23/07/2024
දැලි-ඇස් ඇති ගැටවරයා රාක්කයක් දෙසට අත දිගු කරයි. ඌව ඇස් සිහින් කර ඔහු දෙස බලයි.
"ඔය මේකප් ගාලද?"
පර්වානේ ඔහු නිහඬ කරවයි. තමාට අපහාස කරන ලද පෙනුමක් ඌව වෙතින් දිස්වෙයි.
"මොකද? අහන එකේ තියෙන වැරැද්ද මොකද්ද?"
ගැටවරයා තරමක් නොසන්සුන්ව මඳ සිනා පායි.
"ඔව්, මේකප්," සිය දෑස් වටා පිරිමදිමින් ඔහු හිස සලයි. "මං ඊයෙ රෑ නටන්න ගියා." පර්වානෙ මිතුරු කුමන්ත්‍රණකරුවකුගේ සුහුරු බවින් යුතුව සිය අත්බෑගයෙන් තෙත-ටිෂූ කඩදාසියක් ගෙන ඔහු වෙත දිගු කරන අතරේ ඈ දෙස බලා ස්තුතිපූර්වක ලෙස මඳ සිනා පාමින් ඔහු කියයි.
ඌව හිස සලා යළිත් කෝපි සැදීම වෙත යොමු වෙයි.
"එතකොට ඔහේටත් බයිසිකල්, ආදරය සහ ගෑනු ළමයි ගැන ප්‍රස්න තියෙනවද?" ඔහු වෙනත් කල්පනාවකින් අසයි.
"නෑ, නෑ, බයිසිකල් ගැන නං ප්‍රශ්න නෑ කොහොමටවත්. ආදරේ ගැනත් ප්‍රශ්න නෑ, මං හිතන්නෙ. අපෝ, ගෑනු ළමයි ගැන නං කොහෙත්ම ප්‍රශ්න නෑ." ගැටවරයා නිහඬව සිනාසෙයි.
"ලොල්ලෙක් නේද?"
"ඌව!" යි කියන පර්වානේ ඔහුගේ අතට පහරක් ගසයි.
"මොකද?!"
"එහෙම කියන්නෙ නෑ . . . ඒකට ඒ නම කියන්නෙ නෑ." පැහැදිලිවම ඒ වචනය යළිත් උච්චාරණය කිරීමේ අකැමැත්තෙන් යුතුව පර්වානේ කියයි.
"ගල් කොල්ලා?" ඌව වෙනත් නමක් ඉදිරිපත් කරයි.
පර්වානේ යළිත් ඔහුගේ අතට ගැසීමට උත්සාහ කරන නමුත්, ඌව ඈට වඩා ඉක්මන් වෙයි.
"ඒ විදියට කතා කරන්න එපා!" ඇය ඔහුට අණ කරයි.
ඌව අවංකවම ආකූල ව්‍යාකූලව දැලි-ඇස් ඇති ගැටවරයා වෙත හැරෙයි.
"ලොල්ලා කියන්න බැරිද? මේ කාලෙ මොනවද ඒකට කියන්න ඕන?"
"සමලිංගික කියලා කියන්න. නැත්තං LGBT එක්කෙනෙක්," කියමින් පර්වානේ නිරායාසයෙන්ම ඔහුගේ කතාවට බාධා කරයි.
"ආහ්, ඔයා ඔයාට කැමති දෙයක් කියන්න. ඒකට කමක් නෑ. කූල්." කවුන්ටරය පිටුපසට ගොස් ඒප්‍රණයක් ඇඳගන්නා අතරේ ගැටවරයා මඳ සිනාවක් පායි.
"හරි ඒක හොඳයි. ඒක පැහැදිලි කරගන්න ලැබුණ එක හොඳයි. අර ගේ කට්ටියගෙන් එක්කෙනෙක් එහෙනං". ඌව කොඳුරයි. පර්වානේ සමාව ඉල්ලන ලෙසින් හිස සලයි. ගැටවරයා හුදෙක් හඬ නගා සිනාසෙනවා පමණි.
"ඒකත් එහෙමයි එහෙනං," යි හිස සලා කියන ඌව තවමත් කෝපි පෙරෙමින් ඇති අතරේ තමාට කෝපි කෝප්පයක් වත් කර ගන්නට පටන් ගනියි.
#ගංගානිරෝෂිණීසුදුවැලිකන්ද
#ලිට්ල්හවුස්