28/10/2025
අසව් අසව් ASAW...! 💜️👆🐛
මේ එළැඹී ඇත්තේ ශ්‍රී ලංකා සිනමාවේ ස්වර්ණමය කාල වකවානුවක්, ඉතින් එය තවදුරටත් වර්ණවත් කිරමින් නොබෝ දිනකින් තිරගත වෙන්න නියමිත චමින්ද ජයසූරියගේ "ෆාදර්" චිත්‍රපටයේ වීරයාගේ භූමිකාව නිරූපණය කරන්නේ පූජන දන්දෙණියයි. මේ වර්තමානයේ මෙරට කැපී පෙනෙන, දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස හැඳින්විය හැකි පූජන සමග සඳමඬලේ අපි ගෙන ගිය කතාබහයි.
1. මේ දවස්වල කොහොමද ඔබේ වැඩ කටයුතු?
මේ දවස්වල නම් ටිකක් විවේකීව ඉන්නවා. "Father" චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වුණා. ඉදිරියේදී චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයක වැඩකටයුතු පටන් ගන්න තියෙනවා.
2. Acting Troupe Academy කියලා ආයතනයක් පටන් ගත්තා නේද? තමන් දන්න දෙයින් දරුවන්ට දෙයක් උගන්වන්න ඕනේ කියලා හිතුනද?
ඔව් දැනට බැච් දෙකක් පහු කරා. කියන්න සතුටුයි එහි පළමු පාඨමාලාව අවසානයේ ඊට සහභාගි වූ සියලු දෙනා "ෆාදර්" චිත්‍රපටයේ චරිත වලට රංගනයෙන් දායක කරගත්තා. ඇත්තටම මට එතනදි ඕනි වුණේ වෘත්තීමය රංගන ශිල්පියකු බිහිකරන්න. ඒ කියන්නේ පිටපත් රචනයේ සිට සංස්කරණය දක්වා රංගන ශිල්පියෙකුට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන අනෙක් වෘත්තීන් මොනවාද සහ ඒවා සමඟ නළුවෙකුට ඇති සමබන්ධතා මොනවගේද කියන එක.
3. "Father" චිත්‍රපටයට කොහොමද සම්බන්ධ වෙන්නේ?
චමින්ද අයියව මට මුණගැහුනේ මංගල සේනානායක විසින් අධ්‍යක්ෂණය කරපු ජුලියස් සීසර් නාට්‍යයෙන්.
ඒ නාට්‍යයේ මම, ජෙනට් ඇන්තනී, අකලංක ප්‍රභාෂ්වර ඇතුලු පොඩි කොල්ලො, කෙල්ලෝ සෙට් එකක් හිටියා. චමින්ද අයියා අපි සෙට් එක එක්ක සෑහෙන්න ෆිට් උනා. නාට්‍යයෙන් පස්සේ අපි ටිකක් ඈත් උනත් මාස කීපයකට සැරයක් කෝල් එකක් හරි දීලා වැඩක් කරන්න ඕනි කියනවා. ටික කාලයක් ගියා එකපාරම මට කෝල් එකක් ආවා චමින්ද අයියගෙන්. වැඩේ පටන් ගන්න යන්නේ කියලා. හැබැයි මම හිතුවේ නෑ මේ වගේ දැවැන්ත වැඩක ප්‍රධාන චරිතයට මාව තෝරගනියි කියලා. නමුත් ඒක එහෙම උනා. චමින්ද අයියට ස්තූතිවන්ත වෙනවා මට මේ දීපු අවස්ථාවට. මම හිතනවා මේ චරිතයට මාව තෝරා ගැනීම චමින්ද අයියා ගත්ත ලොකු අභියෝගයක් කියලා. ඒ වගේම මටත් ඒක හිතා ගන්න බැරි අභියෝගයක් උනා.
4. චිත්‍රපටය රූගත කළ අත්දැකීම් කොහොමද?
මේක ක්‍රියාදාම චිත්‍රපටයක්. ගිනිකෙළි සැණකෙළි ගොඩක් තියෙනවා.එක දවසක් අපේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ සහෝදරියකගේ කොණ්ඩෙට ගිනි ඇවිලුනා. නමුත් ලොකු අනතුරක් වෙන්න ඉඩ නොදී අපේ කණ්ඩායමට ඒක බේරගන්න පුලුවන් උනා. ඊට අමතරව චිත්‍රපටයේ නම් විධිමත් සැලැස්මක් තිබ්බා. ඔන් ටයිම් හැමදාම අපි ෂූටින් පටන් ගත්තා. මේක ලොකු කාස්ට් එකක් එක්ක ගිය වැඩක්. සිය ගනන් සෙනග එක දවසට. ඒ සෙනඟ පාලනය කරනවා කියන එකත් වෙනම වැඩක් නේ. මම හිතන්නේ අධයක්ෂකවරයා ඇතුළු හැමෝම මේ වැඩේට තමන්ගේ උපරිමය ඉෂ්ඨකලා. ඒ අය විතරක් නෙමෙයි විශේෂයෙන් නිෂ්පාදකගේ කාර්යභාරයත් හරිම ප්‍රශංසනීයයි. ශාන්ත ගීතදේව මහතා තමයි අපේ නිෂ්පාදක තුමා. ඔහුත් අපි එක්කම ඔහුට හැකි හැමවෙලේම රූගත කිරීම් කරන තැනට ආවා. අපේ අඩුපාඩු බැලුවා සහ දර්ශනයන් රූගත කරන අවස්ථාවලදී අපේ කාර්යභාරය පැසසුමට ලක් කරන්න අමතක කරේ නෑ. ඒක හරිම විශේෂ දෙයක්. ඒ වැඩෙන් අපිට වැඩිපුර ශක්තියක් ලැබුනා කියලා මට හිතෙනවා. ඒ නිසයි දින 25ක් වගේ කාලයකින් අපිට සම්පූර්ණ චිත්‍රපටිය රූගත කරලා අවසන් කරන්න පුළුවන් උනේ.
5. ඔබේ චරිතය ගොඩනගා ගන්න අනෙක් චරිතවලින් ලැබුණු සහයෝගය කොහොමද?
මේ වැඩේදි පරම්පරා කිහිපයක අති දක්ෂ රංගන ශිල්පීන් රාශියක් එක්ක මට වැඩ කරන්න ලැබුනා. ඒ හැමෝම තමන්ගේ චරිතය අති දක්ෂ ලෙස ගොඩ නංවන හැටි මම දැක්කා සහ මට ඒක සෑහෙන්න දැනුනා. ඒ රංගනශිල්පීන්ගේ රංගනය මගේ චරිතය ගොඩනගාගන්න ප්‍රභල සහයෝගයක් උනා. ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට ඒ වගේ දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් සමඟ චිත්‍රපටියක ප්‍රධාන භූමිකාව නිරූපණය කිරිමට ලැබීම වාසනාවක්.
6. චිත්‍රපටය තුළ නිරූපණය වෙන්නේ අදටත් ජීවතුන් අතර ඉන්න පුද්ගලයෙකුගේ චරිතයක්. පෙර සූදානම මොන වගේද?
ඇත්තටම මට සැබෑ චරිතය ගැන Research එකක් කරන්න අවශ්‍ය නැති බව අධ්‍යක්ෂකවරයා කිව්වා. මට ලැබුන උපදේශය උනේ මේ චිත්‍රපටියේ කතා තේමාවට අදාලා කාල වකවානුව ඒ කියන්නේ 70 දශකයේ සිට 90 දශකය දක්වා වූ කාලයේ රටේ දේශපාලනික සහ සමාජීය තත්වය පිළිබඳ යම් දළ අවබෝධයක් ලබාගන්න කියන එක. ඇත්‍තටම ඒ මඟපෙන්වීම චරිතය ගොඩනැගීමට සෑහෙන රුකුලක් උනා. ඊට අමතරව මම ලැබෙන සෑම චරිතයකටම කරන Home work ටිකක් තියෙනවා. ඉතිං මේ චරිතයේදීත් මම ඒ දෙවල් වෙනදට වඩා වැඩි වැඩියෙන් ප්‍රැක්ටිස් කරා. මොකද පිටපත කියවපු ගමන් මට මේකේ බරපතල කම සෑහෙන්න දැනුනා. පිටපත කියවලා හැරෙන තැපෑලෙන් මම චමින්ද අයියට කතා කරලා ඇහුවේ ඔයා ලංකාවේ අනුරාග් කාශ්‍යප් වෙන්නද හදන්නේ කියල. ඒ Vibe එක පිටපතේ මුලුමනින්ම තිබ්බා හැබැයි අපේ විදිහට. ඇත්තටම කියවලා රසවිඳින්න පුළුවන් විදිහේ පිටපතක් ඒක.
7. ඔබ හිතන විදියට කලාව තුළින් මිනිසුන්ගේ මතවාද වෙනස් කරන්න පුළුවන්ද?
මතවාද වෙනස් කරන්න පුලුවන්ද කියන එක විවාදිතයි. හැබැයි කලාව තුලින් හැමතිස්සෙම වෙන්නෙ කලා කරුවාගේ මතවාදයක් සමාජයට යොමු කිරීමක්. ඒක සමාජය බාර ගන්නත් පුලුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි. නමුත් කලා කරුවා හැමතිස්සෙම නිර්භීතව තම අවංක මතවාදය කලාකෘතීන් හරහා ඉදිරිපත් කරන්න ඕනි කියලයි මම හිතන්නේ.
8. නිර්මාණයන්හි චරිත තෝරා ගැනීමේදී ඔබ ඉන්නේ මොන වගේ මතයකද?
මම ඒක කල යුතුද නැද්ද කියන පැති දෙකෙම්ම මම ඒක දිහා බලනවා. කරනවනම් ඇයි මම ඒ දේ කලයුත්තේ කියලා මම හිතනවා. සමස්ථ වැඩේම හරය ඒකට බලපානවා. මට ලැබෙන චරිතයම විතරක් නෙමෙයි. ඒ වගේ ඒ චරිතයක් නොකරනවනම් ඇයි එහෙම නොකරන්නේ කියන හේතුවත් මම හිතලා බලනවා. ඉතිං මට දැනෙන දේකට තමා මම හරියටම එකඟ වෙන්නෙ. එකඟ උනාට පස්සේ මම ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම කැපකිරීමක් වැඩේ වෙනුවෙන් කරන්න සූදානම්.
9. මෙරට සිනමාවේ නළු නිළියන්ගේ චරිත වලට ලබා දී ඇති ස්ථානය ප්‍රමාණවත්ද?
චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් සාර්ථක අන්දමින් මාකට් කරන්න පුළුවන් එකම දේ තමයි නළුවා එහෙමත් නැත්නම් නිළිය කියන්නේ. මොකද අධ්‍යක්ෂකවරයාගේ අදහස ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන්නේ, ප්‍රේක්ෂකයා වඩාත් ලංවෙන්නේ, හඳුනන්නේ රංගන ශිල්පියාව. රංගන ශිල්පියාගේ තත්වය මීට වඩා ඉහල තැනකට ගේනන්න ඕනි. ඉන්දියාව වගේ රටවල ඒක සාර්ථක අන්දමින් පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපේ රටෙත් ඒ තරු ගුණය හදන්න ඕනි. ඒකට මෙරට මාධ්‍යයේ සහය වගේම කර්මාන්තමය වශයෙන් සිනමාව තුල දියුණුවක්ද ලැබිය යුතුයි. එහෙම සහයෝගයක් ලැබුණොත් මෙරට සිනමාව සාර්ථක ව්‍යාපාරයක් දක්වා රැගෙන යන්න පුළුවන්.
10. ඔබ ඔය කියන සාර්ථකත්වය දැන් සිනමාව තුළ සිදුවෙමින් පවතිනවා නේද?
ඔව් අනිවාර්යයෙන්ම. මේ වෙලාව අපි ධනාත්මකව බලන්න ඕනි වෙලාවක්. අපි මීට කලින් අවුරුදුවල දැක්කේ එකම ශානරයක චිත්‍රපට කිහිපයක්. හැබැයි මේ කාලේ අපි විවිධ ශානරවල චිත්‍රපට දකිනවා. එතනදි ප්‍රේක්ෂකයාට තියෙනවා විවිධත්වයක්. ඉතින් තව දුරටත් මේය සාර්ථකව ඉදිරියට රැගෙන යන්න අවශ්‍ය වටපිටාව අපි සකසන්න ඕනි. විශේෂයෙන්ම ලංකාව තුල වෘත්තීමය සිනමා කරුවන් බිහි විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කර්මාන්තමය වටපිටාවක් නිරමාණය කරගන්න තියෙන අවස්ථා ගැන අපි සැලකිලිමත් විය යුතුයි. නැතිනම් සිනමාවට වසන්ත කාලය වගේම ඉඩෝරයත් නැවත එන්න පුලුවන්. මොන සෘතුව ආවත් නොසැලෙන ශක්තිමත් කර්මාන්තයක් අපි ගොඩනගන්න ඕනි. උදාහරණයක් ලෙස කොරෝනා කාලේ ලෝකේ වෙනත් රටවල සිනමා කර්මාන්තයේ හැසිරීම ගැන සලකා බැලුවොත් ඉන් අපට අවබෝධයක් ලබාගන්න පුළුවන්.
11. ඔබ හිතන විදියට මේ සාර්ථකත්වයට මොනවද හේතු වෙන්න ඇත්තේ?
මම හිතන්නේ අලුත් අධ්‍යක්ෂකවරු බිහිවීම තමයි මේ වෙනසට හේතුව. කාලයක් තුල ලංකාව ගිලගෙන තිබුන වට්ටෝරු සිනමාවෙන් ඈත් වෙලා. නව මානයන් ඔස්සේ සිනමා නිර්මාණ බිහිවීම මෙ තත්වය බිහි වීමට හේතුවක් කියලා මම හිතනවා. ඒ වගේම අන්තර්ජාලය හා විවිධ ෆ්ලැට්ෆෝර්ම් හරහා දියුණු නිර්මාණ බලන තරුණ පිරිස් පවා සිනමා ශාලාවට ඇදගැනීමට මේ අධ්‍යක්ෂකවරු මේ වෙනකොට සමත් වෙලා තියෙනවා.
12. ඔබට සිනමාවට පැමිණෙන්න වේදිකාව මොන වගේ පන්නරයක් වුනාද?
වේදිකාව තමයි මගේ රංගන හැකියාව ඔපමට්ටම් කරපු තැන වුණේ. මට රංගනශිල්පියෙක් වෙන්න පාර හැදෙන්නේ මේ වේදිකාවෙන්. මොකද අපිට ඒ කාලේ ටෙලිනාට්‍ය, චිත්‍රපට කියන දේවල් වලට එනවා කියන්නේ හීන. අපි කවුරුවත් අඳුනන්නෙත් නෑ , කොළඹට ඇවිත් මේ ක්ෂේත්‍රය අඳුනගන්න විදිහකුත් නෑ. ඒ ගැන අදහසකුත් නෑ. නමුත් උතුරුමැද පලාත් කලා උලෙළේ සිට රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා අපි වේදිකා නාට්‍යය කරා. කොළඹට එන්න පාර කැපුනෙත් වේදිකාව හරහාම තමයි. ඉතිං මගේ රංගනය පොඩි තැනක ඉඳලා මේ තරම් දුරක් මාව අරගෙන එන්න වේදිකාව සෑහෙන තෝතැන්නක් උනා.
Father - ෆාදර් Sinhala Movie a Chaminda Jayasuriya film.
අසිංසල පෙරේරා.