවර්ධන මහත්තයා කියපු දේවල් ගැන මට පුද්ගලිකව කිසිම තරහක් නැහැ. නමුත්, ඒගොල්ලන්ගේ පරිපාලන කාලසීමාවේදී ලොකු නිලතලවල කටයුතු කරද්දී ඒගොල්ලෝ ක්‍රීඩාව පරිපාලනය කරපු ආකාරය ගැන මහා ලොකුවට උදම් අනමින්, ලොකු වටිනාකමක් දීලා කතා කළා. ඇත්තටම ඒකද යථාර්ථය?

මට හරි දුකයි. මට තාම අවුරුදු 50යි. මට ඩිමෙන්ෂියා (මතකය අඩුවීමේ රෝගය) නැහැ! මට හොඳ කල්පනාවක් තියෙනවා. මට හොඳ මතකයක් තියෙනවා.

මම ලෝකය හතර වතාවක් දිනපු කෙනෙක්! එක වතාවක් නෙමෙයි, දෙවතාවක් නෙමෙයි, අහම්බෙන් නෙමෙයි!

ලෝක ශූරතා තරගාවලි පදක්කම් 2යි

වර්ල්ඩ් කප් (World Cup) 1යි

ඔලිම්පික් (Olympic) පදක්කමයි

ඒ මදිවට ආසියානු පදක්කම් ගොඩයි.

ඉතින් මේ කරුණු කාරණා එක්ක සුනිල් ගුණවර්ධන මහත්තයා කිව්වා "මේ සුසන්තිකා, සුගත්, ශ්‍රියානිලා, දර්ශලා දිනන්නත් කලින් තමයි මෙයාලට ගෙවල්-දොරවල්, වාහන දුන්නේ" කියලා. එතකොට ඔබතුමාද ඒවා දුන්නේ? ඔබතුමා දුන්නද? මේක ඇත්තද?

මම කියන්නම්, මට නම් කවදාවත් දිනන්න කලින් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. මට විතරක් නෙමෙයි, අනික් සහෝදර ක්‍රීඩකයන්ටත් හම්බ වුණේ නැහැ. හැබැයි ඔව්, ඔබතුමාගේ ගෝලයා දර්ශා! ඒක ඇත්ත. දර්ශාට දිනන්න කලිනුත්, දිනුවටත් වඩා දේවල් ලැබුණා.

මේක කියන්නම ඕනේ. අපි මෙච්චර දවසක් ඇත්තටම මෙහෙම කතා කරන්න ආවේ නැහැ. "අපි අතර තරහද, කුහකද, ඊර්ෂ්‍යාද?" කියලා ඇහුවා. නැහැ! ඔබතුමාලාගේ පරිපාලන කාලයේදී ඔබතුමාලා තමයි පංගු බේරුම් ඇති කළේ. ඔබතුමාලා තමයි ක්‍රීඩකයන් නැති කළේ. ජයග්‍රහණ සහ ලැබුණු ඇගයීම්වල ඇත්ත-නැත්ත

ඉතින් මට කවදාවත් දිනන්න කලින් ගෙවල්-දොරවල් දුන්නේ නැහැ. ශ්‍රියානි කුලවංශට දුන්නෙත් නැහැ. හැබැයි මේ කාලයේ මම දන්නේ නැහැ අසිහියෙන් කතා කරනවාද කියලා!

මම 1997 ඇතැන්ස් හි පැවැත්වුණු ලෝක ශූරතා තරගාවලිය දිනුවට පස්සේ තමයි මට කොළඹින් ගෙයක් හම්බ වුණේ, වාහනයක් හම්බ වුණේ. ඒ කෝටියක වටිනාකමට සම්පූර්ණ දේවල් ඒකට ඇතුළත් වුණේ ලෝකෙන්ම දිනුවට පස්සේ. හැබැයි දමයන්ති දර්ශා දින්නේ ආසියාවේ විතරයි. 'Asian Games Gold Medal' ගත්ත කීදෙනෙක් අපේ රටේ ඉන්නවාද? හැබැයි එතුමියට 'Sports car' පවා දුන්නා!

මට නම් එහෙම හම්බ වුණේ නැහැ. මට ඒ කාලේ එලිෆන්ට් හවුස් (Elephant House) ආයතනයෙන් දුන්නු අනුග්‍රාහකත්ව මුදලින් ලීස් (lease) කරලයි මම වාහනයක් ගත්තේ.

ඒ නිසා ඔබතුමාලා ක්‍රීඩාවට කරපු අසාධාරණය, ක්‍රීඩකයන්ට කරපු අසාධාරණය අමතකද? ඒ හින්දා කරුණාකරලා දැන්වත් කට වහගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න! මොකද ඕගොල්ලෝ ක්‍රීඩාව කෑවා; ක්‍රීඩකයන් නැති කළා.

ඕගොල්ලෝ ක්‍රීඩකයන්ට දුන්නු මානසික ආතතිය මතකද? ඕගොල්ලෝ ක්‍රීඩකයන් කීදෙනෙකුව කැපුවද? වැඩිය ඕන නැහැ, මගේ සම්පූර්ණ ක්‍රීඩා දිවියම නැවැත්තුවේ ඔබතුමාලා කරපු අසාධාරණකම් හින්දා!

ඒ විතරක් නෙමෙයි, අද ශ්‍රියානි කුලවංශ වුණත් පරිපාලනයට ඇවිත් ඔබතුමා එක්ක ඔය කතා කළාට, සම්බන්ධකම් පැවැත්වුවාට, මම හිතන්නේ ඒ දවස්වල ශ්‍රියානි වැඩියෙන්ම අකමැති වුණු පුද්ගලයා ඔබතුමා. මොකද ඒ තරමට අසාධාරණකම් කළා.

අනික ඔබතුමා ක්‍රීඩිකාවන්ට මොන තරම් අසාධාරණයක් කරලා තියෙනවාද? ඔබතුමා නිසා ක්‍රීඩිකාවෝ කීදෙනෙක් ක්‍රීඩාවෙන් සමුගෙන තියෙනවාද? ඔබතුමා පුද්ගලිකව මානසික ආතතිය ඇති කරලා, හිරේ යවලා කරපු දේවල් ගැන ඒ දෙමව්පියෝ අනාගතයේදී කතා කරයි, කියයි! ඔබතුමා ළඟට ක්‍රීඩිකාවක් පුහුණුවට නොයන තරමට අතීතයේ කරුණු කාරණා සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සු තාම මැරිලා නැහැ. ඒ නිසා කරුණාකරලා ක්‍රීඩාවේ ඇත්ත-නැත්ත කතා කරන්න, බොරු කියන්න එපා! වර්තමාන තත්ත්වය සහ යුපුන් අබේකෝන් ගැන

හැබැයි, යුපුන් අබේකෝන් කියන්නේ දකුණු ආසියාවෙන්ම මීටර් 100 තත්පර 10ට අඩුවෙන් දුවපු ක්‍රීඩකයෙක්. ඒක ඇත්ත. නමුත් එහෙම දිව්වා කියලා ලෝක තරගවලට ගිහින් පරිසාධන මට්ටමකට ඇවිත්, ලෝකයේ හොඳම 100 දෙනා අතරවත් එයා ඉන්නවාද දන්නේ නැහැ.

ඉතින් "ඒ ක්‍රීඩකයාට අසාධාරණයක් වුණා, එයාට දුන්නේ නැහැ, ගෙවල් දුන්නේ නැහැ, සල්ලි දුන්නේ නැහැ" කියලා කියන එක ඇතුළෙත් මට නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද, අපේ කාලයේ වුණත් අපි ලෝක මට්ටමින් පදක්කම් දිනුවාම තමයි අපට ඒ වගේ තැන් සහ අවස්ථාවන් ලැබුණේ.

ඉතින් මෙහෙම මේ උදවිය කතා කරද්දී හරිම වේදනයි. "අපි එහෙම කළා, මෙහෙම කළා" කිව්වාට, නැහැ! ඕගොල්ලෝ කරපු දේවල් නිසා තමයි ක්‍රීඩාව නැති වුණේ.

හැබැයි මම ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන කෙනෙක්. ඕගොල්ලෝ දුන්නු අභියෝගම තමයි මට ශක්තියක් වුණේ. ඕගොල්ලෝ දුන්නු ප්‍රශ්නම තමයි මට ශක්තියක් වුණේ. ඕගොල්ලෝ කරපු අඩන්තේට්ටම්වලින් මාව නැති කරන්න හැදුවා. මට ප්‍රශ්නයක් ආපු වෙලාවේ නිලධාරීන්ව මගේ ඇඟේ කෙටෙව්වෙත් ඕගොල්ලෝමයි. ඒ වගේ දේවල් කරලා ඕගොල්ලෝ මුළු ක්‍රීඩාවටම අසාධාරණයක් කළා. අද ක්‍රීඩාවට කිසිම දෙයක් නොකරපු ගාණට ඉඳගෙන, ක්‍රීඩකයන්ට වස-විස බෝ කළේ ඕගොල්ලෝ. ඒ න්‍යායම තමයි දැන් මේගොල්ලොත් අරන් යන්නේ. වර්තමාන පාලනය සහ අතීත මතක

ඒ නිසා මම කියන්නේ, ඇත්තටම වර්තමාන ක්‍රීඩා ඇමැතිතුමා හරිම සාධාරණයි. මොකද මම බලන් ඉන්නවා, මට දැනෙනවා, පේනවා, ඇහෙනවා එතුමා ක්‍රීඩාවට පුදුම විදිහට උදව් කරනවා. ඒක බලාගෙන ඉන්න බැරි මිනිස්සු ඒක විවිධ විදිහට විවේචනය කරනවා කියලා මට හිතෙනවා.

දැන් සුනිල් ගුණවර්ධන මහත්තයා කියනවා "යුපුන් කියන්නේ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන්, බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයෙක්" කියලා.

මම 2000 ඔලිම්පික් තරගයට ගියාම කණ්ඩායම භාරව හිටියේ ඔබතුමා නේද? එදා රැස්වීම්වලදී නිකන්වත් මගේ ඉස්සරහා කිව්වද, "සුසන්තිකා දැන් අවසාන වටයට තේරිලා ඉන්නේ, පදක්කමක් ගන්න යන්නේ, අපි හැමෝම උදව් කරන්න ඕනේ" කියලා? ඕගොල්ලෝ එහෙම කිව්වද? දැන් ඕගොල්ලෝ කියනවා යුපුන්ට පදක්කමක් ගන්න පුළුවන් කියලා. එදා මම දුවන්න ඉද්දි ඔබතුමාට කියන්න පුළුවන් වුණාද "හැමෝම ආශීර්වාද කරන්න, සුසන්තිකාට ශක්තියක් වෙන්න, සුසන්තිකා දිනන්න යන්නේ" කියලා?

නැහැ! ඒ නිසා මතක තියාගන්න; ඔයාට අවුරුදු 75ක් වුණාට මට තාම 50යි. මට හොඳ කල්පනාවක් තියෙනවා. ඕගොල්ලෝ ක්‍රීඩාවට කරන්න පුළුවන් සියලු නැස්පැත්ති කළා, සියලු අසාධාරණකම් කළා, සියලු අකුසලකම් කළා.

එවැනි කාලයක එවැනි ජයග්‍රහණයක් ලබපු මට ලංකාවේ සුදුසු තැනක් දුන් ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ සියලු දෙනාවම මම මේ වෙලාවේ ආඩම්බරයෙන් සිහිපත් කරනවා.

මගේ දරුවෝ දෙන්නත් එක්ක අභිමානවත් ඔලිම්පික් හා ලෝක පදක්කම්ලාභිනියක් ලෙස ජීවත් වෙන්න මට විතරක් නෙමෙයි, සමස්ත ක්‍රීඩාවෙන්ම ජයග්‍රහණය කරපු අපේ ක්‍රීඩකයන් කීදෙනෙකුට කෝටි ගණන් දුන්නද! කාටවත් ස්තූති කරන්නවත් මතකයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. මම කළගුණ මතක තියෙන ක්‍රීඩිකාවක්! ඒ විතරක් නෙමෙයි, යුපුන්ටත් ඩොලර් ලක්ෂයක් දුන්නා. ඔව්, ඒක අමතකද?

එතකොට එවැනි උදව් කරපු මිනිස්සු ඉද්දි, ඕගොල්ලෝ ක්‍රීඩාව නැති කරලා කට කයිවාරු ගහන්න එපා! මට හරිම වේදනයි. මොකද අපි තාම ජීවතුන් අතර ඉන්නවනේ. ඒ නිසයි මම මේකට හඬක් නඟන්නේ. අවසාන වශයෙන්

ඉතින් ක්‍රීඩාවට ඇත්තටම වර්තමානයේ ලැබී තිබෙන තැන ඉහළයි. අද වර්තමානයේ ඔලිම්පික් කමිටුවේ සහ මලල ක්‍රීඩාවේ සිද්ධ වෙන දේවල් දිහා ඇත්තටම නිහතමානීව, සන්සුන්ව, සතුටින් බලන් ඉන්න පුළුවන්.

ඕගොල්ලෝ වැරදි ආදර්ශ, වැරදි ආකල්ප දෙමින්, ක්‍රීඩකයන්ට අසාධාරණකම් කරලා, දැන් ගෙදරට වෙලා තේ කෝප්පයක් බීගෙන, කරපු වැරදි හා දුෂ්ටකම් ගැන "අනේ දැන්වත් අපි පිනක් කරගන්න ඕනේ" කියලා හිතන්නේ නැතුව මිනිස්සුන්ට ඔය විදිහට කතා කරන්න එපා!

තමන් කරපු දේවල්, තමන් කරපු වැරදි මතක තියාගන්න. මිනිස්සු බොරුව රජ කරන්න හදද්දී මට හරිම වේදනයි. මට චරිත සහතික ඕන නැහැ; මාව විවේචනය කරන්න! මම ජයග්‍රහණය කළා වගේම ඇත්ත කතා කරනවා. ඇත්ත තිත්ත වෙයි; ඒකට ප්‍රශ්නයක් නැහැ. මට කාගෙන්වත් ලකුණු දාගන්න ඕන නැහැ, කවුරුත් මාව ඔළුවේ තියාගන්න ඕනත් නැහැ.

ක්‍රීඩාවේ උත්තරීතර අනාගතයට, මේ වර්තමානයෙන් ලැබෙන උදව් සහ ක්‍රියාමාර්ග හොඳටම ප්‍රමාණවත්.

හැබැයි මම විශ්වාස කරනවා, මේ වර්තමාන පරම්පරාව සෝෂල් මීඩියා (Social Media) එක්ක කටයුතු කරන ආකාරය ගැන. අපි Open Championship, Asian Games, Asian Championship කොච්චර නම් ගියාද, පදක්කම් ගෙනාවද! ඒවා අපි කවදාවත් එහෙම සෝෂල් මීඩියා දාලත් නැහැ, කියාගෙන ගියෙත් නැහැ. මිනිස්සු ඒවා දැනගත්තේ රූපවාහිනියෙන් සහ පත්තරවලින්.

ඉතින් ඒ නිසා, කරුණාකරලා වර්තමානයේ අපට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්න එකම ක්‍රීඩකයා වන රොමේෂ්ට අපි ආඩම්බරයෙන් ශක්තියක් වෙන්න ඕනේ. එයාට ආශීර්වාද කරන්න ඕනේ, ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේදී රත්තරන් පදක්කම දිනාගන්න ලැබෙන්න කියලා! අනික් ක්‍රීඩකයන්ටත් යම් ජයග්‍රහණයක් ලබාගෙන රටට ගෞරවයක් ගේන්න පුළුවන් වේවා කියලා පතනවා.

ඒ වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, ක්‍රීඩාවේ අනාගතය, වටිනාකම සහ එහි සියලු වටිනාකම් මේ ක්‍රීඩකයන්ට වැටහේවා! ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම අත්වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

– මම, සුසන්තිකා ජයසිංහ (ක්‍රීඩාවේ නාමයෙන්)

⭕️ ''හවුස් ඔෆ් ෆැෂන්'' හිමිකරුට වෙච්ච දේ! රේගු ආඥා පනත කඩකිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින House of Fashio...
01/08/2026

⭕️ ''හවුස් ඔෆ් ෆැෂන්'' හිමිකරුට වෙච්ච දේ!

රේගු ආඥා පනත කඩකිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින House of Fashions ප්‍රකට ඇඟලුම් අලෙවි ආයතන හිමිකරු වන ප්‍රියලාල් බන්දුල ප්‍රීති ජයවර්ධන නමැති සැකකරු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින් ප්‍රතික්ෂේප කර නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

රේගු අධිකාරිය පවරා ඇති මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශ්වය දැක්වූ මූලික විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට කළ ඉල්ලීම ද ඉවත දමන ලදී.

සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල වටිනාකම රුපියල් මිලියනය ඉක්මවන බැවින්, රේගු ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුව ඇපදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණය සතු නොවන බව මෙහිදී පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, ඇප ලබාගැනීම සඳහා මහාධිකරණය හමුවට යා යුතු බව සඳහන් කළේය. එමෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේදී විමර්ශනයට ප්‍රමාණවත් නඩුකරයක් පවතින බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වන වගන්තිය යටතේ සැකකරු මුදාහැරීමට විත්තිය කළ ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ සැකකරු රේගු විමර්ශන සඳහා ප්‍රමාණවත් සහායක් ලබා දී නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් වැරදි රැසක තොරතුරු අනාවරණය වූ බවයි. චීන සමාගමක් හරහා භාණ්ඩ ගෙන්වීම සඳහා මුදල් යවා තිබුණ ද මෙතෙක් ගෙන්වා ඇති භාණ්ඩ මොනවාදැයි තහවුරු වී නොමැති බවත්, අදාළ චීන සැපයුම්කරු වෙත මෙරට ආයතන 30ක් මුදල් ආයෝජනය කර තිබුණ ද කිසිදු භාණ්ඩයක් මෙරටට ලැබී නොමැති බවත් හෙතෙම පැවසීය. මේ වන විට රුපියල් මිලියන 500කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍යව ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතිඥ චමින්ද අතුකෝරල යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරමින් තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස හෝ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බැවින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට ඇප දීමට තමන්ට නීතිමය බලයක් නොමැති බව තීන්දු කරමින් විත්තියේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර, සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු අගෝස්තු 06 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළේය.

⭕️ ළමා අපයෝජන වීඩියෝ සමග වෛද්‍ය ඩිලාන් දිසානායක අත්අඩංගුවට!කැනඩාවේ ටොරොන්ටෝ නුවර සුප්‍රකට 'හොස්පිට්ල් ෆෝ සික් චිල්ඩ්‍රන්...
31/07/2026

⭕️ ළමා අපයෝජන වීඩියෝ සමග වෛද්‍ය ඩිලාන් දිසානායක අත්අඩංගුවට!

කැනඩාවේ ටොරොන්ටෝ නුවර සුප්‍රකට 'හොස්පිට්ල් ෆෝ සික් චිල්ඩ්‍රන්' (SickKids) රෝහලේ සේවය කළ 44 හැවිරිදි වෛද්‍ය ඩිලාන් දිසානායක නමැත්තා ළමා ලිංගික අපයෝජන හා සූරාකෑමේ දර්ශන ළඟ තබා ගැනීම සහ අන්තර්ජාලය ඔස්සේ ඒවා ලබාගැනීමේ චෝදනා මත ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ටොරොන්ටෝ පොලිසියේ අන්තර්ජාල ළමා සූරාකෑම් විමර්ශන ඒකකය මඟින් මෙහෙයවන ලද පරීක්ෂණයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, විද්‍යුත් උපකරණයක් භාවිත කරමින් අන්තර්ජාලයෙන් ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව 2026 ජනවාරි මාසයේදී මෙම විමර්ශන ආරම්භ කර ඇත. පසුව පසුගිය පෙබරවාරි මාසයේදී විමර්ශකයන් විසින් අදාළ වෛද්‍යවරයාගේ නිවස සහ ඔහු සේවය කළ රෝහල් පරිශ්‍රය සෙවුම් වරෙන්තු සහිතව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී රාජකාරි පරිගණකය ද ඇතුළුව විද්‍යුත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබූ අදාළ වෛද්‍යවරයාට එරෙහි චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ තහවුරු වී නොමැති අතර, පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, අදාළ ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය වෛද්‍යවරයාගේ වෛද්‍ය වෘත්තියට හෝ ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ රෝගීන්ට සම්බන්ධ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව පොලිසිය අවධාරණය කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් SickKids ළමා රෝහල සඳහන් කර ඇත්තේ අදාළ පුවත පිළිබඳව තමන් දැඩි කම්පනයට හා කනගාටුවට පත්ව සිටින අතර, චෝදනා ලැබූ බරපතල හැසිරීම දැඩි ලෙස හෙළා දකින බවයි. විමර්ශන පිළිබඳව දැනගැනීමට ලැබුණු සැනින්ම අදාළ වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් තහනම් කිරීමට පියවර ගත් බවත්, රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන බවත් රෝහල් පාලනාධිකාරිය වැඩිදුරටත් පවසයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු වන ඩිලාන් දිසානායක සම්බන්ධයෙන් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සිද්ධිය දැනගත් වහාම ඔහුව පරිපාලනමය වශයෙන් සේවයෙන් තහනම් කළ බවයි. ඉදිරියේදී සිදුවන පරීක්ෂණවලින් මෙම වැරදි තහවුරු වුවහොත් ඔහු සමඟ පවතින සියලු සබඳතා අවසන් කිරීමට පියවර ගන්නා බව ද එම විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසා ඇත.

🛑 අග­මැ­ති­නිය දෙස දුර­ ද­ක්න­ය­කින් බැලුවැයි 3ක් රිමාන්ඩ්!අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි හෝටලයක පැවැති...
30/07/2026

🛑 අග­මැ­ති­නිය දෙස දුර­ ද­ක්න­ය­කින් බැලුවැයි 3ක් රිමාන්ඩ්!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි හෝටලයක පැවැති උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී, ඇයගේ පැමිණීම දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් තිදෙනා අතුරින් දෙදෙනෙකුම සහෝදරයන් වන අතර, ඔවුන් කින්නියා සහ මොල්ලිපෝතාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලීසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, සැකකරුවන් පදිංචි වී සිටින නිශ්චිත ස්ථාන පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසීය. මොවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ප්‍රකාශ කළද, දැනට කොළඹ රැඳී සිටින නිශ්චිත ලැගුම්හලක් හෝ ස්ථානයක් පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සැකකරුවන් දුරදක්නයක් භාවිත කරමින් අදාළ නිරීක්ෂණය සිදුකරන අයුරු සොයාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගිනි. ඔවුන් මෙම නිරීක්ෂණ ස්ථානය වෙත පැමිණ ඇත්තේ කිලෝමීටර එකහමාරක පමණ දුරක් ගෙවාගෙන බවද හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කර ඇත.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dawasa Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share