
06/05/2023
(ධම්ම දින්නා තෙරණිය හා විශාඛ උපාසක අතර ඇතිවූ සංවාදය ඇසුරිනි.)
ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති වේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් නොදක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව අකෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අකෝවිද, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන ශුද්ධරූපය ආත්මවශයෙන් (අද්වය කොට) දක්නේ ය. අරූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා රූපයා කෙරෙහි එළවා හෝ (දෘෂ්ටිදර්‍ශනයෙන්) දක්නේය. වේදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා වේදනා කෙරෙහි එළවා හෝ දක්නේය. සංඥා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංඥා කෙරෙහි එළවා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංස්කාර කෙරෙහි එළවා හෝ දක්නේය. විඥාන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥාන ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා විඥාන කෙරෙහි එළවා හෝ දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි ඇති වෙතියි කියු.
ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති නොවේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව කෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ ව කෝවිද, සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය රූපයෙහි පිහිටියේය යි හෝ, නො දක්නේ ය. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය වේදනායෙහි පිහිටියේය යි හෝ නොදක්නේය. සංඥා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයෙහි පිහිටියායි හෝ, ආත්මය සංඥායෙහි පිහිටියේය යි හෝ, නො දක්නේය. සංස්කාර ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය සංස්කාරයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේය. විඥාන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මයා විඥානයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි නොවෙතියි කියු.
_චූළ වේදල්ල සූත්‍රය_