06/08/2026
රැල්ලෙන් මිදී තමන්ගේ සැබෑ වටිනාකම ගොඩනගා ගන්න
අන් අයව අනුකරණය කරමින්, සමාජයේ එහෙන් මෙහෙන් එන තාවකාලික ට්‍රෙන්ඩ්ස් පස්සේ පන්නමින්, තමන්ගේම කියලා කිසිම සුවිශේෂී බවක් නැතුව ජීවත් වෙන කාලයක් අපේ තරුණ කාලයේ ඕනෑතරම් තිබෙන්නට පුළුවන්. අන් අය අඳින පළඳින විදිහ, අන් අය හැසිරෙන විදිහ එහෙම්මම කොපි කරමින්, තමන්ගේ සැබෑ අනන්‍යතාවය සහ වටිනාකම අමතක කර දැමීම බොහෝ දෙනෙකුට සිදුවන සාමාන්‍ය දෙයක්.
නමුත් යම් දවසක, "මම මෙතැනින් එහාට වෙනස් වෙන්න ඕනේ, මම මගේ පෞරුෂය සහ වටිනාකම ගොඩනගා ගන්න ඕනේ" කියලා තමන්ගේ අභ්‍යන්තරයෙන්ම තීරණයක් ගන්නා මොහොතක් එනවා. අන්න ඒ තීරණයත් එක්ක තමයි, සමාජයේ රැල්ලට යන තවත් එක් සාමාන්‍ය පුද්ගලයෙකුගේ මානසිකත්වයෙන් මිදී, තමන්ගේ ජීවිතයේ වගකීම් භාරගන්නා පරිණත පුද්ගලයෙකුගේ මානසිකත්වයට කෙනෙකු මාරු වන්නේ.
ඒ වෙනස සිදුවන්නේ එක රැයකින් නෙවෙයි. ඒ සඳහා ලොකු සල්ලි කන්දක් හෝ එක පාරට කරන දැවැන්ත පෙරළි අවශ්‍ය වන්නේත් නැහැ. ඒ සියල්ල පටන් ගන්නේ අපි ගන්නා ඉතාමත් කුඩා, නමුත් විනයගරුක් තීරණවලින්.
හිතන්න, මාසෙන් මාසෙට වෙනස් වෙන ට්‍රෙන්ඩ්ස් පස්සේ දුවමින්, ලොකු සල්ලි ගණනක් වියදම් කරලා බාල ඇඳුම් තොගයක් අල්මාරිය පුරා පිරෙව්වට, ඔබට කියලා කිසිම සුවිශේෂී අනන්‍යතාවයක් හෝ යුනික් ස්ටයිල් එකක් හැදෙන්නේ නැහැ වගේම ඒ හැම ට්‍රෙන්ඩ් එකක්ම ඔයාට ගැලපෙන්නෙ නැහැ. හැබැයි ඒ තාවකාලික රැල්ලෙන් මිදිලා, තමන්ට ඇත්තටම ගැලපෙන, සරල නමුත් ඉතාමත් කොලිටි ඇඳුම් කිහිපයක් තෝරාගන්නා පුද්ගලයා, ඕනෑම තැනකදී තමන්ගේම කියලා ප්‍රබල අනන්‍යතාවයක් සහ ගෞරවයක් නිරායාසයෙන්ම ගොඩනගා ගන්නවා.
අඩු ගාණට හම්බවෙන බාල භාණ්ඩයක් හෝ පළඳනාවක් මිළදී ගත් විට, මාස දෙකක් යද්දී ඒක කැඩිලා, පළුදු වෙලා, නැවත නැවත සල්ලි වියදම් කරන්න වෙනවා වගේම විශාල මානසික වදයකුත් විඳින්න වෙනවා. හැබැයි ටිකක් වැඩි ගාණක් දීලා එක කොලිටි දෙයක් ගත් විට, ඒක අවුරුදු ගණනක් පවතිනවා විතරක් නෙවෙයි, අන්තිමට බැලුවාම ඒකෙන් සල්ලිත් ඉතිරි වෙලා, මාරම ආත්මවිශ්වාසයක් සහ හොඳ එක්ස්පීරියන්ස් එකකුත් ඔබට ලැබෙනවා.
මෙන්න මේ මූලධර්මය ඇඳුම් පැළඳුම් වලට විතරක් නෙවෙයි, අපේ කාලයටත් අදාළයි. තත්පර දහයේ ලාභ විනෝදය පස්සේ දුවමින් සෝෂල් මීඩියා වල පැය ගණන් නාස්ති කරනවා වෙනුවට, දවසට පැයක් තමන්ගේ දැනුමට හෝ ස්කිල් එකකට ආයෝජනය කිරීම කියන්නේත් අන්න ඒ වගේ කොලිටි තෝරාගැනීමක්.
"මට සල්ලි නැහැ, මට මේක කරන්න බැහැ" කියන නිදහසට කරුණු කියන මානසිකත්වයෙන් මිදී, "මම කොහොමද මගේ වටිනාකම වැඩි කරගන්නේ, මම කොහොමද මගේ ප්‍රශ්නයට විසඳුමක් හදන්නේ" කියන තැනට ඔබේ මනස මාරු වූ විට, ඔබට මුහුණ දෙන්නට සිදුවන ඕනෑම ගැටලුවක්, අනාගතයේදී විශාල ව්‍යාපාරයක් හෝ ලෝකයටම දෙන විසඳුමක් බවට පත් කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. තමන්ගේම ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න ඉගෙන ගත්තු දෙයින්, මුළු ලෝකයටම වටිනාකමක් දෙන සාර්ථක පුද්ගලයෙකු බිහිවෙන්නේ අන්න ඒ විනය සහ උත්සාහය නිසයි.
දියුණු වීම යනු වයසට හෝ ලිංගභේදයකට සීමා වූ දෙයක් නෙවෙයි. එය ඔබ ඔබ ගැන සිතන්න පටන් ගන්නා දවසේ සිට සිදුවන ක්‍රියාවලියක්. තාවකාලික රැල්ලට අසු වී තමන්ගේ වටිනාකම නැති කරගන්නවාද, නැතහොත් අභ්‍යන්තරයෙන්ම තමන්ගේ වටිනාකම හදාගත්තු ප්‍රබල පෞරුෂයක් බවට පත්වෙනවාද කියන තීරණය තියෙන්නේ ඔබ අතේ.
බාහිර ලෝකය වෙනස් කරන්න හදන්න එපා. අදම ඔබව වෙනස් කරගන්න පටන් ගන්න. ඒ තුලින් ඔයා කියන පුද්ගලයගේ බ්‍රෑන්ඩ් වැලිව් එක වැඩි කරගන්න උත්සහ කරන්න.