28/08/2026
විනිශ්චයාසනයෙන් අද නික්ම යන ඔබ යුක්තිය වෙනුවෙන් තැබුවේ සදා නොමැකෙන රන් සලකුණකි...
බද්දේගම දිසා විනිසුරු/ මහේස්ත්‍රාත් ගරු සනත් නානායක්කාර මැතිතුමා අද දින විනිශ්චයකාර භූමිකාවෙන් සමු ගන්නවා.
එතුමා මහාධිකරණ විනිශ්චකාරවරයෙකු නොවී මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරයෙකු ලෙස විශ්‍රාම ගන්නේ ඇයිදැයි, එතුමා ගැන නොදන්නා කෙනෙකුට සිතෙන්නට පුළුවන.
සනත් නානායක්කාර මැතිතුමා විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වන්නේ පෞද්ගලික නීති වෘත්තියේ ඉහළම සාර්ථකත්වයක් අත්කරගෙන සිටි අවස්ථාවක. අපේ වචනවලින් කිව්වොත් වෘත්තීය ජීවිතයේ "පීක්" එකේදීය. ඒ වනවිට එතුමා වයසින් අඩ සියවසක් පසුකර අවසන්.
එවැනි අවස්ථාවක තමන්ට හිමිව තිබූ වෘත්තීය සාර්ථකත්වය, ආදායම, සමාජ පිළිගැනීම සහ නිදහස පසෙක තබා විනිශ්චයාසනයේ වගකීම භාරගැනීමෙන් එතුමාගේ චරිතය පිළිබඳ බොහෝ දේ කියවා ගැනීමට පුලුවන්.
මගේ කෙටි නීතිඥ ජීවිතය තුළ ගරු විනිශ්චයකාරවරුන් ගණනාවක් ස්ථාන මාරු ලබා, විශ්‍රාම ලබා ගිය අවස්ථා ඕනෑ තරම් දැක තිබුනත් එවැනි අවස්ථා පිළිබඳ මා කිසිවක් ලියා නැත්තේ ඒවායේ වටිනාකමක් නොතිබූ නිසා නොවේ.
නමුත් සනත් නානායක්කාර මැතිතුමාගේ විශ්‍රාම ගැනීම ගැන ලිවිය යුතුයැයි මට හැඟුණේ එතුමා විනිශ්චයකාරවරයෙකු ලෙස ඉටු කළ කාර්යභාරය නිසයි.
එතුමා ගැන ලිවීමට බොහෝ කලක සිට අවශ්‍යතාවක් තිබුණත්, එතුමා විනිශ්චයාසනයේ සිටින තුරු කිසිවක් නොලීවේ එවැනි ලිවීමකින් එතුමාට කිසියම් අගතියක් සිදුවිය හැකියැයි සිතුන නිසාය.
අද එතුමා විනිශ්චයාසනයෙන් සමුගන්නා බැවින්, එතුමා පිළිබඳව මා අවස්ථාවන් කිහිපයක් සටහන් කර තැබීම එතුමා වෙනුවෙන් කරන ගෞරවයකි.
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු කැඳවන්නේ සිකුරාදා දිනයෙ. පියෙකුගෙන් නඩත්තු ඉල්ලා දරුවෙකු විසින් පවරන ලද නඩුවක ඉල්ලුම්කාර දරුවා වෙනුවෙන් මගේ බිරිඳ උපේක්ෂා පෙනී සිටියාය.
එක් නඩු දිනයක විවෘත අධිකරණයේ නඩුව කැඳවූ නමුත් වගඋත්තරකාර පියා අධිකරණයට පැමිණ සිටියේ නෑ. එම දරුවා උසස් පෙළ හදාරන පිරිමි දරුවෙක්. උපකාරක පන්ති සඳහාත්, අධ්‍යාපන කටයුතු සඳහාත් වැයවන මුදල් පිළිබඳව කරුණු ඉදිරිපත් කළත්, පියා නොපැමිණීම මත එම මස නඩත්තු මුදල් ලැබුනෙ නෑ.
ගරු මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මැතිතුමා පියාට වරෙන්තු නිකුත් කර ඊළඟ නඩු දිනය ලබා දුන්නා.
දිවා විවේකයට නඩු කටයුතු නතර වූ විට උපේක්ෂා මට කිව්වා "අර නඩත්තු නඩුවේ පිරිමි ළමයට ආරච්චි ඇවිත් සර් ඉන්න කිව්වා. ඇයි කියලා දන්නේ නෑ."
සවස නඩු කටයුතු අවසන් කර නිවසට ආව උපේක්ෂා මට ඒ කතාව කිව්ව ආකාරය අදටත් අමතක නැත.
"මාර වැඩේනේ සර්... අර ළමයාව චේම්බර් එකට කතා කරලා විස්තර අහලා සල්ලි දීලා. අපි දෙදෙනා එය කිසිවෙකුට නොකියා රහසක් ලෙස තබා ගත්තෙමු.
නමුත් කාලයක් ගතවන විට දැනගන්නට ලැබුනා, නඩු කටයුතු හේතුවෙන් අගතියට පත් වූ, මූල්‍යමය රැකවරණය අහිමි වූ මිනිසුන් ගණනාවකට එතුමා පෞද්ගලිකව මූල්‍යමය උපකාර කර ඇති බව.
ලංකාවේ බෙදුම් නඩු වැඩිම ප්‍රමාණයක් පවතින්නේ දකුණු පළාතේ අධිකරණවල. අවුරුදු දහය, පහළොව පමණක් නොව, අවුරුදු හතළිහ, පනහ පමණ පැරණි බෙදුම් නඩු පවා මේ උසාවිවල තියෙනවා.
මුල් අවස්ථා සිවිල් අධිකරණයක විනිශ්චයකාරවරයෙකුට තීන්දුවක් ලබාදීම සඳහා අතිශය අපහසු , සංකීර්ණ සහ වෙහෙසකරම නඩු වෙන්නේ බෙදුම් නඩු.
එයට හේතුව සරලයි. එක් පාර්ශ්වයක අයිතියක් පමණක් සලකා තීන්දුවක් දෙන්න බෑ. නඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් සලකා බලන්න ඕනි. අනෙක් නඩු වගෙ නෙවෙයි, බෙදුම් නඩුවල විත්තිකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඇතැම් නඩුවල විත්තිකරුවන් තිහ, හතළිහ, පනහ ඉන්න අවස්ථා තිබෙනවා. ඒ සියලු දෙනාගේම අයිතිවාසිකම් වෙන වෙනම තීරණය කළ යුතුයි. එම අයිතිවාසිකම් ඔප්පු, ලේඛන සහ සාක්ෂි ලෙස නඩු වාර්තාවල ගොනුවෙලා තිබෙනවා. සමහර බෙදුම් නඩු වාර්තා අඟල් හතක්, අටක්, නවයක් තරම් විශාලයි. තීන්දුවක් ලබාදීම සඳහා ඒ සියල්ල A 2 Z කියවිය යුතුය.
එවැනි නඩුවක් වෙනුවෙන් අතිවිශාල කාලයක් වැයවෙනවා. ඒ නිසා ඇතැම් විනිශ්චයකාරවරුන් (සියල්ලන්ම නොවේ) බෙදුම් නඩු දීර්ඝව විභාග කර තීන්දුවක් ලබාදීම වෙනුවට, විෂය වස්තුව නිසි ලෙස හඳුනාගෙන නොමැති බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභා කරන අවස්ථාවන් අපි ඕනෑතරම් දැක තිබෙනවා.
විෂය වස්තුව හඳුනා ගතහොත් පැමිණිල්ලේ සහ අනෙකුත් විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් වෙන වෙනම සලකා බැලිය යුතුයි. එය දීර්ඝ ක්‍රියාවලියක්. නමුත් කිසිදු පාර්ශ්වයක් විෂය වස්තුවේ අනන්‍යතාවය පිළිබඳව හබ නොකරන අවස්ථාවල පවා, විෂය වස්තුව හඳුනාගෙන නොමැති බව පවසමින් නඩු නිෂ්ප්‍රභා කරන අවස්ථා තියෙනවා.
මිනිසුන් අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් පුරා මුදල්, කාලය සහ ශ්‍රමය වැය කර අවසානයේ නඩුව නිෂ්ප්‍රභා කළ විට ඔවුන්ට යුක්තියක් ඉටුවේද?
එවැනි තීන්දුවලට එරෙහි අභියාචනාවලදී , මුල් තීන්දුව අවහරණය කර නැවත තීන්දුවක් ලබාදීම සඳහා පහළ අධිකරණයට යොමු කරන අවස්ථාද අප දැක තිබෙනවා.
සනත් නානායක්කාර මැතිතුමා විෂය වස්තුව හඳුනාගෙන නොමැති බවක් පවසමින් බෙදුම් නඩුවක් අසාධාරණ ලෙස නිෂ්ප්‍රභා කිරීමට උත්සාහ නොකළ විනිශ්චයකාරවරයෙක්.
එතුමා පැමිණිල්ලේ පෙළපත සලකා බලල , විත්ති පෙළපත් සලකා බලල , ලේඛන හා සාක්ෂි පරීක්ෂා අධ්‍යනය කරල අවසානයේ නඩුව නිෂ්ප්‍රභා කිරීම පහසු මාර්ගය ලෙස තෝරා නොගෙන, හැකි සෑම අවස්ථාවකම පාර්ශ්වකරුවන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාදීම සඳහා තීන්දුවක් ලබා දුන්නා.
පැමිණිල්ල හෝ විත්ති පාර්ශ්වය තම පෙළපත ප්‍රමාණවත් ලෙස ඔප්පු කර නොතිබූ අවස්ථාවල පවා, නීතියෙන් තමන්ට ලබාදී තිබූ බලය සහ වගකීම භාවිතා කරමින් අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි මත , අධිකරණයට අභිමත පෙළපතක් මත යුක්ති සහගත ලෙස අයිතිවාසිකම් තීරණය කිරීමට එතුමා කටයුතු කළ අවස්ථා තිබුණා.
බෙදුම් නඩු පනතේ 25 වැනි වගන්තියෙන් තීන්දුවක් ලබාදීමේදී විනිශ්චයකාරවරයාට පුළුල් බලයක් හා වගකීමක් පවරා තිබෙනවා. එවැනි බලයක් නීතියෙන් ලබාදී ඇත්තේ විනිශ්චයකාරවරයාට තමන්ට ඕනි දේ කරන්න නෙවෙයි. එවැනි බලයක් නීතියෙන් ලබාදී තිබෙන්නෙ මිනිසුන්ගේ අයිතිවාසිකම් නිවැරැදිව නිශ්චය කර, සාධාරණ හා යුක්තිසහගත තීන්දුවක් ලබාදීමේ අරමුණ වෙනුවෙන්.
එම බලය හා වගකීම මිනිසුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා පුළුල් ලෙස භාවිත කළ විනිශ්චයකාරවරයෙකු ලෙස සනත් නානායක්කාර මැතිතුමා හදුන්වන්න පුලුවන්.
"මේ උසාවි තියෙන්නේ අපිට ජොබ් දෙන්න නෙවෙයි"
"මිනිස්සු බෙදුම් නඩු දාන්නෙ ආසාවට නෙවෙයි. කැමැත්තෙන් නෙවෙයි. එහෙම කරන්නෙ බැරිම තැන."
"නඩු දාලා, වියදම් කරලා, අවුරුදු ගාණක් ගිහින් කිසිම සාධාරණ හා යුක්තිසහගත හේතුවක් නැතුව නඩුව නිෂ්ප්‍රභා කළොත් අර මිනිස්සුන්ට මොකද වෙන්නේ?"
"අපේක්ෂා භංගත්වයට පත්වෙනවා."
"හැබැයි ඒකෙන් අපේ අධිකරණ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. මිනිස්සු අධිකරණයෙන් බාහිරව තමන්ගේ ක්‍රමවලට යුක්තිය හොයන්න උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නේ මිනිස්සු යුක්තියෙන් පිටමංවීමක්."
මේ එතුමාගේ මුවින් පිටවුන වචන.
"මේ උසාවි තියෙන්නේ අපිට ජොබ් දෙන්නවත්, අපේ ගාම්භීරකම් සමාජයට පෙන්නන්නවත්, අපිට සමාජ තත්වයක් අරන් දෙන්නවත් නෙවෙයි."මේ සියල්ල තියෙන්නේ මිනිස්සුන්ට සාධාරණය හා යුක්තිය ඉෂ්ට කරන්න."
විනිශ්චයකාරවරයෙකුගේ වගකීම පිළිබඳ එතුමාගේ දර්ශනය එම වචන කිහිපයෙන්ම පැහැදිලි වෙනවා.
ගරු විනිශ්චයකාරවරයෙකු නීතිය ක්‍රියාත්මක කිරීමේදී බිය විය යුතු නැත. ඔහුට හොඳ කශේරුකාවක් තිබිය යුතුය. එමෙන්ම හොඳ "ඔළුවක්" තිබිය යුතුය. එයින් අදහස් කරන්නේ නීතිමය දැනුමෙන්, අත්දැකීමෙන් සහ විචාරශීලීත්වයෙන් සන්නද්ධ වීමක් ගැනය.
නමුත් ඒ සියල්ල පමණක් ප්‍රමාණවත් නොවේ. විනිශ්චයාසනය මත සිටින්නාට හදවතක්ද තිබිය යුතුය. නිකම්ම හදවතක් නොවේ. ගැහෙන, දැනෙන හදවතක් තිබිය යුතුය.
නීතිය දැන සිටීමත්, ඍජුභාවයත්, මනුෂ්‍යත්වයත් තිබීම වැදගත්. නමුත් ඒ සියල්ලට ඉහළින් විනිශ්චයකාරවරයෙකු අත්‍යන්තයෙන්ම අපක්ෂපාතී විය යුතුය. කිසිවෙකුට පක්ෂපාතී නොවිය යුතුය.
සනත් නානායක්කාර මැතිතුමා ජූනියර්ද, සීනියර්ද, බාර් එකේද, අවුට්ස්ටේෂන්ද යන්න නොසලකා සියලු නීතිඥවරුන්ට සමානව කන් දුන් අයෙක්. සමාන අවස්ථා ලබා දුන්නා. අපක්ෂපාතීව නීතියට අනුව තීන්දු සහ නියෝග ලබා දුන් ගරු විනිශ්චකාරවරයෙක්..
අධිකරණ පරිචයන් ආරක්ෂා කරමින් සහ නීතිඥ වෘත්තියේ සම්ප්‍රදායන් රැකගැනීමට උදව් කරමින් නීතිඥ මණ්ඩලය වෙත එතුමා ලබාදුන්නෙ නොමඳ සහයක්.
වෘත්තීය ජීවිතයක ගෞරවනීය පරිච්ඡේදයක්
------------------------------------------
කාලය මිනිසෙකුගේ ජීවිතය මනින්නේ වසර ගණනින් පමණක් නොවේ. ඔහු ගමන් කළ මාවතෙන්ය. භාරගත් වගකීම්වලින්ය. ඉටු කළ යුතුකම්වලින්ය. තමන් පසුකර ගිය තැන්වල තබා ගිය ගෞරවනීය මතකයන්ගෙන්ය.
එවන් දීර්ඝ වෘත්තීය ගමනක එක් සම්භාවනීය පරිච්ඡේදයක් අද නිමාවට පත්වුණා. විනිශ්චයාසනය යනු බලය ප්‍රදර්ශනය කරන අසුනක් නොවෙයි. එය යුක්තියේ බර දරා සිටිය යුතු ස්ථානයක්. එහි ගෞරවය රැකෙන්නේ වචනවලින් නොව ගන්නා තීරණවලින්. තනතුරෙන් නොව, එම තනතුර දරන ආකාරයෙන්.
එම වගකීම හඳුනාගෙන, නීතියේ ආධිපත්‍යය, අපක්ෂපාතීත්වය, විනය සහ යුක්තිය පිළිබඳ වූ වගකීම පෙරදැරි කරගෙන ගරු සනත් නානායක්කාර මැතිතුමා සිය අධිකරණ කාර්යභාරය මැනවින් ඉටු කල බවට අපි හැමෝම ජීවමාන සාක්ෂිකරුවන්.
බද්දේගම අධිකරණයේ සේවය කළ කාලය තුළ එතුමා නීතිඥ මණ්ඩලය, අධිකරණ කාර්ය මණ්ඩලය සහ යුක්තිය අපේක්ෂාවෙන් අධිකරණයට පැමිණි ජනතාව සමඟ ගෞරවනීය සබඳතාවක් පවත්වාගත් අයෙක්. අධිකරණයේ ගෞරවය හා කාර්යභාරය නිසි ලෙස ඉදිරියට ගෙන යාමට එතුමා ලබාදුන් දායකත්වය අප අතර සදාකල් මතකයේ රැදෙනවාට සැකයක් නෑ.
නීතිඥවරයෙකු ලෙස අධිකරණයේ එක් පසෙක සිට ආරම්භ කළ එතුමාගේ ගමන, අවසානයේ අධිකරණයේ විනිශ්චයාසනය මත හිඳ යුක්තිය පසිඳලීම දක්වා දිගුවක් බවට පත්වුණා.
එය එක් වෘත්තියක ගමනක් පමණක් නොවේ. එක් අවධියක එතුමා යුක්තිය ඉල්ලා සිටි අය වෙනුවෙන් හඬ නැඟුවා.තවත් අවධියක සියලු හඬවල් අසා, නීතිය අනුව තීරණය කිරීමේ වගකීම භාරගත්තා. එබැවින් අද නිමාවට පත්වුනේ රැකියාවක අවසානයක් නොවේ. ඒ නිමාවට පත්වුනේ නීතිය හා යුක්තිය සමඟ බැඳුණු දීර්ඝ වෘත්තීය ජීවිතයක එක් ගෞරවනීය පරිච්ඡේදයක්.
අද එතුමා විනිශ්චයාසනයෙන් නික්ම යන විට එහි ඉතිරි වන්නේ හිස් අසුනක් පමණක් නොවෙයි. වසර ගණනාවක් පුරා ඉටු කළ වගකීම්වල මතකයත්, නීතිය වෙනුවෙන් කැප කළ වෘත්තීය ජීවිතයක ගෞරවයත්, තමන් සේවය කළ අධිකරණ හා මිනිසුන් අතර තබා ගිය සලකුණත් එහි ඉතිරිව තිබෙනවා.
එ නිසා මේ මොහොත සමුගැනීමක් පමණක් නෙවෙයි. සේවය අගය කරන නිමේෂයක්.
වගකීමක් නිසි ලෙස ඉටු කළ ජීවිතයකට උත්තමාචාර පුද කරන මොහොතක්.
නීතිය හා යුක්තිය වෙනුවෙන් කැප කළ වසර ගණනාවකට කෘතවේදීත්වය පළ කරන මොහොතක්.
ගරු සනත් නානායක්කාර මැතිතුමනි,
ඔබතුමන් නීතිඥවරයෙකු ලෙස ඇරඹූ ගමන, විනිශ්චයකාරවරයෙකු ලෙස ගෞරවයෙන් නිම කරන මේ මොහොතේ, ශ්‍රී ලංකා අධිකරණ සේවයටත්, විශේෂයෙන් බද්දේගම අධිකරණයටත් ලබාදුන් සේවය අපි කෘතවේදීව හා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.
විනිශ්චයාසනයෙන් සමුගත්තද, ඔබතුමන්ගේ මතකය එතැනින් සමුගන්නේ නොවේ. ඔබතුමන් ඉතිරි කර යන වැදගත් මිනිසුන්ට යුක්තිය පිළිබඳ විශ්වාසයක් ඇති කළ විනිශ්චයකාරවරයෙකුගේ මතකයයි.
ඔබතුමන්ගේ ඉදිරි ජීවිත පරිච්ඡේදය නිදුක් නිරෝගී සුවයෙන්, සැනසීමෙන්, සතුටින් සහ ඔබට ආදරය කරන සියලු දෙනාගේ සෙනෙහසින් පිරුණු සුන්දර කාලයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
ඡායාරූපය සහ සටහන උපුටා ගැනීම - Chathuranga Amarathunga මහතාගේ වෝලයෙන්