
29/05/2023
අඳුරෙන් ආලෝකමත් වෙන ස්මරණ
====================
සිරිත් පරිදිම බටහිර අහස ගිනියම් වත්ම සියොත් සමූහයා කඩිමුඩියේ කැදලි කරා පියාසැරියේ නිරත වන්නේ ගොම්මනේ අඳුරෙන් නිශාචර සිතිවිලි විවර කරමිනි. වෙනදා සඳ දියෙන් පමණක් සැහහුන නුබ කුස අද අප්රාණික ය. අමාවක කළුවරට එක්කාසු වන සිහින් හිරිකඩ නුබ කුසට පමණක් නොව මටද ගෙන එන්නේ පාළුව කාන්සියෙන් නිමග්න වූ මූසලම හැඟීම් සමූහයකි. අපිරිමිත සුසුම් මතින් උඩු හිතින් මකාලූ නුඹේ මතක යටි සිතේ පුපුරු ගසයි. සඳ එළියට සොයා ගැනීමට නොහැකි වූ නුඹ අමාවක කළුවර සොයාගැනීම විස්මය දනවන්නකි. මෙලොව ඇති තීව්ර තම හඬ නිහඬ බව තුළ ගැබ් වන්නා සේම, අමාවක කළුවරේ අති මහත් ආලෝක ධාරාවක් ඇති බවත් ඒවා ව්සින් අතීතය විසින් වල දැමූ ස්නේහයේ නටබුන් ගොඩගන්නා බව මම මට ම කියා ගතිමි.
මේ අඳුර සොබාදහමේ කෲරතම සංසිද්ධියකි. පියවි සිහියෙන් සිටීම අපහසු ය. දුම් වැටි කීපයක් , බීර බෝතලයක් හා අමාවක කළුවර පමණක් මා අසල ඇත. බීර බිඳුවක් මුවඟින් ඇතුළුවත්ම යටි සිත අවනත නොවී ය. දෙනෙත් අඩවන් වීය. කම්මුල් තෙත බරිත විය. ස්නේහයේ පෞරාණික මතක පිළිවළින් ස්මරණය වීම සැනෙකින් ඇරඹීය.
වෙනදා මෙන්ම අදත් මසිත ට අනන්ත වූ මතක සිහි නැගේ. මා හට එය පාලනය කළ නොහැකි තරමට ඒ මතයක් තුළ මා ඇබ්බැහි වී ඇට.නමුත් විමතිය නම් සෑම අඳුරු දිනකම මා එකම එක මතකයක සිර වෙයි. එය හාදුවකි. එය හරි හැඩ ය. මිහිරි ය. සිත් කලුය. මහමෙරක් බරැති ය. ප්රථම ප්රේමය බොහෝමයක් හදවත් තුළ ශේෂ වී ඇති බව මා අසා ඇත. නමුත් ප්රථම හාදුව මෙතරම් ම මසිත කා වැදී තිබීම විමතියකි. එය නුඹටත් එසේම වග නුඹ නොකීවත් මම දනිමි. ඒ අල්පමාත්ර කාලය කල්පයක් හා සමානය. නුඹේ අඩවන් වූ නෙත්, ගෙල වටා බැඳි අත් මෙන්ම ඒ සුසුම් හඬ තවමත් සජීවී ය. ස්මරණය අවසන නෙතඟ තෙත් කළද පුන පුනා එය සිහි කිරීම මහත් ආස්වාද දනවයි. පැවතුන ද නොපැවතුනද ඕනෑම ප්රේමයක් සන්තකව මතක ගොන්නක් ඇත.එය කිසිදාක කොයිලෙක හෝ යටි සිතෙන් පුළුස්සා දැමිය නොහැකි බව මම දැන් මනාව දනිමි. එය දෙහදේම එකම ලෙස රැඳේ. වෙන් වීමෙන් පසු කොතනක සිටිය ද මනසේ ශේෂ වූ සවේධනීයම මතක අමතක වන්නේ කෙසේ ද?
එකම මතකයක මා ජීවත් වූවද බීර බෝතලය නම් එසේ නොවේ. මතකයන් සෙමින් සෙමින් මෙනෙහි වූව ද පියවි සිහියෙන් මිදීමේ වේගය නම් වැඩි වේ. මම අවසාන දුම් වැටිය දැල්වුයෙමි. දීර්ඝ හුස්මකින් පසු සුසුමක් පිට විය. දුම් වළලු සිහින් සුළගේ ඔහේ පා වෙයි. එය හුදෙක්ම මා මේ මොහොතේ මතකයන් තුළ නුඹ සමග කාලය ගෙවන්නාක් මෙනි. සුළගින් දුම විසිර යන්නාක් සේ පියවි සිහිය මේ මතකයන් යට ගසනා බව මම හොඳින් දනිමි. මේ සීතල හිරිකඩ, ගොම්මන් අඳුර මොනයම්ම පපු තුරුළක උනුහුමට ගුලි වී උන්නත් ඔබට දැනෙනු නොඅනුමාන ය. වෙන් වීම ක්ෂණයකින් සිදු විය . නමුත් අප ස්නේහය සාංසාරික බව නුඹ මනා ව දනී. ඒ ප්රේමය කිකලක හෝ වල දැමිය නොහැක. වියෝ වීමට හේතු මම නොසොයමි. එය හුදු ඕනෑම මනුශ්යකු සතු අයිතියකි. නමුත් කල්පයක් හා විශාල පෙමක මා උරුමක්කාරයකු කරලීම වෙනුවෙන් මා නුඹට තුති පුදමි. හිමි වීම අහිමි වීම හෞතිකයකි. නමුත් ආදරය යනු හුදෙක්ම ආධ්යාත්මයම අත්පත් කරගන්නකි. ඉතින් සොදුර මේ ඔබෙත් මගෙත් විතැන් වූ පෙම ඒකාලෝක කරන්නා වු අමාවකයි. සඳලුතලයෙන් ඉවතට පැමිණ ආධ්යාත්මයට සවන් දෙන්න. මා මෙන්ම නුඹ ද අතීතයේ දුර්භික්ෂ අභිමුව කාලතරණය කළ අප ස්නේහය ගිනි පුපුරු මෙන් දළුලනු පෙනෙනු නොඅනුමාන ය.
✍️ ජනිත් මධුසංක