Hela Roo

Hela Roo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hela Roo, TV Channel, Meemure , Ududumbara ,, Hunnasgiriya.

සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි.  ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්....
27/05/2019

සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. ඇවිද්ද පය දහස් වටී කියලා කියන්නෙත් නිකම් නෙවෙයි. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරන්න පුළුවන් වගේම බැරි අයත් ඉන්නවා. ඉතින් වෙලාව වෙන් කරන්න පුළුවන් අය හිතාගත්තලු බැරි අය වෙනුවෙන් එයාලා යන හැම ගමනකම සාරය එහෙමත් නැත්තම් &ස්ප්‍රිට් එක& අරගෙන ඇවිල්ලා අර යන්න බැරි අයට බලන්න දෙන්න. සේයාරෑත් එක්කම.

කාලෙකට කලින් රාජකාරි වැඩකට ගිහින් "අදාළ චරිතය" එනකම් මට ගෝල්ෆේස් අයිනේ වාහනේ ඇතුළේ පැයක් විතර ඉන්න වුණා. අපේ රියැදුරැ මහත්තයෙක් තමයි අනිත් පැත්තේ හිටියේ. ආයතනයේ ටෙම්පරියක් අදින ඔහුගේ ගම හුන්නස්ගිරිය. ඔහු තමයි මට කියලා දුන්නේ "Knuckles" කියන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරැම "දුම්බර" කියලා. මේ වචන දෙකම අහලා තිබුණට මම වගේම ලංකාවේ බොහෝ දෙනෙක් මේ දෙකේ සම්බන්ධය දන්නේ නෑ. නකල්ස් කියන එකේ පූර්ණ සිංහල තේරැම දුම්බර නෙවෙයි. හැබැයි ඔය දෙකෙන්ම හැඳින්වෙන්නේ එකම පළාත. ඒක මතක් වුණේ මේ ඡායාරෑපවලියට හේතුවුණු "මීමුරේ" ගමන වැටුෙණ් ඔය කිව්ව දුම්බර කඳු මැදින් නිසා.


කන්ද උඩරට රජ කළ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගෙන් බේරී පලායන්නට සැලසුම් කළේ මීමුරේටලු. සුන්දර දුම්බරේ මීදුම් පවුරැ අතරේ සැඟවිලා ඉන්නටලු රජුගේ සැලසුම වුණේ. සුදු ජාතිකයින් කන්ද උඩරට ආක්‍රමණය කළ සමයේ රාජසිංහ රජුට සැඟව සිටීමට සැලසුම් කළ, මීමුරේ ඉදිකොට ඇති වරිච්චියෙන් සකස් කළ මැද මිදුලක් සහිත ඉපැරුණි නිවෙස අදටත් මෙහි දකින්න තියෙනවලු. මට යන්න වෙලාව මදි වුණා. රජුගේ පැමිණීමට පෙර, ආරක්ෂාව පතා බිසෝවරැ දෙදෙනකු මී මුරේ වෙත පැමිණි අතර ඔවුන්ට දිය නෑම සඳහා ඉදිකළ කටු පඳුරේ ළිඳ අදටත් ගම්මානයේ තියෙනවා. එකල මෙම ළිඳ වටා විශාල කටු පඳුරැ සහිත පවුරක් සකසා තිබු බැවින් එය "කටු පඳුරේ ළිඳ" නමින් ව්‍යවහාර වුණාලු. රාජසිංහ රජු, මීමුරේ වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ එහි ආරක්ෂාව හොඳින් සැලසුම් කළාට පස්සේ. ගම්මානයට ඇතුළුවන තැන මංකඩ සතරක් ඉදිකරාලු.. "රැප්පේ" නමින් හැඳින්වෙන මෙම ස්ථානවල මුරකරැවන් දිවා රූ රුකවලෙහි යෙදිලා තියෙනවා. සියල්ල එසේ සැලසුම් කළත් රජුට මී මුරේ එන්නට ලැබුණේ නෑලු. මොකද, ඒ එන්නට පෙර රාජසිංහ රජු අත්අඩංගුවට පත්වුණා.

දුම්බරේ හෙවත් පොෂ් සමාජයේ නම් "Knuckles"රාජ්‍යයේ මීමුරේ පිහිටලා තියෙන්නේ. මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකට සමාන්තරව පිහිටා ඇති දුම්බර මිටියාවත, මධ්‍යම කඳුකරයෙන් වෙන්වෙලා තනියම ඉන්නේ. හැඩි දැඩි පුද්ගලයකු තම අතමිට මොලවා ගත් කලක් දිස්වන ආකාරයට පිහිටා ඇති බැවින් නකල්ස් යන නාමය පටබැඳී ඇති බවයි අපේ පුංචිබණ්ඩා මාමා කිව්වේ. හිරිගල් පොත්ත, ගොම්බාපාතිය, නකල්ස්, කොබෝනිල්ලගල, දොතළු ගල, කළු පහන, වමාරපු ගල, ලකේ ගල, ලබු පැලැස්ස පතන, දුම්බොන ගල, ගල් කුල ආදි වශයෙන් මේ මීමුරේට ආරක්ෂාව සපයන කඳු රැසක් තියෙනවා. ආදීවාසි ජනයා මෙහි වාසය කළ බව කියැවෙන ගම හා බැඳුණු ජනප්‍රවාද ගොඩාක් අහන්න ලැබුණා. මී මුරේ ගමේ අනන්‍යතාව බඳු ලකේගල හෙවත් "යකුන්ගේ ගල" ඉන් ප්‍රධානයි.

රාමා සීතා පුරාවෘත්තයේ එන රාවණා, "දඬු මොනරය" පැදවූ ගමන් මාර්ගයේදී ලකේ ගල එක් මාර්ග සලකුණු කළ ස්ථානයක් ලෙස භාවිත කළ බවත් බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කළ ප්‍රථම ගමනේදී ලකේගල මුදුනේ ශ්‍රී පාද ලාංඡනය තැබු බවත් ගම්වැසියන් විශ්වාස කරනවා. මේ ලකේගල සිරිපතුල් කතාවේ තව දෙයක් මම මීට කලින් අහලා තියෙනවා. බුදුන් වහන්සේ සමනොලට කලින් සිරි පද්මලාංඡනය තියන්න සූදානම් වුණේ මෙතනලු. ඒත් ඒ වෙලාවේ හූනෙක් "චික්. . චික්." ගෑවලු. ඒ නිසා තිබ්බේ නෑලු. මේවා හුදු ප්‍රවාද විතරක් වෙන්න පුළුවන්.

එහෙනම් යමු. . . . .
අපේ ගමන් මඟ වුණේ රත්මලාන, කොළඹ, නුවර, හුන්නස්ගිරිය, හරහා මීමුරේට. රත්මලානෙන් පිටත් වුණේ රූ 12 ට විතර. පාන්දර 1 වගේ වෙද්දි අපි කොටුවට ආවා. ආවට පස්සෙයි මතක් වුණේ පස්සෙ දවස (එදා දවස) දීපවාලී කියලා. දන්නවනෙ ඉතිං, එහෙම දවසට නුවරට යන්න ඉන්න සෙනඟ මොන තරම්ද කියලා. ලංගම සෙනඟ වැඩි නිසා අපි අර්ධ සුඛෝපබෝගී කියලා නමක් ගහපු ලංගම බස් එකකටත් අන්ත මහියංගනේ යන private බස් කට්ටක එල්ලිලා ආවා. ඒකෙ කියලත් වෙනසක් නෑ. කොටුවෙන් 3 ට පිටත් වුණේ. කට කපල සෙනඟ, වෙනසකට තිබ්බෙ වාඩි වෙලා එන්න ලැබුණ එක තමයි (ටිකට් එක රැපියල් 290 යි). උදේ හත වෙන්න කලින් අපි බැහැ ගත්තා හුන්නස්ගිරියෙන්. එතනදි මනුස්සකම තියෙන මිනිහෙක් අපිට අඳුරගන්න ලැබුණා. ඒ මාමා තමයි අපිව ලූල්වත්ත බස් එකට දැම්මෙ (ටිකට් එක රැපියල් 44 යි). මීමුරේට හුන්නස්ගිරියෙ ඉදලා කිලෝ මීටර් 45 යි. ලූල්වත්ත බස් එක යන්නෙ කිලෝ මීටර් 15 ක් වගේලු. පාර ගොඩක් සවුත්තුයි. එහෙම ගියොත් ඉතුරැ ටික පයින් තමයි. හැබැයි යන්න අමාරැ නෑ. ඉතිරි කිලෝ මීටර් 20ම වගේ බෑවුම. නැත්තම් පොඩි වෑන් දෙකක් යනවලු (ටිකට් එක රැපියල් 100ක් වගේලු). දන්න විදියට ඒක මීමුරේ යනවා හුන්නස්ගිරියෙන් හවස 12 ත් 2ත් අතර. හුන්නස්ගිරිය හංදියේ කෑම කඩයක් තියෙනවා. පොඩි කඩ පොඩ්ඩක්. අන්න ඒක ඉස්සරහ ඕක නවත්තන්නේ. නුවර පැත්තේ ඉඳන් එද්දි බස් නවත්තන හෝල්ට් එක තියෙන්නේ ඒ කඩේ ඉස්සරහ. එකක් යන්නෙ මීමුරේට ටිකක් මෙහා කයිකාවල කියන ගමට. එතන ඉඳලා කිලෝමීටර් 3, 4ක් ඇති. මීමුරේ ඉඳලා වෑන් එක එනවලු උදේ 5 ට වගේ. ඒක හුන්නස්ගිරියට එද්දි උදේ 7 වගේ වෙනවලු. කොහොමහරි අපිට නම් දෙයියො වෑන් එකක් එව්වා. එද්දි නම් දෙයියො උදහස් වෙලා වෑන් එක එවුවෙ නෑ. කිලෝ මීටර් 10 ක් විතර ආවට පස්සේ දෙයියො දුක හිතිලා ඩීමෝ බට්ටෙක් එවලා තිබ්බා.

කවුරැ හරි මීමුරේ යනවනං මෝටර් සයිකලෙන් යන එක තමයි හොඳම. ත්‍රීවීල් එකක් වුණත් අවුලක් නෑ. ත්‍රීවීල් එකක් හුන්නස්ගිරිය හංදියෙන් ගන්නත් පුළුවන්. හැබැයි, ඒකට ටිකක් වැඩිපුර ගෙවන්න වෙනවා. අහපු විදියට රැපියල් 1000ක් විතර. ඒ යන්නයි එන්නයි දෙකටම වගේ. ත්‍රීවීල් එකෙන් යද්දි තියෙන ජොලිය තමයි මඟ නතර වෙවී ෆොටෝ එහෙම ගන්න පුළුවන් වෙන එක. පාර සවුත්තුයි කියලා කිව්වානේ. ඒ හින්දා දෙයියංගෙ වෑන් එක නං යට වැදුනා ටිකක් විතර (බට්ට නම් මරැ). දිග බස් බෑ. කොට බස් එකක් වුණත් අමාරැ වෙයි පොඩ්ඩක්. ලොකු වාහන ගැන මම දන්නෙ නෑ. ඒව දැක්කෙත් නෑ අතරමගදි. කාර් නම් බෑමයි හොඳේ. මගඳි එකම එක ලෑන්ඩ් රෝවර් එකක් හම්බවුණා. ඒකත් බොයිල් කරලා, එංජිම නිවෙනකම් ඒකේ ආපු අය නවත්තගෙන ඉද්දී. තෙල්, වතුර, බ්‍රේක් සහ අනිත් බලන එව්වා බලලා යන එක හොඳයි. මඟ නතර වුණොත් නකල්ස් වලින් පහලට තල්ලු කරලා පයින් යන එක තමයි තියෙන විසඳුම. කිලෝමීටර් 45 ට ම වාහනයක් ගොඩදා ගන්න තැනක් නෑ.

මීමුරේදී හැමදේම හොඳින් සිද්ධ වෙන්න නම් සාක්කුව පිරිලා තියෙන්න අවශ්‍යයමයි. මනුස්සකම, ගැමිකම ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. ඒවා නෑ කියනවා නෙවෙයි. හැබැයි දැන් මෙහේට මිනිස්සු ඇවිල්ලා ඇවිල්ලාම ගමේ අයත් මේ එන අයට "සේවා සැපයීම" රස්සාවක් කරගෙන. මිනිස්සු ගොඩක් මිත්‍රශීලීයි. ඒ අය එක්ක පැටලෙන්න එපා. හැමදේම ගොඩින් බේරගන්න බලන්න. හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කරන්න එපා. මෙහේ කෑම බීම ටිකක් ගණන්. කන බොන දේවල්, බේත් හේත් පිටිං අරං එන තරමට හොඳයි. කෑම දෙකකට 1000 ක් වගේ තමයි. අපි කෑවේ එහෙමයි. නාපු තැනට පොඩ්ඩක් උඩහට වෙන්න තිබුණු ගෙදරකට ගිහිල්ලා කතා කරලා, එයාලට කියලා කෑම දෙකක් හදවා ගත්තා. අලයි,සෝයයි, සැමන් කෑල්ලයි, කොච්චි සම්බලයි. බුදු අම්මෝ... මීමුරේ සීතල වතුර ටිකක් නාලා ඇවිල්ලා ඔය බත් එක කෑවා කියන්නේ ආයේ ඉතින් ජීවිතේට අමතක වෙන්නේ නෑ...

ගමේම නවාතැන් තියෙනවා. ගැමි ගෙවල් ම තමයි දෙන්නෙ. රුයකට 5 දෙනෙකුට 3000 ක්, 10 දෙනෙකුට 5000 ක් වගේලු. මේ ගාස්තු තැනින් තැනට වෙනස්. එයාල දෙන පහසුකම් වුණත් එහෙමයි, වෙනස් වෙනවා. සල්ලි නැතිම වෙලාවක විතරක් කොස්ගම පුණ්න ස්වාමීන් වහන්සේ ඉන්නවා පංසලේ, පොඩ්ඩක් අහන්න. කීප දෙනෙකුට ඉන්න පුළුවන් වෙයි. එහේ හොඳ තැන් බලන්න නම් සීයා කෙනෙක් හොයාගන්න වෙනවා. ඒ වගේ සීයලා ගොඩක් ඉන්නවා. දවසකට රැපියල් 1000 ක් විතර එයාලා ගන්නෙ නෑ, මිනිස්සු දෙනවා. තේරැණානෙ... අපි එහේ හිටියේ පැයක් විතර, ඉක්මනට එන්න වුණා. කවුරැහරි යනවනම් දවස් දෙකක්වත් ඉඳලා එන්න. සතියක් වුණත් බලන්න දේවල් තියෙනවා. ඉස්සරහට තව ඒවා කියන්නම්. මේ ඔක්කොම කිව්වේ යන්න හිතන් ඉන්න අයටයි. යන්න විදිහක් නැති අයටයි.

Copyright - ප්‍රසාද් I විශේෂ ස්තූතිය ප්‍රදීප් ලියනගේට සහ අනුරැද්ධ රත්නායකට

Source - Lankadeepa.lk

උදුවප් පුර පසළොස්වක දා සිදුවන සුවිශේෂි කරුණු අතර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවීම ප්‍රධාන වෙයි. ඉකුත් වෙසක්පුර පසළොස්වකින් ...
26/05/2019

උදුවප් පුර පසළොස්වක දා සිදුවන සුවිශේෂි කරුණු අතර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවීම ප්‍රධාන වෙයි. ඉකුත් වෙසක්පුර පසළොස්වකින් නිමවූ ශ්‍රීපාද වන්දනා සමයට උඳුවප් පුර පසළොස්වක දක්වා හය මාසයක් එළඹ තිබිණ. ඒ සිරිපා අවාරය දෙවිවරුන් ශ්‍රී පාදය වදින පුදන කාල සීමාව ලෙස ප්‍රකටය. විශේෂයෙන් අවාරයේ හයමාසය ශ්‍රී පාදයට අධිපති සමන් දෙවිඳුන්ගේ් ශ්‍රීපාද වන්දනා කාලයයි.

ශ්‍රී පාද සීමාවේ පිහිටි තේවතුවල කම්කරුවන් හා නිලධාරීන් තද සීතල මැද තේවතුවල වැඩ කරති. ශ්‍රී පාදයේ මකර තොරණ දක්වාම රාජ්‍ය තේවතු යායන් පැතිරී ඇත. ශ්‍රී පාද සාම චෛත්‍යයේ වාසය කරන ජපන් භික්ෂුන්වහන්සේ රබන් හඬවමින් අවාරයේන් හිමිරිදිරි පාන්දර ශ්‍රීපාදයේ නගිනි. වාරය ගැන හැඟීමක් නැති සුදු විදේශියකයෝ තනිව හෝ දෙතුන් දෙනා එකතුව අවාරයේ සිරිපා නගිනි.

අවාරයේම ශ්‍රීපා නැගීමට පුරුදුව ඇති කීප දෙනෙක් රටපුරා විසිර ඇත. ඔවුන් පුරුද්දක් ලෙස අවාරයේම සිරිපා නගිති. හිතුවක්කාර තරුණ පිරිස් කුඩා නඩ ලෙස විනෝදයට හෝ ගවේෂණ ලෙස ශ්‍රීපාද කන්ද අවාරයේ නගිති. වෙසක්පුර පසළොස්වක සිට උදුවප් පුර පසළොස්වක දක්වා අවාරයේ ශ්‍රීපාදය වන්දනාවට එදා නොගියේ හේතු කිපයක් නිසාය.

අවාරයේ ශ්‍රීපා නොයාමට හේතු..

අවාරයේ ශ්‍රීපාද මුළු පරිසරයම තද මීදුමෙන් දැඩි සුළඟින් පිරීයයි. තද සුළඟට ශ්‍රීපාද රක්ෂිතයේ ඇති ගහකොළවල විශාල අතු බිඳවැටී ගස් ඉදිරි වැටී මාර්ග අවහිර වෙයි. අවාරයට ශ්‍රීපාදයේ ජලය විදුලිය වෙනත් පහසුකම් නොමැත. ඒවා විසන්ධි කරයි. විදුලිය නැතිව රාත්‍රී ගමන ඉතා අනතුරු දායකය. අවාරයට දැඩි සුළඟ සමග එක දිගට විදුලි කොටමින් අකුණු ගසමින් දින ගණනාවක් මහවැසි ඇද වැටෙයි. කුඩා පටු මාර්ගවල ගල් ගැලවී වැටෙයි. අතු කඩා වැටී ගස් වැටී මාර්ග අවහිර වෙයි. ශ්‍රී පාදයට යන මාර්ග අඩි ගණනක් වසාගෙන බොරපාට වැහි වතුර කදන් පහළට ගලයි. මාර්ග යටවී ඒවා සොයා ගැනිමට බැරිවෙයි. ගහකොළ අඩු පරිසරයේ අකුණු හා හෙණ තදින් පුපුරයි. වර්ෂා කාලය සමග රක්ෂිතයේ වනසත්තු කෑම සොයා එළියට ඇදෙති. දිවියා නල්ලතන්නිය දක්වා සැරසරයි. දහතුන් දෙනෙකුගෙන් යුතු කුරු අලි රංචුවක් අවාරයේ ශ්‍රීපාද පද්මයේ මුදුනට පවා නගිනි. තනිව ඇවිදීම අවදානම්ය. වන්දනා කාලයට මේ අලි රංචුව ඈත කඳු අතර වනාන්තරවලට ඇදීයයි.පිපාසය බඩගින්නට ආහාරයක් ගැනීමට කඩපිල් නැත. ඒවා අවාරයට වැසී යයි. අවාරය මිනිස් පුළුටක් දක්නට නැති මීදුම වැස්ස මැද පරිසරයක යන අය අතරමං කරයි. ඒ නිසා අවාරය මිනිසුන් විසින් හයමාසයක් අපවිත්‍රකළ මුළු ශ්‍රීපාද අඩවිය දෙවියන් විසින් සෝදා පවිත්‍ර කිරීමක් කරන බව හැඟෙයි.
උදුවප් පසළොස්වකට මාස දෙකක් පමණ තිබියදී වන්දනා සමය සඳහා මූලික කටයුතු ඇරඹෙයි. විදුලි කම්බි ඇද විදුලිය සපයයි. ජලනළ මඟින් ජලය සපයයි. ගිමන්හල් විවේකාගාර පිරිසුදු වෙයි. ගැලවී ඇති ගල් ආදිය ඇති ස්ථානවල මාර්ග ප්‍රතිසංස්කරණය කෙරෙයි. මාර්ග දෙපස තාවකාලීක කඩ ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා බදු දෙයි. වන්දනාකරුවන් සඳහා වැසිකිලි වැසිකිලි සෞඛ්‍ය පහසුකම් තාවකාලිත ප්‍රථමාධාර මධ්‍යස්ථාන ඇරඹෙයි. පොලිස් කඳවුරු පිහිටුවයි.

රත්නපුර කුරුවිට හැටන් ආදී ප්‍රධාන මාර්ග තුනට අමතරව ශ්‍රීපාදයට විහිදෙන කුඩා ගමන් මාර්ග හතකට වඩා ඇත. උඳුවප් පසළොස්වක පෝයට රත්නපුර ගල්පොත්තාවල විහාරයේ වැඩසිටින සමන් දෙවි පිළිරුව රිය පෙරහරකින් අවිස්සාවේල හැටන් හරහා ශ්‍රීපාදයට වැඩම කරයි. ඒ සුබ නැකැත් - පැරැණි චාරිත්‍ර අනුවයි. ශ්‍රීපාද මුදුනේ තැන්පත් කරන සමන් දෙවිරුව පුදපූජා මැද හය මාසයක් වැඩ සිටියි. උඳුවප් මහ අවට තද සීතල බැවින් වන්දනාකරුවන් අඩුය. කඩපිල් විවෘත වන්නේ ද ජනවාරි අග පමණය. උදුවප් මහෙන් ඇරඹෙන ශ්‍රීපාද වන්දනාවේ වැඩිම පිරිස මාර්තු මස යෙදෙන මැදින්පුර පසළොස්වක පෝයදා ශ්‍රීපාද වන්දනා කරති. එදා ශ්‍රීපාදයට ඇදී එන පිරිස අවමය ලක්ෂ පහ ඉක්මවයි.

කොස්ලන්ද සානුවේ බෑවුමකින් ඇද හැලෙන උසින් මීටර් 171 වන දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ තෙවැනි උසම දිය ඇල්ල වේ.එය උස අනූව එය ලෝකය...
26/05/2019

කොස්ලන්ද සානුවේ බෑවුමකින් ඇද හැලෙන උසින් මීටර් 171 වන දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ තෙවැනි උසම දිය ඇල්ල වේ.එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි. පහලට ඇද හැලෙන දිය දහරාව නැතහොත් දිය හැල්ම දුන්හිඳ බවට පත්වී ඇත. අතීතයේදි දිය ගැලුම ඇල්ල,දිය හැලුම ඇල්ල යන නමි වලින්ද හදුන්වා ඇත.බෙරගල- වැල්ලවාය මාර්ගයේ බෙරගල හන්දියේ සිට කි.මී. 24ක් ගමන් කළ විට හො වැල්ලවාය සිට 12km හපුතලේ(කොස්ලන්ද ) දෙසට ගමන් කරන කල 124 වෙනි සැතපුම් කණුව අසල මාර්ගයට ඉතාමත් ආසන්නව දියලුම ඇල්ල හමුවේ. දියලුම දියඇල්ල කිරිඳි ඔයේ ශාඛාවක් වන පූනාගල ඔයෙන් පෝෂණය ලබයි. මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි.පසු තිස්සමහාරාමය ආසන්නයේදි මුහුදට එක්වෙයි.


වසර පුරාම දර්ශනීය ලෙස දිස්වෙන මෙම දියඇල්ල දේශීය සංචාරකයන්ගේ පමණක් නොව විදේශීය සංචාරකයන්ගේද නොමඳ ජනාදරයට පත්වූවකි.. ඇතමුන් තරමක් දුශ්කර මාර්ගයක් ඔස්සේ දියලුම දියඇල්ල උඩට ගමන් කරනු ලබයි. මේ ගමනේදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි. මන්දයත් සුලු අතපසු වීමකින් ඔබ ඔබේ ආදරවන්තයකු, පවුලේ කෙනෙකු නැතහොත් තවත් සංචාරකයෙක්ගේ ඉරනම තීරණය විය හැක.

දියලුම හා බැඳි ජනකථා රාශියක් පවතී. ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහියර් ට අනූව, පන්ති භේදය තදින් පවතින ලද අතීත කාල වකවානුවෑ ලක්දිව වාසය කරන ලද රජ කෙනෙක්, පහත් කුලයක කාන්තාවක් සමඟ ආදර සම්බන්දතාවයක් ඇතිකර ගන්නා ලදි. මේ හේතුවෙන් රජතුමාට රාජ්‍යත්වයෙන් පසු වීමට නොහැකි හෙයින් මේ දෙදෙනා පැන ගොස් සැඟවී වාසය කිරීමට තීරනය කර ඇත. ඉන් අනතුරුව අද දියලුම පවතින ස්ථානයේ ඇති පර්වතය වෙත රජතුමා නැග ගත්තද කාන්තාවට එය නැගීමට අපහසු විය. එබැවින් රජතුමා වැල් දෙකක් ගෙන තදින් ඔතා පහලට දමා එය ඔස්සේ තම ආදරණීය බිරිඳ උඩට ගැනීමට උත්සහ දරන ලදි. එනමුත් පර්වතයේ මඩ කොටසට බිසව ලඟා වෙත්ම ඇයගේ අතින් වැල්පට අතහැරුනි. පහලට ඇද වැටුනු ඇයගේ ජීවිත කතව ගල් වල එකින් එක වැදීමෙන් අවසන් විය. මෙයින් අතිශය සංවේගයට පත් රජතුමා පර්වතය මුදුනේ සිට හැඩූ කඳුලු වලින් දුන්හිඳ නම් දියඇල්ල නිර්මානය වී ඇත.ඉතාමත් මෑත අතීතයේදී ජාති ප්‍රශ්නයක් මුල් කරගෙන තරුණ ආදරවන්තයින් දෙදෙනුකගේ ජීවිත දෙකක් දුන්හිඳ මුදුනේ සිට පහලට පැනීමෙන් නරඹන්නන් රාශියකගේ ඇස් ඉදිරිපිට අවසන් වන ලඳි.

සුන්දර බෝඹුරු ඇල්ල ගැන දන්නවද?ටික කාලයකට කලින් සෑහෙන කට්ටක් කාලා වින්ද සුන්දර අත්දැකීම පිළීබඳව පරිසරහිතකාමී ඔබට කියන්න හ...
26/05/2019

සුන්දර බෝඹුරු ඇල්ල ගැන දන්නවද?

ටික කාලයකට කලින් සෑහෙන කට්ටක් කාලා වින්ද සුන්දර අත්දැකීම පිළීබඳව පරිසරහිතකාමී ඔබට කියන්න හිතුවා. එහෙම නොවන අය බෝඹුරු ඇල්ල ගැන හිතන්නවත් එපා..

වැලිමඩ නගරයේ සිට උඩුහාවර හරහා බෝඹුරුඇල්ල ග්‍රාමයට දුර කිලෝ මීටර් 18 ක් පමණ වේ. එහි සිට වාරිමාර්ග ඇළ ඉවුර දිගේ ඉහළට විහිදුණු අඩි පාරේ කිලෝ මීටරයක් පමණ ගමන් කළ පසු දිය ඇල්ල පෙනෙනතෙක් මානයට යා හැකි ය.

අඩි පාර ඉතා දුෂ්කර ය. කෙත්වතු, ඇළ - වේලි, කඳුරු ආදිය පසුකොට කැළය මැද්දෙන් විහිදුණු අඩි පාරේ ගමන් කිරීමට දිය ඇල්ල පිළිබඳව දැනුවත් ගැමියකුගේ සහාය ලබා ගත යුතු ය. මෙම මඟ ද ඉතා විසිතුරු ය.

මනාව වැට බැඳ සකස් කළ හේන් ගණනාවක් ද මඟදී හමුවේ. බෝඹුරුඔය ඉවුර අයිනෙන් යා යුතු මේ ගමනේ දී ඔය කඩා හැලී නිර්මාණය කරන කුඩා දිය ඇලි ගණනාවක් ම දර්ශනය වේ.

ඇතැම් තැනකදී ඔය හරහා ගමන් කළ යුත්තේ ඒදණ්ඩක් මතිනි. ඉතා අවදානම් සහිත ගමනක් නිසා ප්‍රවේශම් වීම ඉතා වැදගත් ය. ගොවියන්ගේ හේන් මැදින් කඳු මුදුනක් කරා ගමන් ගනිත් ම හේන් යාය අවසන් වී ගන වනාන්තරය ඇරැඹේ.

හේන් සීමාවෙන් එහාට කිසිසේත් ම යා නොහැක. පිහිටි පවුරු පදනම් සහිත වනාන්තරය තරණය කිරීමට සමත් ජගතකු බෝඹුරු ඇල්ල ගමේ ද නැත. එහි සිට දිය ඇල්ලට දුර කිලෝ මීටර් භාගයකට ආසන්න වෙතැයි අනුමාන කළ හැකි ය.

වාසනාවකට මෙන් නිල්ල පැතුරුණු තුරු හිස් මුදුන් මතින් ඇදහැලෙන දිය ඇල්ල දුරතියා ම නැරඹිය හැකිවේ. දිය ඇල්ල නිර්මාණය වන ඔය පටන් ගන්නේ පිදුරුතලාගල කඳු වැටියේ දකුණු අන්තයෙනි. එය පිදුරුතලාගල වැටියේ ම පිහිටි ගල් පව්වකින් ඇද හැලී ලවර්ස්ලිප් නම් වූ (පෙම්වතුන්ගේ පිම්ම) දිය ඇල්ල ද නිර්මාණය කරයි.

අනතුරුව හාවාඑළිය හරහා ගලා ගොස් සඳතැන්න ජලාශය ද, ඊට පහළින් පිහිටි බොරලන්ද ජලාශය ද පෝෂණය කරයි. ඔය වනාන්තරයට පිවිසෙන්නේ අනතුරුව ය. ශාඛා ගණනාවක් එකතු වීමෙන් සෑදුණු දිය දහර රළු - පරළු ස්වරූපයක් ගනී.

එය මීටර් 1842 ක් උස කොටකිතුල් කන්දේ බෑවුමේ පිහිටි කළුගල් පව්වකින් ඇද හැලී මීටර් 50 ක් පමණ උස බෝඹුරු ඇල්ල නිර්මාණය කරයි. පුළුල් ගල් පව්වේ සතර පොළකින් දිය දහර ඇද හැලේ. ශ්‍රී ලංකාවේ පළලම සහ දර්ශනීයම දිය ඇලිවලින් එකකි.

දිය ඇල්ල කඩාහැලෙන හඬ මුළු ප්‍රදේශයම දෝංකාරවත් කරයි. එහි හඬ කිලෝ මීටරයක් පමණ දුරට ඇසේ. ඒ තරම් සුවිශාල දිය දහරාවක් ගල් පව්වෙන් පහළට ඇද හැලේ.

දිය ඇල්ල නැරඹීමට පිටස්තරින් කිසිවෙකුත් නොපැමිණෙන තරමටම එය අප්‍රකටය. ඒ තරමටම දිය ඇල්ල අවට පරිසරය අති පිරිසුදු ය. ප්‍රකට දිය ඇලි සමීපයට විත් ඒවා කෙළෙසා දැමුවත්, මා කෙළෙසා දැමීමට මා ආසන්නයටම පැමිණෙන්නට නම් ඔබට කිසිසේත් ම නොහැකි යයි උද්දාමයෙන් යුතුව පවසමින් දිය ඇල්ල ඇද හැලේ.

වරක් දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේ ය.

මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝ ගසේ මුලක බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. බෝඹුරේ හද්දා පිටිසර ගම්මානයකි.

ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තැබූ බව පැරැන්නෝ පවසති.

බෝඹුරුඇල්ල අදත් ගොවි ගම්මානයකි. බැලූ බැලූ අත ඇත්තේ කෙත්වතුය. හෙල්මලු ක්‍රමයට කෙරෙන වී ගොවිතැන ගමට ආශිර්වාදයක් වී ඇත. ගම්වැසියන් ගැමියන් වූ නිසා ම ඔවුන් කෙරෙන් මනුස්සකම උතුරා හැලේ. ආගන්තුක සත්කාරය ඉහවහා ගොසිනි.

කවදාකහරි ඔබට පුළුවන් උනොත් මේ දුෂ්කර මාවත ජය ගන්න, ඔබ ඇත්තටම සතුටුවිය හැකි උත්සාහයක් දරල තියෙන්නේ. බෝඹුරු ඇල්ල ඒතරම් චමත්කාර ජනකයි....

සටහන ~ Nipun Sakya Bandara.
නිපුන් සාක්‍ය බන්ඩාර

ඡායාරූප අන්තර්ජාලයෙන්

Subscribe කරලා එකතු වෙන්න හෙළ රූ සමඟ ♥ ඉස්සරහට වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😊
30/09/2018

Subscribe කරලා එකතු වෙන්න හෙළ රූ සමඟ ♥ ඉස්සරහට වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😊

Intro

Address

Meemure , Ududumbara ,
Hunnasgiriya
20923

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Roo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Hela Roo

Subscribe Our Channel for more Videos!