21/11/2025
අපි හැමකෙනෙක්ම අහලා තියෙන නමක් තමයි Warren Buffett කියන්නේ. ඔහු අමෙරිකානු ජාතික ප්‍රසිද්ධ ආයෝජකයෙක්. මේ වෙද්දී ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 150කට ආසන්නයි. හැබැයි Theresia Gauw, Kristen Green, Nisa Leung වගේ නම් කිහිපයක් මම ඔබට කිව්වොත් ඔබ බොහෝදුරට ඔවුන් ගැන අහලා නැති වෙන්න පුළුවන්.
Theresia Gouw කියන්නේ ඉන්දුනීසියානු සම්භවයක් තියෙන අමෙරිකානු ජාතික සමාගම් ගණනක තමන්ගේ මුදල් ආයෝජනය කරලා තියෙන බිලියනපතිනියක්. ඇය Facebook අයත් මව් සමාගම වන Meta සමාගමේත් ආයෝජනය කර තිබෙනවා. ඒ වගේම Kristen Green දිහා අපි බැලුවොත් ඇය විද්‍යුත් වාණිජ්‍යය, සංචාරක හා මෝස්තර නිර්මාණය ආදි අංශවලට අයත් ආයතනවල තමන්ගේ මුදල් ආයෝජනය කරලා තියෙනවා. Nisa Leung ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ආයෝජන පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය අංශයට අයත් ව්‍යාපාර ක්ෂේත්‍රවලයි.
මේ කාන්තාවන් උදාහරණ විදියට අරගෙන මට කියන්න අවශ්‍ය වුණේ කාන්තාවක් විදියට ඔබටත් පුළුවන් ඔබ තනිවම උපයන මුදල්, ඔබ පවුලක් විදියට උපයන මුදල්, ඔබට ප්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කරන්න. බොහෝමයක් කාන්තාවන් ඉන්නවා ඔවුන්ගේ සැමියන් ඔවුන්ට මාසික වියදම සඳහා මුදල් ලබා දුන් විට ඔවුන් එය අරපරිස්සමෙන් භාවිතා කරලා ඉන් සැලකිය යුතු මුදලක් ඉතුරු කරගන්නවා. නමුත් බොහෝවිට ඔවුන් එය තබා ගන්නේ අල්මාරියේ ලාච්චුවක. එයින් ඔවුන්ට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රැකියාවක් කරන සමහර කාන්තාවන් ඉන්නවා ඔවුන් තමන් උපයන සම්පූර්ණ මුදලම කිසිම ඉතුරුවක් නැතිව වියදම් කරන. ඇඳුම්, රූපලාවණ්‍ය කටයුතු, අවන්හල්වලින් ආහාර ගැනීම වගේ දේවල්වලට ඔවුන් සීමාවක් නැතිව මුදල් වියදම් කරනවා. නමුත් එම වියදම් යම් ප්‍රමාණයකින් අඩු කරගෙන එම මුදල් ආයෝජනය කරන්න පුළුවන් නම් ඔවුන්ටත් මූල්‍යමය වශයෙන් ශක්තිමත් පදනමක් නිර්මාණය කරගැනීම ආරම්භ කරන්න පුළුවන්.
කොහොමහරි අද මම ඔබ වෙත ගෙන එන්නේ කාන්තාවක් විදියට ඔබ ඉතුරු කරන මුදල් සාපේක්ෂව වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විදියට ප්‍රායෝගිකව ආයෝජනය කරන්න පුළුවන් මාර්ග කිහිපයක් ගැන.
01. කාන්තාවන්ට විශේෂයෙන්ම වෙන්වුණු ඉතුරුම් ගිණුම්
සාමාන්‍ය ඉතුරුම් ගිණුමක ලැබෙන පොලියට වඩා වැඩි පොලී ප්‍රතිශතයක් ලැබෙන කාන්තාවන්ට පමණක් වෙන්වුණු ගිණුම් ලංකාවේ බැංකු කිහිපයකින් හදුන්වලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් 5% ඉඳන් 6.75% වගේ පොලී ප්‍රතිශතයක් ඔබට මෙම ගිණුම්වල මුදල් ඉතුරු කිරීමෙන් ලබාගන්න පුළුවන්.
02. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම
සැලකිය යුතු මුදලක් ඔබේ ඉතුරුම් ගිණුම තුළ එකතු වුණාට පසුව ඔබට පුළුවන් එම මුදල් ප්‍රමාණය සාපේක්ෂව වැඩි පොලී ප්‍රතිශතයක් ලබාදෙන ස්ථාවර තැන්පතුවක් වෙත මාරු කරන්න. අද වෙද්දී 7% ඉඳන් 9% වගේ ප්‍රමාණයක පොලී ප්‍රතිශතයක් ඔබට මේ තුළන් ලබාගන්න පුළුවන්. මෙහිදී ඔබ තැන්පත් කරන මුදල් ප්‍රමාණය හා කාලය මත ඔබට ලැබෙන පොලී ප්‍රතිශතය වෙනස් වෙනවා.
03. Unit Trust වල මුදල් ආයෝජනය කිරීම
Unit Trust Fund එකක් කියන්නේ ආයෝජකයින් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරගන්නා ආයෝජන අරමුදලක්. බලයලත් මූල්‍ය සමාගමක් මගින් එම ආයෝජන අරමුදල කළමනාකරණය කරනු ලබනවා. ඔවුන් කරන්නේ එය භාණ්ඩාගාර බැඳුම්කර, බිල්පත්, කොටස් වෙළඳපොළ වැනි ආයෝජන මාර්ගවල ආයෝජනය කරලා එහි ප්‍රතිලාභය ඔබට පොලියක් වශයෙන් ලබාදීමයි. මෙහිදී ඔබට ලැබෙන ප්‍රධානතම වාසියක් තමයි ස්ථාවර තැන්පතුවලට වඩා වැඩි ද්‍රවශීලතාවය. ඒ කියන්නේ ඔබ ස්ථාවර තැන්පතුවක මුදල් තැන්පත් කරලා එය කල්පිරීමට පෙර මුදල් ලබාගත්තොත් ඔබට ගිවිසුම්ගත පොලිය ලැබෙන්නේ නැහැ. නමුත් Unit Trust එකකදී ඔබට ඕනෑම වෙලාවක මුදල් නැවත ලබාගන්න පුළුවන්. එවිට ඒ වෙනකම් ඔබට ලැබුණු පොලියත් සමඟම එය ලබාගන්න පුළුවන්.
04. ළමුන් සඳහා වෙන්වුණු ආයෝජන සැලසුම්වල මුදල් ආයෝජනය කිරීම
ඔබට දරුවන් ඉන්නවා නම් ඔබට පුළුවන් ඔවුන් සඳහා බැංකු හා මූල්‍ය ආයතනවලින් නිර්මාණය කරලා තියෙන ආයෝජන සැලසුම්වල ආයෝජනය කරන්න. මෙහිදී යම් කිසි නිශ්චිත කාලසීමාවක් තුළ ඔබ මේ තුළ මුදල් ආයෝජනය කිරීම සිදුකළ යුතුයි. ඉන් පසුව එවා කල්පිරීමෙන් පසුව පොලිය ඇතුළු ප්‍රතිලාභ දරුවන්ට ලබාගන්න පුළුවන්.
05. රත්තරන්වල මුදල් ආයෝජනය කිරීම
කාන්තාවන් කොහොමත් රත්තරන් ආභාරණ මිලට ගන්න කැමතියි. රත්තරන්වල මිල කෙටිකාලීනව ඉහළ පහළ ගියත් දිගුකාලීනව මිල ඉහළ යන බව පසුගිය දත්ත දිහා බැලුවොත් අපිට තේරුම්ගන්න පුළුවන්. මෙහිදී ඔබ රත්තරන් මිලදී ගැනීම සිදුකළ යුත්තේ කෙටිකාලීනව එහි මිල අඩුවෙන විටයි. ඒ වගේම හැකිතරම් රත්තරන් කාසි මිලට ගැනීම මෙහිදී සිදුකළ යුතුයි. රත්තරන් ආභරණ මිලදී ගැනීමේදී වැඩ කුලිය, ආයතනයේ ලාභාන්තිකයත් එහි ඇතුළත් වෙන නිසා මිල ඉහළ යාමකදී රත්තරන් කාසිවලට සාපේක්ෂව එහිදී ඔබට ලැබෙන ප්‍රතිලාභය අඩුයි.
06. කොටස් වෙළඳපොළ මුදල් ආයෝජනය
ඔබට පුළුවන් බලපත්‍රලාභී තැරැව්කාර සමාගමක් හරහා පොදු සමාගම්වල කොටස් මිලදී ගන්න මුදල් ආයෝජනය කරන්න. අද වෙද්දී ජංගම දුරකතනය භාවිතයෙන් කොටස් වෙළඳපොළ (CSE) mobile app එක භාවිතා කරලා, පහසුවෙන්ම CDS ගිණුමක් ආරම්භ කරගෙන ඔබට කොටස් වෙළඳපොළ ආයෝජනය පටන්ගන්න පුළුවන්. මෙහිදී සමාගම්වලින් ඔබට වාර්ෂිකව ලබාදෙන ලාභාංශත්, කොටස් මිල ඉහල යෑමෙන් ලැබෙන ප්‍රාග්ධන ලාභයත් ප්‍රධානතම ප්‍රතිලාභ විදියට ලබාගන්න පුළුවන්.
07. ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් ආයෝජනය කිරීම
ඔබේ හැකියාවන් හා කැමත්ත භාවිතා කරලා අලෙවි කරන්න පුළුවන් නිෂ්පාදිතයක් නිර්මාණය කරලා එය ව්‍යාපාරයක් විදියට කරන්න මුදල් ආයෝජනය කරන්නත් පුළුවන්. ඒ තුළින් ඔබට ලාභ උපයන්න පුළුවන්.
08. ඔබේ හැකියාවන් සහ දැනුම වර්ධනය කරගන්න මුදල් ආයෝජනය කිරීම
ඔබේ හැකියාවන් සහ දැනුම වර්ධනය කරගැනීමෙන් පසුව ඔබට පුළුවන් ඒවා අලෙවි කිරීම සහ සේවාවක් විදියට සැපයීම මගින් මුදල් උපයන්න.
09. කෘෂිකර්මාන්තය සම්බන්ධ ආයෝජන
විශාල ඉල්ලුමක් තියෙන, අඩු ඉඩකඩක පහසුවෙන් වගා කරන්න පුළුවන් භෝග වගා කිරීමට මුදල් ආයෝජනය කිරීම. මගේ මිතුරෙක් ඉන්නවා ඔහුගේ නිවසේ slab එක මත උරවල කොච්චි මිරිස් වගා කරලා සැලකිය යුතු ආදායමක් මාසිකව උපයන.
10. ඉඩම්, දේපළ හා නිවාසවල ආයෝජනය
ඔබේ නිවස තට්ටු දෙකකට සැලසුම් කරලා තවමත් තනි තට්ටුවක විතරක් වැඩ නිමකරලා ඔබ එහි ජීවත්වෙනවා නම් ඔබේ ඉතුරුම් භාවිතා කරලා අනිත් තට්ටුවේ වැඩ නිම කරලා එය කුලියට දෙන්න. එයින් ඔබට පුළුවන් මාසිකව ආදායමක් උපයන්න. මේ එක් උදාහරණයක්. ඒ වගේම ඔබට පුළුවන් ඉඩමක් මිලට ගන්න. ඉඩම්වල මිල ගණන් කොහොමත් ඉහළ යන නිසා එය ඉතාමත් අඩු අවදානමක් තියෙන ආයෝජනයක්.
ඔබට පුළුවන් ටිකෙන් ටික මුදල් ඉතුරු කරමින්, ඒවා නිවැරදි ලෙස ආයෝජනය කරමින් ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය වැඩි කරගන්න. අලුත් වත්කම් අත්පත් කරගන්න. ඒ සඳහා මුලින්ම ආයෝජකයකුගේ මනසක් (Investor Mindset) නිර්මාණය කරගන්න. ඒ කියන්නේ ඔබ උපයන මුදල් tool එකක් විදියට භාවිතා කරලා තවත් මුදල් නිර්මාණය කරගැනීම වෙනුවෙන් වැඩ කරන මනසක් ගොඩනගාගැනීම.
ඒ වගේම මතක තියාගන්න අවශ්‍ය කාරණය තමයි ඕනෑම ආයෝජනයක් හා බැඳුණු අවදානමක් තියෙනවා. ඒ නිසා ඔබ ආයෝජනය කරන්න තෝරාගන්නා ආයෝජන මාර්ග ගැන හොඳින් ඉගෙනගන්න. Youtube, TikTok වගේ platforms වලින් ඔබට ඒ ගැන නොමිලේම ඉගෙනගන්න පුළුවන්. එක් මාර්ගයක ඔබ සතු සම්පූර්ණ මුදලම ආයෝජනය කරන්නේ නැතිව ආයෝජන කළඹක් (Investment Portfolio) නිර්මාණය කරගන්න.
එහෙමනම් හැමෝටම Happy investing!
මම, මධුර අමරසිංහ
[email protected]
ඔබේ අදහස්, ගැටලු අප වෙත ලියා එවන්න.
ධරණී Financial Guide, ධරණී පුවත්පත, නො.91, විජේරාම මාවත, කොළඹ 07.