19/06/2026
යුක්තිය උදෙසා දිවිදුන් සිසු විරුවන්ගේ පුරාණය.!
ශිෂ්‍ය වීර දිනය 2026
மாணவ வீரர் தினம் 2026
Students' Heroes Day 2026
ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ සෑම වසරකම ජුනි 20 වැනිදාය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන පරිදි මෙය ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානය කැඳවීමකි. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව අවධාරණය කළ ඔවුහු දෑසින් පමණක් නොව නුවණැසින්ද ලෝකය දෙස බලන්නට රටට පෙර මඟ පෙන්වූහ. එහිදී ඇති වූ ඇතැම් සිද්ධීන් සාධනීය මෙන්ම නිශේධනය විය හැකි නමුදු ඔවුහු පුරවැසියනට අසීමිතව ප්‍රේම කළහ.
�ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථම වරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12 වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව සිසුහු දැඩි ක්‍රියාමාර්ග ගත් අතර ඔහුගේ කාර්යාලය වටලා ඔහු කාර්යාල අඩස්සියට පත් කළහ. කැරලි මර්දන පොලිස් නිලධාරින් කඩා වැදීමෙන් සරසවිය යුද භූමියක් බවට පත් වූ අතර එහිදී පොලිස් වෙඩි පහරින් වීරසූරිය මරුමුවට පත්විය. සිසු සිසුවියන් ගණනාවක් තුවාල ලැබීය. එසේ වෙඩි තැබීමට අණ කළ අය අතර පොලිස් කැරලි මර්දන කණ්ඩායමේ ප්‍රධානියකු වූ මාතලේ පොලිස් පරීක්‍ෂක රොනී ගුණසිංහද විය.
එසේ මියගියේ ඩබ්ලිව්.එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරින් සිව් දෙනෙක් වෙති. වසර 1934 පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය.
�රටපුරා සරසවි සිසුන් ඇතුළු පාසැල් සිසුන් 1976 නොවැම්බර් 14 වීදිවලට බැස පෙළපාළි පැවැත්වූයේ එම සිද්ධියට එරෙහිවය.
වෙනුර එදිරිසිංහ සහෝදරයා
පුත්තලම දිස්ත්‍රික්කයේ උපත ලැබූ වෙනුර එදිරිසිංහ සහෝදරයා, අධ්‍යාපනික දක්ෂතාවය, මානව හිතවාදී ගුණාංග සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් දැක්වූ නොසැලෙන කැපවීම නිසා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ අමරණීය නාමයක් බවට පත්වූ ශිෂ්‍ය නායකයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, උසස් පෙළ විභාගයේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා වූ නිමල් බාලසූරිය සහෝදරයා ඝාතනය කිරීමෙන් පසු එම ව්‍යාපාරය මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවේ නායකත්වයේ වගකීම භාරගත්තේ වෙනුර එදිරිසිංහ සහෝදරයාය. දැඩි මර්දනකාරී වාතාවරණයක් තුළ වුවද ඔහු පසුබට නොවී, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අභීතව පෙරමුණ ගත්තේය. ඔහුගේ නායකත්වය යටතේ ශිෂ්‍ය ව්‍යාපාරය තවදුරටත් සංවිධානාත්මකව හා සටන්කාමීව ඉදිරියට ගමන් කළේය.
1989 වසරේදී රට පුරා පැතිර ගිය දේශපාලන මර්දනයේ ගොදුරක් බවට පත්වූ වෙනුර සහෝදරයා, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබීය. පසුව 1989 සැප්තැම්බර් 21 වන දින ඔහු ඝාතනයට ලක්විය.
අත්අඩංගුවේ සිටියදී ඔහුට අමානුෂික වධ හිංසා පමුණුවා තිබූ අතර, කපා දමා තිබූ සිය ඇඟිලිවලින් වධකාගාරයේ බිත්ති මත ලියා තිබූ බව කියැවෙන මෙම වදන් අදටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ අමරණීය මතකයක් ලෙස පවතී.
"මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුණෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා."
වෙනුර එදිරිසිංහ සහෝදරයාගේ ජීවිතය, දැනුම, මනුෂ්‍යත්වය සහ අරගලය එකිනෙකට බැඳුණු අද්විතීය ආදර්ශයකි. තම පෞද්ගලික අනාගතය, වෘත්තීය සිහින සහ ජීවිතය පවා පරාර්ථකාමීව කැප කරමින් ඔහු පෙන්වා දුන්නේ අධ්‍යාපනය යනු වෙළඳ භාණ්ඩයක් නොව, සෑම දරුවෙකුටම හිමි මූලික අයිතිවාසිකමක් බවයි. ඒ නිසාම වෙනුර සහෝදරයාගේ නාමය, නිදහස් අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් දිවි පිදූ ශිෂ්‍ය වීරයන් අතර සදා නොමැකෙන ලෙස සටහන් වී ඇත.
නිමල් බාලසූරිය සහෝදරයා
සරසවි ජීවිතයේ දෙවන වසරේදීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස තේරී පත්වූ ඔහු, ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය මුහුණ දුන් අතිශය දුෂ්කර හා භයානක කාල පරිච්ඡේදයක නායකත්වය භාරගත්තේය. නායකත්වය යනු අණ දීමක් නොව, වගකීමක් බව විශ්වාස කළ බාලේ සහෝදරයා, තම සහෝදර ශිෂ්‍යයන්ට කාර්යයන් පවරා පසෙකින් සිටි නායකයෙකු නොවීය. බොහෝ අවස්ථාවල ඔහු තමන්ම ඉදිරියට ගොස් කටයුතු කළ අතර, එය ඔහුගේ කැපවීමේ සහ නිහතමානී නායකත්වයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය.
ඔහුගේ කථන විලාශය තාර්කික, සංවේදී සහ අතිශය ආකර්ෂණීය විය. විවිධ දේශපාලන අදහස් දැරූ සිසුන් පවා ඔහුගේ දේශනවලට සවන් දීමට කැමති වූයේ ඔහුගේ අවංකභාවය, මානව දයාව සහ බුද්ධිමත් විග්‍රහයන් නිසාය. නායකයෙකු ලෙස පමණක් නොව, සහෝදරයෙකු ලෙසත්, මිතුරෙකු ලෙසත්, සටන් සගයෙකු ලෙසත් ඔහු සියලු දෙනාගේ ආදරය දිනා ගත්තේය.
1987 දෙසැම්බර් 22 වන දින ආණ්ඩුව විසින් රටේ සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගත් අවස්ථාවේදී, ශිෂ්‍ය ව්‍යාපාරය එයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල තුළම රැඳී සිටීමට තීරණය කළේය. එවැනි අවස්ථාවක මොරටුව විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා නිවෙස් බලා යාමට සූදානම් වෙද්දී, නිමල් බාලසූරිය සහෝදරයා පැවසුවේ තමා ගෙදර නොයන බවත්, රට පුරා ශිෂ්‍යයන් සරසවි තුළ රැඳී සිටින මොහොතක තමන්ට එය අත්හැර යා නොහැකි බවත්ය. ඔහුගේ එම ස්ථාවරය හේතුවෙන් අනෙකුත් සිසුන්ද විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටීමට තීරණය කළහ. එය ඔහු කෙරෙහි සාමාන්‍ය සිසුන් තුළ තිබූ අසීමිත විශ්වාසය සහ ආදරය පිළිබඳ කදිම සාක්ෂියකි.
ඔහුගේ නායකත්වය සහ ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට අසමත් වූ පාලකයන්, අවසානයේ ඔහුව ශාරීරිකව විනාශ කිරීමට තීරණය කළහ. 1988 මැයි 8 වන දින නිමල් බාලසූරිය සහෝදරයා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරනු ලැබීය. එය ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වූ කුරිරු ප්‍රහාරයක් පමණක් නොව, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටි සමස්ත තරුණ පරපුරකට එල්ල කළ පහරක් විය.
"අපි යන්නේ කොයි පාරේ
නිෂ්මි, බාලේ ගිය පාරේ !"
මෙම සටන් පාඨය තුළ අදටත් ජීවමාන වන්නේ, නිදහස් අධ්‍යාපනය, සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් දිවි පිදූ නිමල් බාලසූරිය සහෝදරයාගේ අමරණීය මතකයයි. ඔහුගේ නාමය, කන්නන්ගර දරුවන්ගේ හදවත් තුළත්, ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය තුළත් සදා නොමැකෙනු ඇත.
අන්තරේ බිහිවෙයි
1976 වර්ෂයේ රෝහණ වීරසූරිය සහෝදරයාගේ ඝාතනයත් සමඟ සියලු ශිෂ්‍ය සංගම් එක්ව ඊට විරුද්ධව සටන් රැලි රට පුරාම ඇති කළේය. ආණ්ඩු හිතවාදී ශිෂ්‍ය සංගම් සටන පාවා දෙමින් සටන් කිරීම, පන්ති වර්ජන නතර කරන ලෙස සිසුන්ගෙන් ද ඉල්ලා තිබුණි. නමුත් සිසුන් විසින් සටන් නතර කළේ නැත. ආණ්ඩු හිතවත් සිසු නායකයින්ව සිසුන් අතරින් ප්‍රතික්ෂේප විය.
පාලකයන් දිගින් දිගටම මෙරට ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී වූ අයිතීන් අමු අමුවේ කප්පාදුවට පිඹුරුපත් සකසන තත්වයක් තුළ සරසවි සිසුන් එකතු වී 1978 වර්ෂයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිහිටුවන ලදී.
වීරසූරිය සරසවි සිසුවා සැමරීම 1977 සිට 1983 දක්වා සෑම නොවැම්බර් 12 දිනකම පෙරාදෙණිය සරසවියේදී සිදු කෙරිණි. අනතුරුව පත්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක සිසුන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක්ද පේරාදෙණිය සහ කොළඹ සරසවියන්හි ජුනි 19 සහ 21 යන දිනයන්හි අවිධිමත්ව පැවතිණි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම සැමරුම් උත්සව තුනම 1986 සිට වසර එක්දිනක පැවැත්වීමට තීරණය විය. ඒ අනුව 1986 සිට නොවැම්බර් 12 එම සැමරුම සඳහා වෙන්විය. ජාතික ශිෂ්‍ය වීර දිනය ලෙස එය ජුනි 20 තීරණය කළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහාය ද ඇතිව දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් 1988 ජුනි 14 ආරම්භ කළ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය මගිනි. ඒ අනුව 1988 ජුනි 20 පේරාදෙණිය සරසවියේදී ප්‍රථම සැමරුම පැවැත්විණි.
'' අපි යන්නේ කොයි පාරේ
ජනක සිසිත ගිය් පාරේ ''
ජනක සහ සිසිත යනු 2012 සැප්තැම්බර් මස 27 වැනි දින අලුයම ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මියගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි.
කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාව සිටි ජනක බණ්ඩාර ඒකනායක (මාතලන්) සහ රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකු වූ සිසිත ප්‍රියංකර සිල්වා (ටොක්කා) යන සිසුන් දෙදෙනා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.
ඔවුන්ගේ පසුබිම සහ අරගලය
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයට සහ නිදහස් අධ්‍යාපනය සුරැකීමට එරෙහිව ගාල්ලේ සිට කොළඹට පැවති දැවැන්ත පාගමනක ඉදිරිපෙළ සංවිධායකවරුන් ලෙස ඔවුහු කටයුතු කළහ. අත්පත්‍රිකා රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වූ බව වාර්තා විය.
සැක සහිත මරණයක් පිළිබඳ මතභේද
මෙම සිසුන් දෙදෙනාගේ මරණය හුදු රිය අනතුරක් නොව සැලසුම් සහගත ඝාතනයක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දිගින් දිගටම චෝදනා කළේය. මියගිය එක් සිසුවෙකුගේ නළලෙහි තිබූ සිදුරු වැනි තුවාල රිය අනතුරකින් විය නොහැකි බවත්, මරණ පරීක්ෂණ වලදී පොලිසියෙන් අඩුලුහුඬුකම් සිදුවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණය හමුවේ පවා ප්‍රකාශ කර ඇත.
�වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 සිට 2016 ජුනි 17 දක්වා ඝාතනයට ලක් වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවැනි කැරලි සමය වන 1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඝාතනයට ලක් වූ සරසවි සිසුහු 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් වූහ. ජවිපෙ දෙවන කැරලි සමයේදී ඝාතනයට ලක් වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976 සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සෑම වසරකම ජුනි 20 ශිෂ්‍ය වීර දිනය පැවැත්වෙන්නේ මෙම සිසුන් සැමරීම උදෙසාය.