09/09/2025
කෙටිකතාවකි...
********අප්පච්චි *********
"මොනවද අප්පා.. අදත් මෙව්වද..?"
බෙරිහන් දිදී පොල් අතු කුස්සියේ වලං පෙරලන සද්දෙට විමලාවතී වියමින් සිටි පොල් අත්ත බිම දමල ඉක්මනින් බංකුවෙන් නැගිට්ටෙ චීත්තය ආයෙත් තදට ඇද ගන්න ගමන්.
කටු මැටි ගෙපැලෙ පිළිකන්නෙ පැත්තට ඉක්මනින් අඩි තියපු විමලාවතී දැක්කෙ හැලි වලං ඇර ඇර බඩගින්නෙ කියවන පොඩි කෙලී කුසුමා.
"මොකදැ බං මේ බෙරිහන් දෙන්නෙ.. ඔය බතල අල ටිකක් තියෙන්නෙ, ආං අර මඩක්කුවේ ලුනු මිරිස් ඩිංගකුත් ඇති. කාලා අහවර වෙලා මට මේ පොල් අතු ටික වියාගන්න උදවුවෙයන්කො."
"අනේ අම්මා, ඊයෙත් බතල. අදත් බතල, උදේටත් බතල, දවාලටත් බතල, රෑටත් බතල.. මට කන්න බැ." කුසුමා දඩාස් ගා බෙලෙක් පිඟාන මහ හඬින් විසිකර දැමුවා.
"අනේ කෙල්ලෙ, අප්පච්චිට තාම ඒ හැටි සනීපයක් නැ නොව. උන්දැට අඩිය ගහගන්න ඇහැක් වුන ගමන් ආයෙ කුඹුරෙ බහිවී. සේපාල මාමාගෙ කුඹුරෙ බහින්න එන්න කිවුව නොවැ, තව දවස් දෙක තුනක් යාවි. එතකන් මේ තියෙන ඇහැක්කෙට කමු කෙල්ලෙ." යයි පවසමින් විමලාවතී යලිත් කෙල්ලගෙ අතට බෙලෙක් පිඟාන අහුලා එහි තම්බා ලෙලි අරින ලද බතල අල දෙකකුත් ලුනු මිරිස් ඩිංගකුත් දමා දුන්නා.
"තොට කන්න බැරිනම් තියාපිය. මම ඕක රෑට කන්නම්. බෙරිහන් දෙනවා බැලුවොත් මේකී මොන දසාවෙන් ඉපදිලාද මංදා." හීන් එතනා මැටි ගෙපැලෙ ඉදන් බෙරිහන් දෙන්න ගත්තා. "බතල.. බ..තල..බත..ල..." යමින් එකද දතක්වත් නැති ලොබු කටින් මතුරමින් පිලේ පන් පැදුරක වැතිරී සිටි හීන් එතනා ලගට විමලාවතී හනික ගියේ නැගිට ගන්නවත් බැරි අම්මව සනසන්නට. එලොවත් මෙලොවත් අතර ඉන්න වයසක අම්මාට දැං සිහි කල්පනාවත් මදි.
"අම්මෙ, උබට බඩගිනි ද.? බතල කෑල්ලක් කවන්ටද..?"
"මට ඕන බතලයක් නැ.. බතල..බ..තල...බතල..." තැනින් තැන ඉහිරැනු පන් පැදුරෙ වැටිලා කොට බිත්තියෙන් පෙනෙන ආකාහෙ දිහා බලන් හීං එතන මුමුනනවා.
ලොකු හුස්මක් අරන් පැදුරෙ වැතිරිලා ඉන්න වයසක උන්දෑ දිහා බලපු විමලාවතී හෙමින් හෙමින් මැටි ගෙපැලෙ ඉස්තෝප්පුවට ආවෙ බර කල්පනාවකින්.
මීට මාසෙකට ඉහතදී තමන්ගෙ ස්වාමියාට නයා ගැහුවේ අදේට කුඹුරෙ යන්න ගිහින්. පෙර පිනකට පන්සලේ හාමුදුරුවෝ විස අද්දවල කාරිය සෝමපාලගේ ජීවිතේ බේරගත්තා. ඒත් කකුලට තාම ඒ හැටි සනීපයක් නැ. හාමුදුරුවෝ නම් කීවේ මාසයක් වත් තුවාල හොද වෙනකම් ගෙදරම ඉන්ට කියල.
කුස්සිය මුල්ලෙ වුන කතාව සෝමපාල අහගෙන උන්නෙ ගොඩක් දුකෙන්. එහෙමට නොකැවත් පොල් සම්බෝලයක්, පරිප්පුවක් , කරවල කෑල්ලක් එක්ක කෙල්ලට බත් ඩිංගක් තම්බල දෙන්න කීය කීය හරි සෝමපාල හම්බුකරා. ඒත් මේ වෙච්ච කරදරෙන් රක්සාවට යාගන්න බැරි වුනයින්, විමලාවතී ගඩාගෙඩියකින් හරි දවස ගෙවාගන්න තරම් කල්පනාකාරි වුනා.
බූරු ඇදෙන් නැගිට්ට සෝමපාල, කකුල එහෙට මෙහෙට කරල බැලුවා. නිතරම කටු, ගල් මඩත් එක්ක ඔට්ටු වෙන කකුල් දෙක හරියට අවුවට වේලුනු ගොරක ලෙලි දෙකක් වගේ රැලි වැටිල තිබුන. පොඩි තුවාය ඔලුවට දාගත්තු සිරිපාල අන්ඩදාලා මහපු ෂර්ට් එක ඇදගෙන පන්මල්ලයි, වක් පිහියයි කිහිල්ලෙ ගහගත්තා. හෙමින් හෙමින් නොණ්ඩි ගහමින් මිදුලට බැස්සා.
"විමලාවතියෝ... විමලාවතියෝ.."
සිරිපාලගේ අඩගැහිල්ලට විමලාවතී පිළිකන්නෙ ඉදන් දුවගෙන ආවෙ කලබලෙන්.
"මේ කොහෙ යන්ඩද..?" විමලාවතී පුදුමයෙන් ඇහැවුවා.
"මං කඩමණ්ඩියට ගෙහුන් එන්නම්"
"ඒත් තාම ඒ හැටි සනීපයක් නැනොවැ"
"එහෙමයි කියල මට තවත් මේක අස්සෙ ඉන්න බැ බං, පොඩි එවුන් බඩගින්නෙ. මම කඩමණ්ඩියට ගෙහුන් හාල් තුනපහ ටිකක් ඇන්න එන්නම්."
"ඒත් මේ කකුලත් එක්ක කොහොමෙයි යන්නෙ? ඇරත් කාසි" විමලාවතී ඇහුවේ හෙමිහිට.
"දැං මට හොදයි බං. හෙට ඉදන් ආයේ කුඹුරෙ බහින්න පුලුවන් මට, මේ මදැයි උබ නැහුන. තවත් නැහෙන්ට ඕන නැ. මං ගෙහුන් එන්නම්."
හෙමිහිට නොණ්ඩි ගහ ගහ වැට පනින සිරිපාල දිහා විමලාවතී බලන් හිටියෙ දුකෙන්. මොන ලෙඩ තිබුනත් දරැව බඩගින්නෙ තියන්ට තාත්තා කෙනෙක් කොහොමද ඇහ කන පියන් ඉන්නෙ. කල්පනාවෙන්ම ආයෙ පැලට හැරෙන විමලාවතී දැක්කෙ කුසුමා පිල්කඩේ හිනාවෙන් ඉන්න හැටි.
"මොකද උබ විරිත්තන්නෙ?"
"රෑට බතල කන්න වෙන එකක් නැනේ අම්මා"
විමලාවතීට සිහින් හිනාවක් ගියේ නොදෑනීමයි.
"ආත්තම්මේ...." කැගහගෙනම පොඩි එකී දිවුවේ සුභ ආරංචිය කියන්න.
නිමි.