Kandy Media Unit News

Kandy Media Unit News ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්හි ප්‍රචාරය වන

අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට අලි මරණ 400ක්.----------------------------------------------------------------...
02/08/2025

අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට අලි මරණ 400ක්.
--------------------------------------------------------------------------

හීලෑ අලි අතුන් ආශිතව කාලයක් පැවැති රෝගාබාධ රැසක් මේ වන විට අඩු වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

අලි ඇතුන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වීම නිසා මෙම රෝගාබාධ පාලනය කර ගැනීමට අවස්ථාව ලැබුණු බව මහාචාර්යවරයා කීවේය.

ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගීවන අලි ඇතුන්ගේ වෛද්‍ය සායනය ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේදී අද (02) පැවැති අතර එහිදි මහාචාර්යවරයා මේ බව පැවසුවේය.

මීට පෙර කරන ලද අලි ඇතුන්ගේ පරීක්ෂාවේදී අක්ෂි හා පාද ආශ්‍රිත රෝගය ද ක්ෂය රෝගය ද පැවති බව කී ඒ මහතා එම රෝග රැසක් මේ වන විට දැකිය නොහැකි යැයි ද කීවේය.

හීලෑ අලි ඇතුන් ආරක්ෂිත වුවත් අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනාන්තර ආශ්‍රිත අලි ඇතුන් 400ක් පමණ වර්ෂයකට මරණයට පත්වන බව ද ඒ මහතා පැවසුවේය. දැනට වසර කිහිපයකට ඉහතදී 300කට අධික වූ මෙරට හීලෑ අලි අතුන්ගේ ප්‍රමාණය සියයකට වඩා අඩුවී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පේරාදෙණීය විශ්ව විද්‍යාලීය පශු වෛද්‍ය පීඨයේ මෙහෙයවීම මත පැවැති මෙම වෛද්‍ය සායනයේදී හස්ති පාලකයන් සඳහා ද වෛද්‍ය සායනයක් පැවැත්විණි. ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහ දේවාල නියෝජනය කොට පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් මෙම සායනය සඳහා සහභාගී විය.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද--------------------------------------------------------------------------සෙං...
02/08/2025

ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද
--------------------------------------------------------------------------

සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද (02) රාත්‍රී විදි සංචාරය කෙරේ.

රාත්‍රී 06.54ට උතුරු දිශාභිමුඛව පිටත්වන දළදා පෙරහැර නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහ දේවාල පෙරහැර සමඟින් වීදි සංචාරයට එක්වේ.

දළදා වීදියෙන් ගමන් ඇරඹී කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කොට යළි ගෙවැදීම සිදුවේ.

තෙවන කුඹල් පෙරහැර ඊයේ (01) රාත්‍රී වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි. කෝට්ටේ රාජා සහ පුලතිසි රාජා දෑලේ ගමන් ගත්හ.

ශ්‍රි දළදා මාලිගාව නියෝජනය කරමින් නාථ දේවලායේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පෙරහැර ගමනට එක්විය.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී----------------------------------------------------------------------...
01/08/2025

ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී
-----------------------------------------------------------------------

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර රාත්‍රී 07.16ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව වීදි සංචාරයට එක්වේ.

එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.

දෙවන කුඹල් පෙරහැර ඊයේ (31) රාත්‍රී වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහ රාජා ඇතු විසිනි. කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් පුලතිසි රාජා ඇතු දෑලේ ගමන් ගත්හ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන ලද්දේ නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්. බණ්ඩාරනායක මහතායි.

දෙවන කුඹල් පෙරහැර නැරඹීම සඳහා සැදැහැවතුන් හා විදේශීය සංචාරකයන් රැසක් සහභාගීවිය.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද----------------------------------------------------------------------...
31/07/2025

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද
-------------------------------------------------------------------------

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (31) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

පස්වරු 07.01ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර දළදා පෙරහැර එක්ව වීදි සංචාරයට එක්වේ. දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගැවැදීම සිදුවේ.

පළමු කුඹල් පෙරහැර ඊයේ (30) වීදි සංචාරය කළ අතර සධාකුත පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාා ඇතු විසිනි. කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් මියන් රාජා ඇතු දෑලේ ගමන් ගත්හ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්වූ අතර පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සහභාගීවීය. පළමු කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ වස් දොස් දුරුවන බවට පවතින මතය හේතුවෙන් කුඩා දරුවන් රැසක් පළමු පෙරහැර නැරඹීම සඳහා සහභාගී කොට තිබිණි.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

30/07/2025

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වේ.
--------------------------------------------------------------------------

පළමු කුඹල් පෙරහැර වීදි සංචාරයත් සමඟ ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය අද (30) රාත්‍රී ආරම්භ වේ.

රාත්‍රී 07.05ට උතුරු දිශාභිමුඛව පිටත්වන පෙරහැර නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහ දේවාල පෙරහැර සමඟින් දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීම සිදුවේ.

අද සිට දින 05ක් එනම් අගෝස්තු මස 03 වන දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර පළමු රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු මස 04වන දිනයි. රන්දෝලි පෙරහැර ද දින 05ක් වීදි සංචාරය කෙරේ. අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 08 වන දින රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

අවසන් පෙරහැරේ දී සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ඓතිහාසික ආදාහන මළුව රජ මහ විහාරයේදී එක් රැයත් තැම්පත් කරන අතර අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ දිය කපනා ගංතොටේදී දිය කැපීම සහ පසු දින දහවල් පෙරහැර අස්ගිරිය ආදාහන මළුව රජ මහ විහාරයේ සිට දළදා මාලිගාව වෙත දළදා මාලිගාය වෙත ගෙවැදීම සිදුවේ.

මහ පෙරහැරින් අනතුරුව පෙරහැර නිමාවට පත් බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර වාර්ෂික පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

වගාවෙන් තොරව පවතින ඉඩම් තොරතුරු සහිත ඉඩම් බැංකුවක් සකස් කිරීමට පියවර----------------------------------------------------...
30/07/2025

වගාවෙන් තොරව පවතින ඉඩම් තොරතුරු සහිත ඉඩම් බැංකුවක් සකස් කිරීමට පියවර
------------------------------------------------------------------------

වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම් පිළිබඳ තොරතුරු සහිත ජාතික ඉඩම් බැංකුවක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

වගා නොකළ ඉඩම් පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ලබා දෙන ලෙස ඒ යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.

අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ අපනයන කර්මාන්තකරුවන් දැනුවත් කිරීම නිමිත්තෙන් කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී ඊයේ (29) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ඉදිරි පස් අවුරුද්දක කාලය තුළදී අපනයන ආදායම් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම ඉඩම් යොදා ගැනීම අපේක්ෂිත යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය වසර 10ක කාලය තුළදී අපනයන ආදායම් ඉපැයීම් වර්ධනය 1%ක් වූ නමුත් මේ වන විට එහි වර්ධන අගය 7%ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබුණු බව කී අමාත්‍යවරයා මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ඉපැයීම් මෙම වර්ෂය තුළදී ළගා කර ගැනිමට හැකියාව ලැබුණු බව ද පැවසුවේය.

ඒ සඳහා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගෙන් විශාල කාර්යයභාරයක් ඉටුවුණු බවත් ඉදිරියේදී ඔවුන්ගේ දායකත්වය තව දුරටත් අපේක්ෂා කරන බව හෙතෙම කීවේය. අපනයන සම්බන්ධීකරණය සඳහා වත්මන් රජය පිහිටවූ විශේෂ ඒකකය හේතුවෙන් යුද්ධය පැවැති රටවලට පවා අඛණ්ඩය භාණ්ඩ අපනයනය කිරීමට හැකියාව ලැබුණු බව හදුන්නෙත්ති මහතා පැවසුවේය.

මධ්‍යම පළාතේ ආයෝජකයන් විසින් වාර්ෂිකව උපයන ඩොලර් මිලියන 179ක මුදල ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුලු රජයේ ආයතනවල සක්‍රීය දායක්තවය ලබා දෙන බව කීවේය. මෙතෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ යම් අකාර්යක්ෂමතාවයක් පැවතුණි නම් එම ක්‍රමය වෙනස් කොට ඇති බැවින් යළි රජයේ ආයතන කරා පැමිණ සේවා ලබා ගන්නා ලෙස සියලු ව්‍යවසායකයන්ට හා නවකයන්ට ආරාධනා කරන බව ද කර්මාන්ත හා ව්‍යවසායත්ව සංවර්ධන අමාච්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා තව දුරටත් සඳහන් කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කර තිබුණු මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, එම මණ්ඩලයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයලත් මහතා ඇතුලු නිලධාරීන් ද මධ්‍යම පළාතේ අපනයන කර්මාන්තරකරුවන් ද සහභාගී විය.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද සිට--------------------------------------------------------...
30/07/2025

ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද සිට
-------------------------------------------------------------------------

ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කොට විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක කරන බව මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.

පෙරහැර ක්‍රියාත්මක කාලය තුළදී මහනුවර නගරයට වාහන ප්‍රවේශ කිරීම අත්හිටුවන බවත් පොදු ජනතාවට අවහිරයකින් තොරව ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග හදුන්වාදී ඇතැයි ඒ මහතා පැවසුවේය.

දළදා පෙරහැර නිමිත්තෙන් ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හදුන්වාදිම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කළේය.

පළමු කුඹල් පෙරහැර ආරම්භයත් සමඟ ක්‍රියාත්මක වන වාහන සැලැස්ම අවසන් රන්දෝලි පෙරහැර හා පසුදින දහවල් පෙරහැර තෙක් ක්‍රියාත්මක බවත් කටුගස්තොට නිත්තවෙල මාර්ගය, විද්‍යාර්ථ විදුහල අසලින් පුෂ්පදාන විදුහල දක්වා දිවෙන මාර්ගය, ලේවැල්ල හා රතු බෝක්කුව, පේරාදෙණිය විලියම් ගොපල්ලව මාවත කේන්ද්‍ර කොට ගෙන විකල්ප මාර්ග කිහිපයක් ක්‍රියාත්මකය. පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය තුළ වාහන නැවැත්වීම සීමා කිරීමට ද රථ වාහන පොලීසිය කටයුතු යොදා තිබේ.

මහනුවර නගරය පසු කර වෙනත් ගමනාන්ත දක්වා ගමන් කරන පිරිස් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසුවේය.

පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුලුව 6000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජකාරි යොදවා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තව දුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

කොන්සෝරිටියම් පෞද්ගලික වාහන අලුත්වැඩියා කිරීමේ ඒකකය විවෘත කිරීම නත්තරම්පොත දී.------------------------------------------...
28/07/2025

කොන්සෝරිටියම් පෞද්ගලික වාහන අලුත්වැඩියා කිරීමේ ඒකකය විවෘත කිරීම නත්තරම්පොත දී.
--------------------------------------------------------------------------

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ආයෝජනය කරන සියලු ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ වගකීමක් වන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

රාජ්‍ය හා පුද්ගලික අංශයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කුසලතා සහිත ආයෝජකයන් හදුනා ගන්නා බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කුණ්ඩසාලේ නත්තරම්පොත පිහිටි කොන්සෝරිටියම් පෞද්ගලික වාහන අලුත්වැඩියා කිරීම සහ පවිත්‍ර කිරීමේ විද්‍යාත්මක ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙවැනි ව්‍යාපෘති මගින් විශාල පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා හිමිවන බව ද පැවසුවේය.

නවීන තාක්ෂණයෙන් සමන්විත මෙවැනි කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නම්,තම යෝජනා රජයට ඉදිරිපත් කරන ලෙසත්,මීට පෙර පැවැති රජයන් මගින් ආයෝජකයන්ට සහ ව්‍යවසායකයන්ට කළ බාධා මෙන්ම කටුක අත්දැකීම් විඳීමට ඉඩ නොතබා සියලු පහසුකම් සැලසීමට රජය බැඳී සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්පාදනය කරන මෙන් මෙරට රාජ්‍ය හා පුද්ගලික බැංකු ප්‍රධානීන් දැනුවත් කොට ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති මංජුල ඉහිල්ලගොල්ල යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

රාජ්‍ය සේවය ගුණාත්මක පරිවර්ථනයක් කරා යොමු වෙමින් ඇතැයි කෘෂිකර්ම ඇමති කියයි----------------------------------------------...
28/07/2025

රාජ්‍ය සේවය ගුණාත්මක පරිවර්ථනයක් කරා යොමු වෙමින් ඇතැයි කෘෂිකර්ම ඇමති කියයි
-----------------------------------------------------------------------
රාජ්‍ය සේවය ගුණාත්මක පරිවර්ථනයක් කරා යොමු වෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

මහජනයාට කඩිනම් සේවයක් ලබාදීම මෙන්ම අනවශ්‍ය වියදම් අවම කිරීම ද ඒ යටතේ සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ නව මාධ්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

වත්මන් රජයේ අමාත්‍යවරුන් කැබ් රථ වල ගමන් කරද්දී සුඛෝපභෝගී වාහනවල ගමන් කළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ සෙසු නිලධාරීන් වෑන් රථ මගින් ගමන් කිරීමට පුරුදුවී ඇතැයි ඒ මහතා පැවසුවේය.

කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය සේවය තුළ පැවැති අකාර්යක්ෂමතා, ප්‍රමාදවීම් හා මහජන පිළිගැනීම අවමවීම වැනි දුර්වලතා ඉදිරියේදී තුරන් වන බවත් එමගින් ජනතාවට උසස් හා ගුණාත්මක සේවාවක් ලබාදීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීවේය. රජයේ නිලධාරීන්ගේ ගැටලු අවම කර ඔවුන්ට ප්‍රිය මනාප සේවා ස්ථාන ලබාදීම ද රජයේ එක් අරමුණක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

රට නිදහස ලබන අවස්ථාවේදී අධිරාජ්‍යවාදීන් විසින් ලබා දෙන ලද මෙම රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් විය යුතු බව කී ඒ මහතා මහජනයා තමන්ගේ සේවාලාභියෙකු යැයි පිළිගන්නා තුරු ගුණාත්මක රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක කළ නොහැකි යැයි ද අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක, යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති නලින් එරන්ද පිටියේකුඹුර යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා ඇතුලු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

ගැටඹේ රාජෝපවනාරාමය අසල අනවසර ඉදිකිරීම් පිළිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයක්-----------------------------------------------------...
28/07/2025

ගැටඹේ රාජෝපවනාරාමය අසල අනවසර ඉදිකිරීම් පිළිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයක්
------------------------------------------------------------------------

ගැටඹේ රාජෝපවනාරාම විහාරය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික වෙළඳුන් නිසා සිදුවන අවහිරතා සම්බන්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදුකරෙිණි.

එම ස්ථානයේ පදික වෙළඳුන් නිසා පදිකයන්ට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද අවධානය යොමු වී තිබේ.

පදිකවේදිකා හා උමං මාර්ගයක් පැවතුණත් පදිකයන් ප්‍රධාන මාර්ගය භාවිත කිරීම නිසා දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතුවී ඇති බවත් මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක් මතුවන බවත් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට බදුන් විය.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුලු පිරිස ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර උමං මාර්ග භාවිතා කිරීම අනිවර්යය කරන බවත් පදිකයන්ට අවහිරවන පදික වෙළඳුන් එම ස්ථානවලින් ඉවත් කිරීම අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම පදික වෙළදුන් සඳහා විකල්ප ස්ථාන ලබා දෙන බවත් බැතිමතුන්, ශික්ෂණ රෝහල හා අවට රජයේ කාර්යාල සඳහා ප්‍රවේශවන සේවාලාභීන්ට සිදුවන අවහිරතා සම්පූර්ණයෙන් ඉවත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර නියෝජ්‍ය පුරපති ජී.ජී.රුවන් කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

සිව් මහ දේවාලයන්හි කප් සිටුවිම අද අලුයම------------------------------------------------------------------------මහනුවර ඇස...
25/07/2025

සිව් මහ දේවාලයන්හි කප් සිටුවිම අද අලුයම
------------------------------------------------------------------------

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය නිමිත්තෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම අද පෙරවරුවේ සිදු කෙරිණි.

උදෑසන 06 පසුවී මිනිත්තු 05ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම සිදුවිය.

ඒ අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයෙන් කපා වැඩම කරන ලද කප ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි මුණ්ඩ දේවාලයේදී සිව් මහා දේවාල සඳහා බෙදා හැරීමෙන් අනතුරුවය.

ඇසළ පෙරහැර ආරම්භය නිමිත්තෙන් එම කප සිටුවීම සිදුවූ අතර සිව් මහා දේවාලයන්හී ප්‍රධාන දේවාලය වන විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාව සඳහා එහි බස්නායක නිලමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ ආරාධනයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගී විය.

නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම දේවාලයේ කප් සිටවූ අතර පත්තිනි දේවාලයේ කප් සිටුවීම සිදුවූයේ එහි බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහනුවර කතරගම දේවාලයේ කප් සිටුවීම කතරගම දේවාලයට ආවේණික චාරිත්‍ර මුල් කොට සිදුවූ අතර එය එහි බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පහක් පැවැත්වෙනු ඇත.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා කප් කැපීමේ පුරාණ චාරිත්‍රය අද අලුයම මාවනැල්ල අලුත් නුවර දේවාලයේදී--------------------...
24/07/2025

සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා කප් කැපීමේ පුරාණ චාරිත්‍රය අද අලුයම මාවනැල්ල අලුත් නුවර දේවාලයේදී
------------------------------------------------------------------------

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන වන සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ කප් සිටුවීම සඳහා කප කැපීමේ පුරාණ චාරිත්‍රය අද (24) අලුයම යෙදුණු සුබ මොහොතින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදුවිය.

ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී කප් සිටුවීම සිදුවන අතර ඒ සඳහා පුරාතනයේ සිට යොදා ගනුයේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ පිහිටි කිරි සහිත ඵල නොදැරූ කොස් ගසකි.

අද අලුයම 04.32ට යෙදුණු සුබ මොහොතින් කප් කැපීම සිදුකරන ලද්දේ එම චාරිත්‍රය ඉටු කරන වන්නක්කු රාළ විසිනි. තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවද පැනින් නාවා, සුවද දුම් අල්වා සුභ මූර්තියෙන් ගස නැගෙනහිර දිශාවට වැටෙන සේ කපා හෙළීම සිදුකරයි.

මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ මෙහෙයවීම මත මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා විසින් වන්නකුරාල වෙත රීදී පොරව ප්‍රදානය කළ අතර අනතුරුව සුබ මොහොතින් නැගෙනහිර දිශාවට වැටෙන සේ කප හෙළීම සිදුකෙරිණි.

පසුව සුදු රෙදි කඩින් ඔතා සිදු වියන් සහිතව මහ පෙරහැරින් කප අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල වෙත වැඩම කොට පුද චාරිත්‍ර පැවැත්වීමෙන් පසුව එය මහ පෙරහැරින් මහනුවර විෂ්ණු දේවාලය කරා වැඩම කිරීම සිදුවිය.

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා, විදානේ රාළ වන වරුණ බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Address

Kandy District Secretariat
Kandy
20000

Telephone

+94812200149

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Media Unit News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Media Unit News:

Share