29/09/2026
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින්, ඉන්දියානු රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ නිවාස 10,000 ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - අලගොල්ල වතුයායේ නව නිවාස 51 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස් VS සාරන්‍යා මෙනෙවිය ද එක්විය.
මලයගම් ප්‍රජාවට සුරක්ෂිත, ගුණාත්මක සහ ගෞරවනීය නිවාස පහසුකම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, නායයෑමේ අධි අවදානම් කලාපයක ජීවත් වෙමින් වසර 13 කට අධික කාලයක් පුරා අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් 51 ක් සඳහා නව නිවාස ඉදිකිරීම ආරම්භ කෙරිණි.
දීර්ඝ කාලයක් තිස්සේ නායයෑමේ අවදානම හේතුවෙන් අසීරු තත්ත්වයන් යටතේ ජීවත් වූ මෙම පවුල් සඳහා සුරක්ෂිත නිවාස පරිසරයක් සහ ගෞරවනීය ජීවන තත්ත්වයක් උරුම කරදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
මෙහි එක් නිවාස ඒකකයක් සඳහා ඉන්දියානු රජය විසින් රු.ලක්ෂ 28 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර, අමතර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එක් නිවාසයක් සඳහා රු.ලක්ෂ 04 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව, එක් නිවාස ඒකකයක සමස්ත වටිනාකම රු.ලක්ෂ 32 කි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර මහතා සහ අම්භිකා සැමුවෙල් මහත්මිය, ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
#පොහොසත්රටක්ලස්සනජීවිතයක්