17/06/2023
ඒ සුවිසල් සෙවන .........
ශ්‍රී ලංකාවේ බැප්ටිස්ට් නිකාය ආරම්භ වූයේ 1812 දී එක්සත් රාජධානියේ බැප්ටිස්ට් මිෂනාරි සංගමයේ මිෂනාරිවරයෙකු වූ පූජ්‍ය ජේම්ස් චාටර්ගේ පැමිණීමත් සමඟිනි.
මුලින් කොළඹින් ආරම්භ වුවද, එය ක්‍රමයෙන් රටේ අනෙකුත් ප්‍රදේශ වලටත් පැතිරෙන්නට විය.
මිෂනාරිවරුන් ඔවුන් ඒ වන විටත් සිය දේවස්ථානයන් ස්ථාපනය කර තිබූ පළාත්වල පාසල් පිහිටුවීමත් ආරම්භ කරමින් සිටියහ.
මෙම පාසල් සිය දේව යාඥාවන් සහ වෙනත් ආගමානුකූළවූ වැඩසටහන් සඳහා ද භාවිතා කරන්නට වූහ.
ඒ අනුව 1887 දී බැප්ටිස්ට් මිෂනාරි සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්නට විය.
බ්‍රිතාන්‍යයේ පැවති සිය මව් සංගමය විසින් ලබාදුන් මූළ්‍යමය ආධාර සහ විදේශයන්හී ජීවත්වූ බැප්ටිස්ට් නිකායට අයත් දානපතියන්ගේ දායකත්වය ක්‍රමයෙන් අඩුව යාමත් සමඟම අප රටේ ජීවත්වූ බැප්ටිස්ට් ප්‍රජාව මේ සංගමය වෙතට ආධාරයන් එකතුකරමින් ශ්‍රී ලාංකික නියෝජයක් සහිතවූ ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය බිහිකිරීමට පෙරමුණ ගත්හ.
එවකට බැප්ටිස්ට් දූත මණ්ඩලයට මාතලේ ප්‍රදේශයේ නියෝජනයක් පැවති නිසාත්, මාතලේ නගරය තුළ සහ අවට අධ්‍යාපනය සඳහා විශාල ඉල්ලුමක් තිබූ නිසාත්,මිෂනාරී සේවයේ නියුතුව සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරුන් දෙපොලක්වූ එමිළි කෝලියර් සහ ඒ කොල්මන් යන බැප්ටිස්ට් මිෂනාරිවරියන් දෙදෙනා මාතලේ නගරය තුල පාසලක් පිහිටුවීමට මූලිකත්වය ගත්තෝය.
ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් 1907 ජුනි 17 වන දින මාතලේදී බැප්ටිස්ට් මිෂනාරි පාසල විශේෂයෙන්ම බාළිකාවන් වෙනුවෙන් උපත ලැබීය.
කාටත් පහසුවූ නිසා පාසැල හඳුන්වන්නට වුනේ BMS ලෙසිනි.
පාසැලේ ආරම්භය වෙනුවෙන් වෙහෙස නොබලා කැපවුණු කෝලියර් සහ කොල්මන් යන ශ්‍රේෂ්ඨ කාන්තාවන් දෙපළ මාතලේ BMS බාළිකාවේ ආරම්භක සම විදුහල්පතිනියන් ලෙසින් පත් වූහ.
එදා එළෙසින් ආරම්භවූ ඒ සොඳුරු තක්සලාව අද සමරන්නේ එහි අභිමානවත් 116 වෙනි සංවත්සරයයි.
ගෙවීගිය ඒ ඉතිහාසය පුරාවට
බී.එම්.එස් බාලිකාව විද්‍යාලයාධිපතිනියන් සහ වැඩ බැලූ විද්‍යාලයාධිපතිනියන් 20දෙනෙක් යටතේ පාළනය වී තිබේ. ඒ වත්මන් විදුහල්පතිනියත් ඇතුළත්වයි.
අවසන් බ්‍රිතාන්‍යජාතික විදුහල්පතිනියවූයේ, අදටත් මාතලේ කවුරුත් ආදරයෙන් සිහිපත්කරන වේරා එම් ආර්මන්ඩ් මැතිනිය යි.
වසර 1976 දී විදුහලේ නම මාතලේ සංඝමිත්තා බාළිකා විදුහල නමින් වෙනස් විය. ඒ නාලිනී එදුස්සූරිය මහත්මිය විද්‍යාලයාධිපතිනියවූ සමයේ ය.
එදාමෙදාතුර මේ මහා තක්සලාව රටට කීර්තිමත් දූ වරුන් රැසක් බිහිකරන්නට සමත් විය. ඒ අතර කීර්තිමත් වෛද්‍යවරියන්, ඉංජිනේරුවන් ආචාර්‍යය මහාචර්‍යය වරියන් ,පරිපාළන ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර තලයේ හොකී, දැල්පන්දු සහ මළල ක්‍රීඩිකාවන් රැසක් සහ තව එකී නොකී දිදුලන තාරකාවන් සිය දහසක් සමඟිනි.
වර්ෂ 1967 පමන වනතුරු
බී.එම්.එස් බාලිකාවේ ප්‍රාථමික අංශයට පිරිමි ළමුන් බඳවා ගනු ලැබිණි. ඒ තුන්වෙනි පංතිය දක්වා පමණි.
ඒ යුගයේ මේ සුවිසල් සෙවණේ වැඩුණු ප්‍රවීනයින් අතර
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වූ අනුර තෙන්නකෝන්,
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත තෙන්නකෝන්,
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අධ්‍යක්ෂක සැපයුම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)ප්‍රකාශ් තෙන්නකෝන්
වැනි අය මගේ මතකයේ රැඳුනු ඉතාමත් අතලොස්සක් පමණයි.
වසර 116ක් පුරාවට සුන්දර මාතලේ පුරවරයට ආලෝකයක් වෙමින් රටදැයට වැඩැති දුවා දරුවන් බිහිකරන්නට සමත්වූ මගේ ආදරණීය පාසැල් මෑණියන්වූ මගේ කටට හුරු බී.එම්.එස් බාලිකාවට චිරාත් කාලයක් යෙහෙන් විරාජමානව වැජඹෙන්නට ආසිරි
උපුටා ගැනීම - ලලිත් කරුණාදාස මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.