මාතර පුවත් - Matara Puwath

මාතර පුවත් - Matara Puwath “ප්‍රජා මූලික මාධ්‍ය මෙහෙවර“
තහවුරු කරන ලද ප්‍රාදේශිය පුවත් ජනතාව අතරට

17/10/2025
17/10/2025

කෘත්‍රිම බුද්ධිය පිළිබඳව දකුණු පළාතේ විධායක ශ්‍රේණිවල නිලධාරීන් දැනුවත් කෙරේ

"මාතොට සාන්තුවරයන්ගේ සටන" ඔක්තෝබර් 29 වැනිදා ඇරඹේ===================================මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත ...
16/10/2025

"මාතොට සාන්තුවරයන්ගේ සටන" ඔක්තෝබර් 29 වැනිදා ඇරඹේ
===================================
මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත සර්වේශස් විද්‍යාලය අතර "මාතොට සාන්තුවරයන්ගේ සටන" ලෙසින් වාර්ෂික මහා අත්පන්දු තරගයක් ඇරඹීමට පියවර ගෙන තිබේ.

එහි පළමු තරගය සර්වේශස් විද්‍යාලයේ සත්කාරකත්වයෙන් 29 දා රුහුණ විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වසර 125 ක් පුරා වාර්ෂිකව පවත්වනු ලබන මහා ක්‍රිකට් තරගයට අමතරව දෙවිදුහල් අතර විශේෂිත තරගයක් ලෙස වාර්ෂිකව මෙය පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) දින සර්වේශස් විද්‍යාලයේ දී පැවැත්විණි.

එහි දී අදහස් දැක්වූ සර්වේශස් විද්‍යාලයේ විදුහල්පති විරාජිත් කඩවැද්දුව මහතා ප්‍රකාශ කළේ ගමට පමණක් සීමා වී ඇති වොලිබෝල් ක්‍රීඩාව නගරයේ පාසල් අතර ප්‍රචලිත කරමින් අතීතයේදී මෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහිකිරීම මෙම මහා වොලිබෝල් තරගය පැවැත්වීමේ අරමුණ බවයි.

සාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති නයනප්‍රිය පෙරේරා මහතා මෙහි දී සඳහන් කළේ වසර වසර 125 ක් පුරා දෙවිදුහල් අතර පවත්වාගෙන ගිය සහෝදරත්වයේ බැම්ම තවදුරටත් පුළුල් කරමින් අනාගත පරපුර ද වොලිබෝල් ක්‍රීඩාව වෙත ආකර්ෂණය කරගෙන වඩාත් ඵලදායි ක්‍රිඩා තරග රටා ඔස්සේ ක්‍රීඩාව ඔසවා තැබීම සහෝදර පාසල් දෙකෙහි අරමුණ බවයි.

මාතර සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම විදුහල්පති නයනප්‍රිය පෙරේරා මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය විදුහල්පති ජේ. ජයවර්ධන හා ක්‍රීඩා පරිපාලක දිලිප් කුමාර මහත්වරුන්ගේ අධීක්ෂණය සහ සුජීව රණවීර මහතාගේ පුහුණුකාරීත්වය යටතේ තරග වදිනු ලබයි.

මංගල තරගයේ දී සාන්ත තෝමස් කණ්ඩායම ෂහීන් නෙත්මිණගේ නායකත්වය යටතේ තරග කරයි.

මාතර සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම විදුහල්පති විරාජිත් කඩවැද්දූව මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය විදුහල්පති ඉන්දික ධීරසිංහ මහතා හා ක්‍රීඩා පරිපාලක රුවිනි රුබසිංහ මහත්මියගේ අධීක්ෂණය සහ ජනක නිශාන්ත මහතාගේ පුහුණු කාරීත්වය යටතේ තරග කරනු ලබයි.

මංගල තරගයේ දී සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ එල්. ඒ. කේ. මිහිරංග විසිනි.

මාතර කඩවත් සතර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - කොට්ඨාසයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්===================...
16/10/2025

මාතර කඩවත් සතර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - කොට්ඨාසයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්
==================================
මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විවිධ තීන්දු තීරන ගන්නා මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ ගරු සභාපති, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) දින මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී 2025 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම යටතේ මාතර තානායම අසළ සිට වෙරළට ආසන්නව නිල්වලා ගං මෝය දක්වා නැරඹුම් ස්ථාන සහිතව, වෙරළ නැරඹුම් මංපෙතක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව, දකුණු පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය, මාතර - හරිස්චන්ද්‍ර වත්ත ප්‍රදේශවාසීන් මුහුණ දී ඇති පරිසර ගැටළු, මාතර නගරයේ වැසි ජලය බැස නොයාමේ ගැටළුව, රුවන් ඇල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජනතාව මුහුණ දී ඇති ජල ගැටළුවට විසදුම් ලබාදීම ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

මීට අමතරව විවිධ රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීම ද සිදු කරන ලදි.

මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

දකුණු පළාතේ සමාජ ආරක්ෂණ නිලධාරීන්ට අලෙවිකරණ පුහුණුව ==================================ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රි...
16/10/2025

දකුණු පළාතේ සමාජ ආරක්ෂණ නිලධාරීන්ට අලෙවිකරණ පුහුණුව
==================================
ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජනය කරන, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දකුණු පළාත් නිලධාරීන්ට අලෙවිකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (16) දින මාතර සංචාරක නිවාසයේ දී පැවැත්විණි.

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය විවිධ අංශ නියෝජනය කරන සියලු මහජනතාව අතර ප්‍රචලිත කිරීම සදහා නිසි පුහුණුවක් හා මග පෙන්වීමක් ලබාදීම මෙම වැඩසටහන පැවැත්වීමේ අරමුණ යි.

මේ සදහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ ව්‍යාපාර කළමනාකරණ උපදේශක හා අලෙවිකරණ දේශක දුමින්දක මදුරංග වීරතුංග මහතා විසිනි.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය, 1996 අංක 17 දරණ හා 1999 අංක 33 දරණ සංශෝධිත පනත මගින් පිහිටුවන ලද ආයතනයකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2006 සැප්තැම්බර් 25 වැනි දින අංක 1464/5 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කාර්යභාරය වන්නේ රජයේ විශ්‍රාම වැටුපක් හිමි නොවන අයට විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමයි.සමාජයේ ඕනෑම සාමාජිකයෙකුට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන්, දිස්ත්‍රික් කාර්යාලවලින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් වගකීම පවරා ඇති වෙනත් නිලධාරියෙකුගෙන් සාමාජිකත්වය ලබා ගත හැකිය.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නලින්ද උදයකුමාර මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දකුණු පළාතේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික්කයේ QR කේතය මගින් තේ පොහොර සහනාධාරය ලබාදීමේ පළමු වැඩසටහන පිටබැද්දර දී ==================================...
16/10/2025

මාතර දිස්ත්‍රික්කයේ QR කේතය මගින් තේ පොහොර සහනාධාරය ලබාදීමේ පළමු වැඩසටහන පිටබැද්දර දී
==================================
අලුත් පියවරකට සූදානම් වෙමු.!
තේ වගාකරුවන් ශක්තිමත් කරමු..!!
ආණ්ඩුවේ ඉලක්ක සපුරමු...!!!

මාතර දිස්ත්‍රික්කයේ QR කේතය මගින් තේ පොහොර සහනාධාරය ලබාදීමේ පළමු වැඩසටහන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පිටබැද්දර නගරයේ දී පැවැත්විණි.

තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින් නොවැම්බර් 15 දිනට පෙර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කාර්යාල මගින් හෝ තේ උපදේශක /ව්‍යාප්ති නිලධාරී හමුවී හෝ තේ සමිති මගින් ලියාපදිංචි විය යුතුය.

මේ නව ක්‍රමය හේතුවෙන් ඔබට ලැබිය යුතු පොහොර ප්‍රමාණය සහ සහනාධාරය කිසිදු ප්‍රමාදයකින් තොරව නිවැරදිව ලැබෙන බවට සහතික වීම, ඔබට කැමති බලයලත් පොහොර සමාගමකින් ඔබේ QR කේතය හරහා පහසුවෙන්, නියමිත ප්‍රමිතියේ පොහොර ලබා ගැනීමේ හැකියාව, අතීතයේදී මෙන් ලිපි ලේඛන රැගෙන රස්තියාදු වීමට අවශ්‍ය නොවන නිසා සියල්ල ක්ෂණිකව, තාක්ෂණය හරහා සිදුවන බැවින් කාලය ඉතිරිවීම ආදී වාසි රැසක් හිමි වේ.

රජයේ අරමුණ 2030 වන විට ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වා වැඩි කිරීමයි. එම අරමුණ යථාර්ථයක් බවට පත්කිරීමේ ප්‍රධානම හවුල් කරුවන් කුඩා තේ වතු හිමියන් ය. රජය මගින් පොහොර සහනාධාරය සදහා රුපියල් මිලියන 2000 ක් වැනි විශාල මුදලක් වෙන් කරමින් ලබා දෙන්නට කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම, අපේ රටේ තේ දළු නිෂ්පාදනයෙන් 75% ක් පමණ නිපදවන කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් මේ ආයෝජනය කර ඇති අතර මෙම QR කේතය හුදෙක් කඩදාසියක් නොව, වගාවේ අනාගතය සුරක්ෂිත කරන, ජීවනෝපාය ශක්තිමත් කරන මෙවලමකි.

මේ වන විට රජය මගින් තේ පොහොර සහනාධාරය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,400 (රුපියල් බිලියන 2.4) කි. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් සඳහා රුපියල් 4,000 ක සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.

16/10/2025
2025/26 මහ කන්නයේ මාතර - පුරන් කුඹුරු අක්කර 5000 ක වී වගා කිරීමට සැලසුම් - ඉලක්ක ගත අස්වැන්න ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක...
15/10/2025

2025/26 මහ කන්නයේ මාතර - පුරන් කුඹුරු අක්කර 5000 ක වී වගා කිරීමට සැලසුම් - ඉලක්ක ගත අස්වැන්න ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක්
===================================
මාතර දිස්ත්‍රික්කයට බලපාන ගංවතුර තත්ත්වයන් මගහරවා ගනිමින් අදාළ ඉලක්කගත වී අස්වැන්න ලබා ගැනීම සඳහා ගතයුතු පිළියම් හා විකල්ප යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී / මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කටයුතු සම්බන්ධීකාරක, මහාචාර්ය එල්.එමි. අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2025/26 මහ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5000 ක වී වගා කිරීමට සැලසුම්කර ඇති අතර එමගින් ඉලක්ක ගත අස්වැන්න ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගැනේ.

මෙහි දී ඇතිවන ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව කරුණු විශ්ලේෂණය කර මාතර දිස්ත්‍රික්කයට ඇතිවන ගංවතුර තත්ත්වයන් වළක්වා ගනිමින් ඉලක්කගත වී අස්වැන්න ලබාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීමට කටයුතු කරන ලදි. ඒ තුළින් පවතින ගැටලු නිවැරදි ලෙස හඳුනාගැනීමට හැකිවූ අතර ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ඉලක්කගත අස්වැන්න ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස අවධාරණය කෙරිණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ (රක්ෂණ), අධ්‍යක්ෂ (මෙහෙයුම්), සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ සහකාර අධ්‍යක්ෂ (මාතර) ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව================================...
15/10/2025

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව
=================================
ජනාධිපති කාර්යාලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දුෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුල පිරිමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිද භාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායි ලෙස සැපයීම සඳහා සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit - IAU) පිහිටුවීම සිදු කෙරිණි.

ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කිරීම, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.

නොවිසඳුනු ගැටළුවක්, අල්ලස් ඉල්ලීමක් හෝ රාජකාරි ඉටුකර ගැනීමේ දී ඇතිවන ඕනෑම ගැටළුවක් නාමිකව හෝ නිර්නාමිකව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිළිගැනීමේ කවුන්ටරයේ තබා ඇති පැමිණිලි පෙට්ටියට දැමීමෙන්, 041 2222435 දුරකථන අංකය ඇමතීමෙන්, 078 8844545 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනයට ඊ මේල් කිරීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.

පැමිණිලි හා අදාළ තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය බැඳී සිටී.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.

වතුකරයේ දරුවන් පාසල් නොයැවීමට බලපාන කරුණු පිළිබඳව සොයා බැලීමේ වැඩසටහනක් දෙණියාය - එන්සල්වත්ත දෙමළ විද්‍යාලයේ දී=========...
15/10/2025

වතුකරයේ දරුවන් පාසල් නොයැවීමට බලපාන කරුණු පිළිබඳව සොයා බැලීමේ වැඩසටහනක් දෙණියාය - එන්සල්වත්ත දෙමළ විද්‍යාලයේ දී
===================================
වතුකරයේ දරුවන් පාසල් නොයැවීමට බලපාන කරුණු පිළිබඳව සොයා බැලීම සදහා වූ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දෙණියාය - එන්සල්වත්ත දෙමළ විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙහි දී වතු ජනතාව මුහුණ දෙන අභියෝග හා දුෂ්කරතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දරුවන් පාසල් නොයාමට බලපාන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මේ සඳහා සම්බන්ධ වූ ප්‍රදේශයේ ජනතාවට ඔවුන්ගේ ගැටළු ඍජුව ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසිනි.

දරුවන් පාසල් නොපැමිණීමට හේතු වශයෙන් හදුනාගත් ගැටළු සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසදුම් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් වූ නිසි වැඩපිළිවෙළක් සකස්කර, අදාළ අ‍ංශ සමග සම්බන්ධීකරණයෙන් එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බවත් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා පැවසී ය.

කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අති දුෂ්කර ය. වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක ගමනක් පාගමනින් ගියහ. ඔවුහු රෝග විඳදරා ගනිමින්, කැලෑ එළිපෙහෙළි කරමින්, වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කර ඇත. බොහෝ දෙනෙක් (ඇතැම් කණ්ඩායම්වල 40 කට අධික පිරිසක්) ගමන අතරමඟ දී මියගිය අතර ඔවුන්ගේ සිරුරු භූමදානය කිරීම හෝ නැතහොත් බැහැරකර දැමීම සිදු කරන ලදි.

1820 දශකයේ මුල් භාගයේ සිට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවති සමාගම් විසින් ඉන්දියාවේ සිට එකල ‘සිලෝන්’ නමින් හඳුන්වන ලද ශ්‍රී ලංකාවට මලෛයහ දෙමළ ප්‍රජාව රැගෙන එන ලදි. බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ‘වතු රාජ්‍යය’ ගොඩ නැගීමට යොදාගත් පදනම වූයේ එම ප්‍රජාවගේ ශ්‍රමයයි. ඔවුන් යටත් විජිත ව්‍යවසායන්හි අත්‍යවශ්‍ය කොටසක් විය. නිදහස දිනාගත් අවස්ථාව වන විට මෙම ප්‍රජාව මෙරට සිටි දෙවන විශාලත ම ජනවාර්ගික කණ්ඩායම විය.

නිදහසින් පසු මලෛයහ දෙමළ ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ඉල්ලීම් තුළ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රජාවන් හා සමානව ඔවුන් පූර්ණ පුරවැසියන් ලෙස පිළිගැනීමක් ලබාදීම ඇතුළත් විය. සමානාත්මතාව, වෙනස්කොට නොසැලකීම, ආරක්ෂාව සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ අනන්‍යතාව ආරක්ෂා කෙරෙන දේශපාලන හා පරිපාලන විධිවිධාන සඳහා ඉල්ලීම්කර ඇත. මෙම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ නුවරඑළිය ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ ගණනාවක විසිරී ජීවත්වන මෙම ජනතාවට අභිමානයෙන්, ආත්ම ගරුත්වයෙන්, සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව ජීවත්වීමට සහ ඔවුන්ගේ කටයුතු කළමනාකරණයකර ගැනීමට අවශ්‍ය හඬ සහ බලය ලබාගනු පිණිසය.

වතුවල පදිංචිකරුවන් ලෙස සිටින පිරිස ඇතුළු මලෛයහ දෙමළ ප්‍රජාවේ වර්තමාන තත්ත්වය වනාහි මෙරට අනෙකුත් සියලුම ප්‍රජාවන් හා සැසඳීමේදී මානව සංවර්ධන දර්ශක සියල්ලෙන්ම අඩුම අගයන් වාර්තා කරන රටේ වඩාත්ම කොන්වීමට ලක්වු කණ්ඩායම බවට පත්ව ඇත. මෙම තත්ත්වය වතු හාම්පුතුන්ට බැඳී සිටින සහ ඔවුන් මත යැපෙන කම්කරුවන්ව සිටීමේ තත්ත්වයෙන් මිදී අන් අය හා සමාන අයිතිවාසිකම් සහිත ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසියන් තත්ත්වයට පරිවර්තනය වීමට දැඩිව බාධාකාරී වී ඇත.

මලෛයහ ප්‍රජාවෙන් විශාල ප්‍රමාණයක් තවමත් අවම ජල සහ සනීපාරක්ෂක පහසුකම් සහිත ලයින් කාමර නිවාසවල ජීවත්වෙති. ළදරු මරණ, උපත් බර සහ වයසට සරිලන උස ඇතුළු බොහෝ සෞඛ්‍ය සහ පෝෂණ දර්ශක මෙරට ජාතික සාමාන්‍ය අගයන්ට සාපේක්ෂව පරම්පරාගත ලෙස පහළ මට්ටමක් පෙන්නුම් කරයි. කඳුකරයේ ළමයින් දශක ගණනාවක් තිස්සේ ජාතික අධ්‍යාපන පද්ධතියෙන් බැහැර කර ඇති බැවින් සැලකිය යුතු මට්ටමක අහිමි කිරීමක් නිර්මාණය කර ඇති අතර එය තවමත් සම්පූර්ණයෙන් නිවැරදිකර නොමැත. වතුවල ජීවත්වන ජනතාවට සේවා සපයන සෞඛ්‍ය පහසුකම් තවමත් ප්‍රධාන ධාරාවෙහි නොමැත. ඒ හා සමානවම මෙම ජනගහනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනයෙහි සාධන මට්ටම්වලට ළඟාවීම සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී. අනෙකුත් ප්‍රජාවන්ට සාපේක්ෂව සලකාබැලීමේදී මලෛයහ දෙමළ ප්‍රජාව රාජ්‍ය අංශයේ රැකියාවල සහ තෘතීයික අධ්‍යාපනයෙහි නිරත වී සිටීම ඉතා අඩු මට්ටමක පවතින අතර ඉඩම්, පරිපාලන සේවා සහ සුබසාධන වැඩසටහන් සඳහා ඇති ප්‍රවේශයෙහි දැඩි අසමානත්වයක් පවතියි. බොහෝ දෙනෙකුට ලිපිනයක් නැත. මෙම ප්‍රජාවේ සාමාජිකයින් අතර දරිද්‍රතා අනුපාතය ජාතික සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළය. ඔවුන් ආපදාවලට ලක්වීමේ වඩාත්ම වැඩි අවදානම සහිත පිරිස වේ.

මේ අවස්ථාවට කොටපොල ප්‍රාදේශිය ලේකම් දම්සර කරුණාජීව මහතා ඇතුළු කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නුවන් දිසානායක මහතා, ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන්, එන්සල්වත්ත දෙමළ විද්‍යාලයේ විදුහල්පති උදයකුමාර් වේලු මහතා ඇතුළු ප්‍රදේශයේ විදුහල්වල විදුහල්පතිවරු, පොලිසිය, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකාර නිරෝෂා ඇන්තනී මහත්මිය, ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති නිලධාරී නෙත්මි ලියනගේ මෙනවිය, මාතර ප්‍රජා සංවර්ධන සංසදයේ උප සභාපති අමරසේන සමරතුංග මහතා, ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එන්සල්වත්ත දෙමළ විද්‍යාලය, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය, මාතර ප්‍රජා සංවර්ධන සංසදය එක්ව වැඩසටහන සංවිධානය කරන ලදි.

කොටපොල - උඩහොරගල මණ්දණ්ඩවිල මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹේ===================================දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපා...
14/10/2025

කොටපොල - උඩහොරගල මණ්දණ්ඩවිල මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹේ
===================================
දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ⁣හොරගල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රජා දායකත්වයෙන් කොටපොල - උඩහොරගල මණ්දණ්ඩවිල මාර්ගය සංවර්ධනය කිරීම පසුගියදා ආරම්භ කෙරිණි.

කැට ගල් අල්ලා මෙම මාර්ගය සංවර්ධනය කිරීම මගින් මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසීන් සදහා සෙත සැලසේ.

Address

Disdrict Media Unit
Matara

Alerts

Be the first to know and let us send you an email when මාතර පුවත් - Matara Puwath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මාතර පුවත් - Matara Puwath:

Share