25/08/2026
“නෙලුක... ඔයා මාව මැරි කළේ මලීෂාව හිතේ තියාගෙන ද..? එයාව අමතක කරන්න ඔයාට බැරි වුණා ද..?”
මම දැඩි සේ සිත පාලනය කරගෙන වදන් ගොනු කර ගත්තෙමි. ඔහුගේ පස නිහඬ වූයේ මගෙන් එවැනි පැනයක් බලාපොරොත්තු නොවූ නිසා විය යුතුය.
“එහෙම දෙයක් නෑ..”
නිහඬව ගෙවී ගිය මඳ වේලාවකට පසු ඔහු නිහැඬියාව බිඳ දැමීය.
“එහෙනම් ඇයි ඔයා, එයා එක්ක චැට් කළේ..? වෙන වෙන ගෑණු එක්ක කතා කළේ..? එයාලව මීට් වුණේ..? ඔයා මගේ ළඟ නෑ කියලා මම වැරදි කළේ නෑ කියලා මම දන්නවා වගේම ඔයාත් හොඳටම දන්නවා.. ඔයා, ඔයාගේ වරද වහ ගන්න මට චෝදනා කරනවා කියලත් මම දන්නවා.. ඒකට කමක් නෑ.. ඒත් මට ඇත්ත කියන්න.. ඇයි මට එහෙම කළේ..?”
අවසන් වදන් පෙළ මුමුණද්දී, මගේ හඬ බිඳිණි.
“මම ඔයාට ආදරෙයි කියන දේ වෙනස් වෙලා නෑ ශෙනායා..”
“නෙලුක.. මට ආදරෙයි කියන එක වෙනස් වෙලා නෑ කියන්නේ මගේ ප්‍රශ්නවලට උත්තර නෙමෙයි..”
මා කෑ ගැසුවේ තව දුරටත් ඉවසාගෙන කතා කළ නොහැකි තැනය.
“මම ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නා.. තමුන් ඉස්කෝලෙයි, ළමයිනුයි බදාගෙන මීගමුවට වෙලා ඉද්දී, මම මෙහෙට වෙලා තනියම ඉන්නේ කොහොම ද.,? මිනිහා කියන එකා ගැන නිකම්වත් හිතුව ද.,? ඒ මිනිහගේ අවශ්‍යතා, ඒ මිනිහව බලා ගන්න එක...”
“කොච්චර අඩුපාඩු තිබ්බත් මිනිහානේ කියලා ආදරෙන් සළකාගෙන මාත් හිටියා කියලා අමතක ද නෙලුක..? අනික ඕන වේලාවක මාව බලන්න එන්න තහනමක් තිබ්බේ නෑනේ.. ඒ මොනවත් නැතත්, මට ඔයා නැතුව පාළුයි.. ඔය මඟුල් රස්සාව අතෑරලා එන්න කියලවත් මට කිව්ව ද.,? පාළුයි කියලා වෙන ගෑනු හොයා ගන්න එක ද තිබ්බ උත්තරේ..?”
මා කියාගෙන ගියේ හැඬුම ආයාසයෙන් පාලනය කර ගනිමිනි.
“හැම රෙද්දම වචනෙන් වචනේ කියන්න මට බෑ.. මීගමුවේ ආවම රණ්ඩු අල්ලලා මට ළඟටවත් එන්න නොදී ඈතට ගියේ එතකොට මං වැඳගෙන එයි කියලා හිතාගෙන ද.,? මට ඔය ගෑනුන්ට වැඳලා පුරුදු නෑ.. මම පොඩි අනුබලයක් දුන්න ගමන් ගෑනු මගේ ළඟට එන්නෙ පෝළිමේ.. පෝළිමේ..”
ඔහුගේ පුරසාරම් ඇසුණ විට මගේ කට කොණක සිනාවක් ඇඳුණේ මා කෙරෙහිම ඇති වූ ලැජ්ජාවටය.
“එහෙම ද..? එහෙනම් නෙලුක, ඒ ගෑනු එක්කම ඔයා ඉන්න.. මට ඩිවෝස් එක ඕනෑ... මම නැතුව සතියක් ඉවසා ගන්න බෑ කියලා වෙන ගෑනු එක්ක චැට් කරන, උන් එක්ක ලගින්න යන මිනිහෙක් මට ආයෙ ඕන නෑ.. අනිත් එක මම බෙහෙත් කරවලා සනීප කර ගත්තෙ නැත්නම් ඔය පෝළිමේ එනවා කියන ගෑනු ඇවිත් මොනවා කරන්න ද දන්නෙ නෑ..”
මම වේදනා දෙන ළය මිරිකාගෙන ඇනුම් පදයක හඬින් කීවෙමි. මිනිසෙකුට සිය අභිමානයට එල්ල වෙන පහර තරම් දරුණු පහරක් නැති බැව් මම දැන සිටියෙමි. එහෙත් ඔහු කතා කළ ස්වභාවය අනුව ඔහුට අනුකම්පා කරන්නට මට සිතුණේ නැත. මා අවසානයට කියූ වදන් ඔහුගේ සිතටත් තදින්ම වදින්නට ඇත.
“ඕන මඟුලක් කර ගන්නවා ශෙනායා.. පුදුම ලොකුකමකින්නේ ජීවත් වෙන්නේ.. මට පාර්ට් දාලා, ඩිවෝස් එක අරගෙන හොම්බ බිම ඇන ගත්තාම තේරෙයි..”
ඔහු එසේ කියන්නට ඇත්තේ එම නිසාය.
“මම හොම්බ නම් බිම ඇන ගන්නේ නෑ නෙලුක.. ඔයා හොම්බ කට පරිස්සම් කරන් ඉන්න.. මොකද ඔය ගෑණුයි, උන්ගේ මිනිස්සුයි මම වගේ ඉවසයි ද දන්නේ නෑ..”
යළිත් ඔහුගෙන් පිළිතුරක් ලැබෙන්නට මත්තෙන් මම දුරකථනය පසෙකට විසි කර දමා කොට්ටයේ මුහුණ සඟවා ගත්තෙමි.
මටත් කවියක් ලියන්න.
පවනි උමයංගනා
පොතේ මිල - රු. 1200
පොත නිවසටම ගෙන්වා ගන්න. අදම කතා කරන්න.
වට්ස්ඇප් - 0719375028
ඔබ කළ යුත්තේ පොතේ නම සඳහන් කර ඔබේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් පණිවිඩයක් අපිට එවීමයි.
පොත ලැබුණු පසු ගෙවීමේ ක්‍රමය හෝ බැංකුවට මුදල් දමා පොත ගෙන්වා ගත හැකියි.