09/02/2023
වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එම සංකල්ප පත්‍රිකාවට අනුව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම පිණිස ස්ථාපිත ඉහළම මට්ටමේ නිල යාන්ත්‍රණය ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පිහිටුවීමට යෝජිතය. කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස නිසි විශ්ලේෂණ ආශ්‍රිතව ප්‍රතිපත්තිසම්පාදනය හා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලබා දීම, කෙටි කාලීන මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම්කරණය හරහා 2023 - 2048 ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඇති හැකියාවන් හා විභවයන් හඳුනාගනිමින් සංවර්ධන සැලසුම්කරණය හා කාර්යක්ෂම අයුරින් සම්පත් බෙදී යාමට ඉඩ සැලසීම, කාලීන ජාතික ප්‍රමුඛතා පදනම්කොටගත් සංවර්ධන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමගාමීව නිරන්තර නියාමන හා ඇගයීම් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, ජාතික හා පළාත් මට්ටම්වලදී ක්‍රියාත්මක කරනු ලබන ආයතන පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණ ක්‍රියාවලීන් ශක්තිමත්ව ක්‍රියාත්මක කරවීම යන කරුණු දක්වා ඇති අතර ඒ පිළිබඳ දිර්ඝ වශයෙන් කමිටුවේදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින් මෙම සංකල්ප පත්‍රිකාව ජාතික සභාවට ඉදිරිපත් කර අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.