16/11/2024
නව රජයක් පිහිටුවීම වෙනුවෙන් දැවැන්ත ජන වරමක් හිමි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සහ එතුමාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මාගේ සුබ පැතුම් එක් කරමි.
එමෙන්ම මෙවර පාර්ලිමේන්තුවට වරම් ලැබූ සියලුම අනෙකුත් දේශපාලන පක්ෂවලට, අපේක්ෂකයන්ට සහ විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ නව පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත මාගේ සුබ පැතුම් එකතු කරමි.
ඡන්ද 1300ක පමණ ප්‍රමාණයකින් අප කණ්ඩායමට මන්ත්‍රී ධුරයක් මාතර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත්, අප කණ්ඩායම වෙනුවෙන් සහ මා වෙනුවෙන් ඡන්දය ලබා දුන්, විවිද ආකාරයෙන් මැතිවරණ කාලය තුල සහය පල කල සහ ප්‍රතිපල නිකුත් වීමෙන් පසුව ඒ පිළිබඳව කතා කල, පණිවුඩ එවූ, සමාජ මාධ්‍ය තුල සටහන් තැබූ සියලු දෙනාටම මාගේ ස්තුතීය පල කරමි.
මා 2009 වසරේ නොසිතු අවසථාවක දේශපාලනයට පිවිසෙන්නේ, දේශපාලනය කිරීමට කිසිම බලාපොරොත්තුවක් හෝ කැමැත්තක් මා තුල නොතිබූ අවස්ථාවකය.
දේශපාලනයේදී ජය, පරාජය දෙකම පොදු බවත්, සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කල නොහැකි බවත්, දේශපාලනය නිරන්තරයෙන්ම විවේචන එල්ල වන මෙන්ම ඇගයීම අවමයෙන් සිදු වන වෘත්තියක් බව සහ දේශපාලනයේදී ලැබෙන සියලුම තනතුරැ සහ වගකීම් තාවකාලික බව මා හොඳ අවබෝධයෙන් කටයුතු කරනු ලැබු අතර එය ඉදිරියටත් එසේම සිදු කරනු ලැබේ.
මාගේ දේශපාලනය ඉදිරියටත්, රාජ්‍ය බලය තිබුනත් නොමැතිවුනත්, තනතුරු තිබුනත් නොමැතිවූනත්, ප්‍රතිපත්ති තීරණ සහ දේශපාලන තීරණ ගැනීමේදී එය කෙතරම් පෞද්ගලිකව අවාසි සහගහ වුවත්, මා විශවාස කරන නිවැරදිම තීරණය ගැනීමට පෙනී සිටීමත් සහ රටට සුදුසු යැයි විශවාස කරන වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට මාගේ උපරිම කැපවීම සහ ශක්තිය ලබාදීමටත් සහ අප වෙනුවෙන් පෙනී සිටි පිරිසගේ වගකීම වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටීමය.
කංචන විජේසේකර