
25/08/2025
විනිවිද කළුවර දිදුලන හදවත- විමල් කැටිපෙආරච්චි
ඇතැම් අය දරනා අදහසක් වනුයේ තීරු ලිපිය යනු පුවත් පතක ඇතිවන අමතර ඉඩ අහුරාලීම පිණිස වන සක්ක ලියවිල්ලක් ලෙසිනි. එහෙත් තීරු ලිපිය යනු මාධ්‍ය කලාවෙහි වැදගත් කොටසක් නියෝජනය කරනා ලිවීමක් බව සනාථ කිරීම තරම්වන තීරු ලිපි රචකයන් සංඛ්‍යාවක් අපේ පුවත්පත් ඉතිහාසය බලන විට අපට හමුවෙයි. චන්ද්‍රරත්න මානවසිංහ ආදීන්ගේ සිට බී ඒ සිරිවර්ධන, දයාසේන ගුණසිංහ , සුන්දර නිහතමානි ද මැල් පසුකර විමලනාත් වීරරත්න ආදී වශයෙන් මේ නම් වැල බෙහෙවින් දිගය. එසේම මේ නම් ලියූ නොලියූ සියල්ලම විවිධ අංශ හරහා සිය ලිපි පෝෂණය කරමින් ලේඛන කලාවට කළ මැදිහත්වීමද ඉතා වැදගත්ය. කෙසේ වෙතත් පසුකාලීනව විශේෂයෙන් මෑත දශක දෙක තුනක පටන් පුවත්පත් කලාවේ ඇද වැටීම මෙන්ම රටේ දේශපාලන සංස්කෘතික කලාපයන්හී පරිහානියද සමගින් එකී ලේඛණයද පරිහානිගත ගමනක යෙදෙනු අපට දක්නට ලැබිණි. වෙසෙසින්ම පුවත් පත එහි හිමිකාර මුදලාලි ග්‍රහණයට දැඩිව නතුවීමත් පුවත්පත් කතුවර තනතුර මාධ්‍ය මුදලාලිගේ මැනේජර් තත්වයට පිරිහෙලීමත් සමග වැඩි වශයෙන් අපට පසුගිය කාලයේ දක්නට ලැබුනේ තීරු ලිපි ලියනා පාර්ලිමේන්තු සභිකයන්ය.
විමල් කැටිපෙ ආරච්චි සිය තීරු ලිපි එකතුව පොතක් ලෙස මුද්‍රණය කර සමාජගත කරන්නේ එවන් වකවානුවකය. එසේම විමල්ගේ තීරු ලිපි සමුච්ඡයෙහි වෙනසක් තිබේ. ඒ එහි එන ලිපි පුවත් පත් උදෙසා නොව වෙබ් අඩවියක් වෙනුවෙන් රචනා කරන ලද ඒවා වීම මගිනි. පුවත්පත්හී ආධිපත්‍යය ගිලිහී යාමත් එය ස්වයං විනාශය කරා ගමන් කිරීමත් සමග අලුත් පරම්පරාවන් වඩාත් ආශක්ත වෙමින් සිටිනුයේ සමාජ මාධ්‍ය ඇතුළු නව මෙවලම් වෙතය. විමල් ඒ හැරවුම දැක සිය තීරු ලිපි වෙනුවෙන් තෝරා ගන්න භූමිය වනුයේ වෙබ් අඩවියකි.
විමල්ගේ මේ තෝරා ගැනීමත් සමගින් ඔහු සම්ප්‍රදායික තීරු ලිපියෙහි ඇතැම් සීමා නොතකා හරින්නට, නැතිනම් ඉක්මවා යන්නට ඉඩ ලබයි. එවන් එක් ඉඩක් වනුයේ පුවත් පතක ඇති වචන සීමා නොතකා ලියන්නට ඉඩ සලසා ගැනීමය. සාමාන්‍ය යෙන් පුවත්පතක තීරු ලිපියක නිශ්චිත වචන සීමාවක් පවතී. එය බොහෝ විට වචන හත් සීයක් නැතිනම් අටසීයක සීමාවෙහි රැඳෙයි. විමල් මේ සීමාව නොතකයි. ඔහුගේ ඇතැම් ලිපියක් මේ වචන ඉක්මවා යන අතර තවත් ලිපියක් බෙහෙවින් ඊට වඩා කෙටි වෙයි.
කෙසේ වෙතත් තීරු පිලියක රඳවාගත යුතු ගුණාංග කිහිපයක් තිබේ. ඉන් වැදගත්ම ගුණය වනුයේ ලැබෙන සීමිත ඉඩ තුළ පාඨක ආකර්ශණය රඳවාගන්නා අතරම සංක්ෂිප්තව සහ ඒ සංක්ෂිප්තබව තුළම පෘථූල ලෙස තමන් තෝරා ගන්න මාතෘකාව විදාරණය කිරීමයි. රචකයා මේ කාර්යයෙහි ලා දක්වන සමත්කම තීරු ලිපියෙහි ආයු කාලය තීරණය කරයි.
විමල් මේ කාර්යයේලා සමත්ව තිබේ. ඔහුගේ තීරු ලිපි පාඨකයා එකවර බැඳතබා ගැනීමට සමත්ය. එසේම ඒ තීරු ලිපි තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්ද තිබේ. ඒ එය වැඩිහිටි විය කරා යන්නකු තම ගැටවර විය වෙත ආපසු හැරෙමින් ඒ මතකාවර්ජන හරහා තමන්ගේ අතීතය මෙන්ම වර්තමානයද විග්‍රහ කරගන්නට තැත් දරනා ආකාරයයි. වෙසෙසින්ම තම ළමාවිය ගෙවුන පරිසරය සහ එහි විඳීම්, විඳවුම් මෙන්ම සිය ප්‍රතාචාරයන්ද කැටි කොට ඔහු විසින් රචනා කරනු ලැබ ඇති ලියවිලි එක්තරා ආකාරයක චාරිකා සටහනක් මෙනි. ඒ මතක චාරිකාව තුළ අපට විමල් නම් යෞවනයාගේ වැඩීම මෙන්ම සමාජයේ ගමන් මගෙහි චලනයන්ද කියවාගන්නට ඉඩ ලැබෙයි. බෙහෙවින් සැහැල්ලු ස්වරයකින් රචිත ඒ ලියවිලි තුළින් මතු කරනු ලබනා කරුණු එතරම් සැහැල්ලුවකින් විඳින්නට නොහැකිය. වදන්හී ඇති සැහැල්ලුව පිටුපස ඇත්තේ ඛේදවාචී මං සළකුණුය.
මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස මේ කෘතියෙහි 10 වන ලියවිල්ල දැක්විය හැකිය. එහි හෙඩිම ඇත්තේ සාගර යාන්තමින් බේරෙයි. පර්ල් අතුරුදහන් යනුවෙනි. රටක සංස්කෘතික ජීවිතයේ කඩාවැටීම කෙතරම් බලවත්දැයි වටහාගන්නට එ රටෙහි විවිධ පාර්ශව දක්වන අසමත්කම තරම් ඛේදයක් තවත් නැත. අප රට යනු මේ කටුක යථාර්තය දිනපතා අත්විඳින කොදෙවුවකි. අප මේ ඇදී ආ වේගී ගමන තුළ අපට ඉතිරිව ඇත්තේ රොඩු බොඩු පිරුණ වෙරළක් පමණි. තවදුරටත් එහි පා තබා යන්නට තරම් සුසුදු වැල්ලක් නැති. පය තබනා සෑම තැනකම ඇත්තේ කසලින් පිරි බොරු වලවල්ය. අප රටේ සිනමාව, නාට්‍යය මෙන්ම ලිඛිත සාහිතයයටද අත්ව ඇති ඉරණම මේ සංස්කෘතික සෝදාපාලුවේ බියකරු ප්‍රකාශනයකි.
අප රටේ සිනමා කර්මාන්තයේ බිඳවැටීම මේ වන විට යළි ගොඩගත නොහැකි මට්ටමක් කරා පැමිණ හමාරය. මේ බිඳ වැටීමේ එක් පලයක් වනුයේ සිනමා ශාලා කෞතුක භාණ්ඩ බවට පත්වීමයි. එක් කාලයක් සිනමා ශාලා පවත්වාගෙන යාම උදෙසා දරන ලද උපාය මාර්ගික එළඹුමක් වූවේ සිනමා හල් වෙත මත්පැන් බලපත් ලබාදීමය. මෙවැනි අතීසාරයට අමුඩ ගසනා පිලිවෙත් අවසන් වූවේ අපේ සිනමා ශාලා සුපර් මාකට් පිණිස කුලියට දීම මගිනි. බේරුවල පිහිටි ග්‍රනාඩා සිනමා හලෙ අද ඇත්තේ කාගිල්ස් ෆුඩ් සිටියකි. විමල් මේ තීරු ලිපය හරහා මතුකරනුයේ මේ දරුණු ඛේදයයි.
විමල්ගේ ලිපි පුරාම දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වනුයේ එහි භාවිතා කරනා රචනා ශෛලියය. ඔහු එක්තරා ආකාරයක කතන්දර කියන්නකුලේ භූමිකාවට පිවිසෙමින් පාඨකයාද කැටුව චාරිකාවක යෙදෙයි. ඒ චාරිකාව පුරා ඇත්තේ කැබලිය, නටබුන්ය. ඔහු ඒ කැබලි හරහා සමාජ විපරිණාමයක පුවත අපට මතක කර දෙයි. මෙහි එන සිදුවීම් කිසිවකු හෝ නොදන්නා දේවල් නොවේ. එහෙත් අපට ඒ කිසිවක වගක් නැත. විමල් සිය තීරු ලිපි හරහා මේ වගේ වගක් නැති පැවැත්ම සොලවා දමයි. අතිශය විනෝදකාමී ලියවිල්ලක් සේ පෙනෙන වදන් එකතුවක් හරහා ඔහු කරනුයේ වසා ඇති දොරවලට තට්ටු කිරීමකි.
විමල්ගේ තීරු ලිපියෙහි නිතර හමුවන චිත්‍රකතා, සිනමාව, වීර ප්‍රයාණයන්හී ගැලෙන්නට තතනන, පෙම් සුවඳෙහි මිහිර පරිකල්පනය කරන යෞවනයා යනු සමස්ත ලිපි සමුච්චයෙහිම හුය වෙයි. ඔහු ඒ හුය හරහා ලාංකීය සමාජයේ පසුගිය දශක කිහිපයක චලනයන් වර්තමානය හා සම්බන්ධ කරයි. එය මතුපිටින් සැහැල්ලු වින්දනාත්මක ලියවිල්ලක් සේ පෙනුනද අභ්‍යන්තරයෙන් ගත් කළ අප සියළු දෙනා අත්විඳිනා ශෝකාන්තයක වේදනාවද එහි නොඅඩුව ගැබ්ව තිබේ. විමල්ගේ එක් ලිපියක නම පතහට පැන්න යුනිකෝ ය. සැබැවින්ම අප සියල්ලන්මද නොයෙක් රැවටිලිවලට ලක්ව නෙක පතස්වලට පැන්න යුනිකෝලා කෙසේ වෙතත් ලිලිපුට්ලා බව කිව යුතුය.
චූලානන්ද සමරනායක
゚