15/05/2026
ඔව් මම දන්නවා ඔයාට අවුරුදු ගානක් ආදරය කරපු එයාව නැති උනාම මැරෙන්න තරම් රිදෙනවා කියලා ඉතින් ඔයා මැරෙන්න කලින් මේ ටික කියවල මැරෙන්න.
අවුරුදු ගානක් කරපු ආදරය නැති වෙලා ගිය දවසට අපිට හිතෙන්නේ ලෝකයම නතර වුණා කියලා. පපුව මැද දැනෙන ඒ ගින්න නිවන්න කඳුළුවලටවත් බෑ නේද ? වෙන තමන්ගේම කියල ඉන්න කෙනෙකුට කිව්වත් හරි උත්තරයක් හම්බුනේ නැහැ නේද ?, එන්න එහෙනම් මම කතා කරන්නේ ඔයත් එක්ක.
📌ඇත්තටම මේ වෙලාවේ ඔයාගේ මොළය ඇතුළේ සිද්ධ වෙන්නේ මහා කලබලයක්.
ආදරය කරන කාලේ මොළයෙන් නිකුත් වුණු ‘ඩොපමින්’ Dopamine කියන සතුට දනවන හෝමෝනය එකපාරටම නතර වීම, හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණු කෙනෙක්ට ඒක නැති වුණාම දැනෙන ‘Withdrawal Symptoms’ වලට සමානයි.මේ වෙලාවේදී ඔයාගේ මොළය කෝටිසෝල් Cortisol කියන ආතති හෝමෝනය අධික ලෙස නිකුත් කරනවා. පපුවේ දැනෙන ඒ තද ගතිය සහ හුස්ම ගන්න තියෙන අපහසුව පිටුපස තියෙන සැබෑ රසායනික හේතුව අන්න ඒකයි.
හෝව්... හෝව්... හෝව්... හැමතැනම තියෙන්නේ එකම දේ, මගේ පපුවේ තියන වේදනාව දන්නේ මමනේ කියල නොකියවා යන්න නේද හදන්නේ, අන්න ඒ වැරැද්ද නම් කරන්න එපා ,ඔයා නොදන්නා අවසානයක් මෙතන තියනවා, එන්න අපි තව ටිකක් පහලට යමු.
බ්‍රේකප් එකකින් පස්සේ ඔයා මේ පියවර 4 හරහා අනිවාර්යෙන් ගමන් කරනවා. ඒක තේරුම් ගත්තොත් ඔයාට මේකෙන් ගොඩ එන එක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි.
📌පලවෙනි එක තමයි පියවි සිහිය නැති වීම සහ මතකයත් එක්ක කරන සටන
ආදරය බිඳුණු ගමන් මනස උත්සාහ කරන්නේ අතීතය ඇතුළේ හිරවෙන්න. ඔයාට හැමතිස්සෙම මතක් වෙන්නේ එයාගේ ලස්සන මතකයන් විතරමයි
නේද ? ම්ම්... ඔව් නේද ? ටිකක් නැවතිලා කල්පනා කරලා බලන්නකෝ... හරි දැන් අපි ඉස්සරහට යමු.
ඔන්න මේ වෙලාවේ එයා ඔයාට කරපු වැරදි, ඔයා විඳපු වේදනාවන් ඔක්කොම ඔයාගේ මොළයෙන් හංගනවා. මේක හරියට මිරිඟුවක් පස්සේ දුවනවා වගේ වැඩක්. ඔයා මුලින්ම තේරුම් ගන්න, ඔයාට මේ දැනෙන්නේ එයා ගැන තියෙන ආදරේට වඩා, අර අවුරුදු ගානක් පුරුද්ද හොයන ඇබ්බැහිය විතරයි කියලා .
📌දෙවෙනි එක තමයි : "මම වැරදියි" කියලා ඔයා ඔයාම විනිශ්චය කරගන්නවා
බොහෝ වෙලාවට අපි හිතනවා "මම තව ටිකක් ඉවසන්න තිබුණා", "මම ඒ දේ නොකරන්න තිබුණා" කියලා. මතක තියාගන්න , සම්බන්ධතාවයක් කැඩෙන්නේ දෙන්නා නොගැළපෙන නිසයි. ඒක ඔයාගේ වැරැද්දක් නිසා වුණත්, එයා තව කෙනෙක් එක්ක ගිය නිසා ඒක වුණත්, එතන තිබුණේ නොගැළපීමක්. ඇත්තම ආදරය කියන්නේ ඔයා හරි වුණත්, වැරදි වුණත්, ඔයාව වෙනස් නොකර ඔයාට ආදරය කරන්න පුළුවන් කෙනෙක් හමුවීමයි. ඔයාව ඉවසන්න බැරි, ඔයාගේ වැරදි එක්ක ඔයාව දාලා යන කෙනෙක් කවදාවත් ඔයාට ගැළපෙන ආදරය වෙන්නේ නැහැ.
ඇත්තම ගැළපීම කියන්නේ ඔයා තව කෙනෙක් වෙනුවෙන් ඔයාගේ පෞරුෂය කෑලිවලට කඩාගෙන, ඒ කෙනාට ඕන විදිහට ඔයාව වෙනස් කරන එක නෙවෙයි. මනෝවිද්‍යාත්මකව බැලුවොත්, ඔයාව වෙනස් කරන්න උත්සාහ කරන ආදරයක් කියන්නේ ආදරයක් නෙවෙයි, ඒක තවත් කෙනෙකුගේ පාලනයට නතු වීමක් විතරයි.
ඔයා හරි වුණත්, ඔයා අතින් වැරැද්දක් වුණත්, ඒ හැම තත්ත්වයකදීම ඔයාගේ සැබෑ අනන්‍යතාවයට ගරු කරමින්, ඔයාව අතනොහැර ඉන්න කෙනෙක් මුණගැහෙන එක තමයි නියම ආදරය. තමන්ගේ හිතේ තියෙන රිද්මයට ගැළපෙන කෙනා මුණගැහෙනකල්, ඔයාට ඔයාවම අහිමි කරගන්න සිද්ධ වෙන කිසිම තැනක ඔයා නතර වෙන්න එපා. මොකද නොගැළපෙන තැන්වල හිරවෙලා ඉන්න හැම මොහොතක්ම ඔයාට ඔයාගේ නියම සහකරු මුණගැහෙන වෙලාව ප්‍රමාද කරනවා විතරයි. මතක තියාගන්න, ඔයාගේ උපරිමයටත්, ඔයාගේ දුර්වලම අවස්ථාවටත් එක වගේ ආදරය කරන්න පුළුවන් කෙනා තමයි ඔයාගේ හරිම ගැළපීම.
එන්න අත්හරින්න එපා ! ඔයාට පුළුවන්, මම දන්නවා ඔයාට මේක කියවන්නත් හරිම අමාරුයි. එත් ඔයා නොදන්න අවසානයක් තියනවා... තව ටිකක් අපි පහලට යමු.
📌තුන්වෙනි අදියර තමයි හිස්බව සහ තනිකම ම්ම්... මතක් කරලා බලන්න ඔයා ඉන්නේ මේ අදියරේ නැත්තනම් මේකට කලින අදියරක නැත්තනම් මේකත් පහු කරලා.
හැමදේම ඉවරයි කියලා දැනෙන මොහොතේ මනසට දැනෙන්නේ ලොකු හිස්බවක්. මේ වෙලාවේ තමයි ඔයාගේ ආත්ම අභිමානය Sel festeem අඩුම මට්ටමට වැටෙන්නේ. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවොත්, මේ හිස්බව කියන්නේ ඔයාට ඔයාවම නැවත හොයාගන්න ලැබුණු අවස්ථාවක්. තව කෙනෙක් වෙනුවෙන් දිය කරපු ඔයාගේ පෞරුෂය ආයෙමත් ගොඩනගන්න පටන් ගන්න ඕනේ මෙතනින්.
📌දැන් තමා හොදම හරිය හතරවෙනි අදියර, මෙතනට වෙනකම් ඔයා ආවනම් ඔයාව නවත්තන්න කාටවත් බැහැ, පිළිගැනීම සහ අලුත් ආරම්භය තමයි මේ
අන්තිම පියවර තමයි "එයා මට ගැළපෙන්නේ නැහැ" කියන ඇත්ත පිළිගැනීම. සම්බන්ධතාවයක් කැඩුණේ දෙන්නා අතර ගැළපීමක් නැති නිසයි.ඔයා පැරදුණේ ආදරයෙන් නෙවෙයි, ඔයා පැරදුණේ ඔයාට නොගැළපෙන මනුස්සයෙක් වෙනුවෙන් ඔයාගේ කාලය සහ හැඟීම් ආයෝජනය කරපු එකෙන්. බ්‍රේකප් එකක් කියන්නේ ජීවිතේ අවසානය නෙවෙයි, ඔයාට වඩා හොඳ කෙනෙක්ට ඔයාගේ ජීවිතේ ඉඩ හදලා දීමක්. මේ වේදනාව ඔයාව අලුත් මනුස්සයෙක් කරයි. අතීතයේ දූවිලි අළු ටික ගසලා දාලා අද අලුතින් හිතන්න පටන් ගන්න.
අහන්න, අපි උඩදී කතා කරේ අවුරුදු ගානක ආදරයක් නැති උනාම අපි පහු කරන අවදි 4ක් ගැන ඔයාගේ හිත සුව වෙන්න නම් ඔයා ඔය අවදි ටික පහු කරන්න වෙනවා සහ කරන්න ඕනේ. නමුත් ඔයා දැනගෙන ඉන්න ඕනේ දේවල් ටිකක් තියනවා.
📌පොඩ්ඩක් නිකමට හිතන්න,
මේ සහකරුවා හෝ සහකාරිය ඔයාගේ ජීවිතයට එන්න කලින් ඔයා සතුටින් හිටියේ නැද්ද? එදා ඔයාට ඔයාගේම කියලා හීන තිබුණා, බලාපොරොත්තු තිබුණා. ඔයාව ජීවත් කරවන්න හේතු වුණු පුංචි හෝ අරමුණක් එදත් ඔයාගේ හිතේ තිබුණා. එහෙම නැති වුණා නම් ඔයා අදටත් ජීවතුන් අතර නැහැ. ඔයා අද ජීවත් වෙන්නේ එයා හමුවුණු නිසා නෙවෙයි, ඔයා වෙනුවෙන් ඔයා එදත් ජීවත් වුණු නිසයි. ඉතින් එක මනුස්සයෙක් ඔයාව දාලා ගියා කියලා කෝච්චියට පනින්න, බෙල්ලේ වැලදාගන්න හරි වස බොන්න හරි හිතන්න එපා. ඒ මනුස්සයා නිසා ඔයාගේ මුළු ලෝකයම නැති වෙන්නේ නැහැ.
ඔයාට අද මේ දැනෙන දරාගන්න බැරි හිස්බවට හේතුව, ඔයා අවුරුදු 5ක් හෝ 10ක් තිස්සේ ඔයාගේ මුළු ලෝකයම එයා මත ගොඩනගපු එකයි. ඔයා ඔයාගේ සතුට තීරණය කරන රිමෝට් එක එයාගේ අතට දුන්න එකයි. හැබැයි ඔයා ඇත්තටම 'ආදරය' කියන්නේ මොකක්ද කියලා දන්නවා නම්, ආදරය අහිමි වෙද්දී ඔයාට ඔයාව නැති කරගන්න හිතෙන්නේ නැහැ. මොකද සැබෑ ආදරය කියන්නේ ඔයාව විනාශ කරන දෙයක් නෙවෙයි, ඔයාව ජීවත් කරවන ශක්තියක්.
📌ඔයාට මැරෙන්න හිතෙන ඕනෑම වෙලාවක මේ දේ සිහිපත් කරන්න.
'මම මැරෙන්න ඕනේ නැහැ, මේ සම්බන්ධය නතර වුණේ අපේ නොගැළපීම නිසයි.' අද ඔයාට දැනෙන මේ වේදනාව, එයා නැති වුණු දුකට වඩා ඔයා පුරුදු වෙලා හිටපු ඒ රිද්මය බිඳුණු නිසා දැනෙන පීඩනයක් විතරයි. එයා එන්න කලින් ඔයා සතුටින් හිටියා වගේම, එයා ගියාට පස්සෙත් ඔයාට ඒ සතුට ආයෙමත් හොයාගන්න පුළුවන්. ඒ පැරණි සතුටේ සලකුණු ඔයා ඉක්මනින් හොයාගන්න තරමට, ඔයාට අර වැටීගෙන යන අඳුරු වළෙන් ඉක්මනින් ගොඩ එන්න පුළුවන් වේවි. මතක තියාගන්න, ඔයාගේ ජීවිතය තීරණය වෙන්නේ ඔයාව අතහැරපු කෙනෙක් මත නෙවෙයි, තවමත් ඔයාට ආදරය කරන 'ඔයා' මතයි."
ඔයා මේ කිව්ව කිසිම දෙයක් අහන්නේ නැතුව මැරෙන්න තීරණය කරන්න කලින් ඔයාට මම කිව්වා දේ නොතේරුනා නම් අයෙත් මුලට ගිහින් හෙමින් කියවගෙන මෙතනට එන්න ,
📌ඔව් ඔයාට පුළුවන්.
එකම එක තත්පරයකට හුස්ම අල්ලගෙන ඔයාගේ පපුවට අතක් තියාගන්න. එතන තාමත් ගැහෙන ඒ රිද්මය ඔයාට දැනෙනවා නේද? ඒ ගැහෙන්නේ එයා නිසා නෙවෙයි,මොකද එයා දැන් නැහැ කියල ඔයා දන්නවා, එත් හදවත ගැහෙනවා නේද, ඒ ගැහෙන්නේ ඔයා වෙනුවෙන්.එයා වෙනුවෙන් ඒ හදවත ගැහුනානම් එයා ගිය වෙලේම නතර වෙන්න එපැයි . නෑ ඔයාගේ හදවතේ ශබ්දය ඇහෙන්නේ ඔයා වෙනුවෙන් තාම. දැන් ඔයාගේ ඇස් දෙක පියාගෙන,
ඔයාගේ හිත ඇතුළෙන් ඔයාටම මෙහෙම කෑගහලා අණ කරගන්න.
ඇති... දැන් ඇති! මම මැරෙන්න ඕනේ නැහැ. මම මේ මැරෙන්න හදන්නේ මට ආදරය නොකරන, මාව දාලා ගිය මනුස්සයෙක් වෙනුවෙන්ද? නෑ... මම මගේ පණ දෙන්න ඕනේ මම වෙනුවෙන් විතරයි. මම මැරුණා කියලා කාටවත් ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. මම මැරුණොත් මාව විශ්වාස කරපු හැමෝම පරදිනවා. ඒ නිසා මම ජීවත් වෙනවා!
ඔව්, දැන් ඇස් දෙක අරින්න. ඒ දැනෙන කඳුළු පිහදාගෙන නැගිටින්න. ඔයාට මැරෙන්න හිතෙන ඒ ගින්දරම පාවිච්චි කරලා ඔයාගේ අනාගතය ආලෝකවත් කරගන්න. ඔයා අද මරණයට පැරදුණේ නැහැ ඒ කියන්නේ, ඔයා මුළු ලෝකයම දිනන්න පටන් ගත්තා කියන එකයි. ඔව් ඔයාට පුළුවන්.
📌තවත් කෙනෙකුට ශක්තියක් වෙන්න...
ඔයා අද මේ ලිපිය කියවලා ලබපු අස්වැසිල්ල, මේ වෙලාවේ හිතින් වැටිලා ඉන්න තවත් කෙනෙක්ට ලොකු හයියක් වෙන්න පුළුවන්.
✅ඔයාගේ යාළුවෙක් හරි දන්න කෙනෙක් හරි මේ වගේ මානසික පීඩනයකින් ඉන්නවා නම්, මේ කරුණු ටික එයාටත් කියලා දෙන්න.
✅විශේෂම දේ තමා මේ කරුණු දැනගෙන ඔයා මේ දේවල් අමාරුවේ වැටිල ඉන්න යාලුවට කියල දෙන එක එහෙම තව කෙනෙක් මේ කරුණු දැනගන්න පුලුවන් වෙන්නෙ ඔයා මේක ශෙයාර් කරොත් විතරයි.
✅නැත්නම් මේ ලිපිය එයාට බලන්න යවන්න.
✅අපිට පුළුවන් එකිනෙකාට උදව් කරගෙන, හැමෝම ඇතුළේ තමන්ගේ ජීවිතය ගැන ආදරයක් සහ අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න. අපි කවුරුත් තනි වෙලා නැහැ කියන හැඟීම තව කෙනෙක්ට ලබා දෙන්න ඔයත් දායක වෙන්න.
Kalu Kuruminiyo
#කළු_කුරුමිණියෝ