11/09/2023
සිංහරාජ ජාතික උරුමය කරුමයක් නොවී සම්පතක් වීමට නම් එහි සොබා සෞන්දර්යය රකිමින් එම සොබා සෞන්දර්යය අලෙවිකරණ සැළැස්මක් තිබිය යුතු යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
සිංහරාජ ජෛවගෝල රක්ෂිතයට ඇතුලුවීමට රත්නපුර කලවාන කුඩාව ප්‍රදේශයේ දොරණ ඇල්ල සිංහරාජ අභිනවයෙන් ඉදිකළ ඇතුලුවීම දොරටුව සහ පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සැප්තැම්බර් 09 දා අමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
මෙම ප්‍රදේශයේ ජනතාවට සිංහරාජ වනාන්තරය රකින අතරම දියුණු වීමට මාර්ග ඇති කළයුතු බවත් , සොබා සෞන්දර්යය විකිණිමේ සැළැස්ම ගමේ ජනතාවටද ඉඩක් ලබාදී සිදුවිය යුතු බවත්, අමාත්‍යතුමිය පැවසුවාය.
එය මෙම ජෛවගෝල රක්ෂිතයට හානි නොවන සැලැස්මක්ද විය යුතු බවත්, විදේශ රටවල සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙරට ජෛව විවිධත්ව තොරතුරු මෙන්ම සොබා සෞන්දර්යය තොරතුරු විකිණිමට මෙම සැලැස්ම ඇතිවිය යුතු බවත්, අමාත්‍යවරිය එහිදී පැවසුවාය.
තවදුරටත් අදහස් දක්වමින් "සංචාරක අමාත්‍යංශයත්, කර්මාන්ත අමාත්‍යාංශයත්, වනජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයත් එකට එකතු වෙලා මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නව ව්‍යවසායකයින් බිහි කළ යුතුයි. සංචාරකයින් සඳහා අලෙවි කළ හැකි උසස් තත්වයේ නිෂ්පාදන බිහි කළ යුතුයි. ඒ සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා මුල පිරිය යුතුයි. " යැයිද පැවසීය .
"ගමේ නිෂ්පාදන අලෙවි කරන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි.හෙල වෙදකම, දේශිය නිෂ්පාදන, පාරම්පරික කලා අංග, සංස්කෘතිකාංග, ආදී දේ දැකබලාගැනීමට සංචාරකයින්ට අවස්ථාව සලසා දිය යුතුයි." යනුවෙන්ද පැවසුවාය.
එහිදී සිංහරාජය රැකීම සඳහා ගම්වාසීන් විසින් ඇතිකළ සිංහරාජ වන මිතුරෝ සංවිධානය විසින් කළ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සහ අනෙකුත් නිෂ්පාදන නැරඹීම සඳහාද අමාත්‍යතුමිය සහභාගි වූ අතර එම නිෂ්පාදන ඉදිරිපත් කළ ව්‍යවසායකයන්ට වෙළඳපොලක් ඇතිකිරීම සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යතුමිය පැවසුවාය.
මෙම අවස්ථාවට ලෝක බැංකුව වෙනුවෙන් එහි නියෝජිත ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ස්වභාවික සම්පත් කළමනාකරණ විශේෂඥ ඇන්ඩර්ස් ජෙන්සන් මහතා , පලාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එන්.බී.කේ.එස් සේනාරත්න මහතා, සමන්ති රණසිංහ මහත්මිය, වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ. බණ්ඩාර මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා,අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා, යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් වන ජාතික කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අවන්ති සේනාරත්න, යුනෙස්කෝ සාමාජිත ආචාර්ය ජිනී දෑල, පාරිසරික විද්‍යාඥ මහචාර්ය නිමල් ගුණතිලක, යන මහත්ම මහත්මීන්ද, කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කණ්ඩම්බි මහත්මිය , රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර පිටිගල මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්ද, ප්‍රදේශවාසීන්ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.