08/02/2026
ශ්‍රී ලංගමයට පළමුවරට කොන්දොස්තරවරියන්
ලංකා ගමනාගමන මණ්ඩලය අද කොන්දොස්තරවරියන් 19 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කළාය.
මේ සදහා එක් වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය කියා සිටියේ ” අද දිනය ඓතිහාසික දිනයක්. පළමු නිල කොන්දොස්තරවරියන් වශයෙන් ඔබ සියලු දෙනාම ඉතිහාසයට එක්වී අවසන්. විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යතුමා අප මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එතුමා ප්‍රවාහන ක්ෂේත්‍රය බාරගත් දින පටන් උත්සාහ කළා මේ ක්ෂේත්‍රයේ කාන්තාවන්ට අවස්ථාව ලබා දීමට. ඒ වගේම කාන්තාවට ඇතිවන හිරිහැර සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළ අමාත්‍යවරයෙක්. අද මේ පත්වීම් ලබාදීම එහි එක් ප්‍රථිපලයක්. ඒ වගේම එදාමෙදා තුර කාන්තා අයිතීන් වෙනුවෙන් කළ සටන්වල ප්‍රථිපලයක්. ඉතිහාසයේ ඡන්ද බලයක්වත් නොමැතිව සිටි කාන්තාව, අද මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අපි සතුටු විය යුතුයි. සමාජයේ එක් එක් වෘත්තීන් ස්ත්‍රීකරණය වෙලා තිබුණා. නමුත් මේ වනවිට ඒ සීමාවන් බිඳ දමමින් මේ ආකාරයෙන් සෑම ක්ෂේත්‍රයක්ම කාන්තාවන්ට විවෘත වෙලා. කෙතරම් අභියෝග ආවත් මේ බාරගත් අභියෝගයට නොසැලී මුහුණ දෙන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාරයෙන් කාන්තාවන් අභියෝගයන්ට මුහුණ දීමෙන් හොඳ රටක්, යහපත් සමාජයක් මෙන්ම කාන්තාවට වඩාත් හිතකාමී පරිසරයක් බිහිකිරීමට හැකිවේවි” යනුවෙනි.
නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථීර සේවය පිණිස නව කොන්දොස්තරවරියන් බඳවාගැනීම අද (06) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ, ශ්‍රී ලංගම සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම නිල උත්සවයේදී කොන්දොස්තරවරින් 19 දෙනෙක් නව පත්වීම් ලැබූහ.