13/08/2025
දිනෙන් දින ඉහළ යන ringworm” හෙවත් “ටීනියා” රෝගය
වර්තමානයේ දිලීර රෝග බහුලවම දක්නට ලැබෙන කාලයක මේ කියන්න යන්නේ, සමාජයටම ගැටලුවක් බවටම පත් වී ඇති දිලීර රෝගයක් ගැනයි..
"ටීනියා" නැත්නම් "ringworm" හඳුන්වා දෙන මෙය, සංඛ්‍යාලේඛන අනුව වර්තමානයේ පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය වැලඳී ඇති අතර, මුල් කාලීනව සුව නොකළහොත් සුව කිරීමට අපහසු සුව කිරීමට කාලයක් ගතවන ප්‍රචණ්ඩකාරී දිලීර ආසාදනයක් ලෙස ටීනියා ආසාදනය හඳුන්වා දිය හැකියි.. මෙම රෝගයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය සමාජ දැනුවත් භාවය ඇති කිරීම සමාජ වගකීමක්..
"ringworm" "ටීනියා" නොහොත් "පණු කැවිලි" රෝගය යනු දිලීර ආසාදනයක්.. මෙම දිලීර ආසාදනය මිනිසුන්ට මෙන්ම සතුන්ටත් වැලඳීමේ අවදානමක් ඇත.. ඊට සම, හිස කෙස්, නියපොතු ආසාදනය කිරීමේ හැකියාව පවතී.. "ringworm” ”Dermatophyte” දිලීර කාණ්ඩයට අයිති දිලීරයක් වන අතර ඊට විවිධ උප දිලීර වර්ග පවතී.
“ringworm” ව්‍යාප්ත වීමට හේතු
මෙම දිලීර විශේෂය අලුත් දිලීර විශේෂයක් නොවේ. සෑම රටකම පාහේ දක්නට ලැබෙන, නමුත් ශීත රටවලට වඩා ඝර්ම කලාපීය රටවල අර්ද්‍රතාවය සහ උෂ්ණත්වය ඉහළ යාම නිසා මෙම රෝගය වේගයෙන් ව්‍යාප්ත වේ. වර්තමානයේ “ ringworm හෙවත් “ටීනියා” දිලීරයේ වෙනස්කම් කිහිපයක් ඇති වී තිබේ. මෙකී වෙනස්කම් නිසා ආසාදිත රෝගීන්ගේ රෝග ලක්ෂණවලත් වෙනස්කම් සිදුව තිබේ. පසුගිය අවුරුදු කීපය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල “ ringworm” හෙවත් “ටීනියා” රෝගීන්ගේ ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයකි. එසේම ටීනියා රෝගීන් නිර්දේශිත ප්‍රතිකාර මගින් සුව කිරීමට වැඩි කාලයක් ගත වීම සහ සුව කිරීමට යම් අපහසුතාවයන් ඇති වී තිබීම ද ගැටලුවකි. ආසාදනය වන දිලීර විශේෂයේ යම් යම් වෙනස්කම් සිදුව තිබීම සහ එම වෙනස්කම් සහිත”Trichophyton indotineae” නව දිලීර විශේෂය ඉතාමත් ප්‍රචණ්ඩකාරී මෙන්ම ප්‍රතිකාර ඖෂධවලට සංවේදීතාවය අඩුවීම රෝගය ව්‍යාප්තවීමට හේතුව බව පර්යේෂණ මගින් සනාථ කර තිබේ.
“ ringworm” හෙවත් “ටීනියා” පුද්ගලයන් අතර පැතිරෙන්නේ කෙසේද?
මෙම රෝගය එකිනෙකා ස්පර්ශ කිරීම හරහා පහසුවෙන්ම පැතිරේ. මීට අමතරව ආසාදිතයාගේ ආසාදිත ස්ථානවල මතුපිට සම කුඩා කැබලි නැත්නම් කුඩු කුඩු වශයෙන් කැඩී යයි. එම කුඩා සම් කැබලි ආසාදිත පුද්ගලයාගේ ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිවල, ඔහු භාවිතා කරන සෝෆා පුටුවල පවා තිබිය හැකිය. “ටීනියා” දිලීර කාණ්ඩය පහසුවෙන් විනාශ නොවීම නිසා දිලීරය දීර්ඝ කාලයක් මෙම සම් කැබලිවල සජීවීව පවති. මෙම සම් කැබලි මගින්ද ටීනියා බෝ වේ. ටීනියා කාණ්ඩයේ දිලීර මිනිසුන් අතර මෙන්ම බල්ලන්, පූසන්, හාවන් වැනි සතුන් අතරත් පවතී. ආසාදිත සතුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන ඕනෑම පුද්ගලයෙක්ට ටීනියා රෝගය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතී. විශේෂත්වය වන්නේ සතුන්ට ඇතිවන ටීනියා කාණ්ඩයේ දිලීර මිනිසුන්ට ආසාදනය වූ පසුව ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍ය ටීනියා
රෝගියෙකුට ඇතිවන රෝග ලක්ෂණවලට වඩා දරුණු වීමයි.
“ ringworm” හෙවත් “ටීනියා” රෝගයේ ලක්ෂණ
ටීනියා රෝගයේ ප්‍රධානම ලක්ෂණය වන්නේ ආසාදිත ස්ථානවල ඇතිවන දරුණු කැසීමයි. ටීනියා රෝගය සම, හිසකෙස් , නියපොතු මෙන්ම විවිධ අවයව ආශ්‍රිතව සම මතුපිට ආසාදනය කරයි. ශරීරයේ ආසාදනය වන ස්ථානය අනුව රෝග ලක්ෂණවල විවිධ වේ. සම ආශ්‍රිතව ඇතිවන ටීනියා ආසාදනයන් වර්තමානයේ බහුලව නිරීක්‍ෂණය කළ හැකිය. සම මතුපිට සෙන්ටි මීටර් එකත්, සෙන්ටි මීටර් දෙකක ප්‍රමාණයක රතුපැහැ ලපයක් ලෙස ටීනියා රෝගය ආරම්භ වේ. මෙම ලපය රවුමක, මුද්දක හැඩයක් ගනී. මෙම රෝගය “ringworm” ලෙස හඳුන්වන්නේ එනිසාය. ආසාදිත ලපයේ මැද කොටස සාමාන්‍ය සමක් ලෙස පවතින අතර වටේ දාරය රතු පැහැති ඉලිප්පුණු ස්වභාවයක් ගනී. මේ දාරය මතුපිට ඇතිවන කැසීම් වලින් පසුව සැරව බිබිලි, වතුර බිබිලි වැනි ස්භාවයක් ඇති වේ. ආසාදිත ස්ථානයේ මතුපිට සම ගැලවී යාම වැනි තත්ත්වයන් ද නිරීක්ෂණය කළ හැකිය. කල් නොයවා නිසි ප්‍රතිකාර නොකළහොත් මුද්දක හැඩයට නැත්නම් වෘත්තාකාර ආකාරයට මුළු ශරීරය පුරාවටම ව්‍යාප්ත වේ. විශේෂයෙන්ම සමේ ඉකිලි, කිහිලි වැනි තෙතමනය සහිත නිරන්තරයෙන් වැසුණු ස්ථානවල, ශරීරයේ නැවෙන දිගහැරෙන ස්ථානවල මෙම රෝගය වේගයෙන් ආසාදනය වේ.
හිසකෙස් ආශ්‍රිතව ඇතිවන ටීනියා කුඩා ළමුන් අතර වැඩි වශයෙන් නිරීක්ෂණය කළ හැකිය. හිස කෙස් කැඩී යෑම, ගැලවී යෑම හිස්කබල පෑදීම, හිස්කබල මතුපිට රතුපාට මුද්දක් ආකාරයේ ලප ඇතිවීම රෝග ලක්ෂණ වේ. ඇතැම් විට හිස්කබල මතුපිට සැරව පිරුණු බිබිලි ඇති වේ. නියපොතු ආශ්‍රිතව ටීනියා ආසාදනය ඇති වූ විට නියපොතු අවර්ණ වීම, කැඩී යාම, නියපොතු සමෙන් වෙන් වී පෙනීම වැනි රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ හැකිය. යටි පතුල්, අල්ල ආශ්‍රිත ඇති වන ටීනියා ආසාදන වලදී මතුපිට සම ගැලවී යාම නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි රෝග ලක්ෂණ ටීනියා රෝගීන් අතර සුලබව දැකිය හැකිය.
“ ringworm” හෙවත් “ටීනිය” රෝගය වැඩි බලපෑමක් වෙන්නේ කවර පාර්ශවයන්ටද?
කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් අතර වයස් භේදයකින් තොරව මෙම රෝගය ආසාදනය වේ. කුඩා දරුවන් නිරන්තරයෙන් එකිනෙකා ස්පර්ශ කර ගැනීම නිසා දරුවන්ට ටීනියා වැඩි වශයෙන් ආසාදනය වේ. ටීනියා රෝගය නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට, අවයව බද්ධ කළ පුද්ගලයන්ට සහ විවිධ හේතුන් මත ප්‍රතිශක්තීකරණය අඩු වූ පුද්ගලයන්ට වැලඳුනහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති වන රෝග ලක්ෂණවලට වැඩි රෝග ලක්ෂණ ප්‍රමාණයක් ඔවුන්ගෙන් නිරීක්‍ෂණය කළ හැකිය. එසේම රෝගය වේගයෙන් ශරීරය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ද ඇත.
“ringworm” හෙවත් “ ටීනියා” සුවකළ හැකිද?
නිසි ප්‍රතිකාර ගත්විට නිට්ඨාවටම සුව කළ හැකි රෝගයකි. ටීනියා රෝග ලක්ෂණ ඇති බව හඳුනාගත් විගසම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය වේ. එවිට වෛද්‍යවරයා රෝගියාගේ රෝගයේ ප්‍රමාණය හා ස්වභාවය අනුව ආලේපන හෝ ඖෂධ වර්ග නිර්දේශ කරයි. රෝගියා වෛද්‍ය නිර්දේශය අනුව නියමිත කාලය පුරාවටම ඖෂධ ලබා ගත යුතුය. වෛද්‍යවරයා විසින් රෝගය සුව වී ඇති බවට තහවුරු කරමින් වෛද්‍ය නිර්දේශයක් ලබාදෙන තුරු ඖෂධ අතරමගදී නතර නොකළ යුතුය. හිතුමනාපයට ඖෂධ වර්ග ආලේපන භාවිතා කිරීම නොකළ යුතුයි. ඇතැම් ආලේපනවල ස්ටෙරොයිඩ් සහිතය. එවැනි ආලේපන මෙම රෝගයට අහිතකර වන අතර ආසාදිත ස්ථානයේ ගැල්වූ විට සුව වූ බවක් දකින්නට ලැබේ. නමුත් එමඟින් තාවකාලිකව රෝගය යටපත් කිරීමක් කරන අතර රෝගියා නොදැනුවත්වම රෝගය නිදන්ගතව තව තවත් පැතිරේ. ස්ටෙරොයිඩ් ආලේපන නැවැත්වූ විට තිබුණු තත්ත්වයටත් වඩා දරුණු ලෙස ටීනියා රෝගී ලක්ෂණ උත්සන්න වේ.
එසේම ටීනියා රෝගීන් තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුයි. දිනපතා ස්නානය කිරීම, තමන්ගේ ඇඳුම් පැලඳුම් යට ඇඳුම් වෙන වෙනම තබා ගැනීම හා හවුලේ භාවිතා නොකිරීම. නයිලෝන් රෙදි ඇඟටම හිර වූ ඇඳුම් නොඇඳීම, සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම, කපු ඇඳුම් වලට යොමුවීම, ඇඳුම් දිනපතා තද අව්වේ වියළා ගැනීම හෝ වැඩි උෂ්ණත්වයකින් ඇඳුම් මැද භාවිතා කිරීම අනිවාර්යෙන්ම කළ යුතුය.
ටීනියා අත් බෙහෙත් වලින් සුව නොවේ.
එමගින් රෝගය උත්සන්න වේ. අත් බෙහෙත්වල ටීනියා වැනි ප්‍රචණ්ඩකාරී දිලීර විනාශ කිරීමට විද්‍යාත්මකව තහවුරු කළ තත්ත්වයක් නොපවතී. දිලීර නාශක හෝ ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනවානම් නිසි මාත්‍රාවකින් සුදුසු කාලයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. වෛද්‍යවරු ලබාදෙන දිලීර නාශක, ප්‍රතිජීවක ආලේපන සායනිකව තහවුරු කර සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ඖෂධ බැවින් අත් බෙහෙත් වලට යොමු වෙනවාට වඩා සායනිකව තහවුරු කළ ඖෂධවලට යොමුවීමෙන් ටීනියා රෝගය ඉතාමත් ඉක්මනින් සුව කර ගත හැකිය.
“ ringworm” හෙවත් “ ටීනියා” රෝගය ගැන සමාජයක් ලෙස සැලකිලිමත් විය යුත්තේ ඇයි?
“ ringworm” හෙවත් “ ටීනියා” රෝගය සමාජය තුළ වේගයෙන් බෝවීම සිදු වේ. එය සමාජ ගැටලුවකි. එම නිසා රෝගී ලක්ෂණ පවතී නම් මුල් අවස්ථාවේම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ රජයේ චර්ම රෝග සායනයකට යොමුවීම ඉතාමත් වැදගත් වේ. නිසි ප්‍රතිකාර ඉක්මනින් නොකළොත් රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයට පත්වේ. සුව වීමට කාලයක් ගතවේ. දීර්ඝ කාලයක් ඖෂධ
ලබාගැනීමට සිදුවේ. එය ආර්ථිකමය මෙන්ම මානසිකවත් බිඳ වැටීමට හේතුවකි. ටීනියා ආසාදිත පිරිස් මෙන්ම ආසාදනය නොවුණු පිරිස් තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය වේ. එය ටීනියා වැලඳුණු රෝගීන්ට සුව වීමටත් ආසාදිතය නොවූ පිරිසට ආරක්‍ෂාවීමටත් හේතු වේ.