13/04/2025
"නුඹට මඟ හැරුණ මුත්,
නුඹ තාම මගෙය!" 🤎
ඇය ගිය දවසෙ ලෝකෙම පාට නැති උනා වගේ දැනුනා. අහස මාරම අඳුරුයි කියලා හිතුනා. වටපිටාවේ වාතය ඇයි මෙච්චරටම බර ගතියක් දැනෙන්නෙ කියලා හිතුනා.
ඇය සමුගන්නට පෙර ගෙවුන පැය කීපය, සමුගැනීමෙදී ලබා දුන් උණුසුම් වැළඳගැනීම සහ ඇයව ඈතින් නොපෙනී යන තෙක් මා බලා සිටි ඒ කාලය ගෙවිලා ගියේ මිනිත්තු කීපයකින් විතරයි කියලා දැනුනත් ඒ පොඩි කියන කාලය ඇතුලේ මට දැනුනා මම ඊටත් වඩා ලොකු කාලයක් සම්පුර්ණයෙන්ම නිශ්ශබ්දව හිටියා කියන එක.
ඉතින් මේ විදිහට දුකක්මැයි අර්ථකථනය කිරීමට නොහැකි වූ නමුත් වේදනාත්මක ආගන්තුක හැඟීමක් මා වෙත දැනෙන්නට පටන් ගත්තේ, ඇය මා අසලින් නොමැතිකම නිසා පමණක්ම නොවෙන බවත්, ඇයගෙන් ඒ දැනුන ලෙංගතුකම සහ ආදරය මා අවට පරිසරයේ ඇය සිටි සෑම දෙයකින්ම පාහේ මා වෙත අතිමහත්ව දැනෙන්නට පටන් ගත් නිසා බව මම තේරුම් ගත්තා.
අපි බෙදාගත් සෑම සිනහවක්ම, සෑම වැලඳගැනීමක්ම, සෑම මොහොතක්ම මේ නිහඬ වටපිටාවේ වුවත් මා අභ්‍යන්තරයෙන් මහා ඝෝෂාකාරීව දෝංකාර දුන්නා.
අනාගතයේදීත් ඒ හැම මොහොතක්ම තවදුරටත් පවතිනු ඇති නමුත් වර්තමානයේ දී නම් ඇය නොමැතිව එය සමඟ ගනුදෙනු කිරීමට නොහැකි වූ මා පිටතින් සාමාන්‍ය අයුරින් සිටීමට බරපතල අරගලයක නිරත වෙමින් සිටියා.
ඒ ඇය නොමැති නමුත් ඇය විසින් මගේ ජීවිතය තුල විහිදුවනු ලැබූ ආලෝකය සෑම විටම මා නොදැනුවත්වම මා තුලින් මාවම අවුල් කරන නිසාවෙනි.
ඉතින් ඇයව කිසිදා අමතක නොවනු ඇත.
ඇය අනාගතයේ ඇගේ ජීවිතය තුල වෙනස් ලෙස බැබළුණත්, ඇය කවදත් මගේ ජීවිතයේ වර්ණයන් ලෙස ආලෝකවත්ව බැබැලෙනු ඇත.
එය, ඇය තවදුරටත් මා තුල සිටින බව, ඇය විසින්ම මා වෙත මතක් කරනවා වගේ හැඟීමකි.
ආගන්තුක වූ වේදනාවක් පපුව කොණක හිරවී ඇති යාමයක මේ දේ තේරුම් ගැනීමට මම මුල සිටම උත්සහ කලත්, එය තවමත් තේරුම් ගැනීමට අපහසුය.
එය කුමක්දැයි තේරුම් ගැනීම කල යුතුද, නොකල යුතුදැයි කියාවත් මා වෙත අදහසක් නොමැත.
එබැවින් මේ අපහැදිලි යාමය පිළිබඳව අනාගතය වෙත මෙසේ ලියූවෙමි.
"සොඳුර, මේ සෘතුවේ අමාරු ම දවස් ය
සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය
අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය
ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය."
20250413
Dewu Thalakumbura
Dewu's Imaginary Things 🖤
Song Credit : https://youtu.be/a6dLdinZYFk?si=SzWYhaqUthcOc0qr