30/12/2025
යෝජිත ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනත මෙරට සියලුම පුරවැසියන්ගේ යහපත සඳහාම විය යුතුයි!
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධාන ලේකම් ෂේහ් අර්කම් නූරාමිත් විසිනි
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස සහ සමාජ සේවයේ දිගු කලක සිට නියැලී සිටින ආගමික විද්වතෙකු ලෙස, 2026 ත්‍රස්තවාද පනත් කෙටුම්පත පිළිබඳ මාගේ අදහස් ඉදිරිපත් කිරීම මගේ සදාචාරාත්මක වගකීමක් ලෙස මා සලකා මෙය ලියමි.
සියලු ආකාරවලින් ත්‍රස්තවාදය යනු බරපතල ව්‍යසනයක් වන අතර එය මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය උල්ලංඝනය කරන දරුණු ක්‍රියාවකි. ත්‍රසත්වාදි ක්‍රියා සමාජය අස්ථාවර කරන්නා සේම ආගම් සහ ශිෂ්ටාචාර මත පදනම් වූ අගයන්වට හානිද ඇති කරයි. මෙවන් තර්ජනවලින් ජනතාව ආරක්ෂා කිරීම සියලුම රටවල පාලකයන්ගේ වගකීමකි. ඒ සමඟම, ශ්‍රී ලාංකික අපගේ මෙන්ම ලොව අන් රටවල ඉතිහාස අපට අවධාරණය කරන්නේ රාජ්‍ය හා මහජන ආරක්ෂාවේ නාමයෙන් පනවනු ලබන සියලු අණ පනත් රජය ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතරම ජනසමාජයට හානි ඇති නොවන පරිදි නැණවත් හා සියුම් ලෙසින් සහ ඉතා ප්‍රවේශමෙන් සම්පාදනය කළ යුතු බවයි.
මා මෙහි අදහස් දක්වන්නේ කිසිදු එක් ජනකොටක් නියෝජනය කරමින් නොව පොදු ලාංකිකයෙකු ලෙසිනි. මගේ පැතුම වන්නේ රටේ ආරක්ෂාව සහ නිදහස යන කරුණු ද්විත්වයම සාධාරණ ලෙසින් සහ කිසිදු ජනකොටසකට අයුත්තක් සිදු නොවන ආකාරයෙන් පවත්වාගනෙ යා යුතු හා යා හැකිය විය යුතුය යන විශ්වාසයෙන් යුතුවය.
1. ප්‍රවේශම් විය යුතු සහ තවදුරටත් ගැඹුරින් සලකා බැලිය යුතු ඉසව්
යුක්තිය සහ සමාජ සමගිය සංරක්‍ෂණය කරනු පිණිස කෙටුම්පතේ ඇතැම් කරුණු නැවත සලකා බැලීම අවශ්‍ය වෙයි.
1.1 පුළුල් සහ අපැහැදිලි අර්ථ දැක්වීම්
විශේෂයෙන් දිරිගැන්වීම වගකීමෙන් තොරව ආරංචි පැතිරවීම’ යම් කටයුත්තක සහාය වීම’ සහ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියා’ වැනි විෂයයන් අව්‍යක්ත ලෙසින් අර්ථ දක්වා ඇත. ඉහත සඳහන් සියුම් කරුණු හා සම්බන්ධ නීති රීති ඉතා පැහැදිලි සහ ව්‍යක්ත විය යුතුය. මන්ද යත් යම් වරදක ස්වාභාවය පිළිබඳ නිර්වචන අපැහැදිලි සහ අව්‍යකත්ව වන විට එය බලාත්මක කිරීමෙහි අසාධාරණකම් සහ පක්ෂපාතීත්ව ඇති විය හැකි බැවිනි.
නීති සහ අණ පනත් සම්පාදනය කරන විට එමගින් පාලනය වන සමාජයක පුරවැසියන් ඒවා මගින් තහනම් කර ඇත්තේ කුමක්ද සහ ඒවා එසේ තහනම් කර ඇත්තේ ඇයිද යන කරුණු නීති විශාරදයන් පමණක් නොව හුදී ජනයාද තේරුම් ගන්නා ලෙසින් සම්පාදනය කළ.
1.2 අදහස් දැක්වීමේ නිදහස සහ ආගමික කතිකාව
ශ්‍රී ලංකාව යනු විවිධ ආගම් අදහන ජනකොටස්වලින් සමන්විත රටකි. ආගමික දෙසුම්, දේශන, ආගමික ඉතිහාස සම්බන්ධව සංවාද පැවැත්වීම සහ සදාචාරාත්මක ඉගැන්වීම් මෙහි වාසය කරන සියලුම ආගමික ප්‍රජාවගේ ජීවිතවලට අතිශය වැදගත් කරුණු බව වෙසෙසින් කිව යුතු නොවේ.
උක්ත පනත් කෙටුම්පතෙහි අවංක අදහසින් ආගමික කරුණු පිළිබඳව සිදු කරනු ලබන අදහස් දැක්වීම්, මෙන්ම ශිෂ්ඨ සම්පන්නව සහ විනීතව සිදු කරනු ලබන විවේචන සඳහා ආරක්ෂාව ලබා දී ඇති නමුත් අති දියුණු තාක්‍ෂණය මුල් කර ගත් සමාජ ජාලාවලට වැඩි නැඹුරක් දක්වන මෙවන් යුගයක, ඒවායෙහි දක්වනු ලබන ආගම් මුල් කර ගත් කරුණු සන්දර්භයෙන් පිටතට ගෙන වැරදි ලෙස අර්ථකථන දැක්විය හැකිය යන කාරණාවට ප්‍රමාණවත් සැලකිල්ලත් ලබා නොදීම කණස්සල්ල ගෙන දෙයි. මෙය හුදුවේ මගේ සිතුවිල්ලක් නොව මේ සඳහා වන සාධක අතීත අත්දැකීමෙන්ම අපට දැකිය හැකිය.
මෙම තත්වයන් නිසා ආරක්ෂාව තහවුරු කිරීම යන උතුම් කටයුත්ත අත්‍යන්තයෙහි අවංක අදහසින් සිදු කරනු ලබන ආගමික අදහස් දැක්වීම්, තර්කානුකූල විවේචන මෙන්ම නැණවත් සහ ශිෂ්ඨසම්පන්න ලෙසින් සිදු කරනු ලබන කතිකාවන් පවා නිහඬ කරන්නක් බවට පත් නොවිය යුතුය.
1.3 සංවිධාන තහනම් කිරීම
සංවිධාන තහනම් කිරීමේ බලය බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. එක්රැස් වීම, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව ජීවනෝපාවලට පවා එය බලපානු ඇත. මෙවන් බලතල, ප්‍රබල අධිකරණ ආරක්ෂණ, විනිවිද පෙනෙන නිර්ණායක සහිත මෙන්ම වරින් වර ස්වාධීනව සිදු කරන සමාලෝචනයකින් තොරව ක්‍රියාත්මක කළහොත්, මහජන විශ්වාසය සහ සිවිල් සහභාගීත්වය අඩපණ කිරීමේ අවදානමක් මෙහි ගැබ්ව ඇත. අණ පනත්වලට අගයක් ඇති වන්නේ එහි අරමුණු නිසා පමණක් නොවේ. ඒවා සාධාරණ ලෙසින් ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍ය වෙයි.
1.4 විධායක බලය සහ රඳවා තබා ගැනීම
පනත් කෙටුම්පතෙහි අධිකරණ සමාලෝචනයක් අන්තර්ගතවන බව සඳහන්ව තිබුනද, රැඳවුම් නියෝගය අයත් වන්නේ විධායක අධිකාරියටය. මේ අනුව බලපෑමට ලක් වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට පවා ඇතැම් රහස්‍ය තොරතුරුවලට ප්‍රවේශය නොලබීමේ තත්වයක් ඇති විය හැකිය.
යුක්තියේ දෘෂ්ටි කෝණයෙන්, නිදහස සීමා කළ යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ සහ සමානාත්මතාවය සහ ප්‍රතිචාර දැක්වීමට අර්ථවත් අවස්ථාවක් ලබා දෙමිනි.
2.ජාතික ආරක්ෂාව සඳහා වන පදනමක් ලෙසින් මානව හිමිකම්
මානව හිමිකම් යනු ජාතික ආරක්ෂාවට බාධාවක් නොව ඒවා වනාහි ජාතික ආරක්‍ෂාවේ පදනම යැයි පනතේ පැහැදිලිව සඳහන් කළ යුතුය. ගරුත්වය, නිසි අධිකැණ ක්‍රියාවලිය සහ සාධාරණත්වය ආරක්‍ෂා කරන ජන සමාජයක් රටේ වැසියන් සහ රජය අතර විශ්වාසය සහතික කරනු ඇත. එසේම බිය සහ බලහත්කාරය මගින් පාලනය කරනු ලබන ජන සමාජයකට රජය මත ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇත, ඇතැම් විට එසේ බිඳ වැටෙන විශ්වාසය නැවත ගොඩ නැගීම පවා දුෂ්කර විය හැකිය.
මේ අතරම අධීක්ෂණ යාන්ත්‍රණවලට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුලත් කිරීම ධනාත්මක පියවරක් යැයි කිව යුතුය, එනමුත් සැබෑ ස්වාධීනත්වය සහ ඵලදායීතාවය සහතික කිරීම සඳහා එහි කාර්යභාරය ශක්තිමත් කර ආරක්ෂා කිරීම අතිශය අවශ්‍ය කරුණකි.
3. මහජන යහපත සඳහා වන අදහස් දැක්වීම් සහ යෝජනා
ඵලදායී ලෙස මැදිහත්වීමේ අරමුණින් යුතුව මා පහත යෝජනා ඉදිරිපත් කරමි:
■ කථනය සහ එක් රැස් වීම පිළිබඳ අර්ථ දැක්වීම්වල අරමුණු පැහැදිලි විය යුතුය.
■ සංවිධාන තහනම් කිරීම පූර්ව අධිකරණ අනුමැතියට සහ වරින් වර සිදු කරන ස්වාධීන සමාලෝචනවලට යටත් විය යුතුය.
■ යහපත් අරමුණු සහිතව පවත්වන නීත්‍යානුකූල ආගමික, අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් සඳහා පැහැදිලි ව්‍යවස්ථාපිත සහතිකයක් ලබා දිය යුතුය.
■ රඳවා තබා ගැනීම හා සම්බන්ධ ක්‍රියා පටිපාටිවල විනිවිදභාවය සහ සාධාරණත්වය තවදුරටත් වැඩිදියුණු කළ යුතුය.
■ බලාත්මක කිරීමත් සමඟ ප්‍රජා සහභාගීත්වය සහ වැළැක්වීමේ උපාය මාර්ග ශක්තිමත් කළ යුතුය.
4. පෙර පැවති නෛතික රාමුවට වඩා සැලකිය යුතු වැඩිදියුණු කිරීම්වල අවශ්‍යතාවය
වර්තමාන කෙටුම්පත 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා පැහැදිලි හා ධණාත්මක වෙනසකම්වලින් හෙබි බව පිළිගත යුතු නමුත් එය සමාජයේ ඇතැම් ජනකොටස් අතර චකිතයක් සහ සැකයක් ඇති කරන බවද සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් වත්මන් පනත් කෙටුම්පතේ පහත සඳහන් ධනාත්මක වර්ධනය තිබෙන බවද පිළිගත යුතුය:
■ පූර්විකාවෙහි, ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සඳහා ප්‍රකාශිත කැපවීමක් අවධාරණය කර තිබීම
■ විමර්ශන, අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ නඩු පැවරීම් සඳහා වඩාත් ව්‍යුහගත, අපරාධ යුක්තියට නැඹුරු ප්‍රවේශයක් තිබීම
■ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ අනිවාර්්‍යයෙන් ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කර තිබීම සහ රැඳවියන්ගේ යහපැවැත්ම පිළිබඳ පුද්ගලික අධිකරණ අධීක්ෂණය සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීමේ සීමාවන් ඇතුළුව අධිකරණ මැදිහත්වීම වැඩි කර තිබීම
■ රඳවා තබා ගරැැනීම් සමීපතම ඥාතීන්ට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම්දීම අනිවාර්ය කර තිබීම
■ සාමකාමී විරෝධතා, හඬ නැගීම් සහ උද්ඝෝෂණ හා එවන් සන්සුන් ක්‍රියාකාරකම් ත්‍රස්තවාදි ක්‍රියා නොවන බව සඳහන් කර තිබීම
ඉහත සඳහන් යහපත් කරුණු තිබෙන විටම පනතේ විධිවිධාන වක්‍ර ලෙස අගවන්නේ අදාල ආයතනවලට ප්‍රමාණවත් බලය ලබා නුදුන්නේ නම් ජාතික ආරක්ෂාව පවත්වා ගෙන යාම අසීරු විය හැකි බවයි.
නිගමනය
ආරක්ෂාව සඳහා අතීතයේ රජයන් විසින් පනවන ලද නීති සහ අණ පනත් පිළිබඳව අපට ඇත්තේ අමිහිරි මතකයන්ය. ඒවා මගින් ආරක්‍ෂාවට වඩා සිදු වුයේ ජනකොටස් අතර බිය සහ බේදය ඇති කිරීමයි. එම වැරදි අප නැවත නොකළ යුතුය.
සැබෑ ජාතික ආරක්ෂාව සාක්ෂාත් කරගත හැක්කේ රාජ්‍ය බලය යෙදීමෙන් පමණක් නොව, යුක්තිය, විශ්වාසය සහ සදාචාරාත්මක විශ්වසනීයත්වය රටවැසියන් තුල ඇති කිරීම මගිනි. රටක් යනු එහි වාසය කරන ප්‍රජාව වන හෙයින් රට ආරක්ෂා කරන සියලුම නීති සහ අණ පනත් සාමකාමී ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට මුල් තැන දිය යුතුය.
මා මෙම අදහස් දැක්වීම් සහ යෝජනා ඉදිරිපත් කරන්නේ අපගේ නීති සම්පාදකයින්, අදාල ආයතන මෙන්ම රටේ ප්‍රජාවද දැයේ ආරක්ෂාව සහ මනුෂ්‍යත්වය යන දෙකම සංරක්‍ෂනය කරන නීතිමය රාමුවක් සැකසීමට එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතුය යන අවංක චේතනාවෙන් සහ කටයුතු කළ හැකිය යන අචල විශ්වාසයෙන් යුතුවය.