epuwath.com

epuwath.com ePuwath – Your trusted source for real-time news in Sri Lanka. Delivering local and international updates in Sinhala and English.

Stay informed with the latest headlines, politics, sports, weather, and more.

පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මි...
19/06/2025

පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මිය⁣ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා (16) සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට පහර දී තිබේ.

පහරකෑම නිසා තුවාල ලැබූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරනු ලැබීය.

18/06/2025

මෙවැනි උණුසුම් පුවත් දිනපතා නැරඹීමට
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 / ‪‬
🟠 Like us on Facebook 👉 / web.facebook.com/epuwathcom
🟠 Follow us on X 👉 twitter.com/ePuwathCom
🟠 Website 👉 https://epuwath.com
🟠 Instagram 👉 instagram.com/epuwathcom

For copyright matters, please contact: [email protected]


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා ...
17/06/2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

"2023 අංක 3 දරණ වියදම් නියාමන පනත යටතේ, ආදායම් වියදම් වාර්තා භාරදිය යුතු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මුළු සංඛ්‍යාව 78,725 දෙනෙකුගෙන් 76,292 තම තමාට අදාළ වියදම් වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාරදීලා තියෙනවා. 2,433ක් අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වාර්තා නියමිත දිනට භාරදීලා තිබුණේ නෑ. ඒ අනුව අපි තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් දුන්නා 2,433ගේ අදාළ විස්තර ඒ ඒ දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන වෙත භාරදෙන්න කියලා. ඉන් අනතුරුව ඔවුන් නීතිපති උපදෙස් විමසීමෙන් අනතුරුව ඒ අයට නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි."

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ.ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර්...
17/06/2025

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) ප...
16/06/2025

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් 50% ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා අද පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

ජාතික ජනබලවේගය මෙන්ම සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් අද පැවැත්වෙන ඡන්ද විමසීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

කොළඹ මහ නගර සභාව සඳහා පත් වූ ජාතික ජනබලවේගයේ සභිකයින් පසුගියදා දිවුරුම්දුන් අතර සමගි ජනබලවේගයේ සභිකයින් ඊයේ (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්...
16/06/2025

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පවසයි.

ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතා පවතින මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන් ඇත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීම් කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාව හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඊශ්‍රායලයේ බැට්යම් සහ රමාත් ගාන් යන ප්‍රදේශවලට අද (15) අලුයම එල්ල වු මිසයිල ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට සිදුවූ හානී හේතුවෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පවසයි.

ඒ අනුව තානාපතිවරයා ඔවුන් රැදී සිටින ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කර තිබේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.

ඉරානය විසින් ඊයේ දිනයේ මධ්‍යම ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානී සිදුව තිබුණි.

මේ අතර ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ආශ්‍රිතව පදිංචිව සිටින සිවිල් වැසියන්ට එම ස්ථාන වලින් ඉවත්වන ලෙස ඊශ්‍රාලය විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

තම ජීවිත ආරක්ෂිත කර ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙස ඉරාන වැසියන්ට දැනුම් දී ඇති ඊශ්‍රායල ආරක්ෂක බලකාය යළි දැනුම් දෙන තුරු එම ස්ථාන වලට පැමිණිමෙන් වලකින ලෙස අනතුරු අගවා ඇත.

ඊශ්‍රායලයේ මෙම අනතුරු ඇගවීම , ඉරානය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට වන සංඥාවක් ලෙස විදෙස් විචාරකයින් පෙන්වා දී තිබේ.

ඉරාන අයතුල්ලා අල්කමේනිගේ පාලන තන්ත්‍රයට අයත් සෑම ස්ථානයකටම හා සෑම ඉලක්කයටම ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ දිනයේ ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව පැවතුන හොත් තම ප්‍රහාර තීව්‍ර කරන බව ඉරානය අනතුරු අගවා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, "අනුබුදු දහමින් ලොවම නිවේවා"  තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේ...
10/06/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, "අනුබුදු දහමින් ලොවම නිවේවා" තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම ඉටු කළ හැක්කේ මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා අනුරාධපුර නගරය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ බවත්, සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිශ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරය, ප්‍රථම වැව, පළමු සැත්කම කළ ස්ථානය, යෝධ ඇල වැනි උරුමයන් සහිත අනුරාධපුරය යළි පැරණි උරුමය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්ය රජය සිදු කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එම ප්‍රතිනිර්මාණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ සිදු කිරීමට ඉන්දීය අගමැතිවරයා මේ වන විටත් කැමැත්ත පළ කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"ඕනෑම ජාතියකට නැගී සිටීමට ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. එවැනි ශක්තිමත් අත්තිවාරමක් ශ්‍රී ලාංකේය ජනතාවට බුද්ධ දර්ශනය මගින් ලැබී තිබෙනවා. අධ්‍යාපනය වියළුණු සමාජයක ශක්තිමත් පුරවැසියන් බලාපොරොත්තු වන්න බැහැ. වසර දෙදහකට අධික කාලයකට පෙර මේ රටට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළේ බුදු දහමයි. පන්සල් පිරිවෙන් බවට පත් කරමින් මේ රටේ ජනතාවට අධ්‍යාත්මික මෙන්ම දැනුම ලබාදීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට බුදු දහම විශාල කාර්යයක් කළා. ශිෂ්ට සම්පන්න සමාජ යාන්ත්‍රණයක් ඇතිවීම එමඟින් සිදු වුණා. ඒ සඳහා වසර 2500ක ඉතිහාසයේ මේ රටේ වැඩ සිටී මහා යතිවරයාණන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි."

"නමුත් මේ වනවිට එම සමාජ යාන්ත්‍රණය බිඳවැටී තිබෙනවා. පොලිසියේ ඇතැමුන් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා. පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා. මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟපෙන්වීමක් ලබා ගත හැකියි."

ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි.

වසර දෙකක කාලයක් ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නොහැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගෙන ජාතික පොසොන් උත්සවය මිහින්තලයේදී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තුතිය පළ කරන ලදී.

පින්බර පොසොන් පොහෝ දිනයක්!
10/06/2025

පින්බර පොසොන් පොහෝ දිනයක්!

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ...
09/06/2025

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා අද තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහාය.

මෙවන් පසුබිමක අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කරණු ලැබුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමටය.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ තවදුරටත් කටයුතු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සහ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා මෙම තීරණයට එළැඹ තිබුණි.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතා පත්කෙරුණි.

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම...
05/06/2025

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති "සායිඩි" නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්" already spoke to the management. You will get games, and you have to give something for them too ok" යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනය...
05/06/2025

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.

අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය.

උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගියදා වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණි.

අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසි...
05/06/2025

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

ඊයේ රාත්‍රී 7ත් - 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ, පොඩුකට්ටුව - බෝඩර් පොයින්ට් නමින් හඳුන්වන දිවයිනට ආසන්න දේශීය ජල තීරයේය.

එම අවස්ථාවේ ඩිංගි බෝට්ටුවක සිටි ධීවරයින් 5 දෙනෙක් එහි නීතිවිරෝධී ලෙස ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, එම අවස්ථාවේ සංවිධානාත්මක පිරිස් රැගත් යාත්‍රා කිහිපයක් නාවික හමුදා යාත්‍රාව හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවටගත් ධීවරයින් පිරිස මුදාගෙන පලායාමට තැත්කළ නාවික හමුදාව පැවසීය.

එහිදී නාවික යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසය.

එහෙත්, පැමිණි සංවිධානාත්මක පිරිස තවදුරටත් කළහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැරගැනීමට උත්සාහකර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

තවදුරටත් නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා පුද්ගලයින්ට පහරදී පොරබැදීමක් ද සිදුකර ඇති නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සංවිධානාත්මක පිරිසේ අයෙක්, නාවිකයෙකුගේ රාජකාරී ගිනිඅවිය උදුරාගැනීමට යාමේදී එය ක්‍රියාත්මකවී ඇති අතර ඉන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

සිද්ධියෙන් පසු සංවිධානාත්මක පිරිස පලාගොස් ඇති අතර නාවික පිරිස සිය භාරයට ගත් සැකකාර ධීවරයන් සමඟ ගොඩබිමට පැමිණ තිබුණි.

තුවාල ලැබූ 24 හැවිරිදි ධීවරයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඇතුළු ධීවරයින් 5 දෙනා කුච්චවේලි - ජාවානගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, යාත්‍රාව තුළ සිදුවූ පහරදීමේදී තුවාල ලැබූ නාවික පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

කෙසේවෙතත්, මෙහිදී සිදුව ඇති වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද පෙරවරුවේ කුච්චවේලි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මූලික පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් මේ වසරේ මේ දක්වා ධීවර යාත්‍රා 117ක් සහ පුද්ගලයින් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

ඊයේ (03) රාත්‍රීයේ පමණක් සිදුකළ එවැනි මෙහෙයුම්වලින් නීතිවිරෝධී යාත්‍රා 11ක් සමඟ පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවටගත් බව ද නාවික හමුදාව පවසයි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when epuwath.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to epuwath.com:

Share