11/09/2026
සේද සලකුණ:
"සමහර රහස් ලෝකයෙන් සැඟවී තිබීම යහපත්ය... එහෙත් සේද සලකුණ ඒ සියල්ල හෙළි කරයි!"
ලෝකයේ රහස් පරීක්ෂක සාහිත්‍යයේ නොමැකෙන නාමය වන ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන් ලියවුණු, 'කොනන් ඩොයිල් පදනම' විසින් නිල වශයෙන් අනුමත කළ පළමු නවකතාව වන Anthony Horowitz ගේ 'The House of Silk' කෘතියේ සිංහල පරිවර්තනයයි මේ 'සේද සලකුණ'.
මෙය සිංහල පාඨකයා වෙත සමීප කරන්නේ පරිවර්තක කවීෂ නඳුන් කග්ගොඩආරච්චි විසිනි.
✍️ මුල් කතුවරයා - Anthony Horowitz
සර් ආතර් කොනන් ඩොයිල්ගේ පවුලේ උරුමකරුවන් (Conan Doyle Estate) විසින් අලුත් ෂර්ලොක් හෝම්ස් කතා ලිවීමට නිල වශයෙන් අවසර දුන් පළමු ලේඛකයා ඔහුයි.
ඇන්තනි හොරොවිට්ස් කියන්නේ වර්තමාන ලෝකයේ සිටින දක්ෂතම අභිරහස් කතා ලේඛකයෙක්. සර් ආතර් කොනන් ඩොයිල්ගේ ඒ අනන්‍ය රචනා ශෛලිය ඒ අයුරින්ම රැකගනිමින්, හෝම්ස්ගේ චරිතයට නව පණක් දෙන්න ඔහු සමත් වෙලා තියෙනවා.
✍️ පරිවර්තකයා -කවීෂ නඳුන් කග්ගොඩආරච්චි
කවීෂ නඳුන් කග්ගොඩආරච්චි වර්තමාන සිංහල සාහිත්‍යයේ, විශේෂයෙන්ම පරිවර්තන සහ අභිරහස් (Thriller/Mystery) ප්‍රභේදය තුළ ඉතාමත් කැපී පෙනෙන තරුණ ලේඛකයෙක්.
ඔහුගේ පරිවර්තනවල ඇති සුවිශේෂීත්වය තමයි, මුල් කෘතියේ තියෙන වේගවත් බව සහ කුතුහලය ඒ අයුරින්ම රැකෙන පරිදි නූතන සිංහල භාෂාව ඉතාමත් සුමටව හසුරුවා තිබීම.
සේද සලකුණට අමතරව ඔහු තවත් ජනප්‍රිය අභිරහස් සහ රහස් පරීක්ෂක කෘති කිහිපයක්ම සිංහලට පරිවර්තනය කර තිබෙනවා.
📖 සේද සලකුණ...
මෙම කතාවේ ඇති සුවිශේෂීත්වය වන්නේ එය සාම්ප්‍රදායික හෝම්ස් කතාවලට වඩා තරමක් අඳුරු සහ බිහිසුණු අත්දැකීමක් වීමයි.
📝 කතාවේ සාරාංශය
"එඩ්මන්ඩ් කාස්ටෙයාර්ස්" නම් චිත්‍ර වෙළෙන්දෙකු හෝම්ස් හමුවීමට පැමිණෙන්නේ ඇමරිකාවේදී සිදුවූ දුම්රිය මංකොල්ලයකට සම්බන්ධ අපරාධකරුවෙකු තමා පසුපස ලන්ඩනයට පැමිණ ඇති බව පවසමිනි. තම ජීවිතයට ඇති එම අනතුර පිළිබඳ පරීක්ෂණය හෝම්ස් විසින් භාර ගනු ලබයි.
එහෙත් මෙම විමර්ශනය අතරතුරදී ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන ලද කුඩා දරුවෙකුගේ සිරුරක් හෝම්ස්ට හමුවන අතර, එම දරුවාගේ අතේ ගැටගසා තිබූ සුදු සේද පීත්ත පටිය මුළු කතාවම වෙනස් මඟකට යොමු කරයි. මෙම මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත්වන හෝම්ස්, මෙය සරල පළිගැනීමක් නොව ඊට වඩා ගැඹුරු අඳුරු කුමන්ත්‍රණයක් බව වටහා ගනී.
පරීක්ෂණය අතරතුර හෝම්ස් ඔහු නොසිතූ අයුරින් මිනීමැරුම් චෝදනාවකට හසු වන අතර, සාක්ෂි සියල්ල ඔහුට විරුද්ධව ගොනු කරමින් ලන්ඩන් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලබයි. හෝම්ස් නොමැතිව තනි වන දොස්තර වොට්සන්ට අභිරහස් අමුත්තෙකු මුණගැසෙන්නේ මේ අතරතුරදීය.
හෝම්ස් අභිරහසේ කෙළවරටම ගමන් කළ ද, ඔහු සොයාගත් සත්‍යය ජයග්‍රහණයකට වඩා භීතියක් ඉතිරි කළේය. බොහෝ හෝම්ස් කතාවල අවසානයේ අපරාධකරුවා නීතියට හසුකර දීමෙන් හෝම්ස් සෑහීමකට පත් වුවද, මෙහිදී හෙළි වන රහස මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම පදනම දෙදරුම් කරවන්නකි.
මෙහි සැබෑ අපරාධකරුවන් වන්නේ රටේ නීතිය රකින විනිසුරුවරුන් සහ ඉහළම නිලධාරීන්ය. අවසානයේ ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවීමට හෝම්ස් සමත් වුවද, රජය එම තොරතුරු ජනතාවගෙන් වසා තබයි. මෙම කතාවේ බියකරු බව නිසාම වොට්සන් මෙය වසර සියයක් යනතුරු මුද්‍රා තැබීමට තීරණය කරයි. අවසානය සිදුවන්නේ හුදෙක් විසඳුණු අභිරහසක් ලෙස නොව, අනාගත ලෝකයට ඉතිරි කළ අඳුරු පාපොච්චාරණයක් ලෙසටයි.
🔴 පසුවදන
අප කුඩා කල සිට කියවූ චන්දන මෙන්ඩිස් මහතාගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තනවලට සමාන ගලායන ස්වරූපයක් මෙන්ම, ඒ හා සමාන කුතුහලයක් මේ පොත පුරාමත් දකින්න ලැබෙනවා.
පිටු 370කට ආසන්න ප්‍රමාණයක් ඇති මේ පොතේ කවරය වගේම ඝනකම් පිටු සහිතව ඉතාම ගුණාත්මකව මුද්‍රණය කරලා තියෙනවා(Limited Edition පොතක් නෙමේ)
ඇත්තටම මේක එක හුස්මට කියවා අවසාන කළ හැකි, සිනමාපටයක් නරඹනවා වැනි අත්දැකීමක් ලබා දෙන නවකතාවක්.
අභිරහස දිග හැරෙද්දී මට දැනුණේ මමත් හෝම්ස් එක්කම ලන්ඩනයේ ඒ මීදුම් පිරි වීදි දිගේ සැරිසරනවා වගේ හැඟීමක්. හෝම්ස් හෝඩුවාවන් පසුපස යද්දී, මමත් මගේම නිරීක්ෂණ හරහා විවිධ නිගමනවලට එන්න උත්සාහ කළා. පුදුමයකට වගේ හෝම්ස් රහස හෙළි කරන්නත් කලින් මගේ හිතට ආපු සමහර සැකයන් සහ අනුමාන කිරීම් ඒ විදිහටම නිවැරදි වුණා.
ඒ මොහොතේ මට දැනුණේ මමත් 221B බේකර් වීදියේ රහස් පරීක්ෂකයෙක් වුණා වගේ ජයග්‍රාහී හැඟීමක්! 😉
හැබැයි මේ පොතේ එක තැනක මට හිතුණු විදිහට පරිවර්තනය කරපු පොතකට නොගැළපෙන එක වචනයක් තිබුණා. මේක මට හිතුණු දෙයක් විතරයි. පොත කියවපු කෙනෙක්ටත් ඒ වගේ වචනයක් හම්බවුණාද කියලා කියන්න අමතක කරන්න එපා!
▫️️My Rating: ⭐⭐⭐⭐✨ (4.8/5)
📌️ සැබෑ අඳුර පවතින්නේ වීදි ලාම්පු නැති අහුමුළුවල නොව, මිනිසුන්ගේ අඳුරු හෘද සාක්ෂිය තුළ බව වටහා ගැනීමට නම් ඔබ 'සේද සළකුණ' කියවිය යුතුමයි.
DD..
සටහන: Didula Thilakarathne