Anidda Newspaper

Anidda Newspaper Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anidda Newspaper, Media/News Company, 23/1 Piliyandala Road, Maharagama.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකපළවෙනිම දේ තමයි පාර්ලිමේන්තුවට යන්න හිතාගෙන ඉන්න අය මුලින්ම පාර්ලිමේන්තුවේ ...
18/10/2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

පළවෙනිම දේ තමයි පාර්ලිමේන්තුවට යන්න හිතාගෙන ඉන්න අය මුලින්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මනාව හදාරන්න ඕනෑ. මොකද ඒ තුළ තමයි පාර්ලිමේන්තු අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමේ රීති පද්ධතිය තියෙන්නේ. ඒ වගේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ බලතල පිළිබඳව තියෙන පරිච්ඡේදය ඒ තුළ විශේෂයි. ඊට අමතරව ස්ථාවර නියෝග ඉගෙන ගන්නවා වගේම ඒ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේ පනතක් කොහොමද සම්මත වෙන්නේ, පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ කොහොමද වැනි කාරණා වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා මූලික බලතල දෙකක්. පළවෙනි එක තමයි නීති සම්පාදනය. ඒක පාර්ලිමේන්තුවට හැරෙන්න වෙන කාටවත් කරන්න බැහැ. නීති සම්පාදනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවටම පමණයි. දෙවැන්න තමයි රාජ්‍ය මූල්‍ය බලතල. රාජ්‍ය මූල්‍ය බලතල පිළිබඳව පාර්ලිමේන්තුවයි, අධිකරණයයි, ජනාධිපතිවරයායි අතරේ යම්කිසි බල බෙදීමක් තියෙනවා. ඒ බල බෙදීම මොකද්ද කියලා අවබෝධ කර ගන්න ඕනෑ. පාර්ලිමේන්තු කාර්යභාරය මොකද්ද? ජනාධිපතිවරයාට අයිති බලතල මොනවාද? අධිකරණයට අයිති බලතල මොනවාද? එහි සීමාවන් මොනවාද? යනාදි වශයෙන් අවබෝධ කර ගන්න ඕනෑ.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහතික කරන්න පාර්ලිමේන්තුවේ තියෙනවා යම් යම් යාන්ත්‍රණ කිහිපයක්. අපි කියනවා ඒවාට චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා. ඒ යාන්ත්‍රණවලින් එකක් තමයි පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අහන එක. වාචික ප්‍රශ්න අහද්දි බලතල ක්‍රියාත්මක කරන ආකාරය සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳව කරුණු කාරණා හොයා ගන්න පුළුවන්. ඊළඟ වැදගත් දේ තමයි ආංශික කාරක සභාවලට සහභාගි වීම. ආංශික කාරක සභා හයක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙනවා. එහි කාර්යභාරය පාර්ලිමේන්තුවට යන්න හිතාගෙන ඉන්න අය දැනගන්න වෙනවා.

රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳව කතා කරන්න කෝපා ආයතනය තියෙනවා. අධිකාරී සංස්ථා ගැන කතා කරන්න කෝප් ආයතනය තියෙනවා. ඒ ආයතන දෙක තමයි පාර්ලිමේන්තුවේ පැරණිම ආයතන දෙක. ඊට අමතරව රාජ්‍ය ආදායම් යාන්ත්‍රණ පිළිබඳ බලන්න ක්‍රම සහ විධි කාරක සභාව තියෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු පද්ධතියේ කාර්යභාරය බලන්න වෙනම ආයතනයක් තියෙනවා. ආර්ථික ස්ථායීකරණය පිළිබඳව තවත් ආයතනයක් තියෙනවා. මෙම ආයතන හයට අමතරව සියලුම අමාත්‍යාංශවල වපසරි පරීක්ෂා කිරීම සඳහා වෙනම ආංශික කාරක සභා තියෙනවා. ඒවාට ගිහිලා පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය යනාදි වශයෙන් තමන් කැමති තැනකට ගිහිල්ලා ඒවා සම්බන්ධයෙන් සක්‍රිය දායකත්වයක් දරන්න පුළුවන්. රට පාලනය වන ආකාරය ගැන, රාජ්‍ය මූල්‍ය කෙරෙන ආකාරය ගැන මේවා මඟින් දැන ගන්න පුළුවන්.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන ලියලා නැති ඒවා අපි ගන්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන්. ඒ නිසා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියෙන්නේ මොන විදියේ ඒවාද කියලාත් බලන්න ඕනෑ. මොකද අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ලියවිලා නැති ප්‍රශ්න මතුවෙන කොට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් තමයි අපි යම් යම් උපදේශනයන් ලබා ගන්නේ.

පාර්ලිමේන්තු කාර්යභාරය ගැන කතා කරද්දි අයවැය ඉතාමත් තීරණාත්මකයි. අයවැය කොහොමද කරන්නේ, අයවැය හැදෙන්නේ කොහොමද කියන කාරණා ගැනත් දැන ගන්න ඕනෑ. ඒක රාජ්‍ය මූල්‍යයට අයිති බලතලයක්. මේ කියපු කරුණු ටික මම හිතන්නේ අලුතින් පත් වන මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වෙයි ඔවුන්ගේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සඳහා.

පාර්ලිමේන්තු කාර්යභාරය සඳහා මම කියපු පාර්ලිමේන්තුවේ තාක්ෂණික කරුණු වගේම දේශපාලනික වශයෙනුත් අලුතින් පත් වන මන්ත්‍රීවරුන්ට කළ යුතු කාර්යභාරයක් තියෙනවා. දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි රටේ පවතින බංකොලොත්භාවය. ණය ගෙවා ගැනීම පිළිබඳව තිබෙන ගැටලුව. ඒ ප්‍රශ්නයේ දී රාජ්‍ය මූල්‍ය හරි වැදගත්. රටේ ආදායම් වියදම් කොහොමද වෙන්නේ කියන දේවල් ගැන පරීක්ෂාකාරී වීම හරි වැදගත්. මන්ත්‍රී වැටුප්, මන්ත්‍රීලාගේ නිල නිවාස, මන්ත්‍රීලාගේ කෑම වගේ දේවල් ගැන අදහස් දක්වනවාට අමතරව රාජ්‍ය මූල්‍ය විධිමත් කර ගැනීමට මන්ත්‍රීලාට සක්‍රීය දායකත්වයක් දරන්න පුළුවන් වෙන්න ඕනෑ. මොකද ලබන අවුරුද්ද වෙද්දි ණය ගෙවන්න පටන් ගන්නවා. ඒ වන විට අපේ විදේශ විනිමය ප්‍රශ්න මතු වෙනවා. 2028න් පස්සේ සම්පූර්ණයෙන් ණය ගෙවීම් කරන්න වෙනවා. ඒ වන විට අපිට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. ඒ නිසා අපි ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑ. ඒ නිසා පාර්ලිමේන්තු සැසිය ඇතුළේ වෙන දේවල් ඉතාමත් වැදගත්.

අසංකා සංජීවනී

හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයක් හැටියට තියෙන්නේ පනත් සම්මත කිරීම. ඒ නිසා මේ ව්‍යවස්ථාදායක බලය ඉතාම වැදගත්. ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) යටතේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පිළිබඳව දක්වලා තියෙනවා. පාර්ලිමේන්තුවට අදාළ අනෙක් වැදගත්ම කාරණය තමයි, 148 ව්‍යවස්ථාව යටතේ සඳහන් කරලා තියෙන, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනය.
ඒ වගේම විධායකය පාලනය කිරීම සඳහාත් පාර්ලිමේන්තුවට බලයක් ලබා දීලා තියෙනවා. ප්‍රධානකොටම ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 ව්‍යවස්ථාව යටතේ, සම්මත කර තිබෙන ස්ථාවර නියෝග හරහා විධායකයේ කාර්යභාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට, පිළිතුරු ලබා ගැනීමට ඒ වාගේම ඒ පිළිබඳ ක්‍රියා කිරීමට විශාල ඉඩකඩක් ලබා දී තියෙනවා. 17 සිට 75 දක්වා ඇති ස්ථාවර නියෝගවලින්, විධායකයේ කාරණා පරීක්ෂා කිරීමට තොරතුරු ලබා ගැනීමට සහ ඒ හරහා විධායකය පාලනය කිරීමට සභා ගර්භයට විශාල බලයක් ලබා දෙනවා. ඒ වගේම 43 ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට බැඳෙනවා. උත්තර දීමට බැඳෙනවා. ඒ කියන්නෙ විධායකයේ වගවීම ලබා ගැනීමට පාර්ලිමේන්තුවට බලයක් ලැබිලා තිබෙනවා. මෙතනදී 42 ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු රටේ පවතින සියලු නීති රීතිවලට අනුව කටයුතු කිරීමට බැඳෙනවා කියන කාරණය ඉතා වැදගත් වෙනවා.

ස්ථාවර නියෝගවල 90 ගණන්වල සිට 136 දක්වා කාරක සභාවලට විශාල බලයක් තියෙනවා, 119 සහ 120 ස්ථාවර නියෝග යටතේ, කෝපා සහ කෝප් කමිටු දෙක පිහිටුවා තියෙනවා. ඒ කියන රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවටත්, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවටත් විධායකයේ සියලු කාරණා පිළිබඳ පරීක්ෂා කරන්න, ඒ වාගේම ඊට පාදක වන විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කරන්න 154 ව්‍යවස්ථාව යටතේ විශාල බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබෙනවා. 154 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න විගණකාධිපතිවරයා බැදී සිටිනවා.

සංවරණ හා තුලන ක්‍රමවලට අනුව විධායකය පාලනය කරන්න. ව්‍යවස්ථාදායකයට බලය ලැබෙනවා. මේක අපි සංවරණ හා තුලන කියලා කිව්වාට, බල කේන්ද්‍ර අතර විශාල ගැටුමක් ඇති වෙන්න ඉඩකඩකුත් මේ තුළම තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ බහුතරය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට ලැබෙන බලය උඩ විධායකයේ නායකයාවන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හසුරවන්න බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවට විධායකයේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට සිදු වෙනවා. විධායකය වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්තිමය කාරණා හොඳ නම්, එය බොහෝ විට වටිනා කාරණයක් බව ඇත්ත නමුත්, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ඇති වී තිබෙන්නේ එකිනෙකාට එරෙහි ස්වරූපයක් නම්, පාර්ලිමේන්තුවේ බලය එක කණ්ඩායමකටත්, ජනාධිපතිවරයාගේ බලය තවත් කණ්ඩායමකටත් තිබෙනවා නම් මේ තුළින් ඉතාමත්ම විනාශකාරී තත්වයක් තමයි නිර්මාණය වෙන්නේ.

මේ ජනාධිපතිවරයාට තව අවුරුදු 5ක කාලයක් තියෙනවා. පත්වීමට නියමිත පාර්ලිමේන්තුවට අවුරුදු 5 ක් තියෙනවා. හැබැයි අවුරුදු දෙකහමාරක් ගිය තැන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට තියෙනවා. 70 (5) වන අනු වගන්තිය යටතේ, යම් කිසි ආකාරයකට පාර්ලිමේන්තුව දෙවරක් විසර්ජන පනත් කෙටුම්පත පරාජය කළොත්, මාස කිහිපයක් තුළ වුණත් පාර්ලිමේන්තුව විසුරවන්න ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. ඒ වාගේම වාර අවසාන කිරීම් හරහා පාර්ලිමේන්තුව අඩපන කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. ඒ නිසා පාර්ලිමේනතුවේ බහුතර බලයක් ජනාධිපතිවරයාට නැති අවස්ථාවක පවා එය හීලෑ කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ලැබිලා තිබෙනවා. මේ තත්වය ඉතාම විනාශකාරී එකක් නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විශාල අවශ්‍යතාවක් තිබෙනවා. මේ වෙලාව ඉතාම තීරණාත්මක වෙලාවක්. ඇත්තටම මේ බල කඳවුරු දෙක අතරේ ගැටුමක් ඇති විය හැකි ආකාරයේ සංයුතියක් ඇති වුණොත්, මෙතෙක් නොවූ ආකාරයේ විනාශයක් ඇති විය හැකියි. මොකද මේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය මේ මැතිවරණයෙන් ලැබුණේ නැත්නම්, ඔහු කරන්නට යන බොහෝ දේවල් පාර්ලිමේන්තුව විසින් පාලනය කරාවි. එහෙම වුණොත් ජනතාව විශාල අසීරුතාවයකට පත් විය හැකියි. ඒක යම් කිසි දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවෙයි, ජනතාවගේ පරාජයක් බවට පත් වෙනවා.
ඒ නිසා තමන් තෝරා පත් කරන අපේක්ෂකයාට රාජ්‍ය මුල්‍ය පාලනය ගැන දැනුමක් තියෙන්න ඕනෑ. රටට ගැලපෙන පනත් සම්මත කරගනීම පිළිබඳ අවබෝධයක් තියෙන්නට ඕනෑ. අපේක්ෂකයන් වේදිකාවල කෑ ගහලා මොනවා කිව්වත්, මේවා ක්‍රියාවට නගන්න පාර්ලිමේනතුව තුළ සම්මත කරගන්නා පනත් අවශ්‍ය බව ජනතාව දැන ගන්න ඕනෑ.
ඒ නිසා මේ කාර්්‍ය සඳහා ගැලපෙන අයව පත් කරගන්න ජනතාවට තේරෙන්න ඕනෑ. මේ කාරණයට අධ්‍යාපනය පමණක්ම ප්‍රමාණවත් නෑ. ඒ පුද්ගලයින්ගේ තිබෙන ගුණාංග මේකට විශාල ලෙස බලපානවා. පහුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ මහාචාර්යවරු, ආචාර්යවරු ගණනාවක් හිටියා. ඒ අය දූෂිතයින්ගේ හොරණෑ බවට පත් වෙලා හිටියේ. ඒ නිසා ඔවුන් මේ විනාශයේ කොටස් කරුවන් වුණා මිසක කරපු දෙයක් නෑ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ රට ගැන හැඟීමක් සහිත, දූෂණයෙන් තොර, ඉතා පරාර්තකාමී ස්වභාවයක් තියෙන, උද්දච්ච නොවනජනතාවත් එක්ක එකට හිටගන්න පුළුවන් කණ්ඩායමක් විය යුතුයි.
මේ 225 කවුරුවත් ආනයනය කරපු පිරිසක් නොවෙයි. මේ අය මේ රටේ ජනතාව ඡන්දයෙන් තෝරාපත්කරගත්ත පිරිසක්. තමන් කරපු වැරැද්ද දේශපාලකයා උඩින් යවන එක තමයි මෙපමණ කාලයක් ඡන්ද දායකයා කරලා තියෙන්නේ.
තමන්ගේ හික්මීම වටිනාකම කෙනෙක් කට අරින්න ඕනෑ, කතා කරන්නේ මුළු ව්‍යවස්ථාදායකයම ලැජ්ජාවට පත් කරන්න නම් කට වහගෙන ඉන්න එක ඊට වඩා හුඟක් හොඳයි.

උගත්කමයි, බුද්ධිමක්කමයි කියන්නේ දෙකක්. අපේ හිටපු නායක නායිකාවෝ දිහා බැලුවාම ඒ බව හොඳින් පැහැදිලියි. සිරිමාවෝ බණ්ඩාරණායක, ඩී.එස්, සේනානායක වගේ අයගේ අධ්‍යාපන මට්ටම ගත්තාම අද පාර්ලිමේන්තුවේ ඉන්න අයට වඩා බොහෝ අඩු අධ්‍යාපන මට්ටමක් තිබුණේ. නමුත් ඔවුන් හමෝම තමන්ගේ මල්ලට පුරෝගන්නේ නැතිව, තමන්ට හැකි ප්‍රමාණයෙන් රටේ යහපත වෙනුවෙන්, උපරිමයෙන් කටයුතු කළා.

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

හිටපු අමාත්‍යාංශ ලේකම් එස්. රනුක්ගේ

ව්‍යවස්ථාදායකයේ ප්‍රධානතම කාර්්‍යභාරය වෙන්නේ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. ඉංග්‍රීසියෙන් කියන්නේ ලෙජිස්ලේටර්ස් කියලා. ඒ කියන්නේ නීති සම්පාදකයින් කියන එකයි.

ඒ වගේම රාජ්‍ය මුදල් කළමණාකරණය පිළිබඳ වගකීමත් ඒ ව්‍යවස්ථාදායකයට අයිතියි. අය වැය සම්මතකිරීමේ වගකීම ව්‍යවස්ථාදායකයට තමයි පවරලා තියෙන්නේ. විශේෂයෙන් ඔය දෙක ගැන අවබෝධයක් ඇති අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ.

අපේ රටේ ප්‍රතිපත්තිවලට සම්බන්ධ ආයතන තුනක් තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වෙන නීති ප්‍රතිපත්තියක් බවට පත් වෙනවා. ඒ වගේම ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නවා. පහුගිය දාක ගොවි ජනතාවට රැපියල් 25000 ක් දෙනවා කිව්වානේ, ඒකත් ප්‍රතිපත්තිමය තීරණයක්. ධීවවර ජනතාවට සහනයක් දෙනවා කිව්වා. ඒවා කැබිනට් මණ්ඩලයෙන් ගත්ත ප්‍රතිපත්තිමය තීරණ. කැබිනට් මණ්ඩලය එවැනි තීන්දු ගත්තත් ඒ අය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ. මොකද මහජන නියෝජනය තියෙන්නේ පාර්ලිමේනතුවේ නිසා. ඒ අය ඒ වගීම ඉටු කරන්න ඕනෑ. එතනින් තමයි මහජනයාට වගකීම එන්නේ. අවුරුදු පහකට වරක් මහජනයාට ඊට මැදිහත් වෙන්න අවස්ථාව ලැබෙනවා.
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතරේ සම්බ්නධයක් තියනවා. ව්‍යවස්ථාවට පිටින් නීති පනවන්න ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. විධායකය නීතියට පටහැනි තීරණයක් ගත්තාම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒ වගේම අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාදායකය සම්පාදනය කරන නීති යටතේ. අධිකරණය ක්‍රියාත්මක වන්නේ මහජනයා තෝරා පත්කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව හරහා ස්වාධීනව සම්පාදනය කරන නීති පද්ධතියක් තුලින් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන්නේ.

එතකොට ව්‍යවස්ථාදායකය විසින් තමයි රටට අවශ්‍ය නීති සම්පාදනය කරලා දෙන්න ඕනෑ. ඒ නීති තමයි අධිකරණය ක්‍රියාත්මක කරන්නේ. ඒ ආකාරයට තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතන සංවිධානය කරලා තියෙන්නේ.
මහජන නියෝජිතයෝ කියන්නේ මහජනයා කැමති අය. ඒ නිසා මේ නීති සම්පාදනය සම්බන්ධයෙන් දැනුමක් තියෙන අය ව්‍යවස්ථාදායකයට තෝරලා යවන්න ජනතාවට දැනුමක්, අවබෝධයක් තියෙන්න ඕනෑ. පහුගිය කාලේ අපේ රටේ මහජනයාට එහෙම ප්‍රමාණාත්මක අවබෝධයක් තිබුණේ නෑ. දැන් තරමක් දුරට ඒ අවබෝධය වර්දනය වෙලා තියෙනවා වගේ පේනවා. පත් වෙන අයට දෝස් කියලා වැඩක් නෑ. පත් කරන අයට තමයි ඒ වගකීම පැවරෙන්නේ.

අපේ පාර්ලිමේන්තුවේ ඉන්ටර්ග්‍රටි නැත්නම් ඒකාග්‍රතාවය නැති බව හොඳින්ම පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා තමයි 17 වන සංශෝධනයට අත උස්සපු අයම ඊ ළඟට 18 වන සංශෝධනයටත් අත ඉස්සුවේ. 19 ටත්, 20 ටත් 21 ටත් ඒ අයම අත ඉස්සුවා. 17 තිබුණේ විධායක බලතල ටිකක් අඩු කරන්න ස්වාධීන කොමිශන් සභා පත් කිරීම. 18 ඒක වෙනස් කරන්න ගෙනාපු සංශෝධනය. තමන් කරන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැති. පක්ෂයේ නායකයා මොකක් හරි කව්වොත් ඒකට අත උස්සන ජාතියේ මහජන නියෝජිතයෝ පිරිසක් හිටියේ. හරියට සිග්නල් කනු වගේ.

ඒ වගේ අය ආයෙත් පාර්ලිමේන්තු යවනවද නැත්නම් රටට ප්‍රතිපත්තිමය මට්ටමේ යමක් කරන්න පුළුවන් දැනුවත් කෙනෙක් යවනවද කියලා මහජනයා තීන්දු කරන්න ඕනෑ. තල වැපිරුවොත් තල තමයි ලැබෙන්නේ. මෙනේරි ලැබෙන්නේ නෑනේ.

රටේ දුප්පත්කම නැති කරන්නේ කොහොමද, රැකියා ඇති කරන්නේ කොහොමද, අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා රටගැන, ලෝකය ගැන පුළුල් අවබෝධයක් මහජන නියෝජිතයාට තියෙන්න ඕනෑ. මහජනතාවට සමීපව ඉඳලා ඒ ක්ෂේත්‍රවල වැඩ කරන්න පුළුවන් අය තමයි ව්‍යවස්ථාදායකයේ ඉන්න ඕනෑ.
ව්‍යවස්ථාදායකය නියෝජනයට අපේ රටේ තියෙන හොඳම උදාහරණය තමයි සී.ඩබ්ලියු.ඩබ්ලියු. කන්නන්ගර මහත්තයා. එතුමා 1943 රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිදහස් අධ්‍යාපනය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. 1945 දී සම්මත කරගත්තා. එතුමා උගතෙක්, ගුරුවරයෙක්, නීතිඥයෙක්. බොහෝම මහන්සියෙන් මිනිසුන්ට මේක පැහැදිලි කරලා දීලා, බලවත් කණ්ඩායම්වල විරෝධතා මැද තමයි මේ පනත සම්මතකරගත්තේ. ඒ දුර දක්නා නුවන, අවබෝධය, හැකියාව ගැන අපට හිතාගන්නවත් බෑ. අද ඊට කිට්ටු කරන්න කිසි කෙනෙක් නෑ.

ඒ අවදියේ හිටපු බොහෝ නායකයින්ට උගත්කම තිබුණා, දේපල තිබුණා තව හම්බකරගන්න අවස්ථාව තිබුණත් ඒ අය මැරුණේ තමන්ගේ තිබුණ දේපලත් මහජනයා වෙනුවෙන් දිය කරලා. මැරෙනකොට ඔය හැමෝගෙම ගිණුම්වල තිබුණේ රුපියල්, ශත ගණන් මිසක්. ලක්ෂ ගණන් නෙමෙයි.
නමුත් හැත්තෑ හතෙන් පස්සේ තමයි පිටරටවල ගිණුම් තියෙන, දේපල තියෙන මහජන නියෝජිතයෝ බිහි වුණේ.
අද රටේ ඉන්න බොහෝ උගත්තු කන්නංගර මහත්තයා ගෙනාව නිදහස් අධ්‍යාපනය නිසා ආව අය. එයා කරපු ප්‍රතිපත්ති වෙනස සියවස් ගණනාවක් යනතුරු රටේ ජනතාවට සේවය කරනවා. නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් තුන්සිය ගණනක් ඉන්නවා කියලා කියනවානේ. ඒ හැමෝම දුප්පත් පවුල්වලින් ඇවිත් නිදහස් අධ්‍යාපනය නිසා ඉහළට ගිය අය.

නමුත් අද කන්නංගර මහත්තයා ගැන කී දෙනාද දන්නේ. අසනීප වෙලා ජාතික රෝහලට ඇතුල් වෙලා නම කියනකොට සැකේට හොයලා බැලුවාම තමයි කන්නන්ගර මහත්තයා කියලා දැනගෙන තියෙන්නේ.

සුද්දන්ගේ බලපෑම තිබුණු, ලංකාවේ ප්‍රභූ ආධිපත්‍යයක් තිබුණු අමාරු කාලෙක තමයි එයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්නේ. නමුත් එතුමා ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් නෙමෙයි. දුප්පත් පවුලක කෙනෙක්. ප්‍රභූන් එක්ක ගැවසිලා, මිනිස්සු ගැන හිතලා, ළමයි ගැන හිතලා, දුප්පතුන් ගැන හිතලා. මේ වගේ පනතක් සම්මත කරගත්තා කියන්නේ ඔහු ඉතා දක්ෂයෙක්.

හැම දිස්ත්‍රික්කයකටම එකක් හෝ දෙකක් ලැබෙන විදිහට මධ්‍ය විධ්‍යාල 51 ක් හැදුවා, ඒකෙන් තමයි පසු කාලීනව බොහෝ අය ඉහළට එන්නේ. ශිෂ්‍යත්වය පාස් වෙලා, මධ්‍ය විද්‍යාලයට ගිහිල්ලා, හොස්ටල්වල ඉඳලා ලැබුණු අවස්ථාව නිසා බොහෝ ළමයි විශ්වවිද්‍යලය දක්වා ගියා.

සමාජයේ කන්නන්ගර මහත්තයා වගේ අය ඉන්නවා. නැතුව නෙමෙයි. ඒ අයව හඳුණා ගන්න දැනුමක්, වුවමනාවක් මහජනයාට තිබුණේ නෑ.

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

ප්‍රභූ සංශයවාදය සහ ‘නිර්ප්‍රභූ ගැමියන්ටත් රට පාලනය කළ හැකිද?’ජයදේව උයන්ගොඩලංකාවේ දේශපාලන තරගය ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේ...
16/10/2024

ප්‍රභූ සංශයවාදය සහ
‘නිර්ප්‍රභූ ගැමියන්ටත් රට පාලනය කළ හැකිද?’

ජයදේව උයන්ගොඩ

ලංකාවේ දේශපාලන තරගය ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මාරුවී තිබියදී, රටේ දේශපාලනයේ සිදුවෙමින් පවත්නා ප්‍රවණතා කිහිපයක් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

ජනාධිපති තරගයෙන් ජයගත් ජාතික ජන බලය දේශපාලන වශයෙන් ශක්තිමත් වීමත්, විරුද්ධ පක්‍ෂ තවදුරටත් දුර්වල වෙමින් ව්‍යාකුලත්වයට පත්වීමත් ප්‍රධාන දේශපාලන ප්‍රවණතාවක් බව පෙනේ. මෙය පුදුමය ඇතිකරවන දෙයක් නොව, සාමාන්‍යයෙන් අපේක්‍ෂා කළ හැකි වර්ධනයකි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින්, ප්‍රකාශයට පත්වූ එක් යථාර්ථයක් වන්නේ තරගයෙන් දෙවැනි තැනට ආ සජබයේත්, පරාජයට පත්වූ අන් විරුද්ධ පක්‍ෂ කඳවුරුවලත් දේශපාලන ශක්තීන් නොව දුර්වලතාය. එම දුර්වලතා නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නිවැරදි කර ගැනීමටවත්, බරපතළ ලෙස දුර්වලවී තිබෙන මහජන විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටවත් එම පක්‍ෂවලට හැකි ඒවා නොවේ.

https://www.anidda.lk/2024/10/13/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b7%e0%b7%96-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a/

ඡන්ද ක්‍රමය කෙසේ වෙනස් විය යුතුද?නීතිඥ ලිහිණි ප්‍රනාන්දු''මේ තියෙන ඡන්ද ක්‍රමයේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ...
16/10/2024

ඡන්ද ක්‍රමය කෙසේ වෙනස් විය යුතුද?

නීතිඥ ලිහිණි ප්‍රනාන්දු

''මේ තියෙන ඡන්ද ක්‍රමයේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. හොඳ පැත්ත තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මහජන නියෝජිතයන්ට සුළු පක්ෂවලට, විවිධ ජාතීන්ට හොඳ නියෝජනයක් ලැබෙනවා මේ හරහා. උදාහරණයක් හැටියට සුළුතර පක්ෂයකින් වුණත් සීමිත ඡන්ද සංඛ්‍යාවක් ගත්තත් බෝනස් ක්‍රමය යටතේ ඔවුන්ට එක් ආසනයක් හෝ ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙම නැතිව ආසනයකට එක් මන්ත්‍රීවරයෙක් වගේ ක්‍රමයක් තිබුණානම් ආසනයෙන් තේරී පත් වන පුද්ගලයා ආසනයට වගකියනවා. ජනතාවට වගකියන මන්ත්‍රී කෙනෙක් පත් වෙනවා. හැබැයි ඒ වගේ ක්‍රමයකට යනවානම් සුළු පක්ෂවලටත් නියෝජනයක් ලැබෙන විදියට ඡන්ද ක්‍රමය සැකසිය යුතු වෙනවා. වර්තමානයේ තියෙන ක්‍රමය අනුවනම් සුළු පක්ෂ වලටත් යම්කිසි නියෝජනයක් ලැබෙනවා. නමුත් මේ ක්‍රමයේ තියෙන දුර්වලතාවයක් තමයි ඉදිරිපත් වන අපේක්ෂකයාට දිස්ත්‍රික්කයේම තරග කරන්න වන නිසා විශාල මුදල් ප්‍රමානයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මුදල් නැති අපේක්ෂකයෙක් ඒ දේ කරන්නේ කොහොමද? මේ ඡන්ද ක්‍රමය තුළ අපේක්ෂකයන් ම්මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ විවිධ අරමුණු තියෙනවා. සමහර අපේක්ෂකයෝ ඉල්ලන්නේ දිනන්න. සමහර අපේක්ෂකයෝ ඉල්ලන්නේ දිනන්න නෙමෙයි. ඒ වගේම මේ තත්ත්වය තුළ අලුතෙන්ම දේශපාලනයට එන කෙනෙක්නම් මේ ඡන්ද ක්‍රමය යටතේ ජයග්‍රහනය කිරීම ඉතාමත් අපහසුයි. ඔහුට අත දිග ඇරලා මුදල් වියදම් කරන්න බැඉනම් ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙම දිනන අදහස අත් ඇරලා. කාන්තාවක්නම් ඒක තවත් අමාරුයි. ලොකු සල්ලි කුට්ටියක් නැත්නම් ඔහුට මේ ඡන්ද ක්‍රමය තුළ අවස්ථාවක් නැහැ. ගොඩක් වෙලාවට නාමයෝජනාවත් ලැබෙන්නේ නැහැ. අද වෙද්දි මැතිවරණ ක්‍රමය දූෂිත වෙන්නත් ලොකු හේතුවක් වෙලා තියෙන්නේ මෙන්න මේ තත්ත්වය. සමහර මන්ත්‍රීවරු අත දිග ඇරලා ඡන්දෙදි වියදම් කරලා ඇවිල්ලා එක ටෙන්ඩර් එකකින් ඒ වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය හොයා ගන්නවා. රටක් විදියටත් පල්ලෙහාට වැටෙන්න එක හේතුවක් තමයි මේක. මෙන්න මේක තමයි මේ ඡන්ද ක්‍රමයේ තියෙන නරක පැත්ත.

මේ තත්ත්වය වළක්වා ගන්න තියෙන එක විකල්පයක් තමයි පක්ෂයමඟින් ඡන්ද යාන්ත්‍රණය මෙහෙය වීම. පක්ෂයෙන් තමයි ඡන්ද යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. පක්ෂයෙන් තමයි කැම්පේන් එක කරන්නේ. තරගකරුවන්ට මනාපවලට තනිවම තරග කරන්න බැහැ. ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගය තරග කළේ ඒ විදියට. ඒ ක්‍රමය තුළ සියලු දෙනාටම සම බිමක් හදනවා. සියලු දෙනාම දිස්ත්‍රික්කය තුළ එක විදියට කැම්පේන් කරනවා. අපේක්ෂකයන් 21 දෙනෙක් ඉන්නවානම් ඒ 21ටම එක විදියට කැම්පේන් එකක් ලැබෙනවා. අනෙක් ප්‍රධාන පක්ෂවල එවැනි ක්‍රමයක් අපි දැක්කේ නැහැ. තමන්ගේ මනාපයට තමන් තරග කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්තිමේට වෙන්නේ තමන්ගේ පක්ෂය ඇතුළෙම මනාප පොරයක් නිර්මාණය වෙන එක. ප්‍රතිවාදියා බවට පත් වන්නේ අනෙක් අපේක්ෂකයාට වඩා තමන්ගේම පක්ෂය ඇතුළේ ඉදිරිපත්වෙලා ඉන්න අපේක්ෂකයා.

ඇමරිකාවේ තියෙනවා බයි කැමරන් මොඩෙල් කියලා ඡන්ද ක්‍රමයක්. බයි කැමරන් මොඩෙල් එකේදි වෙන්නේ සෙනට් එක තමයි රටේ මූලික පනත් සම්මත කර ගන්න තැන. ලංකාවේ වෙලා තියෙන්නේ සියලුදෙනාම ඉන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් ඒ හැමෝටම අණ පනත් ගැන දැනුමක් නැහැ. සමහර මන්ත්‍රීවරුන් ඉන්නවා තමන් අත උස්සන්නේ මොනවටද කියලවත් දැනුමක් නැහැ. ඒ දේවල් කියවන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ මූලිකම දේ තමයි නීති සම්පාදනය කිරීම. එහෙමනම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ නීති සම්පාදනයට දැනුමක් තියෙන මිනිස්සු. මම හිතන්නේ හැම මනුස්සයෙක්ටම ඒ අයිතිවාසිකම දෙන එක වැරදියි. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විකිණෙන්නේ මේ නිසා. අපි කියනවා උගත් බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කියලා. බයි කැමරන් මොඩල් එක අනුව අපිට පුළුවන් උගත් බුද්ධිමත් පිරිසගෙන් සෙනෙට් එක හදන්න. හවුස් ඔෆ් රෙප්ප්‍රෙසෙන්ටේටිව් යටතේ ඕනෑනම් අපිට පුළුවන් අදාළ නියෝජිතයෙකුත් පත් කර ගන්න. හැම ජන කොට්ඨාශයක්ම ඒ ක්‍රමයෙන් නියෝජනයක් ලැබෙනවා. ඒ වගේ තැනකට යන්න රට තුළ සංවාදයක් ගොඩනගනවානම් අපිට පුළුවන් මේ ඡන්ද ක්‍රමයේ තියෙන අඩුපාඩු හදා ගන්න වගේම හොඳ නියෝජනයක් ලබා ගන්න.''
අසංකා සංජීවනී

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ
මංජුල ගජනායක

''ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව නිරන්තර කතාබහක් ඇති වෙනවා. නමුත් මෙවැනි කතාබහක් නිර්මාණය විය යුත්තේ විශේෂයෙන්ම මැතිවරණයක් පැවැත්වෙන කාලයේ දී නොවෙයි. මැතිවරණයක් නොපැවැත්වෙන කාලයේ දී. එබැවින් අප විශ්වාස කරනවා මැතිවරණ නොපැවැත්වෙන කාල තුළ ශ්‍රී ලංකාවේ මෙවැනි කතාබහක් ඇතිවිය යුතුයි සහ ජනී ජනයාට ඒ සඳහා සහභාගී වීමට ඉඩ හසර ලබා දිය යුතුයි කියලා. ඒකට අදාළව මම හිතන මුලීකම දේ තමයි ශ්‍රී ලංකාවේ නව මැතිවරණ ක්‍රමයක් හෝ තියෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර නිරන්තරයෙන්ම සිදු කළ යුතු ක්‍රියාවක් තමයි පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනසකට ලක් කිරීම. අසහාය විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කරනු ලබන මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ කවර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නත් එය කිසිසේත්ම ප්‍රන්මාණවත් නොවන සහ ඵලදායී නොවන ලේඛනයක් බවට පත් වෙනවා. එම නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතුයි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. ඒ හැර වෙනත් විකල්පයක් තියෙන බවක් අපිට පෙනෙන්නට නැහැ. උදාහරණයක් විදියට දැන් තියෙන ක්‍රමයටම ඡන්ද ක්‍රමය වෙනස් කළොත් ජනාධිපතිවරයාට බලයේ ඉන්න ගමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් සම බිමක් නිර්මාණය වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ වගේම විශාල රාජ්‍ය දේපළ ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒකෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නැතිව ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කිරීම ඵලදායී නොවන වැඩක් බව. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්ම මැතිවරණ ක්‍රමය නිර්ණය කරන්න ඕනෑ. ඊටත් අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ.

මැතිවරණ ක්‍රමය ලංකාවේ හැදෙන්න ඕනෑ පාර්ලිමේන්තුව ශක්තිමත් වන අගමැතිවරයා ප්‍රමුඛ කර ගත් රාජ්‍ය තන්ත්‍රයක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා. මෙය තමයි මෙහි න්‍යයායාත්මක දර්ශනය බවට පත්විය යුත්තේ. ඊට අමතරව තවත් කරුණු කිහිපයක් මතක් කරන්නට තියෙනවා. එකක් තමයි මැතිවරණ ක්‍රමය කෙසේ වෙතත් මැතිවරණයට අදාළ විවිධ නීති තියෙනවා. මම හිතන්නේ වඩාත් වැදගත් එක් පද්ධතියක් බවට පත් කිරීම. එක මැතිවරණ ලේඛනයක් බවට පත් කිරීම. හැම පොතක්ම එක් එක් මැතිවරණයට අදාළව පරිහරණය කරනවාට වඩා ඒ ඒ අණ පනත්වල තියෙන කරුණු ඒකරාශී කොට ශ්‍රී ලංකාවේ එකම මැතිවරණ නීතියක් සම්පාදනය කිරීම ඉතාමත්ම වැදගත්. අනෙක් කරුණ තමයි සමස්ථ ලංකාවම ගැන හිතනවානම් මූලිකව සිද්ධ වෙන්න ඕනෑ කාරණයක් තමයි මැතිවරණ ක්‍රමයේ ස්වරූපය වටහා ගැනීම. ඒ සඳහා දැනට විවිධ ක්‍රම අනුගමනය කරනවා. මම පෞද්ගලිකව සමානුපාත නියෝජන ක්‍රමයට කැමතියි. නමුත් අද වන විට පෙනී යනවා බොහෝ දෙනෙක් මිශ්‍ර සමානුපාත ක්‍රමයකට කැමතියි කියලා. අපිට අනුපාතය හොයා ගන්න පුළුවන් කොට්ඨාශයට කොපමණද?, අතිරේක ලැයිස්තුවට කොපමණද කියලා. කෙසේ වෙතත් මිශ්‍ර සමානුපාතික නියෝජනයක් වෙත පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන යන මේ තුනම එකට එකතු වෙනවානම් මට හිතෙනවා හොඳයි කියලා. ඒ අනුව මැතිවරණ ක්‍රමය බවට පත් වෙන්නේ මිශ්‍ර සමානුපාත ක්‍රමය පදනම් කර ගත්ත ක්‍රියාවලියක්. එවැනි අවස්ථාවක දී වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 225 අඩු කිරීම හෝ වැඩි කිරීම අවශ්‍ය නොවන බව තමයි මට වැටහෙන්නේ. මේ 225 පාදක කර ගනිමින් අපි ලබා ගන්න අනුපාතයට අනුව කොට්ඨාශ නිර්ණය කරන්න ඕනෑ. සමහරවිට දැනට තියෙන කොට්ඨාශ එකතු කරන්න වේවි. දැවැන්ත වෙනසක් කරන්න වේවි. මොකද දැනට තිබෙන 160 අපට සිද්ධ වෙනවා අනුපාතයට අනුව යම් ප්‍රමාණයක් අඩු කරන්න. ඒක සමහරවිට කොට්ඨාශ 120ක් වෙන්නත් පුළුවන් 100ක් වෙන්නත් පුළුවන්. කොට්ඨාශ ක්‍රමයට අදාළව සීමා නිර්ණ ක්‍රියාවලියක් මේ මැතිවරණ ක්‍රියාවලියත් එක්කම ඉදිරියට ගෙන එන්න ඕනෑ. එහි දී පාර්ලිමේන්තුව ශක්තිමත් වන නිසා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනෑ. නමුත් නාමමාත්‍රික ජනාධිපතිවරුන් එක් අයෙක් නොවෙයි දෙදෙනෙක් සිටීම ප්‍රමාණවත් බවයි අපට හිතෙන්නේ. උදාහරණයක් විදියට ජනාධිපතිවරයා එක් වතාවක දී සිංහල ජනතාව නියෝජනය කරමින් නාමමාත්‍රික ජනාධිපතිවරයා බවට පත් වුණොත් ඊළඟ වතාවේ අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකුට. ඒ ආකාරයේ රොටේට් කරන්න පුළුවන් සිස්ටම් එකක් තමයි හැදෙන්න ඕනෑ.''
අසංකා සංජීවනී

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර

''78 ට කලින් කේවල ක්‍රමය තිබුණා. ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි දැන් අපේ රටේ භාවිත වෙන්නේ. සමානුපාතික ක්‍රමයේ වාසිසහගත පැත්තක් වගේම අවාසි සහගත පැත්තකුත් තිබෙනවා.
ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් 2002 ඉඳලා පාර්ලිමේන්තු තේරීම්කාරකසභා කිහිපයක් තිබුණා. මේ බොහෝ අවස්ථාවල ඒවා පිහිටෙවුවේ ඇත්තටම ජනතාවගේ වුවමණාවට නොවෙයි. ඒ ඒ වෙලාවල්වල හිටපු දේශපාලකයින්ගේ වුවමණාවලට. කාලයක් තිස්සේ මේ ඡන්ද ක්‍රමයේ තියෙන ගුණ-දොස් ගැන සිවිල් සමායේ විශාල කතා බහක් ඇති වෙලා තියෙනවා. සංවිධාන විසින් තේරීම්කාරකසභාවලට අදහස් දීලා තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව ඡන්ද ක්‍රමයේ ලොකු යාවත්කාලීන වීමක් සිද්ධ වෙලා නෑ. ඒ කොහොම වුණත් ඡන්ද ක්‍රමයේ සංශෝධන කරනවා නම් ඒක සියලු පාර්ශව එක්ක කතා කරලා, කාලයක් අරගෙන කරන්න ඕනෑ. හදිසියේ කරන්න හොඳ නෑ.
අපට මතකයි 1977 ඡන්දයේදී ජේ.ආර්. ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිශතයක් ලෙස 39% ක් අරන් තිබුණත් ආසන 8 කට අඩු වුණා. එහෙම වුණේ ඒ වෙලාවේ පැවතිච්ච කේවල ඡන්ද ක්‍රමය නිසා. 1988 වෙනකම් කඩඉම තිබුණේ 12.5% ක්. 88 න් පස්සේ 5% කඩඉම ආවේ. ඉන් කුඩා පක්ෂවලට අවස්ථාව ආවා. ඒ වගේම වාර්ගික පදනම මත ඡන්දය ඉල්ලන අයට වැඩියෙන් අවස්ථාව ලැබුණා. මේ සමානුපාතික ක්‍රමය නොතියෙන්න පහුගිය මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණ මන්ත්‍රීධුර තුනවත් නොලැබෙන්න ඉඩ තිබුණා. ඒ නිසා කුඩා දේශපාලන කණ්ඩායම්වලට නියෝජනයක් ලැබීම මේ සමානුපාතික ක්‍රමයේ හොඳ ලක්ෂණයක්.
සමානුපාතික ක්‍රමයේ තියෙන අවාසි ගැන බැලුවොත්, 89 මැතිවරණයෙන් පත් වෙච්ච ඇතැම් මන්ත්‍රීවරු අදටත් පාර්ලිමේනතුවේ ඉන්නවා. 94 ආව කණ්ඩායමක් තාමත් අඛණ්ඩව අවුරුදු 30 තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. තමන්ගේ මැතිවරණ කොට්ඨාසයට වැඩ කරලා නැති, ප්‍රතික්ෂේප වූ මන්ත්‍රීවරයාට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දවලින් දිනන්න පුළුවන්. 78 ට කලින් තිබුණ කේවල ක්‍රමය තුළ නියෝජිතයා වැඩ කළේ නැත්නම් අවුරුදු 5 න් පහට ඔවුන් මාරු කිරීමේ හැකියාව ඡන්දදායකයාට තිබුණා. ‘225 ම එපා’ කියන තැනට මහජනයා පත් වෙන්න මෙන්න මේ කාරණයත් හේතු වෙලා තියෙනවා.
අපේ රටේ ඡන්දය ප්‍රකාශ නොකරන ඡන්දදායකයින් සහ ප්‍රතික්ෂේප වෙන ඡන්ද පිළිබඳ අපි යම් තක්සේරුවක් කරන්න අවශ්‍යයි. තමන් මේ අපේක්ෂකයින් කාටවත් කැමති නැත්නම්, ඡන්ද පත්‍රිකාවේ යටින්ම ‘ඉහත සඳහන් කිසිවකු නොවේ’ කියලා තමන්ගේ අකමැත්ත තෝරන්න ක්‍රමයක් ඉන්දියාවේ තියෙනවා. ඒකෙන් මන්ත්‍රීවරුන් පිළිබඳ මහජනයා තුළ තිබෙන කැමැත්ත හෝ අකමැත්ත මොකක්ද කියලා අදහසක් ගන්න පුළුවන්. ඉන්දියාවේ දේශපාලන පක්ෂ මේකට විරුද්ධ වුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දුන්නා ඒක එහෙමම තියන්න කියලා.
ඒ වගේම ඡන්දය දිනයේ ඡන්දය භාවිත කරන්න අවස්ථාව නොලැබෙන ප්‍රජාවන් සඳහා ඡන්දය දාන්න ක්‍රම හදා ගන්න අවශ්‍යයි. සිවිල් සංවිධාන සහ මැතිවරණ කොමිසම කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් ඉන්න කාරණයක් මේක. උදාහරණයක් හැටියට විදෙස්ගත අය, බහුදින ධීවර යාත්‍රාවල මුහුදු යන අය, බන්ධනාගාර රැඳවියන්, පෞද්ගලික ආරක්ෂක අංශවල සේවය කරන අය, ආයෝජන කලාපවල වැඩ කරන අය, මැතිවරණ නිරීක්ෂකයින්, මාධ්‍යවේදීන් වගේ අයට ඡන්දය දාන්න ක්‍රමයක් හදන්න ඕනෑ.
මේ පාර අපේ මහ මැතිවරණයට ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11 ක්. සමහර ආයතන ඕටී වගේ ඒවා වැඩි වෙන විදිහට ‘ඕවර් බජට් කරනවා’ කියලා මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියලා තිබුණා. ඒ වගේ අනවශ්‍ය වියදම් මගහරවා ගන්න ඉලෙක්ට්‍රොනික වෝටිං යන්ත්‍ර භාවිතය හොඳ ආදේශකයක්. ඒකෙන් ඡන්දය සඳහා යන විශාල වියදම අවම කරගන්න පුළුවන්. අපි වගේ කුඩා රටකට ඒක කරන්න පුළුවන්. අපේ රටේ තියෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස් ගණනක්. ඒ වගේ ක්‍රමයකින් ඡන්දය ගණන් කිරීමත් ඉතාම පහසු වෙනවා. ඉන්දියාව 2000 න් පස්සේ සියලු මහ මැතිවරණ සඳහා ඡන්දය පවත්වන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට.
මේ ක්‍රමය අනුව දිස්ත්‍රක්කයම එක ඡන්ද කොට්ඨාසයක්. ඒ නිසා අපේක්ෂකයෙකුට විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න වෙනවා. ඒකට විශාල මුදලක් වැය වෙනවා. හොඳ මිනිසුන්ට දේශපාලනයට එන්න තියෙන ඉඩ ඇහිරෙන්නත් ඒක බලපාලා තියෙනවා.
උගත් අය විතරක් පාර්ලිමේන්තු එන ක්‍රමයක් හදන්න ඕනෑ කියලා තර්කයක් ඇතැම් අය ගේනවා. නමුත් පකිස්ථානය ඔය වගේ සංශෝධනයක් ගෙනාවා. නමුත් දූෂණ අක්‍රමිකතා අඩු වුණේ නෑ. සමාජයේ පැතිකඩක් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ඒක උගත් නූගත් අයගේ සම්මිශ්‍රණයක් වෙන්න ඕනෑ. ජාතික ලැයිස්තුවේ 29 දෙනෙක්ට අවස්ථාව දීලා තියෙන්නේ උගතුන් ගේන්න. නමුත් පරාජිත අපේක්ෂකයෝ සහ පක්ෂයට සල්ලි වියදම් කරන අය ගේන්නයි අපි ඒ අවස්ථාව පාවිච්චි කරන්නේ. ඒ වගේ දේවල් නියාමනය වෙන වැඩපිළිවෙලක් හැදෙන්න ඕනෑ.
දේශපාලනයේ මව්කිරි කියන්නේ මුදල්’ කියලා ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් කියලා තියෙනවා. මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීමේ ප්‍රශ්නය කේවල ක්‍රමය තියෙනකොටත් තිබුණා. ගාල්ලේ දහනායක මහත්තයා සහ අමරසූරිය මහත්තයා ඡන්දය ඉල්ලපු වෙලාවේ දහනායක මහත්තයා කිව්වේ ‘මම සල්ලි ගහ හොලවනවා ඔයගොල්ලෝ සල්ලි අහුලාගෙන මට ඡන්දය දෙන්න’ කියලා.
පළාත්පාලන මැතිවරණයකදී මොණරාගල අපේක්ෂකයෙක් කෝට් 4 ක් වියදම් කළා කියලා පැෆ්රල් සංවිධානය නඩුවක් දැම්මා. නමුත් මහාධිකරණයේ නඩුව අහලා තීන්දුව එනකොට ඒ මන්ත්‍රීවරයාගේ ධුර කාලය අවසන් වෙලා ඉවරයි. නිදහසෙන් පස්සේ තබුණු ආණ්ඩුක්‍රමවල මැතිවරණ සම්බන්ධ නඩු අහන්න වෙනම උසාවියක් තිබුණා. පස්සේ ඒ වගේ ප්‍රතිපාදන නැති වුණා. මේ පාර ක්‍රියාත්මක වෙච්ච මැතිවරණ වියදම් නියාමන පනත වගේ ඡන්ද ක්‍රමයට අදාළව අති වෙච්ච හොඳ වෙනස්කම් තියෙනවා.
නාමයෝජනා දීමේදී බොහෝ පක්ෂ බලන්නේ ඒ ඒ බල ප්‍රදේශයේ සෙනග වැඩියෙන් ඉන්න කෙනාට අවස්ථාව දෙන්න. නැතිනම් සල්ලි තියෙන කෙනෙක් දාන්වා. නැත්නම් ඒ ඒ ප්‍රදේශයේ කුලය සලකලා ඒ අනුව අපේක්ෂකයෙක් දානවා. ඒ ක්‍රමයෙන් එලියට එන්න තවම අපිට බැරි වෙලා තියෙනවා.
කාන්තා නියෝජනය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදනය අවභාවිත වෙන බවක් පෙන්න තියෙන නිසා ඒ වෙනුවට කාන්තා නියෝජනය වැඩි වෙන විදිහේ ප්‍රායෝගික ක්‍රමවේදයක් හැදෙන්න අවශ්‍ය වෙලා තියෙනවා.
ඒ නිසා මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවාට වඩා මේ ක්‍රමය වැඩි දියුණු කරගැනීම සඳහා අවශ්‍ය තවත් සංශෝධන, ප්‍රතිපාදන ගේන්න අවශ්‍යයි. හැබැයි තවමත් ඉන්දියාවෙත්, මහා බි්‍රතාන්‍යයෙත් කේවල ක්‍රමය හොඳින් භාවිත වෙනවා.''
ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

14/10/2024
ලසන්ත රුහුණගේශ්‍රී ලංකා ආර්ථිකය නම් වූ දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීම සඳහා තමා බරගත් බව කී හිටපු අනුප්‍රාප්තික ජනාධිපති ර...
09/10/2024

ලසන්ත රුහුණගේ
ශ්‍රී ලංකා ආර්ථිකය නම් වූ දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීම සඳහා තමා බරගත් බව කී හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු එම ධුරයේ කටයුතු කළ 2022 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා වූ මාස 26ක කාලයේදී විදේශ රටවල් සඳහා සංචාරය 24ක් සිදුකර ඇත.

ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ 2022 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක නිරතවී ඇති අතර 2023 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 16ක් සිදුකර ඇත. එමෙන්ම 2024 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක් සිදුකර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වර්ෂය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් වීවීඅයිපී (ඉතා ඉතා වැදගත් පුද්ගලයන්) චාරිකා සඳහා ලබාදී ඇති ප්‍රතිපාදනය රුපියල් 62,178,000ක් වන අතර ඉන් රුපියල් 59,020,000ක් වියදම් කර තිබේ. එය වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 95%ක් වැය කිරීමකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව වීවීඅයිපී සංචාර සඳහා 2023 වර්ෂයේදී ජනාධිපති කාර්යාලයෙන් එම අමාත්‍යාංශයට ලබාදී ඇති මුදල රුපියල් 384,853,000ක් වන අතර ඉන් රුපියල් 373,809,000ක් වැයකර තිබේ. එම වැය කිරීම වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 97%කි.

2024 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලය වීවීඅයිපී සංචාර සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට කොතරම් මුදලක් ලබාදී තිබේද යන්න නිශ්චිතවම වාර්තා නොවෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර සඳහා ගුවන් ටිකට් පත් වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳ වාර්තාවක් අපට ලැබී තිබේ. එම වාර්තාවේ සඳහන් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 වර්ෂයේ කළ ස්විට්සර්ලන්ත, උගන්ඩා හා ඕස්ටේ්‍රලියානු සංචාර පමණක් වන අතර 2024 මැයි මාසයේ සිදුකළ ඉන්දුනීසියාවේ බාලි නුවර සංචාරය පිළිබඳ තොරතුරු එහි ඇතුළත් වන්නේ නැත.

එම වාර්තාවේ ඇති තොරතුරු අනුව ස්විට්සර්ලන්තයේ හා උගන්ඩාවේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට්පත්වලට රුපියල් 16,825,000ක් වැයකර තිබේ. එය හිටපු ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් විය නොහැකි අතර ඔහු සමඟ එම සංචාරවල නිතර වූ පිරිසේම ගුවන් ටිකට්පත් සඳහා වැයකළ වියදම විය යුතුය. එමෙන්ම එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඕස්ටේ්‍රලියාවේ කළ සංචාරය වෙනුවෙන් ගෙවීම් සිදුකර නොමැති බවයි.

එම වාර්තාවට අනුව ජනාධිපතිවරයා 2023 වර්ෂයේ කළ විදේශ සංචාර වෙනුවෙන් මිලදී ගත් ගුවන් ටිකට්පත් වෙනුවෙන් රුපියල් 61,783,593.50ක මුදලක් වැය කර තිබේ. ඒ 2023 මැයි 04 සිට 09 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,028,800ක්, මැයි 23,24 සිංගප්පූරුවේ හා මැයි 24 සිට 27 දක්වා ජපානයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 3,176,988.50ක්, ජුනි 17 සිට 21 දක්වා එක්සත් රාජධානියේ හා ජුනි 21 සිට 25 දක්වා ප්‍රංශයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 11,145,500ක්, ජුලි 20,21 ඉන්දියාවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 313,464ක්, අගෝස්තු 21,22 සිංගප්පූරුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,561,500ක්, සැප්තැම්බර් 13 සිට 16 දක්වා කියුබාවේ, සැප්තැම්බර් 16 සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ හා සැප්තැම්බර් 21 සිට 24 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා රුපියල් 23,646,817ක්, සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 01 දක්වා ජර්මනියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,398,300ක්, ඔක්තෝබර් 15 සිට 19 දක්වා චීනයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 6,293,418ක්, නොවැම්බර් 16 සිට 18 දක්වා මාලදිවයිනේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 1,069,900ක්, නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,148,906ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැය කර ඇත.

2022 වර්ෂය ගත් කල එම වර්ෂයේ සැප්තැම්බර් 17 සිට 20 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,696,140ක්, සැප්තැම්බර් 26 සිට 28 දක්වා ජපානයේ හා සැප්තැම්බර් 28 සිට 30 දක්වා පිලිපීනයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 5,903,300ක්, නොවැම්බර් 06 සිට 09 දක්වා ඊජිප්තුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,538,552ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැයකර ඇත.

ජනාධිපතිවරයා හෝ ඔහු සමඟ විදේශගත වන නිලධාරීන්ට ගෙවීම් සිදුකරන්නේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් නොවේ. ඊට අදාළව තවත් දීමනා හා ගෙවීම්ද තිබේ. ඒ සම්බන්ධයෙන් වන ප්‍රධාන චක්‍රලේඛය නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර්එච්එස් සමරතුංග විසින් 2015.05.15 දින සහිතවය. ඒ රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් ලෙස සඳහන් කරමින්ය.

සාකච්ඡා, සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් ඇතු`ඵ සියලු රාජකාරි කටයුතු සඳහා විදේශගත වන නිලධාරීන්ට එය අදාළය. එම දීමනා අතර එකක් වන්නේ අනියම් දීමනාවක් ගෙවීමය. නිල දූත කාර්යයක් සඳහා රජය නියෝජනය කරමින් විදේශගත වීමේදී විදේශ රජය හෝ ප්‍රදානක ආයතනය විසින් එම රටේදී දරනු ලබන ගමන් වියදම්, ගුවන් තොටුපළ ගාස්තු, දූරකථන වියදම් යනාදිය පියවා ගැනීම සඳහා කිසියම් මුදලක් නොගෙවන විටදී එක් දිනකට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 75 බැගින් උපරිම දින 15ක් සඳහා ඒ යටතේ ලැබේ.

එවැනි විදේශ ගතවීමකදී නවාතැන් හා ආහාරපාන සඳහා වූ වියදම් විදේශ රජය හෝ ප්‍රදානක ආයතනය විසින් නොදරනු ලබන අවස්ථාවකදී සංයුක්ත දීමනාවක් ගෙවනු ලැබේ. එම සංයුක්ත දීමනාව රටවල් අනුව බෙදා ඇති අතර ඊට අමතරව පළමුවන හා දෙවන ගණය වශයෙන්ද බෙදා ඇත. එම පළමු ගණයට අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා සභාපතිවරුන්, මහ නගර සභා පුරපතිවරුන් සහ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අයත්වේ.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6-2006 අනුව ආරම්භක මාසික වැටුප රුපියල් 36,755ක් හෝ ඊට ඉහළ වැටුප් පරිමාණයක් හිමි රජයේ නිලධාරීන්, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්, කොමිෂන් සභා සභාපතිවරුන්, විදේශ සේවයේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්, ජනාධිපති උපදේශකවරුන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, නියෝජ්‍ය අධිපති, සහකාර අධිපති, රාජ්‍ය බැංකු සභාපතිවරුන්, මහ කළමනාකරුවන් හා ප්‍රධාන විධායක නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් හා ප්‍රධාන විධායක නිලධාරීහු ඊට අයත් වෙති.

එම චක්‍රලේඛයේ උපලේඛනයේ ඇති 5 කාණ්ඩයට ඇතුළත් විදේුශ රටකට යෑමේදී පළමුවන ගණනයට අයත් පිරිසට පැය 24ක එක් දිනක් සඳහා සංයුක්ත දීමනා වශයෙන් ඇමරිකානු ඩොලර් 530ක් ගෙවනු ලබන අතර 4 කාණ්ඩයට අයත් රටකට යෑමේදී ඩොලර් 400ක් ගෙවනු ලැබේ. එම ගමන් වලදී විදේශ රජය විසින් නවාතැන් පහසුකම් පමණක් සපයන්නේ නම් ආහාර පාන සඳහා සංයුක්ත දීමනාවෙන් 35%ක් ලැබෙන අතර ආහාර පාන පමණක් ලැබෙන්නේ නම් සංයුක්ත දීමනාවෙන් 65% ක් ගෙවනු ලැබේ.

එම පස්වන කාණ්ඩයට අයත් රටවල් වන්නේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, ස්වීඩනය, සෙනිගල්, රුසියාව, නෝර්වේ, නයිගර්, නවසීලන්තය, නෙදර්ලන්තය, ලිබියාව, ජපානය, ඉතාලිය, ඊශ්‍රායලය, හොංකොං, ෆින්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, චීනය, චැඩ්, කැනඩාව, බ්‍රසීලය, ඔස්ටි්‍රයා, ඕස්ටේ්‍රලියාව හා ඇන්ගෝලාවයි.

4 වන කාණ්ඩයට අයත් රටවල් වන්නේ බෙල්ජියම, බෙනින්, බර්කිනාෆාසෝ, කැමරුන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොළොම්බියාව, කෝංගෝව, ක්‍රොඒෂියාව, කියුබාව, චෙක් සමූහාණ්ඩුව, කොංගෝ ජනරජය, ජිබුටි, ග්‍රීසිය, අයිස්ලන්තය, ඉන්දියාව, අයිවරි කෝස්ට්, ජෝර්දානය, කසකස්ථානය, ලැට්වියා, ලෙබනනය, ලක්ෂම්බර්ග්, මාලි, නව කැලිඩෝනියාව, නයිජීරියා, පෘතුගාලය, ස්ලොවෙක්, ස්පාඤ්ඤය, තායිවානය, තුර්කිය හා එක්සත් ආරබි එමීර් රාජ්‍යයයි.

ඊට අමතරව නිල චාරිකාවකදී සංග්‍රහ දීමනා වශයෙන් එක්සත් ජනපද ඩොලර් 750ක මුදලක්ද ලබාගත හැකි බවද, ගමන් බලපත්‍ර ගාස්තු හා වීසා ගාස්තු ලබාගත හැකි බවද, රුපියල් 2,400,000 නොඉක්මවන රක්ෂණ ආවරණයක්ද ලැබෙන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම චක්‍රලේඛය 2023 මාර්තු 20 දින චක්‍රලේඛයක් මගින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සංශෝධනයට ලක්කර ඇත. එයට අනුව අනියම් දීමනාව දිනකට ඩොලර් 40 බැගින් උපරිම දින 10ක් දක්වාද, සංයුක්ත දීමනාව 30% ක් අඩුකර ගෙවීමටද නියම කර ඇත. සංග්‍රහ දීමනාවේ වෙනස් සිදුකර නැත.

එම චක්‍රලේඛයද තවදුරටත් සංශෝධනයට ලක්කරමින් 2024 මැයි 28 දින මහින්ද සිරිවර්ධන මහතා තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ මගින් සිදුකර ඇත්තේ රක්ෂණ ආවරණ සීමාව රුපියල් 2,400,000 සිට ඇමරිකානු ඩොලර් 50,000 නොඉක්මවන තත්වයක් දක්වා වැඩි කිරීමය. ඩොලරයක් රුපියල් 300ක් වශයෙන් ගත්කල එය රුපියල් 15,000,000 ක් හෙවත් එක් කෝටි පනස් ලක්ෂය දක්වා රක්ෂණ ආවරණය වැඩි කිරීමකි.

මේ අනුව ජනාධිපතිවරයා ඇතු`ඵ විවීඅයිපි පිරිස්වලට විදේශ සංචාර යනු සැප භුක්ති විඳීමේ එක් අවස්ථාවක් බව පෙනී යයි. ජනාධිපති කාර්යාලයෙන් වාර්ෂිකව රුපියල් මිලියන ගණනක විශාල මුදලක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදෙනු ලබන්නේ එම සැප අහිමිකර නොගැනීමේ බලාපොරොත්තුවෙන්ය. එය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ විශාල විදේශ සංචාර තුළින් හඳුනාගත හැකිය. ජනතාවගේ අවධානයද මෙම කරුණ කෙරෙහි යොමුවිය යුතුය. මන්ද මේ ආකාරයට රුපියල් මිලියන ගණන්වලින් වැය වන්නේ පොදු මහජන මුදල් වන හෙයින්ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2022 විදේශ සංචාර
සැප්තැම්බර් 19 සිට 22 දක්වා එලිසබෙත් මහ රැජිනගේ රාජ්‍ය අවමඟල් උත්සවය සඳහා සංචාරය

සැප්තැම්බර් 26 සිට 28 දක්වා ජපානයේ හිටපු ජවාධිපති ෂින්සෝ අබේ මහතාගේ රාජ්‍ය අවමඟුල් උත්සවය සඳහා ජපාන සංචාරය

සැප්තැම්බර් 28 සිට 30 දක්වා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 55 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වීම සඳහා පිලිපීනයේ සංචාරය

නොවැම්බර් 7 සිට 8 දක්වා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මේලනයට සහභාගි වීම සඳහා ඊජීප්තුවේ සංචාරය

2023 විදේශ සංචාර
මැයි 04 සිට 08 දක්වා තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සංචාරය

මැයි 22 හා 23 සිංගප්පූරු සංචාරය

මැයි 24 හා 25 ජපාන සංචාරය

මැයි 26 හා 27 මැලේසියා සංචාරය

ජුනි 17 සිට 21 දක්වා එක්සත් රාජධානියේ 2023 අයිඩීයූ සංසදය සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් සංචාරය,

ජුනි 21 සිට 25 දක්වා ප්‍රංශයේ පැරිස් සංචාරය

ජුලි 20 සිට 21 දක්වා ඉන්දීය නිල සංචාරය

අගොස්තු 21 හා 22 සිංගප්පූරු නිල සංචාරය

සැප්තැම්බර් 13 සිට 16 දක්වා කියුබාවේ රාජ්‍ය නායක සමු`ඵවට කියුබාවට හා රාජ්‍ය නායක සමු`ඵවකට සහභාගි වීම සඳහා චීනයට කළ සංචාරය

සැප්තැම්බර් 16 සිට 21 දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් සංචාරය

සැප්තැම්බර් 21සිට 22 ලන්ඩන් සංචාරය

සැප්තැම්බර් 27 සිට 30 දක්වා බර්ලින් ගෝලීය සමු`ඵවට සහභාගි වීම සඳහා ජර්මන් සංචාරය

ඔක්තෝබර් 15 සිට 21 දක්වා චීන සංචාරය

නොවැම්බර් 15 සිට 18 දක්වා මාලදිවයින් සංචාරය

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා කොප් 28 සමු`ඵවට සහභාගි වීම සඳහා ඩුබාහී සංචාරය

2024 විදේශ සංචාර
ජනවාරි 13 සිට 18 දක්වා ලෝක ආර්ථික සංසදය සඳහා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර සංචාරය

ජනවාරි 18 සිට 23 දක්වා නොබැඳි ජාතීන්ගේ සමු`ඵවට සහභාගි වීම සඳහා හා 77 කණ්ඩායම හා චීනය සමු`ඵවට සහභාගිවීම සඳහා උගන්ඩාවේ කම්පාලා නුවර සංචාරය

පෙබරවාරි 8 සිට 10 දක්වා ඉන්දියානු සාගර සමු`ඵව සඳහා ඕස්ටේ්‍රලියාවේ පර්ත් නුවර සංචාරය

මැයි 19 සිට 21 දක්වා ලෝක ජල සංසදයට සහභාගි වීම සඳහා ඉන්දුනීසියාවේ බාලි නුවර සංචාරය

Address

23/1 Piliyandala Road
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Anidda Newspaper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anidda Newspaper:

Share