29/11/2025
රටම වැ/න/සූ පනස්හතේ ගංවතුරේ මතක
මහ වැසි වැටෙමින් නැවතත් ගං වතුර ඇවිත්. කැලණි, කළු, ගිං, නිල්වලා ගංගා පිටාර ගලා බොහෝ පෙදෙස් යටවෙලා. බස්නාහිරට නම් තවමත් වැසි ඇද වැටෙනවා. ඒ වගේ අවස්ථාවක අපේ රට වැ/න/සූ අතීත ගංවතුර කිහිපයක් ගැන මතක් කර බැලීමට යි මේ උත්සාහය. ඒ අතරින් 1913, 1940, 1947, 1957, 1969, 1978, 1989, 1992, සහ 2003 යන අවුරුදුවල විශාල විපත් ඇති කළ ගංවතුර හටගත්තා.
සිංහල කවි සඟරාවේ කලින් පැවති මහා ජල ගැල්මක් ගැන මෙසේ විස්තර කෙරෙනවා:
වැසිනෙක් දහස් සත්සිය තිස් සතරකිනේ
උඳුවප් මස පුර සිතදා අවයො ගිනේ
වැසි පුරලා කඳු හෙල් කැඩෙමින් සොඳිනේ
රට හැම පාලු විය මහ වතුර ගලමිනේ
ඉංග්‍රිසින්ට රට යටත් වු පසුව 1818 සිට 1828 වන තුරුම දළදා පෙරහර හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණේ නැහැ. මේ අතර රටේ විශාල නියඟයක් හටගෙන තිබුණා. තෙත් කලාපය වගේම වියළි කලාපයේ පළාත් ඉඩෝරයෙන් වේලී විශාල ලෙස හානිවෙමින් පැවතුණා. මේ නියඟයට හෙතුව දළදා ප්‍රදර්ශන නොපැවැත්වීම බවට බෞද්ධයන් තුළ අදහසක් පැතිර ගියා. මේ නිසා දළදා පෙරහර සහ දළදා ප්‍රදර්ශන පැවැත්වීමට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අවසර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වුවා. සිංහල බෞද්ධයන්ගේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස දළදා ප්‍රදර්ශනයට ද පෙරහරට ද ඉංග්‍රීසි පාලකයෝ ඉඩදුන්නා.
1928 වෙසක් පෝය දින දළදාවහන්සේ මාලිගාවෙන් පිටත මහමළුවට වැඩමවා ප්‍රදර්ශනයකොට පෙරහරක් පැවැත්වුණා. ටික දිනකින් වට මහා වැස්සකින් මුළු රටම වැසි වතුරෙන් තෙත්වී ගං ඇළ දොල පිරී ගොස් තිබෙනවා. මහනුවර නගරයත් ඒ දිනවල මහ වතුරකින් යටවුණු බව පැවසෙනවා. පසුකාලීනව මෙය “දළදා වතුර” නමින් හැඳින්වුණා. 1947 මහ ගංවතුරටත් නුවර වැව උතුරා ජලය ගලාගොස් නගරය යටවූ බව සඳහන් වෙනවා.
1947 මහ ගංවතුරෙන් ද බස්නාහිර පළාත සහ කඳුරට ඇතුළු විශාල පෙදෙසකට හානි සිදුවුණා. කැලණි, කළු ගංගා උතුරා ගොස් ගම්බිම්, නගර යටවුණා. නමුත් 1957 මහ ගංවතුර මුළු රටටටම බලපෑවා. උතුරේ වගේම දකුණෙත් රජරටත් විශාල විනාශයක් සිදුවුණා. අදත් රජරට වැසියන් මේ ගැන කතා කරනවා. සුනාමි ව්‍යසනය සිදුවන තුරුම පනස් හතේ ගංවතුරේ මතකය ලාංකීය ජනතාව සතු භංකාරම ස්වාභාවික ව්‍යසනයේ මතකය බවට පත්ව තිබුණා.
මෙම ලීල් ගුණසේකරයන්ගේ පෙත්සම නවකතාවෙන් ද රජරටට ගංවතුරෙන් සිදුවූ හානිය මෙසේ විස්තර කෙරෙනවා.
වැව් කණ්ඩිය කැඩිලා වැව සිඳුණා
ගොවිතැන් හරකා බාන ද නැසුණා
අප සතු දේ ජල රකුසට ගිලුණා
මේ ගමනත් අපි බාගෙට මැරුණා
ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසය යි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම තිබුණා. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුල දී ගණන් ගත්තේ නැහැ. මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණා. එය ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී තිබුණා. අද වගේ ආපදා කළමනාකරණ ඇමැතිවරු එදා හිටියේ නැහැ. සන්නිවේදන මාර්ග දියුණුව තිබුණෙත් නැහැ. නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් ගම්මාන පිටින් යටවී විශාල ජලාශ ලෙස දිස්වන්නට වුණා. ඒ කාලෙ පුවත්පත්වල සඳහන් වුණේ ගෙවුණු අවුරුදු 500කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ස්වාභාවික විපත එය ලෙස යි.
වාර්තාවලට අනුව කුඹුරු අක්‌කර ලක්‍ෂ 8ක් පමණ ගංවතුරට බිලිවී විනාශ වී තිබුණා. පළමු දින කිහිපයේ පමණක් ම/ර/ණ සංඛ්‍යාව 200කට වඩා වැඩි වූ බව පැවසුණා. උදම් වූ රළ ගෙඩි නැගෙනහිරෙන් මුහුදුබඩ පළාත් ආක්‍රමණය කර තිබුණා. විශාල සුලි සුළං නිසා ගෙවල් පමණක් නොව වසර සිය ගණනක් පැරණි මහා ගස් ද බිමහෙළා රජරට එකම යුද පිටියක් බවට පත්කර තිබුණා. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශයේ අලි ඇත්තු පවා ගංවතුරට හසුවූ බව වාර්තාවල කියැවුණා.
අනුරාධපුරය නගරයේ පනස් හතේ ගංවතුර පිළිබඳ මතකය ඉතුරුකර තිබෙන සලකුණු කිහිපයක් අද ද දකින්නට ලැබෙනවා. එදා ඒ ගැලු මහා ගංවතුරේ තරම කියාපාන සලකුණු, අදටත් අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය (මාර්කට් එක) අසලින් ජය ශ්‍රී මහා බෝධියට පිවිසෙන මාර්ගයේ ගමන් කරන විට, සිංහ කණුව අසල දකුණු අත පැත්තේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමහල් නිල නිවසේ සලකුණු කර ඇති අයුරු දකින්න පුළුවන්.
අනුරාධපුර පූජා නගරය හා නව නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක් මහා ජල කඳකින් යට වුණා. නාච්චාදූව වැවේ බැම්ම කෙළවරකින් කැඩී යාමෙන් අනුරාධපුර පුජා භූමිය හා නව නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවූ බව පැවසෙනවා. මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කර, 1958 දී ඒ වැඩ නිමාවට පත් කළා. ධාරානිපාත වර්ෂාවෙන් කලාවැව, රාජාංගණය, නාච්චාදූව, පදවිය, නුවරවැව, මහකනදරාව, ඒරුවැව, මානන්කට්‌ටිය, තිසාවැව, මහවිලච්චිය හා හුරුළුවැව ඇතුළු මහ වැව් දෙදහසකට අධික වූ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් මෙන්ම ඉපැරණි යෝධ ඇළ, මල්වතුඔය, කලාඔය හා යාන්ඔය ද උතුරා ගියේ මිනිසුන් මෙන්ම වනසතුන්ට ද මහා විනාශයක් අත්කර දෙමින්.
#හෙළඉතිහාසය