01/05/2026
ජනප්‍රවාදයට අනුව නින්තවෝ යනු අඩි 3ක් හෝ 4ක් පමණ උසැති, මුළු ශරීරයම රළු ලොම්වලින් වැසුණු මනුෂ්‍ය පිරිසකි. ඔවුන් සෘජුව ඇවිද ගිය අතර, ඔවුන්ගේ අත්වල ඇඟිලි වෙනුවට දිගු හා තියුණු නියපොතු තිබූ බව කියැවේ.
ඔවුන්ට කතා කිරීමේ හැකියාවක් නොතිබූ අතර, ඔවුන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තේ කුරුල්ලන්ගේ වැනි ශබ්ද මගින් බව පැවසේ.
නින්තවෝ වැද්දන් අතර අතිශය බියට පත් කළ කණ්ඩායමක් විය. මොවුන් වැද්දන් දඩයම් කර ගෙන එන සතුන් උදුරා ගැනීමටත්, තනිව මුණගැසෙන වැද්දන්ව ඔවුන්ගේ තියුණු නියපොතුවලින් පහර දී මරා දැමීමටත් පෙළඹී ඇත. ඔවුන් ඉතා දරුණු සහ කළහකාරී පිරිසක් ලෙස ඉතිහාසයේ දැක්වේ.
වැද්දන් සහ නින්තවෝ අතර තිබූ මෙම වෛරය අවසන් වූයේ මහා ඛේදවාචකයකිනි. පුරාවෘත්තයන්ට අනුව, නින්තවුන්ගේ හිරිහැර ඉවසා ගත නොහැකි වූ වැද්දන්, දිනක් මොවුන්ව ලේනුමල ප්‍රදේශයේ විශාල ගල් ගුහාවකට කොටු කළහ.
ඉන්පසු ගුහාව ඉදිරිපිට විශාල දර ගොඩවල් ගසා ගිනි තැබූ අතර, මුළු නින්තවෝ පරපුරම එම ගුහාව තුළම පිළිස්සී මිය ගිය බව විශ්වාස කෙරේ.
ඇතැම් මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මොවුන් ලංකාවේ ජීවත් වූ "හෝමෝ ෆ්ලොරෙසියන්සිස්"(Homo floresiensis) වැනි කුරු මනුෂ්‍ය විශේෂයක් විය හැකි බවයි. තවත් සමහරු මොවුන් වඳ වී ගිය වලස් විශේෂයක් විය හැකි බවටද තර්ක කරති.